පැලැස්තර වෙනුවට අලුත් එකක්


19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීම ගැන ආණ්ඩුව සිය අදහස් පළ කළේ මැතිවරණවලට පෙර සිටය. ඒ අනුව අදාළ ප්‍රතිසංස්කරණය උදෙසා 20 වැනි සංශෝධනයක් ගෙනඒම ගැන මේ වනවිට කිසියම් දේශපාලන සාකච්ඡාවක් හටගෙන තිබේ. එය ව්‍යවස්ථා වෙනසක් ද නොඑසේව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයක්ද යන්න ගැන පවා කතාබහක් මතුව තිබේ.

මා සිතන ආකාරයට නම් ආණ්ඩුවට සම්බන්ධ පිරිස් සමග එක්ව කෙටුම්පතක් සකසා එය සාකච්ඡාවට ගැනීමෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය ගැන සාකච්ඡාවක් ආරම්භ කළ හැකිය. 2015 ආණ්ඩු සමයේදී මීට පෙර ද නව ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡා සිදුවිය. එහිදී විවිධ දේශපාලන පක්ෂ කණ්ඩායම් ව්‍යවස්ථාවක් සම්පාදනය ගැන සිය අදහස් පළ කර තිබේ. එම අදහස් ද මෙහිදී සැලකිල්ලට ගත හැකිය. ඒවා පොදුවේ සාකච්ඡාවට ගෙන රටට හිතකර දෑ තෝරාගැනීම එතරම් කාලයක් යන දුෂ්කර කටයුත්තක් නොවේ.

කෙසේ වෙතත් නව ව්‍යවස්ථාවක් සම්පාදනයේදී පළමු කාරිය නම් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමයි. පවතින මැතිවරණ ක්‍රමය සහමුලින්ම වැරැදි එකකි. 2015 සිටම ජනතාවගේ ඉල්ලීම වූයේ මනාප ක්‍රමය අහෝසි කර කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයකු පත්කිරීමය. එම ඉල්ලීම එදා ඉටු කළේ නම් මේ වනවිට ලංකාවේ දේශපාලන ක්‍ෂේත්‍රයේ මතුව තිබෙන ප්‍රශ්න රැසකට විසඳුම් ලැබෙන්නට ඉඩ තිබිණි.

තවමත් බොහෝ දෙනකු අඬෝවැඩියා නගන්නේ නුසුදුස්සන් පාර්ලිමේන්තුවට පැමිණි බවටය. 2015 දී මැතිවරණ ක්‍රමය වෙනස් කර තිබුණේ නම් අද එවැනි කනස්සල්ලක් ජනතාවට මතු නොවේ. මන්ත්‍රීවරයකු යනු මහජන සේවකයෙකි. මහජන නියෝජිතයෙකි. ඔහු හෝ ඇය අනිවාර්යෙන්ම ජනතාවට වගකිව යුතුය. එහෙත් අද වනවිට පවතින දේශපාලන සංස්කෘතියෙහි මහජන නියෝජිතයන් යැයි කියන කණ්ඩායම වග නොකියන්නේම මහජනතාවටය. මහජන විශ්වාසයට වඩා ඡන්ද ලබාගන්නා මග වී තිබෙන්නේ මුදල් බලයයි. කොපමණ මුදලක් හෝ වීසි කර යම් බලපෑමක් කළ හැකි පිරිස් ඡන්ද ලබාගෙන මන්ත්‍රීවරු බවට පත්වෙති. මා සිතන්නේ ලංකාවේ දේශපාලනයෙහි කුණු වීම වළක්වාගැනීමේ හදිසි අවශ්‍යතාවක් ලෙස මෙම ප්‍රශ්නය සැලකිය යුතු බවය. එය එසේ සිතන්නේ නම් මූලිකත්වය දිය යුත්තේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමටය. එය 20 වැනි සංශෝධනයක් ගෙනඒමෙන් කළ හැකි නොවේ. ඊට එකම මග නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි.

වර්තමානයේදී සෞඛ්‍යසම්පන්න දේශපාලන ක්‍රමයකට තර්ජනයක් වී ඇති තවත් කරුණක් වන්නේ පක්ෂ මාරුවයි. අප කොපමණ කතා කළත් මැතිවරණ ක්‍රමයෙහි වෙනසකින් තොරව මෙම තත්ත්වය වෙනස් කළ නොහැකිය. මේ වනවිට මන්ත්‍රීවරුන් තෝරාපත්කරනු ලබන්නේ ඡන්දදායකයන් විසින් නොවේ. දේශපාලන පක්ෂවල ලේකම්ලා හෝ නායකයෝය. වසර පහකට පසුව තමන්ගේ නියෝජිතයා එපා වී ඇත්නම් ඔහු හෝ ඇය ගෙදර යැවීමට ජනතාවට අවස්ථාව තිබිය යුතුය. එහෙත් ලංකාවේ ඡන්දදායකයන්ගෙන් එම අවස්ථාව දැන් උදුරාගෙනය. ඡන්දදායකයන්ට අන්තයටම එපා වූ දේශපාලකයන් පවා දේශපාලනයේ තබාගැනීමට පක්ෂ නායකයන්ට හැකියාව තිබේ. ඇතැම් උගත් දක්ෂ පුද්ගලයන්ට මැතිවරණ ජයගැනීමට නොහැකි වී තිබෙන්නේ ජනතාවට ඔවුන් එපා වී ඇති නිසාම නොවේ. දේශපාලන පක්ෂයේ නායකයන්ට ඔවුන් අවශ්‍ය නැති හෙයිනි. මැතිවරණ ක්‍රමය වෙනස් කළහොත් මේ ක්‍රීඩාව කළ නොහැකි වේ. එනිසා අනිවාර්යයෙන්ම නව ව්‍යවස්ථා සම්පාදනය හරහා මැතිවරණ ක්‍රමයේ වෙනසකට පාර කපා ගැනීම කළ යුතුමය.

19 වැනි සංශෝධනයෙන් පිහිටු වූ ස්වාධීන කොමිෂන් සභා ගැන ද අපගේ අවධානය යොමු කළ යුතුය. ස්වාධීන කොමිෂන් සභා යනු රාජ්‍ය පරිපාලනය නිර්දේශපාලනීකරණයට යහ මගකි. එය ඇත්තය. එහෙත් ප්‍රශ්නය වූයේ 19 වැනි සංශෝධනයෙන් පිහිටු වූ ස්වාධීන කොමිෂන් සභාවල සංයුතියයි. යහපාලන ආණ්ඩු සමයේ ස්වාධීන කොමිෂන් සභාවලට පත්කෙරුණෝ තමන්ගේ දේශපාලනයට සහාය දැක්වූවෝය. පුද්ගලයන් තෝරාගැනීමේදී කවර නිර්ණායක මත තෝරාගැනීම් කළාදැයි පැහැදිලි නැත. එනිසා ඔවුන් කොමිෂන් සභාවලට නොගැළපෙන චරිත වූවා පමණක් නොව කොමිෂන් සභාවල මූලික අරමුණුවලින් ද පිට පැන වැඩ කරන බවට චෝදනා එල්ල විය. ඒ අනුව කොමිෂන් සභාවලට පුද්ගලයන් පත්කිරීමේදී නිර්ණායක සකස් කරගැනීම ගැන මීළඟ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේදී අවධානය යොමු කළ යුතුය.

රාජ්‍ය සේවයේ ඉහළ නිලවලට පුද්ගලයන් පත්කිරීමේදී පත්කිරීම් බලධාරියාට අදාළ පුද්ගලයා ඉවත් කිරීමේ බලය ද තිබිය යුතු යැයි මම සිතමි. එහෙත් ඇතැම් කොමිෂන්වලදී එය ගැටලුකාරී වී තිබේ. පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලුවේදී එය හොඳින්ම විද්‍යමාන විය. පොලිස්පතිවරයාට විවිධ චෝදනා එල්ල වී තිබියදී පවා ඔහු ධුරයෙන් ඉවත්කළ හැක්කේ කෙසේදැයි ප්‍රශ්නයක් විය. ඉවත් කිරීමට හරස් වී තිබෙන්නේ ව්‍යවස්ථාවය. එහෙත් මා සිතන ආකාරයට ජනතාව හමුවේ සාධාරණ හේතු දැක්වීමක් කර නොගැළපෙන තැනැත්තන් ධුරයෙන් ඉවත් කිරීමට පත්කිරීම් බලධාරියාට අවස්ථාව තිබිය යුතුය. ජනවරමකින් රටේ විධායක බලය ජනාධිපතිවරයාට දී ඇත්නම් එය අභ්‍යාස කිරීමේ අවස්ථාව ජනාධිපතිවරයාට තිබිය යුතුය. එහෙත් වර්තමානයේ කොමිෂන් සභා ක්‍රමයෙහි ජනාධිපතිවරයාට එම අවස්ථාව නැත. මම ස්වාධීන කොමිෂන් සභාවලට විරුද්ධ නැත. විය යුත්තේ ස්වාධීනව කටයුතු කළ හැකි පුද්ගලයන් එම කොමිෂන් සභාවලට පත්කිරීමය.

ලංකාවේ ආණ්ඩු ක්‍රමයේ තවත් ගැටලුසහගත කරුණක් වී ඇත්තේ ඇමැති මණ්ඩලයයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇමැති මණ්ඩලය 30 ක සීමාවක තබා ඇත. එනිසාම අපිත් ඇමැති මණ්ඩලය ගැන කතා කරන විට එය 30කට සීමා කිරීම ගැන කතා කරමු. එහෙත් මගේ අදහස නම් ලංකාවට 15 දෙනකුගේ ඇමැති මණ්ඩලයක් හොඳටම ප්‍රමාණවත් බවය. එනිසා රටක් හැටියට අපට ගැළපෙන ජනතාවට දැරිය හැකි මට්ටමකට ඇමැති මණ්ඩලය අඩු කිරීම ගැන ද නව ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සැකැසිය යුතුය.

ජනාධිපතිවරයාට අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ හැකියාව ද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කප්පාදු විය. එය සිදුකෙරුණේ කිසියම් කපටි ආකාරයකටය. අගමැති ඉවත් කිරීම ගැන 1978 ව්‍යවස්ථාවේ කියැවෙන පරිච්ඡේදය ඉවත් කර ඒ වෙනුවට අලුත් පරිච්ඡේදයක් එකතු විය. මා සිතන්නේ ජනාධිපතිවරයාට මෙම බලය ලැබිය යුතු බවය. ඒ, අත්තනෝමතික ආකාරයට බලය අභ්‍යාස කිරීමට නොවේ. සාධාරණ හේතු දැක්වීමක් අවසානයේදී තීන්දුවක් ගැනීමටය. එවිට ගන්නා තීන්දුවට වගකීමක් ද තිබේ. පාලකයා යනු රටක බාරකරුවා මිස අයිතිකරුවා නොවේ. දෙවන පෑතිස් රජු හමුවේ මිහිඳු මාහිමියන් වහන්සේ එය අවධාරණය කළේ මීට සියවස් ගණනකට පෙරය. අද වනවිට මෙම සංකල්පය ජාත්‍යන්තර නඩු තීන්දුවල පවා සඳහන් කරුණකි. මෙම සංකල්පය අපගේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුය. ජාතික සම්පත් විකුණා දැමීමට නොහැකි වන්නේ අපේ ස්වාභාවික පරිසරය බහුජාතික සමාගම්වල හිතු මනාපයට විනාශ කළ නොහැකි වන්නේ එවැනි ව්‍යවස්ථා ප්‍රතිපාදන මගිනි. පරිසරයට ජාතික සම්පත්වලට අදාළ තීන්දු තීරණ ගැනීම් ජනමත විචාරණයකට යටත් කර දැමීම අනිවාර්යයෙන්ම කළ යුතුය.

ආණ්ඩුවක් බලයට පත්වන්නේ වසර පහක පාලන කාලයකටය. එවැනි කෙටි කලකට පත්වන ආණ්ඩුවකට පරම්පරා ගණනක ජනතාවක් බැඳ තබන තීන්දු ගැනීමට අවස්ථාව දිය යුතු නැත. එක් පක්ෂයකට තවත් පක්ෂයක් සමග ගැට ගැසී සකසන ඊනියා ජාතික ආණ්ඩු ක්‍රමයක් ද අපට අවශ්‍ය නැත. ඇමැති මණ්ඩලයට සීමා මායිම් නැති කරන ජාතික ආණ්ඩු ක්‍රමය වනාහි ජනතා මුදල් කොල්ල කන මගකි. කෙසේ වෙතත් ජනාධිපති ධුර කාලයේ සීමාව ගැන නම් මා සිතන්නේ තෙවරක් අවස්ථාව ලැබුණත් කමක් නැතැයි කියාය. මන්දයත් යමකු තෙවරක් තරග කළත් ජනතාවට එපා වී නම් ඔහුට දිනුමක් ලබාගත නොහැකි නිසාය. සැබැවින්ම මේ සියල්ලේ අවසාන තීන්දුව දෙන්නා ජනතාවයි.

ජන වරමින් පිට පැන යන ගමන් වැළැක්වීමට ජනතාවට අවස්ථාව තිබිය යුතුය. ඒ නිසා ජනතාව සමග යහපත් සාකච්ඡාවක් මගින් රටට ගැළපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය ගැන නව ආණ්ඩුවේ අවධානය කඩිනමින් යොමු විය යුතුය. මේ ඊට හොඳම කාලයයි.


ජ්‍යෙෂ්ඨ නීතිඥ
කල්‍යානන්ද තිරාණගම

(*** බිඟුන් මේනක ගමගේ)