මුළු රටේම ඇස් ඇරවන නඩු තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉකුත්දා ප්‍රකාශයට පත් විය. 2019 වසරේ සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ලවන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීමෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන හා හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහත්වරුන් මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කිරීම එම සුවිශේෂී නඩු තීන්දුව වේ.
මෙම සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඉතා බරපතළ ලෙස මේ රටේ අනාගතයට වාසිදායක ලෙස බලපායි. විශේෂයෙන්ම මේ රටේ දේශපාලනය ඉතා බරපතළ ලෙස පිරිහී තිබේ. එය කිසි ලෙසකින් හෝ බඩ රස්සාවකින් වෙනස් නොවන්නකි. එහි එකම පරමාර්ථය බලය පමණි. බලය ලබාගැනීමට හා ලබාගත් බලය සදාකාලික කර ගැනීම එකම පරමාර්ථය වේ.
පාලකයා යනු දේශයේ බාරකරුවා මිස අයිතිකරුවා නොවේ. තම රටේ වැසියන් සෑම ආකාරයකම උපද්‍රවයකින් බේරාගනිමින් ඔවුන්ට මනුෂ්‍ය ගරුත්වය රැකගෙන ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරදීම පාලකයාගේ වගකීමය. දේශපාලනයට පිවිසෙන්නා තුළ තමන්ට එම වගකීම ඉටු කළ හැකි බවට විශ්වාසයක් තිබිය යුතුය. එබඳු විශ්වාසයක් නොවන්නේ නම් දේශපාලනයට නොපිවිසීමට ඔහු වගබලා ගත යුතුය.
දේශපාලකයන්ට පමණක් නොව රාජ්‍ය නිලධාරීන්ටද මෙම ධර්මතාව එකසේ බලපායි. ආරක්ෂක ලේකම් ධුරය, පොලිස්පති ධුරය, රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂ ධුරය, ජාතික බුද්ධි ප්‍රධානී ධුරය යන මේ රටේ ආරක්ෂාව සමග තදින්ම ගැටගැසී ඇති තනතුරු වේ. මෙයින් ආරක්ෂක ලේකම් ධුරය හැර අනෙකුත් ධුර නියමිත සුදුසුකම් සපුරා පොලිස් දෙපාර්තමේන්තුවට එක්වී පියවරෙන් පියවර උසස්වීම් ලැබීමෙන් හිමිකර ගන්නා ධුර වේ.
පොලිස් දෙපාර්තමේන්තුව තුළ උසස්වීම් ලබාගන්නා ක්‍රම ගණනාවකි. එක් ක්‍රමයක් වන්නේ වගකීමෙන් රාජකාරි ඉටුකර තමන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කර ලබා ගන්නා උසස්වීම් වේ. තවත් ක්‍රමයක් වන්නේ වාර්ෂික උසස්වීම් පටිපාටියට යටත්ව ලැබෙන උසස්වීම් වේ. ඊළඟ ක්‍රමය වන්නේ දේශපාලන නිර්දේශ මත ලබා ගන්නා උසස්වීම් වේ. වඩාත් භයානක වන්නේත් ජනතාව මෙන්ම පොදුවේ රටට අහිතකර වන්නේත් දේශපාලන බත්බැලකමට ලබා ගන්නා උසස්වීම්ය.
පාස්කු ඉරුදින ප්‍රහාරය යනු මේ සියල්ලෙහිම සංකලනයකි. ප්‍රහාරයට මාස ගණනකට පෙර සිටම විදේශීය බුද්ධි සේවාවක් මෙම ප්‍රහාරය සම්බන්ධ සියලු තොරතුරු මෙරට බුද්ධි අංශවලට එවා තිබිණ. ප්‍රහාරය එල්ල කරන දිනය, වේලාව, ස්ථාන, ප්‍රහාරකයන්ගේ නම් ගම් පදිංචි ස්ථාන, යන එන වාහනවල අංක, සහභාගි වන ප්‍රහාරකයන්ගේ සංඛ්‍යාව ආදී වශයෙන් සියලු තොරතුරු එම වාර්තාවේ අඩංගුය. එබඳු අංගසම්පූර්ණ බුද්ධි අංශ වාර්තාවක් සකස් කළ නිලධාරීන්ට එකපිට එක උසස්වීම් ලබාදිය යුතු තරම්ය.
එහෙත් කල් ඇතුව ලැබුණු බුද්ධි අංශ වාර්තාව සම්බන්ධයෙන් වගකීම් සහගත ලෙස ක්‍රියාත්මක නොවීමේ තාර්කික ප්‍රතිඵලය ලෙස රුධිර පිපාසිත ප්‍රහාරකයන්ගේ අරමුණ බාධා විරහිතව ඉටු කර ගත හැකි විය. එම ප්‍රහාරයෙන් දෙස් විදෙස් ජනයා තුන් සියයකට වැඩි පිරිසක් මියගිය අතර පන්සියයකට වැඩි පිරිසක් සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වූහ. මෙම තුච්ඡ උමතු ප්‍රහාරය මුළු මහත් මානව ඉතිහාසයටම එක් කළේ ගැඹුරු කළු පැල්ලමකි.
පාස්කු ප්‍රහාරයෙන් පසු චූදිතයෝ එක එක කතා කීහ. ‘‘මම මොනවත්ම දන්නේ නෑ.’’ ජනාධිපතිවරයා කීවේය. ‘ගහන බව දැනගෙන හිටියා ඒත් මෙහෙම ගහයි කියාල හිතුවෙ නෑ’ යනුවෙන් ප්‍රකාශ කළේ එවකට සිටි ආරක්ෂක ලේකම්වරයාය. පොලිස්පතිවරයා කියාසිටියේ තමාට ලැබුණු තොරතුරු අදාළ අංශවලට ලබාදුන් බවය. එහෙත් වගකීම් විරහිත ක්‍රියා කලාපය නිසා අකාලයේ ජීවිතයෙන් සමුගැනීමට සිදුවූ ජනයාට, සදාකාලික ආබාධිත භාවයට පත් ජනයාට සාධාරණය ඉටු නොවේ. සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අතිශයින්ම වැදගත් වන්නේ එහෙයිනි.
සියලු දේශපාලකයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ආදී සියලුම දෙනා මෙම නඩු තීන්දුව වණපොත් කළ යුතුය. පැවරුණු වගකීමක් ඉටු කරන්නේ කෙසේද යන්න මෙම නඩු තීන්දුවෙන් ඉතාම මැනවින් පැහැදිලි වේ. මෙම නඩු තීන්දුව මින් ඉදිරියට මෙරට ජනයාගේ ජීවිත සුරක්ෂිත කරන බළකොටුවක් බවට පත්විය යුතුය.
(***)