පාසල් ආපනශාලාවල පැණි බීම හා පාන් පිටි පරිභෝජනය තහනම් කර, සහල් පිටි භාවිතයෙන් සකසන ලද ආහාර භාවිතය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක් සැකසීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බැව් නොබෝදා අප පුවත්පත වාර්තා කළේය.
පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කිරීම අතින් ගත් කල්හි මෙය වඩාත් යහපත් පියවරක් වේ. මෙරට ජනගහනයෙන් මේ වන විට සියයට 12ක පමණ ප්‍රතිශතයක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව වාර්තා වන අතර, 2013 දී කරන ලද සමීක්ෂණයකින් මෙරට අවුරුදු 20ට අඩු අයගෙන් සියයට 8.5ක් දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති බව වාර්තා විය. විශේෂයෙන් පාසල් දරුවන් අතර දියවැඩියා රෝගයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතින බව ද වාර්තාවල දැක්වෙයි.
දරුවන් දියවැඩියා රෝගයට ගොදුරු වීම වළක්වා ගැනීම උදෙසා ඔවුන් සෞඛ්‍ය සම්පන්න ආහාරවලට හුරු කිරීම වඩාත් වැදගත් වෙයි. පාසල් දරුවන් පැණි රස ආහාරවලට හා ක්ෂණික ආහාරවලට පමණට වඩා හුරු වීම ඔවුන් අතර දියවැඩියා රෝගයට ගොදුරුවූවන්ගේ සංඛ්‍යාව වැඩි වීමට බලපාන බව ද වාර්තා වී තිබිණි. නාගරීකරණය නිසා මෙරට ජනයාගේ පරිභෝජන රටාව වෙනසකට ලක් වීම මෙම තත්ත්වයට හේතු වී ඇත. සාමාන්‍යයෙන් දියවැඩියාව නැති පුද්ගලයකුට දිනකට පරිභෝජනය කිරීමට නිර්දේශ කරන සීනි ප්‍රමාණය ග්‍රෑම් 25ක් හෙවත් තේ හැඳි 6කි.
මෙම ප්‍රමාණය ඍජුව සහ වක්‍රව පරිභෝජනය කළ යුතු දෛනික සීනි ප්‍රමාණයයි. සාමාන්‍ය ශ්‍රී ලාංකිකයකු දිනකට සීනි ග්‍රෑම් තිස් හයක් පමණ මේ වන විට පරිභෝජනය කරන බව සමීක්ෂණ ඔස්සේ පෙනී ගොස් තිබේ. මෙකී පරිභෝජන රටාවකට හුරු වූ පවුල් පසුබිමකින් එන පාසල් සිසුවා පාසලේදී සීනි බහුලව අඩංගු ආහාර පරිභෝජනය කිරීම නිසා ඉහත කී දෛනික සීනි පරිභෝජන ප්‍රමාණය තවත් ඉහළ යයි. මෙම තත්ත්වය දරුවාගේ සෞඛ්‍ය මට්ටම පහළ දැමීමට බෙහෙවින් බලපෑම් කරනු නියතය.
අධ්‍යාපනයේ පවතින තරගකාරීත්වය හමුවේ දරුවාට ස්වාභාවිකව ශාරීරික ව්‍යායාම ලබා දෙන සෙල්ලම් කිරීමේ කාලය ද මේ වන විට අඩු වී තිබේ. ළඟපාත පිහිටි පාසල්වලට පවා දරුවන් වාහනවල නොයවා පයින් යවන දෙමවුපියන් දැන් නැත. ශිෂ්‍යත්ව විභාගයට සූදානම් කරන කාලයේ පටන් උසස් පෙළ දක්වා අමතර පන්ති හේතුවෙන් දරුවන් සෙල්ලම් කරන කාලය අතිශයින් සීමා වී තිබේ. දරුවාට ලැබෙන ව්‍යායාම අඩු වීම ද ඔවුන් දියවැඩියා රෝගය කරා යොමු වීමේ අවදානම් තත්ත්වයකි.
මෙවැනි තත්ත්වයක පසු වෙන ශ්‍රී ලාංකික දරුවා පරිභෝජනය කරන සීනි ප්‍රමාණය අවම කිරීම ගැන සැලකිලිමත් වීම වඩාත් හොඳ ක්‍රියාවකි.
දරුවන් මහත් ළැදියාවෙන් ආහාරයට ගන්නා මාළු පාන් ආදී කෙටි කෑම නිපදවන්නේ තිරිඟු පිටි මූලික කරගෙනයි. තිරිඟු පිටි වඩාත් ඉක්මනින් සිරුර තුළදී ග්ලූකෝස් බවට පරිවර්තනය වන ආහාර වර්ගයකි.
නිවසේදී දරුවාට ආහාර පිළියෙල කිරීමට තරම් විවේකයක් නැති කාර්යබහුල නාගරික වැඩිහිටියා කරනුයේ පාසල් කැන්ටිමෙන් කෑම මිලදීගන්නට දරුවාගේ අතට මුදල් දීමය. එවිට දරුවා වඩාත් අභිරුචියෙන් මිලදීගෙන අහිතකර ආහාර අනුභව කරයි.
මෙවැනි සමාජ පසුබිමකින් පාසලට පැමිණෙන දරුවාට අහිතකර වූ පැණි බීම සහ පිටි ආහාර පාසල් භෝජනාගාරයේ අලෙවි නොකිරීමට පියවර ගැනීම වඩාත් හොඳ තීරණයකි.
අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ මෙම පුවතේ සඳහන් වන්නේ, දැනට බහුලව සිදු කෙරෙන පාන් පිටි භාවිතය අඩු කොට සහල් පිටි භාවිතය සුලබ කිරීම සඳහා මෙම පියවර ගත් බවකි. සහල් පිටි භාවිතය වැඩි කිරීමේ අරමුණෙන් මෙම තීරණය ගෙන ඇත්තේ නම්, ඒ දෙස බැලිය යුත්තේ වඩාත් විචාරාත්මකවය. මෙරට රජයේ පාසල් ඇත්තේ 10,155කට ආසන්න සංඛ්‍යාවකි. ඒවායේ කැන්ටින් නැතහොත් භෝජනාගාර ඇත්තේ ඊටත් අඩු සංඛ්‍යාවකි. ඒවායේ පාන් පිටි ආහාර වෙනුවට සහල් පිටි ආහාර අලෙවි කොට මෙකී අරමුණට යෑම උගහටය.
තිරිඟු පිටි පරිභෝජනය අතින් ශ්‍රී ලංකාව තුළ පසුගිය වසර දෙක තුළ සිදු වී ඇත්තේ වැඩි වීමක් නොව අඩු වීමකි. 2020 සිට 2021 දක්වා ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි පරිභෝජනය සියයට9.62කින් අඩු වූ අතර, 2021 සිට 2022 දක්වා තිරිඟු පිටි පරිභෝජනය සියයට2.13කින් අඩු වී තිබේ. (තිරිඟු පිටි මිල ඉහළ යාම ඊට හේතු වූ බව සිතාගත හැකිය.)
පසුගිය දිනවල වාර්තා වූ ආකාරයට මෙරට ජනයාගෙන් සියයට තිස් හයකට වඩා වැඩි ප්‍රතිශතයක් වේල් මග හරිති. සියයට 50කට වඩා වැඩි ජන සංඛ්‍යාවක් නිසි පෝෂණයෙන් යුතු ආහාර අනුභව කරන්නේ නැත. මෙරට ජනයාට සහල් පිටි කර අනුභව කර වීම කෙසේ වෙතත් සහල් නිෂ්පාදනය වැඩි කොට සහල් මිල අඩු කිරීම උදෙසා වැඩපිළිවෙළක් සැකසීම කළ යුතු වේ. සහල් පිටි අනුභව කිරීමට ජනයා පෙළඹ විය යුත්තේ අවශ්‍ය අතිරික්ත නිෂ්පාදනය වූ පසුවයි.
(***)