කර්මාන්ත හා බේකරිවල අවශ්‍යතා සඳහා පාම් ඔයිල් ගෙන්වීම කෝටා ක්‍රමයට සිදුකරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ් කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. පාම් ඔයිල් ආනයනය හා කටුපොල් වගාව වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා නියෝග කළේය. එමෙන්ම දැනට ආනයනය කර ඇති පාම් ඔයිල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ජනාධිපතිවරයා උපදෙස් දුන් බවද මාධ්‍ය වාර්තාවන්හි සඳහන්ය.
පාම් ඔයිල් ආනයනය නතර කිරීම හා කටුපොල් වගාව තහනම් කිරීම පරිසර හිතකාමී තීන්දුවකි. එහෙත් එම තීන්දුවෙන් අතුරු ප්‍රශ්න රැසක් නිර්මාණය වන බවට චෝදනාවකි. විශේෂයෙන්ම පාම් ඔයිල් ආනයනය නතර කිරීම බේකරි නිෂ්පාදනවලට සෘජුවම බලපාන්නකි. එම බලපෑම කෙතෙක් සැහැසිද යත් බේකරි නිෂ්පාදන නැත්තටම නැතිවන තත්ත්වයක් උදාවිය හැකි බවට එම කේෂ්ත්‍රයේ නිෂ්පාදකයෝ පෙන්වා දෙති. ඔවුන් පවසන්නේ පාම් ඔයිල් ආනයන තහනම ඉවත් නොකළොත් අලුත් අවුරුදු සමයෙන් පසුව බේකරි සියල්ලම වසා දැමීමට සිදුවනු ඇති බවය.
බේකරි නිෂ්පාදනවලට භාවිත කරන ප්‍රධාන අමුද්‍රව්‍ය හතරෙන් එකක් වනුයේ මාගරින්ය. එම මාගරින් නිෂ්පාදනය කිරීමට පාම් ඔයිල් අත්‍යවශ්‍ය වේ. බේකරි නිෂ්පාදකයන් පෙන්වා දෙන්නේ පාම් තෙල් ආනයනය තහනම් කිරීමත් සමග මාගරින් නිෂ්පාදනය මුළුමනින්ම ඇණහිට තිබෙන බවත් එම හේතුව නිසා බේකරි නිෂ්පාදන බිස්කට් නිෂ්පාදන ඇතුළු බොහෝ නිෂ්පාදන නවතා දැමීමට සිදුවන බවත්ය. එමෙන්ම සබන්, ඉටිපන්දම් වැනි ද්‍රව්‍ය සඳහා ද පාම් ඔයිල් භාවිතයට ගනු ලබයි.
පාම් ඔයිල් ආනයනය නතර කිරීම බොහෝ අතුරු ප්‍රශ්න රැසකට හේතුවක් බව ඉතා පැහැදිලිය. පාම් ඔයිල් සඳහා විකල්පයක් නොමැති තත්ත්වයක් තුළ බේකරි නිෂ්පාදකයන් මුහුණ දෙන දුෂ්කරතාවද වටහා ගැනීම අසීරු නැත. විශේෂයෙන්ම බේකරි නිෂ්පාදන ආශ්‍රිතව ලක්ෂ ගණනක් ජනතාව ජීවත් වෙති. එම ජනතාව රටට, ආර්ථිකයට බරක් නොවී ජීවත්වන්නෝ වෙති. ඔවුහු එක් අතකින් රටේ ආර්ථිකයට දායක වෙති. ඔවුන්ගේම උත්සාහයෙන් දියුණු වෙති.
මෙබඳු ක්ෂේත්‍ර දිරිමත් කළ යුතුය. හැකිතාක් අවස්ථා හා සහන සලසා දිය යුතුය. ආණ්ඩුවේ රැකියා සොයමින් උද්ඝෝෂණ කරන පිරිස්, අරගල කරන පිරිස් මේ ක්ෂේත්‍රවලට යොමු කළ යුතුය. ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛ රටක් වීමේ හැකියාවද අප රට සතුය. එහෙත් ඒ සම්බන්ධයෙන් අපගේ අවධානයක් යොමුවී නැත.
පාම් ඔයිල් ආනයනය තහනම් කිරීමට අදාළ තීරණය මේ සියල්ල සමග තදින් ගැට ගැසී තිබේ. වෙළඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ කර්මාන්ත හා බේකරි අවශ්‍යතා සඳහා පාම් ඔයිල් ගෙන්වීම කෝටා ක්‍රමයට ගෙන්වන බවය. ඒ සඳහා බේකරි නිෂ්පාදකයන් ලියාපදිංචි විය යුතුය. මෙම ක්‍රමවේදය මෙතෙක් නොතිබි අවුලක් ඇති කිරීමකි. රාජ්‍ය සේවයේ බොහෝ අංශවලින් විදහා දැක්වෙන ආකර්යක්ෂමතාව හමුවේ මෙබඳු තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට යාම එක් අතකින් බරපතළ පීඩාකාරී හා වේදනා බරිත අත්දැකීමක් වනු ඇත.
බේකරි නිෂ්පාදකයන් පවසන්නේ දිනකට පාම් තෙල් මෙට්‍රික් ටොන් පන්සිය පනහක් පමණ භාවිත වන බවත් එම ප්‍රමාණයෙන් හතරෙන් එකක් බේකරි නිෂ්පාදන සඳහා භාවිත කරන බවයි. මෙම පාම් තෙල් වලට විකල්පයක් ලෙස පොල්තෙල් හඳුන්වා දුන්නද බේකරි නිෂ්පාදන කටයුතුවලදී එය කළ නොහැකි බවත් බේකරි නිෂ්පාදකයෝ පෙන්වා දෙති.
කහ ආනයනය කිරීම තහනම් කිරීමත් සමග රට තුළ නිර්මාණය වූ තත්ත්වය අමතක නොකළ යුතුය. ‘කහ නොකෑවා කියා මිනිසුන් මිය යන්නේ නැතැයි’’ ඇමතිවරුන් ප්‍රකාශ කළද කහ අස්වැන්න වෙළඳපොළට පැමිණෙනතුරු කහ නොමැතිව ජනයා අසහනයෙන් කල් ගෙවූහ. තීන්දු තීරණ ගත යුත්තේ තුන් කල් දක්නා ඉසිවර නුවණිනි.
යම් ප්‍රශ්නයක් විසඳිය යුත්තේ ඒ විසඳුම හරහා වෙනත් ප්‍රශ්නයක් පැන නොනගින අයුරිනි. එකක් කඩතොළු වසා ගැනීමට ගොස් දෙකක් කඩතොළු හදාගත් ඉඳුරුවේ ආචාරියා සිහිපත් කෙරෙන ආකාරයට ප්‍රශ්න විසඳීම උචිත නැත. එහෙයින් මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ අවධානය ක්ෂණිකව නියත වශයෙන්ම යොමු විය යුතුය.
(***)