පාස්කු ප්‍රහාර කතිකාව නැවත කරළියට ආවේ බ්‍රිතාන්‍ය රජයට අයත් චැනල් 4 රූපවාහිනි නාලිකාව විසින් ආන්දෝලනාත්මක වීඩියෝවක් නිකුත් කරනු ලැබීමෙන් පසුව ය. නිකුත් කර දිනකට පමණ පසුව මෙම ආයතනය විසින් ම අදාළ විඩියෝව පරිශීලනය කිරීම බ්‍රිතාන්‍යයට පමණක් සීමා කළේ එය තමන්ට වැරදුණු බව වහා තේරුම් ගිය නිසා වැනිය.
ඇතැම් විට මෙහි අරමුණ ම එය වන්නට ඇත. එනම් ක්ෂණිකව එය දර්ශනය කොට මේ පිළිබඳ සමාජ තිගැස්මක් ඇති කොට නැවත එය හකුලා ගැනීම ය. එක් අතකින් අදාළ වීඩියෝව එළිබැසීමට කලින් නාලිකාව විසින් කරන ලද ප්‍රචාරය හා බලන විට එහි ගතයුතු දෙයක් ඇත්තේ ම නැත. අනිත් අතින් වීඩියෝව දැඩි ලෙස පරස්පරයට ලක් කරන ප්‍රබල කරුණුමය සාධක ඒ වන විටත් නිකුත් වී තිබීම ය.
ඛේදනීය පාස්කු ප්‍රහාරය ගැන මාතෘකාවේ තිබුණ ද ඇත්ත වශයෙන් ම වීඩියෝවේ අඩුවෙන්ම තිබුණේද ඒ පිළිබඳව ය. එය ඛේදවාචකය දේශපාලනීකරණය කිරීමක් පමණි. අප පසුගිය වසර කීපය තුළ දුටු අන්තවාදී බෝම්බකරුවන්ගේ දර්ශන හා විපතට පත් වූ දේවස්ථාන මෙන්ම හඬන වැළපෙන දසුන් එහි තිබුණි. එහෙත් එම වීඩියෝ චිත්‍රපටය නිර්මාණය කිරීමේ දේශපාලන අරමුණක් හා ඊට කාවද්දන ලද ද්වේශයක් නම් ඉතා පැහැදිළිව එහි දක්නට ලැබිණ.
නිර්මාපකයන්ගේ සැලසුම හා අරමුණ වී තිබුණේ මෙවැන්නකි. එනම් ලංකාවේ සිට බ්‍රිතාන්‍යයේ සරණාගත වීසා සොයා ගිය අසාද් මවුලානා නම් පුද්ගලයකු යොදාගෙන ඔහුගේ ප්‍රකාශයක් හරහා පාස්කු ප්‍රහාරයේ සැලසුම පිළිබඳ වගකීම ලංකාවේ කීර්තිමත් බුද්ධි අංශ නිලධාරියකු වන වත්මන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සැලේ වෙත පැවරීම ය. ඒ හරහා එය රාජපක්ෂවරුන් මත පැටවීම ය. ඔවුන් වරද්දා ගත්තේ එතැන් සිට ය.
අංක එක, එනම් මෙම කියන මවුලානා නම් පුද්ගලයා මේ වන විට ලංකාවේ නැත. ඒ අනුව ඔහුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් ද ලංකාව සතුව නොපවතී. එවන් පුද්ගලයකු හරහා රූපවාහිනි නාලිකාවකට ඕනෑම දෙයක් කියාගත හැකි ය. මන්ද එසේ ක්‍රියා කිරීම ඔහුට බටහිර රටක සරණාගත වරප්‍රසාද ලබාගැනීම සඳහා කදිම අවස්ථාවකි. ඔහු විසින් දැන් කිවයුතු වන්නේ වීඩියෝවට කරුණු කීමෙන් පසු තමා ලංකාවට ගියහොත් අනිවාර්යයෙන්ම එහි දී අත්අඩංගුවට ගෙන වදයට බඳුන් කරන බවට බොරු කිරීමයි. ඒ අනුව, සරණාගතකරුගේ එම තත්ත්වය චැනල් 4 නාලිකාව මාර්ගයෙන් ලංකාවට එරෙහිව ක්‍රියා කිරීම සඳහා මෙහි දී මනාව යොදාගෙන ඇත.
දෙවැනි කරුණ නම් මෙම සරණාගතකරු විසින් කියන ලද කරුණුවල නිරවද්‍යතාව පිළිබඳ ප්‍රශ්නයයි. එය දැනටමත් පැහැදිලි ලෙස අභියෝගයට ලක්ව තිබේ. මේජර් ජෙනරාල් සැලේ මීට පෙර චැනල් 4 නාලිකාවට පවසා ඇත්තේ, එහි කියැවෙන ලෙස, තවුහිත් ජමාත් සංවිධානයේ මොහොමඩ් හෂීම් මොහොමඩ් සහරාන් ඇතුළු සාමාජිකයන් 6 දෙනෙකු පුත්තලම ප්‍රදේශයේ දී තමා හමු වූ බව කියන 2018 වසරේ පෙබරවාරියේ තමා සිටියේ මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කවුන්සලවරයකු ලෙස සේවය කරමින් බව ය.
එකල ලංකාවේ මැලේසියා තානාපති ලෙස කටයුතු කළ පකීර් මොහිදීන් අම්සාගෙන් එය තහවුරු කරගන්නා ලෙසත් ඔහු නාලිකාවට කියා ඇත. තානාපති කාර්යාලයක නිලධාරියකු කළ සේවය ඕනෑම අයකුට අදාළ ලේඛන පරීක්ෂා කොට තහවුරු කරගත හැකි ය. කෙසේ වෙතත්, එවන් පැහැදිලි සාධක ලබා දී තිබිය දී චැනල් 4 නාලිකාව විසින් ඉහත මවුලාගේ ප්‍රකාශය මත තම චිත්‍රපටයේ සම්පූර්ණ හරය රඳා පැවතීමට හැරීම මාධ්‍ය සදාචාරය මතු නොව, සාමාන්‍ය මානව ගුණාංග පවා අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.
මේ අතර, පාස්කු බෝම්බ ප්‍රහාර සිදු වූ දින තමා සිටියේ ඉන්දියාවේ ආරක්ෂක විද්‍යා පීඪයේ පාඨමාලාවක් හදාරමින් බව ද ඔහු නාලිකාවට දක්වා ඇත. තමා මැලේසියාවේ ගත කළ 2016 දෙසැම්බර් සිට 2018 දෙසැම්බර් අතරතුර එක් වරක් පමණක් සතියක පමණ කාලයකට ලංකාවට පැමිණි බවත්, ඒ ද 2017 වසරේ දෙසැම්බර් මස පැවති විමර්ශනයකට සහාය දීම සඳහා බවත් ඔහු දන්වා ඇත. මේ අනුව, චිත්‍රපටයේ කියන ලෙස 2018 පෙබරවාරියේ ඔහු සහරාන් ඇතුළු පිරිස හමු වූ බවට වන කතාව පට්ටපල් මුසාවකි.
තත්ත්වය මෙසේ දිගහැරෙමින් තිබෙන අතරතුර මේ සතියේ හිටපු තානාපතිවරයකු වන සරත් කෝන්ගහගේ මෙම වීඩියෝව සම්බන්ධයෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේ ය. ඔහුගේ ප්‍රකාශයට අනුව, මෙම වීඩියෝවට අදාළව තමාගෙන් දිගු ප්‍රකාශයක් ලබාගත්ත ද ඉන් පළ කර ඇත්තේ ඉතා සුළු කොටසක් බවත්, එය ලබාගත්තේ ෆරාස් ශවුකට් අලි බව ද සඳහන් කරන්නේ ය. ෆරාස් යනු සිරස මාධ්‍ය ජාලය තුළ වැඩසටහන් කරන්නෙකු බව අපි දනිමු. කෝන්ගහගේ මහතා පවසන්නේ ෆරාස් තමාගෙන් ප්‍රකාශ ලබාගත්තේ චැනල් 4 නාලිකාව වෙනුවෙන් නොව, බ්‍රිතාන්‍ය ITN නාලිකාව වෙනුවෙන් බව කියමින් ය. ඒ අනුව එම මාධ්‍යවේදියා තමාට වංචා කළ බව ද ඔහු කියා සිටියේ ය.
ඉහත සිදුවීමට අනුව පැහැදිලි වන්නේ බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව වෙනුවෙන් ලංකාවේ සිට සහාය දී තිබෙන්නේ ලංකාවේ මාධ්‍ය හා ඒවාට සම්බන්ධ පිරිස් බව ය. එසේ කිරීමේ අයිතිය ඕනෑම අයකු සතු බව අපි පිළිගනිමු. එහෙත් මේ වැනි බොරු සහ වංචා කරමින් එසේ කිරීම නම් පිළිකුල් සහගත එකකි. එය ලංකාවේ ප්‍රතිරූපය විනාශ කිරීමකි. ඒ සියල්ල මැද, මේ ප්‍රබල පරස්පරතා නිසා අදාළ වීඩියෝව පිළිබඳ ඇති සියලු විස්වසනීයත්වයන් ඉතිරි නොකරම බිඳ වැටී ඇත.
චැනල් 4 නාලිකාව විසින් කරන ලද්දේ පසුගිය කාලය පුරාවට ලංකාවේ සමාජ මාධ්‍ය නිර්මාණය කළ දේශපාලන බොරු ගොන්නට එක්තරා ජීවයක් ලබාදීමට කටයුතු කිරීම පමණි. පාස්කු ප්‍රහාරය ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා සැලසුම් කළ එකක් බව දේශපාලනිකව බංකොළොත් චරිත විසින් මුදාහළ ව්‍යාජ විඤ්ඤාණයකි.
විශේෂයෙන් ම සමහර දේශපාලන පක්ෂවලට සම්බන්ධ සමාජ ජාලාකරුවෝ මෙහි මුල් තැන ගත්තෝය. ඊට ප්‍රධාන හේතුව වූයේ ඔවුන්ගේ ජාතික ලැයිස්තු සාමාජික මෙන්ම කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම්ගේ පුතුන් දෙදෙනා ද සහරාන් සමග මෙම ප්‍රහාරවලට සම්බන්ධ වීමයි. එය ඔවුන්ට දිරවාගත නොහැකි සිදුවීමකි. මේ අනුව, ඔවුන් කළේ තම දෙසට එල්ල වන චෝදනාව පෙරළා තම විරුද්ධ පිළ වෙත දමා ගැසීමයි.
ඇත්ත වශයෙන් ම සිංහල බෞද්ධ නායකයකු ලෙස හැඳින් වූ ගෝඨාභය රාජපක්ෂ වැන්නෙකු වෙනුවෙන් සියදිවි නසාගැනීමට අන්තවාදී මුස්ලිම් තරුණයන් යොමුවිය හැකි බව කෙනෙකු සිතන්නේ නම්, ඔහු හෝ ඇය විසින් වහා කළ යුත්තේ මානසික ප්‍රතිකාර සඳහා යොමු වීම ය. වෙනත් දෙයක් ඒ ගැන කිව නොහැකි ය. කෙසේ වෙතත්, සමාජ මාධ්‍යකරුවන් පමණක් නොව, ඉන් පිටත සමාජය ද පිළිගන්නේ තමා විස්වාස කිරීමට කැමති දෙය මිස වාස්තවික සත්‍ය නම් නොවේ.
ඒ අනුව, ඉහත මතය වටා ද සැලකිය යුතු පිරිසක් බිහි වුණි. චැනල් 4 කළේ ඒ පිරිසගේ බොරුව මතින් වීඩියෝ චිත්‍රපටයක් තනා එමගින් තම රාජපක්ෂ වෛරය පාකර හැරීමයි.
මේ අතර, ගෝඨාභය රාජපක්ෂ හට බලයට ඒම සඳහා මෙවැනි තිරශ්චීන ක්‍රියා කිරීම කිසිසේත්ම අවශ්‍ය ව තිබුණේ නැත. පාස්කු ප්‍රහාරයට පෙර පැවති පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුව ලබාගත් ජයගහ්‍රහණය ලංකා ඉතිහාසයේ විපක්ෂයක් විසින් පළාත් පාලන ඡන්දයක් ජයගත් පළමු අවස්ථාව ලෙස ඉතිහාසගතව ඇත.
සාමාන්‍යයෙන් පුංචි ඡන්ද සැමදා දිනාගත්තේ පවතින ආණ්ඩුවයි. එවන් පසුබිමක ජනාධිපතිවරණය යනු ගමේ බසින් කිරිකජු කෑමකි. ඇරත්, එවක යහපාලන ආණ්ඩුව ගැන ජනතාව කලකිරී සිටියේ එය පත් වූ විගස සිදුවූ මහබැංකු මූල්‍ය වංචාවල සිටම ය. එවන් ආණ්ඩුවක් පරාජය කිරීමට ආගමික වතාවත්හි නිරත වූ සිවිල් මිනිසුන් ඝාතනය කිරීම වැනි දේ කිරීම කොතරම් අතාර්කික ද යන්න කෙනෙකුට සිහිපත් විය යුතු ය.
මේ අතර, හිටපු නීතිපති දප්පුල ලිවේරා විශ්‍රාම යෑමට කලින් දින කළ “මහමොළකරු” ප්‍රකාශයකින් කතෝලික ප්‍රජාව වෙත දමා ගැසුවේ සුළුපටු ගලකින් නොවේ. අවාසනාව නම්, තමන් සේවය කරන විට මහමොළකරුවෙකු ගැන විමර්ශනය නොකළ ඔහු විශ්‍රාම යමින් රට කළඹන ප්‍රකාශ සිදුකිරීම ය. කෙසේ වෙතත්, මේ ගැන තමන් දන්නා දේ කීම සඳහා ඔහු නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් කැඳවූ විට ඔහු කළේ අධිකරණ නියෝගයක් ගෙන ඉන් පැන යෑම ය. මේ ගැන මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් ම පසුගිය දා ප්‍රබල ප්‍රකාශයක් කර තිබුණි.
මේ සියලු කරුණුවලින් හෙළි වන්නේ මෙම සිදුවීමට අදාළ ඉහත “කුමන්ත්‍රණ කතා” කොතරම් බොළඳ ඒවා ද බව ය. ඒ කිසිවෙකුටවත් මේ ගැන සත්‍ය සොයා ගැනීම සඳහා අවශ්‍යතාවක් නැති බව ද පෙනේ. එහෙත් තම දේශපාලන හා ආගමික න්‍යාය පත්‍ර වෙනුවෙන් රටේ කීර්ති නාමය උගසට තැබීම ඔවුන්ගේ එකම අරමුණ වී තිබේ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ