දැඩි නියඟය හමාර කරමින් පසුගිය දින කිහිපය පුරා ඇදහැලුන මහ වැස්ස කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් පවා උද්ගත කළේය. විශේෂයෙන්ම රටේ වාණිජ අගනගරය වන කොළඹ ප්‍රදේශයට පසුගියදා ඇදහැලුන මහවැස්ස මිලිමීටර් 95ක් තරම් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
එහෙත් පැය කිහිපයක් පුරා ඇදහැලුන එම වැස්සෙන් කොළඹ නගරයේ මරදාන, තුම්මුල්ල, ආමර් වීදිය, කොටුව සහ අවට ප්‍රදේශය ඇතුළු මාර්ග රැසක් සුළු මොහොතකින් යට වී ගියේය. පැය දෙකක් තුළ මරදාන ප්‍රදේශයේ ඇතැම් වීදිවල අඩි දෙකකටත් වඩා වැඩි ගංවතුර මට්ටමක් වාර්තා විය.
මෙම ගංවතුර පැය කිහිපයකින් බැස ගියද රටේ අගනගරය මේ ආකාරයට සුළු වැස්සකටත් යටවී යාම බරපතළ පාරිසරික ප්‍රශ්නයක ප්‍රතිඵලයක් බව ප්‍රකාශ කළ හැකිය. කොළඹ 1 ප්‍රදේශයේ සිට කොළඹ 15 දක්වා නාගරික ප්‍රදේශ සියල්ල කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අයත්ය. මෙම ප්‍රදේශයෙහි සමස්ත ජනගහනය ලක්ෂ 8ක් ඉක්මවා ඇති බව සැලකේ. පවුල් වශයෙන් ගත් කල එම සංඛ්‍යාවද ලක්ෂ ගණනකි. මෙවන් හදිසි ගංවතුර තත්ත්වයක් හට ගත් කල නගරාශ්‍රිතව වෙසෙන මුඩුක්කු හා පැල්පත්වාසීන් මෙන්ම වතුවල ජීවත්වන ජනතාවද පත්වන්නේ මහත් විපතකටය. වාර්තා වන ආකාරයට කොළඹ අවට වතු නිවාස 68,000ක් පමණ පවතී.
මෙම විපතින් ජනතාව ගලවා ගත හැක්කේ නාගරික පල්දෝරු ක්‍රමය විධිමත් ලෙස නඩත්තු කොට හදිසි වැස්සකදී වුවත් එකතුවන වැසිජලය බැසයාමට ක්‍රම සම්පාදනය තුළිනි. මෙයට වසර 8කට පමණ පෙර කොළඹ නගරයේ හදිසියේ හටගන්නා වැසි තත්ත්වයකින් එකතුවන ජලය විශාල පොම්පාගාර තුනක් මගින් වහා ඉවත් කළ හැකි වන ලෙස නව ගංවතුර පාලන සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට තීන්දු විය.ඒ සඳහා එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය මගින් අවශ්‍ය ප්‍රතිපාදනද සැලසිනි. එහෙත් ඒ කාලයේ සිදුවූ ආණ්ඩු මාරුවකින් පසු එම ගංවතුර පාලන සැලසුම මන්දගාමී වී පසුව අසම්පූර්ණ ව්‍යාපෘතියක් ලෙස අත්හිටුවා තිබිණි. ඒ ගැන ඉන්පසුව පත්වූ නගර සභා බලධරයන්වත් උනන්දු වූ බවක් නොපෙනුණි.
හැමෝම කලබල වී අගනුවර ගංවතුර බැස යාම ක්‍රමවත් කරන්නට කතා කරන්නේ හදිසියේ මහ වැසි වැස ගංවතුරින් නගරය යටවූ පසුවය. හදිසි ගංවතුරක් හෝ වෙනත් විපතක් සිදුවූ විට ආහාර පාර්සල් ටිකක් බෙදා දී ජනතාව පාසලකට ගාල්කොට ඔවුන්ට තමන්ගේ යුතුකම ඉටුකළා යැයි දේශපාලනඥයෝ උදම් අනති.
එහෙත් කිසිදු දේශපාලන භවතෙක් ගංවතුර ප්‍රශ්නය විසඳීමට නාගරික පල්දෝරු ක්‍රම විධිමත් ලෙස සැලසුම් කර පවත්වාගෙන යාමට ක්‍රියා කරන්නේ නැත. කලකට පෙර කොළඹ බේරේ වැව හරහා ගංවතුර මහ මුහුදට පිට කිරීමට සැලසුමක් තිබූ බව එවක නාගරික සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. එහෙත් බේරේ වැවෙන් ගංවතුර පිට කිරීම තබා බේරේ වැව පිරිසුදු කර නඩත්තු කරන්නටවත් දැනට කිසිම පාර්ශ්වයකට මෙතෙක් හැකි වී නැත.
පොඩි වැස්සකටත් අගනුවර ගංවතුරෙන් යටවන්නේ නිකම්ම නොවේ. ජනතාවද ඊට සෑහෙන පමණ වගකිවයුතුය. ජනතාව අවිධිමත් ලෙස කැළිකසළ බැහැර කිරීම ජලය බැස යන භූගත කානු පද්ධතිය අවහිර වීමට බලපාන ප්‍රධානම සාධකයකි. පොලිතින් බෑග් වැනි දෑ හිතුමගේ පරිසරයට මුදාහැරීමෙන් කානු පද්ධතිය තුළ ඒවා සිරවී ජලය බැසයාම අවහිර වෙයි. මෙවර හටගත් ගංවතුරටද මෙම තත්ත්වය බලපාන ලද බව නගර සභා බලධරයන් ප්‍රකාශ කර තිබිණි.
කෙසේ හෝ පසුගිය දිනවල හටගත් මහ වැස්සෙන් වාණිජ අගනගරය පැය කිහිපයක් තුළ ජලයෙන් යටවී යාම රටේ ආර්ථිකයටද තදින්ම බලපාන ලද බව සිහිකටයුතුය. මේ දිනවල සංචාරක සමය සක්‍රිය වී ඇත. මෙරට පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරග නැරඹීමටද දහස් සංඛ්‍යාත විදේශික පිරිසක් කොළඹට හා තදාසන්න නගරවල හෝටල් වෙත පැමිණ සිටී. එසේ තිබියදී මෙබඳු බරපතළ පාරිසරික ප්‍රශ්න හටගැනීම රටේ ප්‍රතිපත්තියටද හොඳ නැත.
සමාජ මාධ්‍ය ඔස්සේ පැය කිහිපයක් තුළ කොළඹ ගංවතුර ලොකු ප්‍රවෘත්තියක් වූ ආකාරය මෙවර අපි දුටුවෙමු. එමනිසා මෙබඳු ස්වභාවික විපත් වැවෙන්නට ඉඩ නොදී විසඳා ගැනීම බලධරයන්ගේ වගකීම බව අවධාරණය කරමි.
(***)