පානදුරය ඉතිහාසයට එක්වන්නේ 1873 වසරේ පැවති පානදුරාවාදය නිසාය. මිසදුටුවාදීන් පරාජයට පත්කරමින් අවසන්වූ පානදුරාවාදය නිසා රටේ මහා බෞද්ධ ප‍්‍රබෝධයක් ඇතිවිය. එවැනි බෞද්ධ ප‍්‍රබෝධයක් ඇති කිරීමට සමත් වූ ඓතිහාසික පානදුරය නගරයේ හරක් මස් කඩයක් පවත්වාගෙන යාම කොහෙත්ම ගැළපෙන්නක් නොවන බව පානදුර අභය කරුණාරත්න මුදලින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති දඹගස්ආරේ චන්ද්‍රසිරි නාහිමියන් හා විහාරාධිකාරී නාකුළුගම චන්දිම හිමියන් කල්පනා කළ අවස්ථා නම් බොහෝය.
මරණයට කැපවී සිටින ගවයන් රැසකට රැකවරණය ලබාදීම වසර 15 ක පමණ කාලයක් තිස්සේ සිට පානදුර අභය කරුණාරත්න මුදලින්දාරාම විහාරස්ථානය මගින් කරගෙන යයි.
රට තුළ මහා බෞද්ධ ප‍්‍රබෝධයක් ඇතිකිරීමට සමත්වූ පානදුර නගරයේ හරක් මස් කඩයක් තවදුරටත් පවත්වාගෙන යාම පානදුරාවාදයට නායකත්වය දුන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන් ඇතුළු ඒ සඳහා දායකත්වය ලබාදුන් ගරුතර භික්ෂූන් වහන්සේලාටත් කරන ඉමහත් අගෞරවයක් නිසා ඒ වැරැද්ද දැන්වත් නිවැරදි කිරීමට මේ යතිවරයන් දෙදෙනා අධිෂ්ඨාන කරගත්හ.
ප‍්‍රදේශයේ අති බහුතරයක් ජනතාවටද වුවමනාවී තිබුණේ මේ හරක් මස් කඩය කෙසේහෝ වසා දැමීමටය.
පානදුර නගරයේ පිහිටි පොදු වෙළඳපොළේ දශක ගණනාවක සිට පවත්වාගෙන යන හරක් මස් කඩය මේ වන විට වසා දමා ඇත.
මේ මස් කඩය වසා දැමීමට ලොකු වෙහෙසක් දැරීමට සිදුවී ඇති අතර ඒ සඳහා සුවිශේෂ උපක‍්‍රමයක්ද යොදාගැනීමට සිදුවී තිබේ.
පානදුර පොදු වෙළෙඳපොළේ පිහිටි මේ හරක් මස් කඩය වසාදැමීමට නායකත්වය දුන්නේ දඹගස්ආරේ චන්ද්‍රසිරි නාහිමියෝය. ඒ නිසා ඒ කතාව අපි චන්ද්‍රසිරි නාහිමියන්ගේ වචන වලින්ම අසා දැනගනිමු.
![]() |
චන්ද්‍රසිරි හිමි |
![]() |
චන්දිම හිමි |
පානදුරේ පොදු වෙළඳපොළේ තියන මේ මස් කඩය කොහොම හරි වසා දැමිය යුතු බවට අපි තීරණයක් ගත්තා. නමුත් ඒක ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව අප තේරුම් ගත්තා. මෙය වසා දැමීමට අප ඉදිරියේ තිබෙන ලොකු අභියෝගයක් වුවත් ඒ අභියෝගය ජයගත යුතු බව අධිෂ්ඨානය කරගත්තා. යහපත් චේතනාවකින් කරන දෙයක් නිසා මේ අභියෝගය කෙසේ හෝ ජයගත හැකිවන බව අපට සිතුණා. පානදුරාවාදය නිසා ඉතිහාසගතවී ඇති නගරයක හරක් මස් කඩයක් තිබීම කිසිසේත්ම සුදුසු නොවන නිසයි කෙසේ හෝ මේ මස් කඩය වසා දැමිය යුතු බවට අප තීරණය කළේ.
ඊට පස්සේ විජිත හාමුදුරුවොයි මමයි මේ මස් කඩය වසාදැමීමේ ඇති වැදගත්කම ගැන පානදුරේ අනෙකුත් විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන් ද දැනුම්වත් කළා. උන්වහන්සේලාත් අපිට උපරිම සහයෝගයක් මේ මහඟු කටයුත්ත සඳහා ලබාදෙන්න කැමැත්ත ප‍්‍රකාශ කළා. විහාරාධිපති හිමිවරුන් මේ වැඬේට සහාය දෙන්න කැමැත්ත ප‍්‍රකාශ කිරීම අපිට ලොකු ශක්තියක් වුණා.
අපේ විහාරස්ථානය ඇතුළු පානදුර ප‍්‍රදේශයේ තියෙන විහාරස්ථාන 36 ක විහාරාධිපති හිමිවරුන්ගේ අත්සනින් පානදුර නගර සභාවට පෙත්සමක් ඉදිරිපත් කළා. මේ හරක් මස්කඩය වසාදමන්න කටයුතු කරන්න කියා. පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් දැනුවත් කිරීම්ද කරනු ලැබුවා. සමහර මන්ත‍්‍රීවරුන් මේ හරක් මස් කඩය වසා දමන්න කැමති වුණා. තවත් සමහර මන්ත‍්‍රීවරුන් හරක් මස්කඩය වසා දමන්න අකමැති වුණා.
මොන ප‍්‍රශ්න අභියෝග පැමිණියත් මේ හරක් මස් කඩය වසාදැමීමේ කටයුත්ත ඉදිරියටම ගෙන යාමට දඹගස්ආරේ චන්ද්‍රසිරි නාහිමියන් හා නාකුළුගම චන්දිම හිමියන් ගත් තීරණය අධිෂ්ඨානය අතහැරියේ නැත.
හරක් මස් කඩය වසා දමනතෙක් කුමන බාධක පැමිණියත් නොසැලී නොපසුබටව කටයුතු කිරීමට තීරණය එලෙසට ක‍්‍රියාත්මක කිරීමට මේ හිමිවරුන් දෙදෙනා අපූරු උක‍්‍රමයක් යොදා ඇත.
දශක කිහිපයක් තිස්සේ පවත්වාගෙන එන මේ හරක් මස් කඩය වසා දැමීමේ පසුබිම වට පිටාව සකස්කිරීම සඳහා යොදාගත් ඒ උපාය ගැන තොරතුරු හෙළිකරමින් චන්ද්‍රසිරි හිමියෝ මෙසේ පැවසූහ.
පානදුර නගර සභාව මේ හරක් මස් කඩයට ටෙන්ඩර් කැඳෙව්වා නම් අපත් ටෙන්ඩර් පතක් දාලා කොහොම හරි හරක් මස් කඩය ගන්න. හරක් මස් කඩයට ටෙන්ඩර් කැඳවා ඇති බවට නගර සභාව ප‍්‍රසිද්ධියට පත්කළා. අපේ දායක මහත්තයකුගේ නමින් රුපියල් 385,000 ක පමණ මුදලක් මස් කඩය බදු ගන්න ටෙන්ඩර් පතක් ඉදිරිපත් කළා. මේ බව දැනගෙන තවත් මස් කඩයට ටෙන්ඩර් දාලා තිබුණ පාර්ශ්වයකින් අපේ දායක මහත්තයාට තර්ජන ආවා. මොන තර්ජන ගර්ජන ආවත් ඒ මහත්තයා බයවුණේ නැහැ. අපේ දායක මහත්තයාට ටෙන්ඩර් අස්කරගන්න කියා අවස්ථා ගණනකදීම තර්ජන ගර්ජන එල්ලවුණත් එයා ඒ ටෙන්ඩර් එක ඉල්ලා අස්කරගත්තේ නැහැ.
හරක් මස් කඩයට වැඩිම ටෙන්ඩරය අපෙන් නිසා මස් කඬේ කරන්න අවසරය අපේ දායක මහත්තයාට ලැබුණා. දායක මහත්තයා ඒ මස් කඩය වසා දමා තිබෙනවා. අපි යෙදු උපක‍්‍රමය නිසා තමා හරක් මස් කඩය මේ විදිහට වසාදමන්න පුළුවන්කම ලැබුණේ. එහෙම දෙයක් නොකරන්න මස්කඩය අදටත් විවෘතකර තිබෙනවා. මේ කටයුත්තේදී පානදුර නගර සභාවේ මහේෂ් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීතුමාගෙන් ලොකු සහායක් මුල සිටම අපට ලැබුණා.
පානදුර නගර සභාවට මස් කඩයේ ටෙන්ඩරය ලබාගැනීමේ මුදල් ගෙවීමට අදාළව ලියුම් කියුම්වලට අප අත්සන් කර තිබෙනවා. නගරාධිපති නන්දන ගුණතිලක මහත්තයා ඇතුළු මන්ත‍්‍රීවරු කණ්ඩායම මේ මුදල අපෙන් ලබානොගැනීමට හැකියාවක් තිබෙනවාද කියා සොයා බලමින් සිටිනවා. තවම ඔවුන් රුපියල් 385,000 ක මුදල අපෙන් ලබාගත්තේ නැහැ.
අප මේ කළේ උතුම් පුණ්‍ය කටයුත්තක් බව තේරුම් අරගත්තු නිසා නගරාධිපතිතුමා ඇතුළු මන්ත‍්‍රීවරුන් අපට සහනයක් දෙන්න තමා උත්සාහ කරන්නේ. නගරාධිපතිතුමා ඇතුළු සියලූම මන්ත‍්‍රීවරුන්ට සියලූ භික්ෂූන් වහන්සේලාගේ ආශිර්වාදය නොවඩුව ලැබෙනවා. අපි නගර සභාවට ගිහින් ඒ සියලූදෙනාට පිරිත් නූල් පවා ගැට ගැසුවා. යැයි චන්ද්‍රසිරි හිමියෝ පැවසූහ.
මේ හරක් මස් කඩය ලබාගැනීමට ටෙන්ඩරය ඉදිරිපත් කළ මුල් කාලයේ අපේ දායක මහත්තයාට තර්ජන ගර්ජන තිබුණත් දැන් ඒ කිසිම තර්ජන ගර්ජනයක් නැහැ. යැයිද උන්වහන්සේ පැවසූහ.
මසට විකුණා ඇති ගවයින් බේරාගෙන රැකවරණය ලබාදෙන අපේ මේ පන්සල ගැන ඉරිදා ලංකාදීපයේ විශේෂ ලිපියක් පළවුණාට පස්සේ ඒක දැකලා පානදුරේ පදිංචි රවීන්ද්‍ර ෆොන්සේකා කියලා දානපතියෙක් වලාන ප‍්‍රදේශයෙන් එයාට අයිති අක්කරයක ඉඩමක් ගව අනාථාගාරයක් පවත්වාගෙන යන්න පරිත්‍යාගකර තිබෙනවා. ඒ ඉඩමේ ඔප්පුව පරිත්‍යාග කිරීම ලබන 26 වැනිදාට යෙදෙන පොහොය දිනයේ කෙරෙනවා. දානපති ෆොන්සේකා මහත්තයාටත් අපේ පන්සලෙන් කරගෙන යන පුණ්‍ය කටයුත්ත රටට හෙළිකළ ඉරිදා ලංකාදීප පත්තරයටත් අපේ විශේෂ ස්තුතිය පුදකරනවා. යැයිද දඹගස්ආරේ චන්ද්‍රසිරි හිමියෝ අවසාන වශයෙන් කීහ.
පානදුර නගරයට දැන් ගව මස් කඩයක් නොමැත. ඒ නිසා අහිංසක ගවයන්ගේ මස් තළු මර මරා කෑමට ගිජුකමක් දැක්වූවන් පිරිස අපහසුවට පත්ව ඇතත් ප‍්‍රදේශයේ බහුතර ජනතාව මේ නිසා ලොකු අස්වැසිල්ලක් ලබති. උද්ඝෝෂණ විරෝධතා නොපවත්වා බුද්ධිමත්ව උපායශීලීව කටයුතු කිරීම නිසා පානදුර පොදු වෙළඳපොළේ කාලාන්තරයක් මුළුල්ලේ සිට පවත්වාගෙන ආ හරක් මස්කඩය අද වැසී ගොසිනි. එහි ගෞරවය නිතැතින්ම හිමිවිය යුත්තේ මේ සඳහා නායකත්වය දුන් දඹගස්ආරේ චන්ද්‍රසිරි හිමියන්ට හා නාකුළුගමුවේ චන්දිම හිමියන්ටය. මොනතරම් තර්ජන ගර්ජන තිබුණත් මස්කඬේට ටෙන්ඩරය දැමීමට ඉදිරිපත්වූ ඒ දායක මහතාටද ඒ ගෞරවය හිමිවේ.
පානදුර ගොරකපොල මේනක කවිංග මුතුන්ත‍්‍රි මහතාට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තුතිය.