පිටකොටු බිහිසුණු මිනීමැරුම සමස්ත සමාජයම බියවැද්දීමක්


මුළු සමාජයේම අවධානය බඩු මිල ගැන ය. ඉන්ධන හා ගෑස් පෝලිම් වෙත ය. අරගල බිම වෙත ය. ඒ අතරවාරයේ අණක් ගුණක් නැති පාතාලයෝ බියක් සැකක් නොමැතිව මහ දවාලේ මහ පාරේ වෙඩි තබා මිනිසුන් මරා දමති. කොටුව මහේස්ත්‍රාත් සංකීර්ණයේ නඩුවකට පෙනී සිට ආපසු යමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු ඉලක්ක කරමින් පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම් පොළේදී ඉකුත් 30 වැනිදා සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකුට බරපතළ තුවාල සිදුවීමේ පුවතක් අප පුවත්පත වාර්තා කළේ ය.

අතීතයේ ගම්වල චණ්ඩි සිටියහ. කට ගොන්නක් බීගෙන ඇඳිවත ඔසොවමින් කාට හෝ පරුෂ වචනයෙන් බැණ වැදීම චණ්ඩින්ගේ සිරිත ය. නගරවල සිටි චණ්ඩි බැංකු රොබරි, වැටුප් මුදල් කොල්ලකෑම් ආදී කටයුතුවල නිරත වූහ. කාලයාගේ ඇවෑමෙන් මෙම චණ්ඩි වඳවී ගියහ. පාතාලය මතු වූයේ ඒ පරිසරය තුළ ය.

පාතාලය මතුවීමටත් රටේ පැවැති දේශපාලන පරිසරය බලපෑවේ ය. විශේෂයෙන් දේශපාලනඥයා පසුපස නාඳුනන තුවක්කුකරුවා පන්නන විට දේශපාලනඥයාට දී තිබූ සීමිත ආරක්ෂාව දේශපාලඥයාගේ ජීවිත ආරක්ෂාවට ප්‍රමාණවත් නොවීය. 87-89 යුගයේ දී තත්ත්වය බෙහෙවින් බියකරු විය. ඒ වනවිට යුද්ධය ද දරුණුවට ඇවිළී යමින් තිබූ අතර යුද බිමෙන් පලා එන සෙබළු ද සුලභ වූහ. එසේ පැමිණෙන සෙබළුන්ට මැති ඇමති නිවාස ඉතා ආරක්ෂිත විය. දේශපාලනඥයා හා පාතාලය අතර සහසම්බන්ධතාව ගොඩනැගෙන්නේ එසේය. එකකින් තව එකක් පෝෂණයවීමේ දාමය ගොඩනැගෙන්නේ එසේය. පාතාලයේ නාඳුනන තුවක්කුකරුවා එල්ල කරන සෑම මූනිස්සකටම ඒ සඳහා අවශ්‍ය පරිසරය සෑදූ සෑම පාර්ශ්වයක්ම වගකිව යුතුය.

අවියේ බලයෙන් කප්පම් ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම පාතාලයන්ගේ ප්‍රධාන ආදායම් මාර්ග වේ. ඒ කුලියට මිනී මැරීමට අමතරවය. පාතාලයේ භාෂාව ‘‘ලෙයට ලෙය ය, ඇසට ඇස ය, මරණයට මරණය ය.’’ පාතාලයේ කෙරුමා වීමේ දොළ සන්සිඳුවා ගැනීමට අවශ්‍ය කරන මිනිස් බිලි ප්‍රමාණය කොතෙක් වුවද එම බිලි ප්‍රමාණය ගැනීමට පාතාලයෝ අතපසු නොකරති. අනුඅංකයක් නැති මූනිස්සම් ඉදිරිපිට අභය දානය ඉල්ලා හඬා වැටීමට සමාජයට සිදු වූයේ එහෙයිනි.

පාතාලයේ වර්ධනයට දේශපාලනඥයන් මෙන්ම පොලිසියද වග කිව යුතුය. සියල්ලන්ම නොවුණත් සැලකිය යුතු ප්‍රමාණයක් පාතාලයන් සමග යහන්ගත වෙති. ඒ පාතාලයන් සතු දේශපාලන සබඳතා දන්නා හෙයිනි. මාරුව අවලංගු කරවා ගැනීමට, තමන්ට අවශ්‍ය ප්‍රදේශයට මාරුව සකස් කර ගැනීමට පමණක් නොව උසස්වීම් ලබා ගැනීමටද පොලිස් නිලධාරියාට පාතාලයේ උපකාරය අවශ්‍ය වේ. අතු ඉති රිකිලි පුරවා වැඩුණු මහා වෘක්ෂයක් මෙන් පාතාලය වර්ධනය වූයේ මෙම පරිසරය තුළ ය.

සමාජ පැවැත්මේ ප්‍රධානම සාධකය ආරක්ෂාව වේ. ජීවිත ආරක්ෂාව මෙන්ම දේපළ ආරක්ෂාව ද එයට ඇතුළත් ය. මනුෂ්‍ය ගරුත්වය රැකගෙන භීතියකින් තොරව කල් ගෙවීම පුරවැසියා සතු අනුල්ලංඝනීය අයිතියකි. එම අයිතිය අහිමිව යන්නේ නම් එතැන ජීවිතය නැත. එබඳු ශාපලත් ඉරණමකට පුරවැසියා ඇද දැමීමට කිසිවකුට අයිතියක් ද නැත.

මෙරට නීතිය සම්බන්ධයෙන් බරපතළ විසංවාදයක් පවතී. විශේෂයෙන්ම නීතිය සමානව ක්‍රියාත්මක නොවන බවට චෝදනාවකි. මෙබඳු චෝදනා ගොඩනැගී තිබෙන්නේද යම් යම් සිද්ධි ආශ්‍රය නිශ්‍රය කරගෙනය. මෙම චෝදනා නීතියේ ගරුත්වයට බරපතළ තර්ජනයකි. නීතියේ ගරුත්වය බිඳී යාම තුළ නීතියට අවශ්‍ය නොවීමේ මානසිකත්වයට පදනම වැටේ. එනිසා පළමුව කළ යුත්තේ නීතියේ ගරුත්වය ආරක්ෂා කර ගැනීමට කළමනා කටයුතු සංවිධානය කිරීමය. නීතියේ ආධිපත්‍යයට සමාජය යටත් කර ගැනිමට හැකි වන්නේ එමගින් පමණි.

නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණු විට ආදේශ වන්නේ කැලෑ නීතියයි. 87-89 යුගයේදී මෙරට සමාජය ඒ බව හොඳාකාරව තේරුම් ගත්තේය. මිනිස් ජීවිතවල අගය පිච්චියට ගිය විට කිසිවකුට තම ජීවිතයේ පැවැත්ම සම්බන්ධයෙන් අපේක්ෂාවක් හෝ විශ්වාසයක් ඇතිකර ගත නොහැක. සමාජයකට අත්වීමට ඊටත් එහා ගිය තවත් විපතක් නැත.

මීට දෙතුන් මසකට ඉහතදී පානදුර රෝහල ඉදිරිපිටදී මෙවැනිම පාතාල ප්‍රහාරයක් එල්ල විය. අලුත්ම සිදුවීම පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම් පොළ ඉදිරිපිටදී සිදු කළ වෙඩි තැබීමය. මේ අපරාධකාරයන් කවුදැයි සොයා ගැනීමට පොලිසියට වැඩි කාලයක් ගත නොවේ. මන්දයත් සංවිධානාත්මක අපරාධ කල්ලි සම්බන්ධයෙන් පොලිසිය නිරන්තරයෙන් සෝදිසියෙන් සිටිය යුතු හෙයිනි. එහෙයින් මෙම අපරාධකරුවන් වහා අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පැමිණ විය යුතු ය.

(***)