පාෂාණ පබ්බතයට සංහිඳියා බෝධියක්


(අජිත්ලාල් ශාන්තඋදය)

බෞද්ධ,හින්දු,කතෝලික සහ ඉස්ලාම් ආගමිකයන් සියලූ දෙනාට වන්දනා මාන කළ හැකි පරිදි නැගෙනහිර පළාතේ ඊච්චලම්පත්තු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කල්ලඩියේ පිහිටි  පාෂාණ පබ්බත විහාරස්ථානයේ නව බෝධිය ‘සංහිඳියා බෝධිය‘ ලෙස නම්කර සංවර්ධනය කරන බව එම විහාරස්ථානයේ විහාරාධිපති වෛද්‍ය රත්නපුරේ දේවානන්ද හිමියෝ කියති.

යුද සමයේ දී එල්ටීටීඊ සංවිධානයේ ‘කොටිහඬ‘ ගුවන් විදුලියේ නැගෙනහිර සම්පේ‍්‍රෂණාගාරය පිහිටා තිබුණේ මෙම විහාරස්ථ භූමියේ ය. 2009 දී එහි පැමිණි දේවානන්ද හිමියෝ මුලින් ම කොටි සංවිධානය එම සම්පේ‍්‍රෂණ යන්ත‍්‍ර ගබඩාකර තිබූ කන්ටේනර් පෙට්ටිය සිය ආවාසය කරගෙන නැවතී මෙම පෞරාණික විහාරස්ථානය යළි බෞද්ධයන්ට වන්දනාමාන කිරිමට සලස්වා දුන්හ.

“මේ පාෂාණ පබ්බත ප‍්‍රදේශය කොටි සංවිධානයේ මහවිරු ගමක් ලෙසයි තිබුණේ. එකදු සිංහලයෙක් හෝ බෞද්ධයෙක් මෙහි නෑ. නාවික සහ යුද හමුදාවේ සහ පොලීසියේ ඉන්න සිංහල කෙනෙක් ඇරෙන්න වෙන සිංහල බෞද්ධයෙක් නෑ. වැඩිපුරම ඉන්නේ හින්දු සහ කතෝලික ජනතාව, ඉස්ලාම් භක්තිකයෝ කිහිප දෙනකුත් ඉන්නවා. ගමේ මේ ජනතාව මගෙන් බෙහෙත් ගන්න පන්සලට එනවා. මම කල්පනා කළා ඒ අයට ඒ ආගම්වල වැඳුම් පිදුම් කරන ස්ථානයක් විහාරස්ථානයේ තිබුණොත් ඒ අය පන්සල එක්ක තියන බැඳීම වැඩිවෙයි.“

“ඒ හින්දා සමාධි බුදු පිළිමයක් වටා අටවිසි බුදුපිළිම දෙක බැගින් බුදු පිළිම පනස් හයකුත්, හින්දු, කතරගම, විෂ්නු ගණදෙවි කුටි හතරකුත්  හින්දු, කතෝලික සහ ඉස්ලාම් ආගම්වලට කුටි තුනකුත් බෝධිය වටා ඉදිකරන්න තීරණය කළා. ඒකයි මේකට ‘සංහිඳියා  බෝධිය‘ කියලා නම් තිබ්බේ.“

“තථාගත බුදුරජාණන් වහන්සේ අන්‍ය ආගම් හෙළා දැක්කේ නෑ. ඒ ආගම්වලට ශාස්තෘන් වහන්සේලාට ගරු කළා. බුද්ධ පුත‍්‍රයන් වූ අපිත් ඒ මඟ යන්න  ඕනෑ. දැන් පොලොන්නරු සමයේ බුද්ධාගමට හින්දු ආගමෙන් ඇතිවූ බලපෑම නිසා පන්සල්වල දේවාල ඇති වුණා. දකුණේ මොන පන්සලේ ද දේවාලයක් නැත්තේ“ වෛද්‍ය රත්නපුරේ දේවානන්ද හිමියෝ කීහ.

“සිංහල බෞද්ධ ලේබල් ගහගත්තු සමහරු මගේ මේ ක‍්‍රියාව හෙළා දකින්න ඉඩ තියනවා.ශාක්‍ය කුලේ උපන් සිදුහත් කුමාරයා බුදුවෙලා බුදුදහම ශාක්‍යයන්ට පමණක් සීමා කළේ නෑ. ඒ වගේම බුදුදහම සිංහලයන්ට විතරක් විය යුතු නෑ. මේ නැගෙනහිර පළාතේ දෙමළ බෞද්ධයෝ හිටියා. විල්ගම්වෙහෙර හොඳ උදාහරණයක්. බෞද්ධ නායකයන් හැටියට අපි අන් ආගම්වලට ගරු කළ යුතුයි. අන්‍යආගමිකයන්ට අනුකම්පා කළ යුතුයි. ඔවුන් කොන් නොකළ යුතුයි. සැබෑ සංහිඳියාව කියන්නේ ඒක. ඒ තත්ත්වයන් නැතිවීම නිසයි පසුගිය කාලේ නැගෙනහිර පළාතේ විහාර කැඩුවේ , බෝධි කැපුවේ.“

“දැන් බලන්න කතරගම ඉඳලා සිතුල්පව්වට යන පාරේ කටගමුව, කොච්චිපතානේ තියන සත්‍ය ශ‍්‍රී කැලේ ගණපති දේවාලය. එතන දේවාලය ඇතුළේ බුදුපිළිමයක් තියලා තියනවා. බෞද්ධයොත් එතැනට ගිහිං වන්දනා කරනවා. සැබෑ සංහිඳියාව එතැන තියෙන්නේ. මෙතැන කරන්නෙත් ඒක තමා.“


“එකම බෞද්ධයෙක්වත් නැති මේ ප‍්‍රදේශයේ නාවික සහ යුද හමුදාවෙන් තමයි දානය ලැබෙන්නේ. කාලයක් හමුදාව ඉවත් කරලා තිබුණා. දානය වැරදුණ වාර අනන්තයි. ඒත් මේ බෞද්ධ උරුමයන් අපි දිවිහිමියෙන් රැක්කා. සිංහල බෞද්ධකම වැඩිපුර කතාකරන  ඕනෑම කෙනෙකුට පුළුවන්නම් කාත් කවුරුවත් නැතිව මේ පන්සලේ සති දෙකක ඉඳලා ආගමික වැඩටික කරලා බලන්න කියලා කියනවා. මම බොහොම අමාරුවෙන් මේ ප‍්‍රදේශයේ දෙමළ ජනතාව දිනාගත්තේ. දෙමළ ජනතාව හරිම හොඳයි. ඔය පටු අරමුණු ඇති දෙමළ දේශපාලනඥයෝ කරන උසිගැන්වීම් නිසයි සමහර ගැටුම් ඇති වෙන්නේ. ඒවා නැතිකරන්න මේ වගේ ක‍්‍රම පන්සල්වල ක‍්‍රියාත්මක විය යුතුයි.“


නැගෙනහිර බෞද්ධ උරුමයන් රකින්න රජයේ සහ වෙනත් ප‍්‍රදේශවල ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බව අවධාරණය කළ දේවානන්ද හිමියෝ මෙම ‘සංහිඳියා බෝධිය‘ ගොඩනැගීමට ද සහාය වන්නැයි ආයාචනා කර සිටිති.