ආණ්ඩුවේ වැඩ කටයුතු දෙස බලන විට අප මේ දකින්නේ තවත් යහපාලන ආණ්ඩුවක්දැයි කෙනකු තුළ ප්‍රශ්නයක් මතුවුවහොත් එය පුදුම වීමට කරුණක් නොවේ.
යහපාලන ආණ්ඩුවක් යැයි අප සඳහන් කළේ එම පදයේ වචනාර්ථයෙන් නොව පසුගිය ජනාධිපතිවරණයට පෙර පැවැති ආණ්ඩුව ගැන සිහිපත් කිරීමටය. එදා පැවැති ආණ්ඩුව ඉදිරියෙන් හා පසුපසින් දෙපැත්තට අදින්නට ගොනුන් බැඳි කරත්තයක් මෙන් විය.
එදා විටෙක තමන්ට අවශ්‍ය ආකාරයට තීන්දු ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් ආණ්ඩුවක් පවත්වාගෙන ගියේය. ඒ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද තමන්ට අවශ්‍ය පරිදි ආණ්ඩුව පවත්වාගෙන යන්නට කටයුතු කරමින් සිටියහ. අවසානයේ දී ජනාධිපතිවරයා 2018දී අගමැතිවරයා තනතුරෙන් පහ කළේය. අගමැතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවකින් තම තනතුර රැක ගත්තේය.
එහෙත් එදා සහ අද අතර ප්‍රධාන වෙනසක් තිබේ. එදා ආණ්ඩුවේ ප්‍රධානීහු දෙදෙනා එකිනෙකාගේ වළ කපමින් කටයුතු කළහ. එහෙත් වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකේ නායකයන් තමන් අතර ඇති ප්‍රශ්න නිසා එතරම් දුරට යන්නේ නැත. ඉදිරියේ දී කෙසේ වෙතත් මෙතෙක් කල් එතරම් දුරට ගියේ නැත. එහෙත් ආණ්ඩුකරණයේ දී ඔවුන්ගේ මතිමතාන්තර අතර බොහෝ විට ප්‍රබල වෙනස්කම් තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයෝ ඒවා ප්‍රසිද්ධියේ කියති. ප්‍රසිද්ධියේ ජනාධිපතිවරයා විවේචනය කරති.
ඉදිරි මැතිවරණවල දී උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡන්ද අපේක්ෂාවෙන්දෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් වසරේ ජුලි මාසයේ දී තමන් බලයට පත්වූ දා සිට විටෙක ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමට යැයි ද තවත් විටෙක 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට යැයි ද විවිධ දේ කරයි.
එහෙත් පොදුජන පෙරමුණ මෙම උත්සාහයන්ට විශේෂයෙන්ම 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට විරුද්ධය. එම පක්ෂයේ තර්කය වී ඇත්තේ පසුගිය ජුලි මාසයේ 20 වැනිදා පාර්ලිමේන්තුව විසින් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට තෝරා ගනු ලැබවුවේ එම මාසයේම බලයෙන් පහ කෙරුණු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලයේ ඉතිරිය සඳහා බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට ජනවරමක් ලැබී නොතිබුණු බවත්ය.
75 වැනි නිදහස් දිනට පෙර ජනවාර්ගික ප්‍රශ්නය විසඳන බවටද, වසර දෙකක් තුළ 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බවට ද විටින් විට පොරොන්දු වෙමින් ජනාධිපතිවරයා ‘‘සර්ව පාක්ෂික සමුළු’’ හා දෙමළ දේශපාලන පක්ෂ සාකච්ඡා ආදිය පවත්වමින් සිටිය ද දැන් යළිත් ජනවාර්ගික ප්‍රශ්නය හමස් පෙට්ටියට වැටී ඇත.
දැන් ආණ්ඩුව උත්සාහ කරන්නේ ජනවාර්ගික ප්‍රශ්නය වෙතින් මැතිවරණ නීති සංශෝධනය වෙතට ජනතා අවධානය යොමු කරවීමටය. මෙම කාරණය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ සිටම විටින් විට හිස ඔසවමින් යටපත් වෙමින් පවතින්නකි. ඒ පිළිබඳ ආණ්ඩුවේ අලුත්ම ක්‍රියාමාර්ගය වී ඇත්තේ ජනාධිපති වික්‍රමසිංහ මහතා ඉකුත් ඔක්තෝබර් 16 වැනිදා පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ නීති සංශෝධනය සඳහා හිටපු අග විනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතාගේ සභාපතිත්වයෙන් සාමාජිකයන් නව දෙනකුගෙන් සමන්විත කොමිසමක් පත් කිරීමය.
මැතිවරණ නීති සංශෝධනය කළ යුතු යැයි ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක වන පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය අතර පොදුවේ එකඟතාවක් තිබෙනවා විය හැකිය. එහෙත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව හා ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ග අතර එකඟතාවක් ඇති බව නොපෙනේ.
ජනාධිපතිවරයා මෙම කොමිසම පත් කළ දිනට දින දෙකකට පසු මැතිවරණ නීති සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා දේශපාලන පක්ෂවල සාකච්ඡාවක් කැඳවා තිබිණි. මේ කාරණය සඳහා ජනාධිපතිවරයා කොමිසමක් පත් කොට ඇති බව අගමැතිවරයා දැන ගත්තේ ද මෙම සාකච්ඡාවේ දී යැයි සන්ඩේ ටයිම්ස් පුවත්පතේ දේශපාලන ලියුම්කරු පවසයි. මේ ප්‍රතිවිරෝධී තත්ත්වය පිළිබඳව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා එම රැස්වීමේ දී අගමැතිවරයාගෙන් විමසීමේ දී අගමැතිවරයා සඳහන් කොට ඇත්තේ තමන් මෙම රැස්වීම කැඳෙව්වේ කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව බවය.
මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයේ දී කේවල ආසන ක්‍රමයට මන්ත්‍රීවරුන් 160 දෙනකු හා දිස්ත්‍රික් සහ ජාතික වශයෙන් ඒ ඒ පක්ෂ ලබාගන්නා ඡන්දවල අනුපාතයට එම පක්ෂවලටත් මන්ත්‍රීවරුන් 65දෙනකු තෝරා ගැනීම ඇතුළු මැතිවරණ නීති සංශෝනය සඳහා වූ සංකල්ප පත්‍රයක් තමන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ඇතැයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයක් ගැන ද එම ලියුම්කරු සඳහන් කොට තිබේ.
මේ අනුව ආණ්ඩුව තුළ එක් තැනක දී ප්‍රශ්න සාකච්ඡා කොට ක්‍රියාමාර්ග සැලසුම් කරන බවක් නොපෙනේ.
මේ බව පෙන්වන තවත් උදාහරණයක් නම් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා ආණ්ඩුවේ ඇමැතිවරුන් කළ ප්‍රතිවිරෝධී ප්‍රකාශය. පවතින ආර්ථික අර්බුදය හමුවේ රුපියල් 20,000කින් මාසික වැටුප් වැඩි කළ යුතු යැයි රාජ්‍ය සේවයට සම්බන්ධ වෘත්තීය සමිති වෙතින් ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ. මේ ගැන ජනමාධ්‍යවේදීන් ඉකුත් සඳුදා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් විමසූ විට ඔහු එවැනි වැටුප් වැඩි කිරීමක් කරන්නට පවතින තත්ත්වය යටතේ නොහැකි බව පැවසීය. එසේ කරන්නට නම් අලුතින් බදු පනවන්නට හෝ පනවනු ලැබ ඇති බදු වැඩි කරන්නට හෝ සිදුවනු ඇතැයිද ද ඔහු සඳහන් කළේය.
එදිනම මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ද මේ අදහසම පළ කළේය. ලක්ෂ දාහතරක් වන රජයේ සේවකයන්ට හා හය ලක්ෂයක් වන විශ්‍රාම වැටුප් ලබන්නන්ට රුපියල් 100 ගණනේ හෝ වැටුප් වැඩි කරන්නට ගියහොත් ඒ සඳහා අති විශාල මුදලක් අවශ්‍ය වනු ඇතැයි ඔහු ප්‍රකාශ කොට තිබිණි.
එහෙත් එදිනම සවස ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබුණේ මේ මස ඉදිරිපත් කරන්නට නියමිත අය වැය යෝජනා මඟින් රජයේ සේවක වැටුප් වැඩි කරන බවය. ජනමාධ්‍ය ඇමැතිවරයාටම මෙය ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන්නට ද සිදුවිය. තමන් කලින් ඉදිරිපත් කළ තර්ක සම්බන්ධයෙන් ඔහුට හා රාජ්‍ය ඇමැති සියඹලාපිටිය මහතාට මොනවා සිතෙන්නට ඇත් ද?
ආණ්ඩුව තුළ ඇති මෙවැනි වෙනස්කම් උණුසුම් හා ගැටුම්කාරී යැයි කිව හැකි තරමට පත්වූයේ පසුගිය ඔක්තෝබර් 23 වැනිදා ජනාධිපතිවරයා කළ සුළු කැබිනට් මණ්ඩල සංශෝධනයෙනි. එම කැබිනට් සංශෝධනයේ දී රටේ වැඩි දෙනකුගේ අවධානයට ලක් වූයේ දූෂණ, අක්‍රමිකතා හා ප්‍රමිතියෙන් තොර ඖෂධ නිසා රෝගීන්ගේ ජීවිත අවදානමට හෙළිමේ චෝදනාව මත සැප්තැම්බර් මුල දී පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග යෝජනාවකට මුහුණ දුන් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම ධූරයෙන් ඉවත් කොට පරිසර ඇමැති වශයෙන් පත් කිරීමය. එහෙත් පොදුජන පෙරමුණේ ප්‍රශ්නය වූයේ රමේෂ් පතිරණ මහතා යටතේ පැවැති වැවිලි කර්මාන්ත විෂයය කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා යටතට පත් කිරීමයි.
කෘෂිකර්ම ඇමැතිවරයා යටතට වැවිලි කර්මාන්ත විෂයය පත් කිරීම විද්‍යානුකූලව ගැළපෙන්නක් වුවද පොදුජන පෙරමුණ කෝප වී සිටින්නේ තමන්ගේ පක්ෂයේ ඇමැතිවරයකු යටතේ තිබූ විෂයයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු වන ඇමැතිවරයකු යටතට පත් කිරීම ගැනය. ඔවුන්ට අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් වෙනත් ප්‍රශ්නයක් ද ඇත. එනම් අමාත්‍ය මණ්ඩලය පුළුල් කොට පොදුජන පෙරමුණේ තවත් පිරිසකට ඇමැතිධූර දෙන ලෙසට ඔවුන් පසුගිය වසරේ සිට කරන බලපෑමට ජනාධිපතිවරයා අවනත නොවීමයි.
මේ නිසා ජනාධිපතිවරයාගේ දේශපාලන ජීවිතය හා සමඟ සසඳන කල ළබාල ළමයින් යැයි සැලකිය හැකි පොදුජන පෙරමුණේ ඇතැම් පිරිස් ද ජනාධිපතිවරයාට සභාග දේශපාලනය පිළිබඳ අවබෝධයක් නැතැයි පවසති. පොදුජන පෙරමුණට දිගටම මේ අයුරින් අසාධාරණයක් සිදුවන්නේ නම් ලබන මාසයේ දී අයවැය පරාජය කිරීමට වුව ද තම පක්ෂයට හැකියාවක් ඇතැයි එම පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා ඇතුළු ඇතැම් අය පවසා තිබිණි.
මෙහිදී ඔවුන්ගේ සිත් රිදුමට තවත් ප්‍රබල කරුණක් ද හේතුවන්නට ඇත. එනම් පොදුජන පෙරමුණේ නායකත්වයේ පාලනයෙන් මිදී වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඇතුළු පිරිස ජනාධිපතිවරයාට සමීප වී සිටීමය. ලාන්සා මහතාගේ කණ්ඩායම වෙනම කාර්යාලයක් සොයාගෙන යනතෙක් කටයුතු කළේ ද ජනාධිපති කාර්යාලයේය. එහෙත් පොදුජන පෙරමුණ මෙවැනි කරුණුවලට වඩා ජනාධිපතිවරයා විවේචනය කිරීම සඳහා යොදා ගන්නේ ජනතාවට බලපාන විදුලි ගාස්තු වැඩි කිරීම වැනි කරුණුය.
හැකිනම් අයවැය පරාජය කරන්නැයි පසුගිය 26 වැනිදා ලාන්සා මහතා සාගර කාරියවසම් මහතාට හා හිටපු ඇමැති නාමල් රාජපක්ෂ මහතාට අභියෝග කළේය. පොදුජන පෙරමුණ මෙය අභියෝගයක් ලෙස භාර ගනු ඇතැයි කෙසේවත් සිතිය නොහැකිය. මන්දයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අයවැය පරාජය වුවහොත් අගමැතිවරයා ඇතුළු ඇමැති මණ්ඩලය ඉවත් කොට වෙනත් පිරිසක් එම ධූරවලට පත් කිරීමට ජනාධිපතිවරයාට සිදුවේ. අයවැය පරාජය කිරීමෙන් ජනාධිපතිවරයාට කළ අභියෝගයකට පසු ජනාධිපතිවරයා තම පක්ෂයෙන්ම වුවද තමන්ට අවශ්‍ය අය ඇමැති ධූර සඳහා පත්කරනු ඇතැයි පොදුජන පෙරමුණේ නායකයන්ට සහතිකයක් තිබෙන බව කිව නොහැකිය.
පොදුජන පෙරමුණේ නායකයන්ට අවශ්‍ය අයට ඇමැති ධූර ලැබුණත් රටේ ක්‍රියාත්මක කෙරෙනු ඇත්තේ ජනාධිතිවරයාට අවශ්‍ය දෑය. මෙතෙක් සිදුවූවා සේම මින් ඉදිරියට ද ඒවාට සහාය දීමට පොදුජන පෙරමුණ ඉදිරිපත් නොවේ යැයි කිව නොහැකිය.
දෙපාර්ශ්වය අතර තනතුරු හා බලය පිළිබඳ ප්‍රශ්න තිබුණද ජනතාවට බලපාන කරුණුවල දී දෙපිරිසම ඉන්නේ එකම ස්ථාවරයකය. සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවේ දී දෙපාර්ශ්වයම කටයුතු කළේ ඒ වනවිට ගොඩනැඟී තිබූ ජනමතයට එරෙහිවය. අනෙක් අතට පොදුජන පෙරමුණ විදුලි ගාස්තු නැංවීමට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කළ ද එම ගාස්තු නැංවීම කෙරෙන්නේ එම පෙරමුණේ ඇමැතිවරයකු යටතේය. ඔහුට එරෙහිව එම පෙරමුණ කිසිදු අදහසක් ප්‍රකාශ කොට නැත.
පොදුවේ ගත් කල පොදුජන පෙරමුණට මෙම දීගය ඇතැම් කරුණුවල දී කටුක විය හැකිය. එහෙත් එය ඔවුනට ලබන වසර අවසානය දක්වා හෝ සැප සම්පත් හා ආරක්ෂාව සපයයි.
(*** එම්.එස්.එම්. අයුබ්)