බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහි කළුතර - මතුගම බස් පාරේ 10 වැනි සැතපුම් කණුව අසල වෙල්යායෙන් වට වූ රමණීය භූමියක පාන්තිය විහාරය පිහිටා තිබේ. මෙය අවුරුදු 180 ක් පමණ පැරණි විහාරයකි. අතීතයේ ‘පූජාගොඩැල්ල’ නමින් මේ පින් බිම ප්‍රකටව පැවතිණි.
මෙහි මුල් ආරම්භය කරන ලද්දේ බෙන්තොට ගලපාත රජමහා විහාරාධිපතිව වැඩ විසූ බෝධිමළුවේ පරිශුද්ධ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය වල්පොළ ගුණරතනාභිධාන මහා ස්ථවිරපාදයන් වහන්සේ විසිනි. පාන්තිය මහා විහාරය පිළිබඳ තොරතුරු සොයා යාමේ දී පාන්තිය සඟ පරපුර පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ. දැනට පවතින ලිඛිත හා ජනප්‍රවාද අනුව බෙන්තර වනවාස විහාරයෙහි වැඩ සිටි වල්පල ගුණරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ දායකයන්ගේ ආරාධනා මත වර්තමාන පුරාණ විහාරස්ථානය පවතින භුමියෙහි පන්සල ක්‍රි.ව. 1778 වසරේ ආරම්භ කර තිබේ. එකල ශ්‍රී ලංකා ධරණි පාලකයා වූයේ රාජධිරාජසිංහ රජතුමාය. මෙම තොරතුරු අනුව මතුගම ප්‍රදේශයේ ඇති පැරණිතම විහාරස්ථානය පාන්තිය මහා විහාරය යි.
මුල දී සියම් මහා නිකායෙහි මල්වතු පාර්ශ්වයට අයත්ව තිබුණු මෙම විහාරස්ථානය පහතරට උපසම්පදා කර්ම ඇති කිරීම සඳහා කල්‍යාණි සංඝ සභාව පිහිටුවීමෙන් පසු එම සභාවට අයත් විහාරස්ථානයක් බවට පත් වී තිබේ. පාන්තිය මහා විහාරයෙහි දීප්තිමත් යුගය ආරම්භ වන්නේ 20 වැනි සියවසේ දී ය. එහි පුරෝගාමියා දියගම සාරානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් දර්ශනීය විහාර මන්දිරය, ආවාස ගෘහය, සීවලී දාන ශාලාව, වලාකුළු ප්‍රාකාරය ආදිය ඉදිකර, අංගසම්පූර්ණ විහාරස්ථානයක් බවට මහා මංගල විහාරය පත් කිරීමේ ගෞරවය උන්වහන්සේ සතුය.
මෙම විහාරය මහත් ප්‍රසිද්ධත්වයට පත්ව ඇත්තේ සාර්ලිස් මහතා විසින් නිර්මාණය කරන ලද සිතුවම් හා මූර්ති නිසාවෙනි. ශ්‍රී මහාමංගල විහාරය ලෙසට නම් දරා ඇත්තේ ද සුවිශේෂී වූ කරුණක් හේතුකොට ගෙනය. ඇම්. සාර්ලිස් මහතා විසින් නිමවුණ මෙම කලාගාරයේ ඇඳි සිතුවම් අතරින් මහා මංගල සූත‍්‍ර දේශනාවේ ඇතුළත් මංගල කරුණු 38 සිතුවමට නගා ඇති බැවින් මෙම විහාරය ශ්‍රී මහා මංගල විහාරය ලෙස නම් ලද්දේය.
මෙරට බෞද්ධ චිත්‍ර කලාවේ සුවිශේෂී සංධිස්ථානයන් ලකුණු කළ අද්විතීය පුද්ගලයකු ලෙස ඇම්. සාර්ලිස් හැඳින්විය හැකිය. එකල බෞද්ධ නිවෙස් අලංකාර වූ බද්ධ පර්යංකයෙන් වැඩ සිට උකුළ මත පාත්තරය ඇති සීවලී මහරහතන් වහන්සේ, සූවිසි විවරණය, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, යමාමහා පෙළහර, කේශ විච්ඡේදනය, දේවාරාධනාව, සුජාතා සිටු දියණියගේ කිරි පිඩු දානය වැනි වෛවර්ණ චිත්‍ර හැඩවූයේ ඔහුගේ සුරතිනි.
මාලිගාවගේ සාර්ලිස් 1880 ජුනි මස 25 වැනි දින අම්බලන්ගොඩ ආඳාදොළ ග‍්‍රාමයේ උපත ලැබීය. ඔහුගේ පියා වූ මාලිගාවගේ නන්දෝරිස් දෛවඥයකු විය. සාර්ලිස් දරුවා කුඩා කල සිටම පියාගේ නක්ෂත‍්‍ර ශාස්ත‍්‍රයට වඩා කලා කටයුතුවලට රුචිකමක් දැක්විය. ගමේ පන්සලේ වැඩ විසූ පඬි රුවනක් වූ වැලිතර ඥාණතිලක හිමිගෙන් මූලික අධ්‍යාපනය ලබන සාර්ලිස් දරුවා පාලි, සිංහල, සංස්කෘත භාෂාවන්ද උන්වහන්සේ යටතේ හදාරනු ලැබුවේය. සමහර ලේඛකයන් මෙම හිමිනම වැලිතර සරණංකර හිමි ලෙස දක්වා ඇත. සාර්ලිස් මාස්ටර් වැඩිදුර අධ්‍යාපනය සඳහා මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙන වෙත යවන ලදී. මෙය ඔහුගේ ජීවිතය වෙනස් කළ හැරවුම් ලක්ෂ්‍යය විය. මෙහිදී පෙරදිග භාෂා පිළිබඳව පුළුල් ඉගැනීමක් කිරීමට ඔහුට අවස්ථාව ලැබුණි. එපමණක් නොව චිත‍්‍ර කලාව හා මූර්ති කලාව ඉගැනීමට ද අවස්ථාව ලැබුණේද මෙම පිරිවෙනේ අධ්‍යාපන කටයුතු කරන විටය. සාර්ලිස් මාස්ටර් 20 වැනි සියවසේ මුල්ම භාගය වන විට සාර්ථකම වාණිජ චිත‍්‍ර ශිල්පියා බවට පත්ව සිටියේය. එම සාර්ථකත්වයට තරුණ වියේදීම එකල ලංකාවේ වැඩි අලෙවියක් තිබූ බෞද්ධ චිත‍්‍ර ඔහු අතින් නිම වීම, ප‍්‍රධාන පුවත්පත්වල චිත‍්‍ර ශිල්පියා වීම ආදී විවිධ කරුණු හේතු විය.
සාර්ලිස් සිත්තරා විසින් කොළඹ මෙන්ම පිට පළාත්වල ප්‍රධාන පෙළේ විහාරස්‌ථාන රැසක් හැඩගන්වන ලදි. එසේ එතුමා සිතුවම් හා මුර්ති කරන ලද වෙහෙර විහාර අතර අනුරාධපුරේ උඩමළුවේ බෝධිඝර විහාරය, තිඹිරිගස්‌යායේ අශෝකාරාමය, දෙමටගොඩ වේලුවන විහාරය, ඉසිපතනාරාමය, මාලිගාකන්ද විහාරය, තම්මිට බෝධිමළු විහාරය, යාලේගම විහාරය, මහනුවර කටුකැලේ විහාරය මේ අතර වෙසෙසින් සඳහන් කළ යුතු වෙහෙර විහාර වේ. මාතර වෙහෙරහේනේ අසූඅට රියන් බුදු පිළිමය ද සාර්ලිස් සිත්තරා අතින් ඉදිවූ දැවැන්ත නිර්මාණයකි.
සාර්ලිස් මහතා කොළඹ යුගයේ චිත්‍ර ශිල්පියකු වන අතර එකල පැවති විදේශීය බලපෑම මැඩගෙන අධිරාජ්‍යවාදී සිතුවම් සම්ප්‍රදාය අනුගමනය කරමින් දේශීය හා බෞද්ධාගමික සංකල්ප බෞද්ධ ප්‍රබෝධය උදෙසා පින්තාරු කිරීමට හා මූර්තිමත් කිරීමට කැප වූ ශිල්පියෙකි. ශ්‍රී මහා මංගල විහාරයේ සිතුවම් නිරීක්‍ෂණය කිරීමෙන්ම අපට ඔහුගේ සිතුවම් සහ මූර්ති කලාවේ කුසලතාව විදහා දැක්විය හැකිය. සාර්ලිස් මහතා අධිරාජ්‍යවාදී යුගයේ පැවති කතෝලිකකරණයෙන් බෞද්ධයන් මුදා බෞද්ධාගමික සංකල්ප ඔවුන් තුළට සිතුවම් හා මූර්ති තුළින් කාවැද්දවීමට ගත් ප්‍රයත්නයේ අතිවිශිෂ්ට ප්‍රතිඵලයක් ලෙසට ශ්‍රී මහා මංගල විහාරය හඳුන්වා දිය හැකිය.
විහාරයේ ඇති සිතුවම් ශාස්ත‍්‍රාලීය යථාර්ථවාදයේ පුරුෂාර්ථයන් මූලික කර ගෙන ඇත. සිතුවම් ස්වාභාවිකත්වය ඉස්මතු වන ආකාරයට ත්‍රිමාණ ලක්‍ෂණ මතුකරමින් සිතුවම් කිරීමට ඇම්. සාර්ලිස් මහතා සමත් වී ඇත. විහාරය තුළ විධිමත් සංරචනයක් ඔස්සේ සිතුවම් හා මූර්ති නිර්මාණය කර ඇති බව දැකගත හැකිය. වර්ණ භාවිතයෙන් සිතුවම්වල පර්යාවලෝකනය සහ එළිය අඳුර දැක්වීමෙන් විහාරයේ සිතුවම් සැදැහැවතුන්ගේ සිත්ඇදගන්නා ආකාරයට නිර්මාණය කිරීමට සමත් වී ඇත. සිතුවම් එකිනෙකට වෙන් කිරීම සඳහා රේඛා භාවිතකර නොමැත.
වර්ණවල ප්‍රභේද භාවිත කරමින් හා වර්ණ සියුම් ලෙස භාවිත කරමින් සිතුවම්වල ගැඹුර පෙන්වා ඇත. පිටරටින් ආනයනය කරන ලද වර්ණක භාවිත කරමින් දීප්තිමත් වර්ණ සාදා සිතුවම් කර ඇත.
ගතික හා රිද්මික ලෙසින් ගොඩනැගෙන අත්‍යලංකාර විසිතුරු හැඩතල අඩංගු රජ මැදුරු, ඇඳුම් ආයිත්තම්, කුලුනු, මල්බඳුන් ආදී බොහෝ පසුබිම් සපිරි චිත්‍ර තුළින් මෝගල් චිත්‍ර සම්ප්‍රදායේ රජ මැදුර සිහි ගන්වනු ලබයි. යුරෝපයේ “රෙක්කෝ“ චිත්‍ර සම්ප්‍රදායේ පෙනෙන විසිරුණු ආලෝක තත්වය ඇම්. සාර්ලිස් මහතා ද මෙම සිතුවම් තුළට ආරෝපණය කර ගෙන ඇත. සිතුවම්වල පසුබිම්වල නිර්මිත තුරුලතා, සත්ත්ව රූප හා ඒවා ගොඩනඟා ඇති ආකාරය දුටු විට ශිල්පියා සතු භූමි දර්ශන ගොඩනැඟීමේ හැකියාව මනාව පැහැදිලි වේ. ඉතා ප්‍රසන්න ලෙස වර්ණ සාදමින් ඒවා උචිත ලෙස චිත්‍රයට එකතුකර ගනිමින් වර්ණවල විවිධ වර්ණ ප්‍රභේද භාවිත කරමින් සියලුම සිතුවම් සිත්ඇදගන්නාසුලු ආකාරයට ගොඩනැඟීමට සමත් වී ඇත. මෙම ශිල්පියා සිතුවම්කරණයේ දී හා මූර්තිකරණයේ දී නිමාව වෙනුවෙන් විශාල ලෙස කැප වී ඇති බව පෙනෙන්නේ කිසිම ස්ථානයක අඩු ලුහුඬු ඉතිරිකර නොමැති නිසාය.
සාර්ලිස් මහතා සිතුවම් නිර්මාණය කිරීම සඳහා සිතුවම් තලය සාදා ගැනීමේ දී බිත්තිවල ආධාරකය වශයෙන් ගඩොල් යොදාගෙන ඇත. බිත්තිවල කුස්තුර පිරවීම සඳහා හුණු බදාම යොදාගෙන ඇති අතර සිවිලිමෙහි ආධාරකය වශයෙන් ලෑලි යොදාගෙන ඇත. මෙම විහාරයේ බදාම ස්ථරය වශයෙන් සාර්ලිස් මහතා යොදාගෙන ඇත්තේ හුණු බදාම වේ. බදාම ස්ථරයේ ඝනකම 2.5 CM පමණ වේ. වර්ණ ලබන ස්ථරය වශයෙන් හුණු යොදාගෙන ඒ මත අල්ලියාදු ස්ථරයක් ආලේප කර ඇත. එහි ඝනකම 2 mm පමණ වේ. වර්ණ ස්ථරය 1 mm පමණ වේ. මෙය වියළි බදාමය මත තෙල් සායමින් වර්ණ ගන්වා ඇත. වර්ණ ස්ථරය ලෙස දොරණ තෙල් සමඟ කුඩු සායම් භාවිත කර පින්සල් ආධාරයෙන් සිතුවම් කර ඇත. වර්ණ කිරීමෙන් අනතුරුව සිතුවම්වලට ආරක්‍ෂක ආලේපයක් ආලේප කර ඇත.
ශ්‍රී මහා මංගල විහාරයේ සිතුවම් තේමාවන් හඳුනාගැනීමේ දී ඒවා ප්‍රධාන සංරචන තුනක් ඔස්සේ සිදු කොට ඇත. එකක් වන්නේ මහා සංරචනයයි. සිදුහත් චරිතයේ කථා, සිදුහත් යශෝදරා රාජකීය සරණ මංගල්‍යය, උයන් කෙළි පිණිස යන සඳ සතර පෙර නිමිති දැකීම, මහාභිනික්මන පිණිස මහල් තල වැද රහල් පුතු දැකීම, රජ සිරි හැර පියා මාලිගයෙන් නික්මීම හා වසවත් මරහුගේ බාධාව, අනෝමා ගඟින් එතෙර වීමේ සිතුවම, සත් සතිය, දිව්‍ය ලෝක හය මහ සංරචනයට අයත් වේ. තීරු සංරචන අනෙක් කොටස වන අතර එයට මහා මංගල සූත්‍රය ඇතුළත් වේ. සැරසිලි මෝස්තර සංරචනය සඳහා නෙළුම් මල් මෝස්තර, පංචනාරි ඝටය සහිත ලියවැල් මෝස්තර, විවිධ මල් සහිත සැරසිලි මෝස්තර, ලියවැල් මෝස්තර, වියන් සැරසිලි මෝස්තර අයත් වේ.
(***)
ශෂිකා අබේරත්න
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි