ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුගෙන්වත් දේශපාලනමය වශයෙන් පළිනොගන්නා බවත්, ඒ වෙනුවට ශ්‍රී ලංකාව ආර්ථික ආගාධයකට තල්ලු කිරීමට හේතු වූ දූෂණ සම්බන්ධයෙන් යුක්තිය ඉටුවන බව සහතික කරන බවත් ඩේලිමිරර් හා විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ය. සිය ගමන් වියදම් ගැනත් අදහස් දැක්වූ ඔහු, මෑතකදී සහභාගී වූ ඉන්දියා සහ චීන සංචාරයන්ගේ සියලු වියදම් දැරූයේ එම රටවල රජයන් යැයි පැවසුවේ ය. වෙනත් රටවල යෙදුණු සංචාරයන්ගේ වියදම් දැරූයේ සිය පක්ෂය හා සම්බන්ධව සිටින සංක්‍රමණික ශ්‍රමිකයන් බවත් ජාතික ජන බලවේගයේ නායකයා කීවේ ය.
පහත ඇත්තේ ඔහු සමග කළ සම්මුඛ සාකච්ඡාව යි.
ප්‍රශ්නය - මම ඔබ සමග මෙතැන ඉඳගෙන ඉන්නේ රටට නායකත්වය දී, බලාපොරොත්තු වන වෙනස උදාකර දිය හැකිදැයි ජනතාව ඔබගෙන් විමසින් සිටින වෙලාවක. ඔබ 2019 ජනපතිවරණයට තරඟ කළා. නමුත් ජයග්‍රහණය කරන්නට බැරි වුණා. එහෙම තත්ත්වයක මෙවර ජනපතිවරණය ජයග්‍රහණය කළ හැකි බවට ඔබ දැඩි විශ්වාසයක් ඇතිව ඉන්නේ කොහොම ද?
මෙහෙමයි, අපේ රටේ දේශපාලනමය පරිවර්තනයක් වෙන්න නම් කාරණා දෙකක් සම්පූර්ණ විය යුතුයි. පළමුවැන්න තමයි තමන්ගේ සුපුරුදු පාලන ක්‍රමය යටතේ පාලකයින්ට රට තවදුරටත් ඉදිරියට ගෙනියන්න බැරි තත්ත්වයක් ඉස්මතු වීම. එවන් තත්ත්වයක් අද ඉස්මතු වෙලා තියෙන්නේ. ජනතාවට තමන්ගේ ජීවිතය සාමාන්‍ය පරිදි ගෙනියන්නට බැරි තත්ත්වයක් නිර්මාණය වීම තමයි දෙවැන්න. වර්තමානයේ, මේ කාරණා දෙකම පවතිනවා. අපේ රට වෙනම මාවතක ගෙනයා යුතු තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා.
පසුගිය වසර කිහිපය පුරාවට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක විදිහට, ඔවුන්ගේ තනි අනන්‍යතා ඇතිව ක්‍රියාත්මක වෙමින් හිටියා.
නමුත් මෑත අතීතය බැලුවහම ඔප්පු වෙනවා මේ පක්ෂ දෙක, දේශපාලන සංස්කෘතිය අතින්, ආර්ථික ප්‍රතිපත්ති අතින් සහ රට දණ ගැස්වීම අතින් කඳවුරු දෙකක් නියෝජනය නොකරන බව. ජනතාව මේක හොඳටම දන්නවා. ඒ වගේම තුන්වෙනුව මේ නායකයින් දැන් වයසයි. ඔවුන් නව ලෝකය සමග ඉදිරියට යන බවක් පෙනෙන්නට නැහැ. අනෙක් පැත්තෙන් ජනතාව දැන් වෙනදාට වඩා ගොඩක් සක්‍රීය යි. තුනෙන් දෙකක බලයක් තිබුණු විධායක ජනපතිවරයෙක් බලයෙන් පහකරපු ජනතාවක් අපට සිටින්නේ. මේ වතාවේ ජනතාව නගමින් සිටින හඬ සහ ඔවුන්ගේ බලාපොරොත්තු, වසර ගණනාවක් පුරාවට අප පෙනී සිටි සහ දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි ඉදිරියට ගෙන එන දේවල්ම යි. ඒ නිසා, අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්.
ප්‍රශ්නය - නමුත් 2019 වසරේ පැවැති අවසන් ජනපතිවරණයේ දී, ඔබට දිනාගන්නට පුළුවන් වුනේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 3%ක් පමණයි. ජනපතිවරණයක් ජයග්‍රහණය කරන්න නම් අඩුම තරමින් ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් හෝ වැඩි ප්‍රතිශතයක් දිනාගැනීමට අවශ්‍යම යි. එහෙම බලපුවහම සියයට 3 සියයට 50 වෙනකන් වැඩි කරගන්න නම් ප්‍රාතිහාර්යයක්ම වෙන්න ඕන. ඔබ කොහොමද ඒක කරන්න යන්නේ?
2015 වසරේ පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතරය දිනාගත්තු රනිල් වික්‍රමසිංහට 2020 මැතිවරණයේ දී, එකම එක ආසනයක්වත් දිනාගන්න බැරි වුණා. පහුගිය ජනපතිවරණයේ දී, ලක්ෂ 69ක් ඡන්ද ලබාගත්තු, ඊළගට පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතරයකුත් දිනාගත්තු ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට අවුරදු දෙක හමාරකට වැඩිය බලයේ ඉන්න බැරි වුණා. 2019 සහ 2020 වසරවල ඉතාම බලවත් දේශපාලන බලවේගයක් වුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයෙක්වත් ඉදිරිපත් කරන්න බැරි තත්ත්වයකට සෝදාපාළු වෙලා ගිහින්. දේශපාලනය කියන්නේ ගණිතයෙන් මනින්න පුළුවන් දෙයක් නොවන බවයි මේ දේවල්වලින් ඔප්පු වෙන්නේ. දේශපාලනය කියන්නේ සමාජමය දෙයක්. ඒ වගේම තමයි දේශපාලන වෙනස්කම් ක්‍රම ක්‍රමයෙන් සිදුවෙන ඒවා නෙවෙයි. ඒවා හරියට උඩ පනිනවා වගේ ක්ෂණිකව සිදුවෙන ඒවා. ඉතින්, අපට ජගහ්‍රණය කළ නොහැකිය කියා ඔබ සිතන්නේ ඇයි?
ප්‍රශ්නය - ඔබ පැවත ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පසුබිමකින්. ජනතා විමුක්ති පෙරමුණ පැවත එන්නේ ඉතාම ආන්දෝලනාත්මක පසුබිමකින්. 1988/89 කෝලහාල ජනතාවට තවමත් මතකයි. ඔබ බලයට ආවොත් ඒ සංස්කෘතියත් අරගෙනම ඒවිය කියා බයක් ඇතැම් අයට තිබෙනවා. තත්ත්වය එහෙම නම්, ඔබ දැන් වෙනස් බව ඔබ සහතික කරන්නේ කොහොම ද?
එක දෙයක් තමයි, 1988 සහ 89 සිදුවීම් ඉබේ පහළ වූ සිදුවීම් නොවීම. ඒවා එක්තරා දේශපාලන ගමනක නිර්මිතයන්. 1978 වසරේ අතුරු මැතිවරණයක් පැවැත්වුණා මැතිවරණ කොට්ඨාස 4ක. අපි ඒ මැතිවරණයට ප්‍රජාතාන්ත්‍රිකව තරග කළා. 1981 වසරේ පැවැත්වුණු සංවර්ධන කවුන්සිල මැතිවරණයටත් අපි තරග කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ මැතිවරණය වර්ජනය කළ පසුබිමක. 1982 ජනපතිවරණයත් අපි තරග කළා. ජනමත විචාරණයක් හරහා පළාත් සභා මැතිවරණ කල්දැමීමට එරෙහිව අපි නැගී සිටියා. ඒ නිසා, අපි හැම අවස්ථාවකම ඉතාම ස්ථීරසාරවම ගමන් කරලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මාවතක. අපිට හැංගෙන්න කිසිම හේතුවක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැර වෙලා කැලෑ දේශපාලනය කරපු දේශපාලන බලවේගයක් නෙවෙයි අපි. නමුත් 1983 වසරේ එවක හිටපු ආණ්ඩුවම කලු ජූලිය නිර්මාණය කළා. කලු ජූලිය දඩමීමා කරගෙන අපිව තහනම් කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරලා අපේ වෘත්තිය සමිතිත් තහනම් කළා.
අපිට තිබුණේ විකල්ප දෙකයි. එකක් දේශපාලනය අත්හැරීම නැතිනම් දේශපාලන දිගටම කරගෙන යාම. තහනම තිබුණත් අපි දේශපාලනය දිගටම කරගෙන යාම තෝරාගත්තා. එයින් පස්සේ තත්ත්වය සිවිල් යුද්දයක් වෙනකන්ම දරුණු වුණා. අපි නොකළ යුතුව තිබුණු දේවල් මේ කාලවකවානුවේ අපි කළා. ඒ දේවල් ගැන කම්පනය සහ කණගාටුව අපි දැනටමත් පළකරලා තිබෙනවා. නමුත් ඒ අපේ වචන නෙවෙයි. අපි නැවතත් දේශපාලන වේදිකාවට ආවේ 1994 වසරේ දී.
1994 වසරේ සිට ගෙවුණු පසුගිය වසර 30ක කාලට පුරාවට පැවැත්වුණු සෑම මැතිවරණයකටම අපි තරඟ කර තිබෙනවා. දේශපාලනමය වශයෙන් අපිට අවාසි සහගතවූවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවදානමේ තිබුණු සෑම අවස්ථාවකම ඒ අවදානම මගහරවන්නට අපි මැදිහත් වෙලා තිබෙනවා. 2017 වසරේ දී, එවක ජනපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රජාතන්ත්‍රවිරෝධීව එදා හිටපු අගමැතිවරයාව බලයෙන් පහකර, ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටවූ අවස්ථාවේ ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීමට එරෙහිව අපි සටන් කළා. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හැටියට පත්වුණේ එහි ප්‍රතිඵලයක් හැටියට. ඒක දේශපාලනමය වශයෙන් අපිට අවාසි සහගත වුනත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපි ඒ දෙය කළා. මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. අපි ඒකට විරුද්ධවත් සටන් කළා. අපි ඒක අධිකරණය ඉදිරියට ගෙන ගියා. හිටපු ජනපතිවරයාගේ ඒ කටයුත්ත අනීතික බවට අධිකරණයෙන් තීන්දුවක් ලබාගත්තා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපි මැදිහත් වෙලා තිබෙනවා.
2001 වසරේ 17 වෙනි ව්‍යළුස්ථා සංශෝධනය ඉදිරිපත් කළ අවස්ථාවේ එවක තිබුණු චන්ද්‍රිකා ජනපතිනිය ප්‍රමුඛ ආණ්ඩුවට බහුතරයක් තිබුණේ නැහැ. ජී.එල් සහ එස්.බී ප්‍රමුඛ පිරිසක් එක්සත් ජාතික පක්ෂයට පිල් මාරු කර තිබීමයි ඒකට හේතුව වුණේ.
අපිට මන්ත්‍රීවරු 10ක් හිටියා. 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නට ආණ්ඩුවට වසරක කාලයක් ආධාර කරන්න අපි ඉදිරිපත් වුණා. මේ සංශෝධනය තමයි එතෙක් රටේ ව්‍යවස්ථාවට සිදුවෙලා තිබුණු වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීම සංශෝධනය. 2010 වසරේ බලයට පත්වුණු මහින්ද රාජපක්ෂ එය ගලවා ඉවත් කළා. එතකොට ඔහු ප්‍රජාතන්ත්‍රවාදී යි. අපි ප්‍රජාතන්ත්‍රවාදී නැහැ. නැවතත් 2015 වසරේ දී, රටේ ව්‍යවස්ථාවට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නට අපි විශාල දායකත්වයක් ලබාදුන්නා. ඒ සංශෝධනයත් 2020 වසරේ ඉවත් කෙරුණා. මේ ඔක්කොම බලපුවහම අපි ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරපු පක්ෂයක්.
ප්‍රජාතන්ත්‍රවාදීය කියන මේ නායකයෝ අධිකරණ තීන්දුවලට ගරු කරන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ අධිකරණයට සෘජුවම තර්ජනය කරනවා. නමුත් ඔහු ප්‍රජාතන්ත්‍රවාදී යි. අපි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මොන තරම් කැපවීම් කර තිබෙනවාද යන්න පසුගිය වසර 30ක කාලය පුරාවට ක්‍රියාවෙන්ම පෙන්වා දී, තිබෙනවා. 1998 සහ 2000 මැතිවරණවල දී, අපේ සහෝදරවරු ඝාතනය වුණා. නමුත් ඔවුන් අපිට දිගටම කියන්නේ අපේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී නැතිය කියා. අපි අඩුම තරමේ ගලක්වත් විසිකරලා නැහැ. අපි ඇවිල්ලා වෙන කිසිම දේශපාලන පක්ෂයකට වඩා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ලොකුම දායකත්වයක් ලබාදුන්නු සහ ඒ බව ක්‍රියාවෙන්ම පෙන්වා දී, තිබෙණ පක්ෂයක්.
ප්‍රශ්නය - ඔබ ප්‍රජාතන්ත්‍රවාදී බව ඔබ නැවත නැවතත් කියනවා. ඒත් ඔබේ පක්ෂ සාමාජිකයන් ගැන කොහොමද? පහුගිය මාස කිහිපය ගත්තොත් ඔවුන් සමහර අය ඉතාම ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකරලා තිබෙනවා. ඔවුන් ඔබ කියන විදිහට වැඩ කරයි ද, නැත්නම් ඔවුන් තම තමන්ගේ ස්ථාවරවලට අනුව ද, වැඩ කරන්න යන්නේ?
අපේ දේශපාලන පක්ෂය ඉතාම දැඩිව ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත් අභ්‍යන්තරිකව අනුගමනය කරන දේශපාලන බලවේගයක්. අපි ගන්නා සෑම තීරණයක්ම ගන්නේ අදාළ ව්‍යුහයන් ඇතුලේ සාකච්ඡා වට ගණනාවක් තියලා. ඔය කියන ප්‍රකාශ මගේ පෞද්ගලික මතය නෙවෙයි. හැබැයි, සාකච්ඡාවලින් අපි ඔක්කොම එකම මතයකට එනවා. එකඟ වෙනවා. නමුත්, අපේ අදහස් ප්‍රකාශ කිරීමේ දී, ඉඳහිට ඇතැම් ගැටලුවලට මුහුණදෙන්න අපට සිදුවෙලා තියෙනවා. මේ තත්ත්වය අපේ පක්ෂයෙන් විතරක් පෙනෙන දෙයක් නෙවෙයි.
අපේ අදහස් ඉදිරිපත් කිරීම්වල ගැටලු පවතිනකොට ඇතැම් මාධ්‍ය ආයතන එම අදහස්වල සැබෑ අරුත විකෘතිවන ආකාරයෙන් තමයි වාර්තා කිරීම් කළේ. අපිත් මිනිස්සු. වැරදි වෙනවා. නමුත් අපේ වගකීම ඒ වැරැද්ද නිවැරදි කරගන්න එක. සහ, අපි ඒ දේ කරනවා. ඔබ අනෙක් දේශපාලන පක්ෂ දිහා බලන්න. වේදිකාවල ඔවුන් කියන දේවල් විතරක් නෙවෙයි, ඔවුන් කරන දේවලුත් බලන්න.
ඔවුන් පාර්ලිමේන්තුවට පිහි අරගෙන එනවා. මිරිස් කුඩු අරගෙන එනවා. ඔවුන් පාර්ලිමේන්තුව ඇතුලේ ගහගන්නවා, ඇසැබි වචන කියනවා. ඔය දේවල්වලින් සියයට එකක ප්‍රතිශතයක් අපි කළානම් කොහොම ද? ජනතාව හිතන්නේ ඒ අය ඔය දේවල් කළාට කමක් නැහැ කියලා. ඒ අය ඔය විදිහට හැසිරේවි කියලත් ජනතාව බලාපොරාත්තු වෙනවා. ඒ අය හොරකම් කළත්, නීති කැඩුවත්, අධිකරණ නියෝග තුට්ටු දෙකට දැම්මත්, බරපතල වංචාවල වැරදිකරුවන් වෙලා හිරබත් කරන්න වුනත් ඒක ලොකු වැරැද්දක් හැටියට ජනතාව දකින්නේ නැහැ. හැබැයි, කතා කරන්න ගිහිල්ලා යන්තම් අපේ දිව පැටලුනොත්, ඔන්න ජනතාව ඒක ඉතාම බරපතල විදිහට ගන්නවා. ඉතින්, අපිට නම් හිතෙන්නේ අපි වඩා වගකීම් සහගව සහ පිරිසිදුව කටයුතු කරාවිය කියා ජනතාව අපෙන් අපේක්ෂා කරන බවක්. ඒ අපේක්ෂාව වෙනුවෙන් අපි පෙනී සිටිනවා.
ප්‍රශ්නය - ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචණ්ඩත්වයට අනුග්‍රහය දක්වන බවට හෝ ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කරමින් සිටින බවට අරගල සමයේ දී, චෝදනා නැගුණා. මට මතකයි විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව පිටත රැස්වූ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ ආශිර්වාදය ලැබූ කණ්ඩායම් පාර්ලිමේන්තුවට කඩා වැදී එය අත්පත් කරගන්නට උත්සාහ කළ බවටත් චෝදනා එල්ල වුණා. මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වූ මැයි 9 වෙනිදා සජිත් ප්‍රේමදාස අරගල භූමියට පැමිණි අවස්ථාවේ විරෝධතාකරුවන් ඔහුට පහර දුන්නා. නමුත් ඔබ ආ විට කිසිවෙක් ඔබට අතවත් තැබුවේ නැහැ. එහෙම වුණේ කොහොම ද?
මුලින්ම කියන්න ඕන, මැයි 9 වෙනිදා සිදුවීම ගැන ප්‍රමිත බණ්ඩාර කිව්වේ මොකක් ද? ගාලුමුවදොර පිටියේ හිටපු විරෝධතාකරුවන්ට පහර දෙන්නට ගත්තු තීරණය ඔහු සමාන කළේ වෙනම අපේක්ෂකයෙක් මැතිවරණයට ඉදිරිපත් කරන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත්තු තීරණයට. ඒ කියන්නේ, පැහැදිලියි, විරෝධතාකරුවන්ට පහර දෙන්න ඔවුන් තීරණය කර තිබූ බව. මැයි 9 සිදුවීමේ ප්‍රතිඵලයක් හැටියට තමන්ගේ දේපළවලටත් හානි සිදුවූ බව එස්.එම්.චන්ද්‍රසේනත් කියා සිටියා. ඉතින් එහෙම බලපුවහම, මහින්ද රාජපක්ෂ මේ සිදුවීමේ පළමු චූදිතයා බවට මේ කඳවුරෙන්ම පත්කරලා තියෙනවා. ඔබ එදා ජනතාවගේ තිබුණු මානසික තත්ත්වය අවබෝධ කරගත යුතුයි. ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්විය යුතු බවට සමාජයෙන් ඉතාම ප්‍රබල හඩක් නැගෙමින් තිබුණා. එයින් පස්සේ ඒ බලපෑම එල්ල වෙන්න ගත්තේ රාජපක්ෂවරුන් සියලු දේශපාලන බලය අතහැරිය යුතුයි යන්නට. ගාලුමුවදොර හිටපු විරෝධතාකරුවන්ට දේශපාලනයේ, ධනවත් හෝ දුගී බවේ කිසිම වෙනසක් නැතුව රටේ සියලුම ජනතාවගේ ආශිර්වාදය ලැබී තිබුණා. ඒ ස්ථානයට පහර දීම ඔවුන්ව කම්පනයට පත්කළා. ඔවුන් ඒ කම්පනය තම තමන්ට දැනුණු විදිහට පිට කළා. මැයි 9 සිදුවීම් සමග අපේ කිසිම සම්බන්ධයක් නැහැ. මැයි 9 සිදුවීම් හා සම්බන්ධ යැයි අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින්ගේ දේශපාලන පසුබිම අනාවරණය කරන්නයය කියා මම ආණ්ඩුවට කියනවා. ඔවුන්ගෙන් 90%කට වැඩි පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන පසුබිමක් තියෙණ අය.
දෙවනියට ඔබ ඇහුවා ඇයි සජිත්ට පහර දුන්නේ සහ මට පහර නොදුන්නේ කියා. ගාලුමුවදොර විරෝධතාවය කියන්නේ මොකක් ද? රටේ සාමාන්‍ය පුද්ගලයෙක්ට ඉහළින් සිටින, අධි සුඛෝපභෝගී වාහනවලින් ආරක්ෂකයින් පිරිවරාගෙන යන මන්ත්‍රීවරුන්ට එරෙහිව යි ගාලුමුවදොර විරෝධය පැන නැගුණේ. ඒක තමයි ගාලුමුවදොර අරගලයේ සංකේතය.
සජිත් ප්‍රේමදාස අරගල භූමියට ගියේම ඒ විදිහට. ඔහු එහි ගියේ ඉතාම මිල අධික වාහනයක නැගීගෙන, ආරක්ෂකයින් පිරිවරාගෙන. ඔහු ගියේ අරගලයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ප්‍රතිරූපයකින්. ඒ නිසාම විරෝධතාකරුවන් ඔහුට පහර දුන්නා.
විරෝධතාකරුවන්ගේ සහ මගේ බලාපොරොත්තු එක වගේ. ඔවුන් දේශපාලකයෙකුගෙන් අපේක්ෂා කරන හැසිරීම මට තියෙනවා. ඉතින්, මට පහර දෙන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. ඒ වගේම තුන්වෙනියට, ජනතාවගේ මේ විරෝධය ජයග්‍රහණයකින් අවසන් වුනොත් වහාම පාර්ලිමේන්තුව විසිරුවා හැරිය යුතු බවට දැඩි මතයක් අපට තිබුණා. ජනපතිවරයා බලයෙන් පහකළා වුනත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබුණු නිසා අලුත් ජනපතිවරයෙක් පත්කරගන්න ඒ අයට අවස්ථාව පැවතුණු නිසයි අපි එහෙම මතයක හිටියේ. ඒ නිසාම අපි පාර්ලිමේන්තුව ආසන්නයේ විරෝධතාවක් පැවැත්වුවා. නමුත් ඇතැම් පිරිස් පැමිණ එහි කටයුතු කඩාකප්පල් කරන්න උත්සාහ කළා. ඒ නිසා අපි අපේ සාමාජිකයන්ව එම ස්ථානයෙන් ඉවත් කරගත්තා. අවසානයේ පාර්ලිමේන්තුව විසිරුවා නොහැරුණු නිසා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු දේශපාලන සංස්කෘතියම නැවතත් ස්ථාපිත වුණා. සොරා කෑම, වංචා සහ දූෂණ, අධිකරණ නියෝග නොසළකා හැරීම අදටත් ජයටම සිදුවෙනවා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමක් සිදුනොවුණු නිසා අරගලයෙන් ලැබුණේ අර්ධ ජයග්‍රහණයක් විතරයි. ඉතින්, මේ ජනපතිවරණයේ දී, ඒ ඉතිරි අර්ධය සම්පූර්ණ කරගත හැකිවේය කියා අප හිතනවා.
ප්‍රශ්නය - සොරා කෑම, වංචා, දූෂණ අදටත් සිදුවෙමින් තිබෙණ බව ඔබ කියනවා. හැබැයි මැතිවරණ ආසන්න වෙනකොට අනුර කුමාර දිසානායක ෆයිල් සහ ලියකියවිලි තොගයක් අරගෙන මාධ්‍ය ඉදිරියට ඇවිත් මේ තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව පවතින දූෂණ චෝදනා ය කියනවා අපි අවස්ථා කිහිපයකදීම දැක්කා. නමුත් අද වෙනකන් අපි මේ ෆයිල්වල තියෙන්නේ මොනවාද කියන එක දන්නේ නැහැ. අනෙක නිකන් මැජික් එකක් වගේ මැතිවරණ ඉවර වෙනකොට ෆයිල් ටිකත් අතුරුදහන් වෙනවා. මේ සැරෙත් අපි දැක්කා රනිල් වික්‍රමසිංහගේ ෆයිලුත් මම ළග තියෙනවාය කියා ඔබ පවනවා. රනිලුත් ඔබට ප්‍රතිචාර දැක්වූවා මේ කියන ෆයිල් ඔබ ළග තියෙන්න පුළුවන් වුනාට ඒවා ඇතුලේ තියෙන දේවල් තියෙන්නේ තමා ළඟ බව කියමින්. අපිට ඇයි කවදාවත් මේ ෆයිල් බලන්න බැරි?
මම ජනතාවට මේ ෆයිල් ඉදිරිපත් කළාට ඒවා සියල්ලේම තියෙණ අන්තර්ගතය විස්තර කරන්න මට හැකියාවක් නැහැ. මොකද, එහෙම කරන්න නම් දින ගණනාවක් ගතවෙන නිසා. මම කළේ පැමිණ සිටි මාධ්‍යවේදීන් සහ ජනතාවගෙන් සමහරකට එතැන තිබුණු ෆයිල්වලින් කිහිපයක් තෝරගන්නය කියලා ඒ තෝරගත්තු ෆයිල්වල ඇතුලේ තියෙන්නේ මොනවද කියා විස්තර කරපු එක. ඒ හැම ෆයිල් එකකම චෝදනා ඇතුළත් ලියවිල්ලක් තිබුණා. කිසිම හිස් ෆයිල් එකක් තිබුණේ නැහැ. මා ගාව තියෙන්නේ හිස් ෆයිල් නම්, ඇත්ත ෆයිල් තියෙන්නේ රනිල් ගාව නම් මොනවද එයා මොනව ද ඒවා තියාගෙන කරන්නේ? ඔබ ඔහුගෙන් ඒ ගැන ප්‍රශ්න කළ යුතුයි. තුන්වෙනි කාරණය ඇවිල්ලා අපි මොනවද මේ ෆයිල් එක්ක කරන්නේ කියන එක. මේවා සුදු කරපටි හොරකම් කියන එක අප තේරුම්ගත යුතුයි. ඒ නිසාම ඒවා ලියවිලි ඇසුරින් ඔප්පු කරන්නට අවශ්‍යයි. සාමාන්‍ය හොරකමක් නම් ඒක ඔප්පු කරන්න පහසු යි. මට තියෙන්නේ හොරකම ගැන ප්‍රධාන තොරතුරු පමණක් නිසා ඒ ලියවිලි ඔප්පු කරන්න අමාරුයි. උදාහරණයක් ගත්තොත්, එයාර්බස් ගනුදෙනුවෙ දී, කපිල චන්ද්‍රසේන සතු ඔ්ස්ටේ්‍රලියා බැංකු ගිණුමකට කොමිස් මුදල් බැර කර තිබෙනවා. එම ගිණුමෙන් තමයි ශ්‍රී ලංකාවේ පුද්ගලයින් හතර දෙනෙකුට මුදල් යවලා තියෙන්නේ. මම ගාව මේ සියලු කාරණා ඇතුළත් ලියවිලි තිබෙනවා. නමුත්, මේ බැංකු ගිණුම් පරීක්ෂා කරන්න මට බලය තියෙනවා ද? මේ දේවල් නීතිපතිවරයා හරහා සිදුවෙන ක්‍රමවත් විමර්ෂණයකට යටත් කළ යුතුයි. ආණ්ඩුවේ මූලිකත්වය මත සිදුවෙන විමර්ෂණයක් මෙතැනට අවශ්‍ය යි.
ප්‍රශ්නය - ඇයි ඔබට අධිකරණයට යන්න බැරි?
අපට හැකියාව තියෙන්නේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට පමණයි. ඒකයි අපට අධිකරණයට යන්න බැරි. එවැනි තත්ත්වයක අධිකරණය සළකා බලන්නේ මගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති ද, කියන එක. ඒ හැර එතැන වංචාවක් සිදුවී ඇති ද, කියන එක සළකා බැලෙන්නේ නැහැ. අපරාධ නඩුවක් ලෙස ඉදිරිපත් කරන්න නම් අදාළ විමර්ෂණ ආයතන ඒ සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදුකරන්නටත්, අධිකරණය ඉදිරියේ අපරාධ නඩුවක් ගොනු කරන්නට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන්නටත් අවශ්‍ය යි. අපි සීනි වංචාවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ කාරණයේ දී, අධිකරණය බලන්නේ මගේ මූලික අයිතිවාසිකම් කඩවී තිබේ ද, යන්න පමණයි. ඒ හැර එතැන වංචාවක් සිදුව ඇති ද, යන්න සොයාගැනීමට විමර්ෂණයක් සිදුවෙන්නේ නැහැ. මගේ මූලික අයිතිවාසිකම් කඩවී නොමැති බවට අධිකරණය තීන්දු කළොත්, ජනතාව අතර අදහසක් ඇතිවෙනවා වංචාවක් සිදුව නොමැති බවට. මේවා අපරාධ. ඒනිසාම මේවා අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ වැඩිදුර විමර්ෂණය විය යුතුයි. එය සිදුකළ හැක්කේ රාජ්‍ය බලය ඇතිව පමණයි. මා ගාව රනිල් වික්‍රමසිංහගේ ෆයිල් තියෙනවා. කොටින්ම නීතිපතිවරයා ගාවත් තියෙනවා.
ප්‍රශ්නය - ඔබට ඒ තොරතුරු ප්‍රසිද්ධ කරන්න බැරි ඇයි?
මම මේ ඇතැම් ෆයිල් වෙබ් අඩවියකට එකතු කර තිබෙනවා. මහබැංකු වංචාව ගැන තොරතුරු ඒ අතරින් ප්‍රධානයි. ඔබගේ පුවත්පත පවා ඒ ගැන වාර්තා කළා. ඒ වගේම තමයි මෑතක දී, සිදුවුණු VFS ගනුදෙනුව. ඒක සිදුවුණේ රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන කැබිනට් එකක. ඔහුට එයින් පළායන්නට බැහැ. ඒක දැනටමත් ප්‍රසිද්ධ වෙලා තියෙන නිසා මට අමුතුවෙන් ප්‍රසිද්ධ කරන්න දෙයක් නැහැ.
ප්‍රශ්නය - ඔබ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළොත් ඔබ ගාව තියෙන මේ සියලුම ෆයිල් සම්බන්ධයෙන් පියවර ගන්න කටයුතු කරනවා ද?
අපි බලයට එන්නේ කාගෙන්වත් පළිගන්න නෙවෙයි. අපට කා එක්කවත් පෞද්ගලික ආරෝවක් නැහැ. නමුත්, අපට වගකීමක් තිබෙනවා යුක්තිය පසදන්නට. අපයනය ආදායම අතින් දකුණු කොරියාව, වියට්නාමය වගේ රටවල් බොහෝමයක් අපිව පහුකරගෙන ගිහින්. අපිට මෙහෙම ඉන්න වෙලා තියෙන්නේ දූෂණය නිසා. මේ දූෂණය නිසා ආයෝජකයින් අපේ රටට ආකර්ෂණය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ දූෂණ නිසා ප්‍රමුඛත්වය ලැබිලා තියෙන්නේ අත්‍යාවශ්‍ය ව්‍යාපෘතිවලට නෙවෙයි අත්‍යාවශ්‍ය නොවන ව්‍යාපෘතිවලට. ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 1.1. වැය කරලා හම්බන්තොට වරාය හැදුවා. නමුත්, අපට තිබුණා ඒ මුදල පිරිපහදුවක් වෙනුවෙන් ආයෝජනය කරන්න. ඒ හරහා අපට පුළුවන්කම තිබුණා සැළකිය යුතු ඩොලර් ප්‍රමාණයක් ඉතිරි කරගන්නට. අපේ රටේ දූෂිතයින්ට විරුද්ධව පියවර ගන්න හැකියාව තියෙන්නේ දූෂිතයන් නොවන බලවේගයකට පමණයි. දූෂිතයින්ට දඩුවම් කරනවාය කියන එක 1994 වසරේ ඉදන් චන්ද්‍රිකාගේ, මහින්දගේ, මෛත්‍රීපාලගේ සහ ගෝඨාභයගේ වේදිකාවලින් ඇහුණු දෙයක්. දූෂිතයින් කවදාවත් දූෂිතයින්ට දඩුවම් කරන්නේ නැහැ. දූෂිතයින් හැමදාම කරන්නේ දූෂිතයින්ව ආරක්ෂා කරන එක. ජාතික ජනබලවේගය ප්‍රමුඛත්වය දෙන්නේ දූෂණය අවසන් කිරීමට.
ප්‍රශ්නය - ආර්ථිකය ගැන කතාකරනකොට, ජාතික ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද කියන එක ගැන ජනතාවට තවමත් පැහැදිලි නොමැති බවක් පෙනෙනවා. ඔබ ජයග්‍රහණය කළොත් IMF ගිවිසුම අහෝසි කරනවා ද? ඔබ ඉදිරියට අරගෙන යන ආර්ථික ප්‍රතිපත්ති මොනවා ද?
විවිධ අවස්ථාවල අපි අපේ ආර්ථික ප්‍රතිපත්ති ගැන පැහැදිලි කිරීම් සිදුකර තිබෙනවා. නමුත් අපේ හඩ බහුතරයක් ජනතාව වෙත ගොස් නැහැ. ඒක ඒ අයගේ වරදක් නොවෙයි. ඔවුන්ට පණිවිඩය නොලැබෙන තැන්වල සිටයි අපි අපේ අදහස් දක්වා තිබෙන්නේ. වත්මන් ආණ්ඩුව අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමග සිව් වසරක ගිවිසුමක් ඇතිකරගෙන තිබෙනවා. ද්වි-පාර්ශවික ලෙස, බහු පාර්ශවික ලෙස සහ පෞද්ගලික ලෙස ණය දෙන පාර්ශවයන් වෙන වෙනම අපට සිටියා. දැන් මේ සියල්ල තියෙන්නේ IMF එක යටතේ. ණය ප්‍රතිව්‍යුහගතකරණයත් එහෙමයි. ඒ නිසා එයින් එළියට එන්න හැකියාවක් තියෙනවාය කියා අප සිතන්නේ නැහැ. අපි අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ගිවිසුම සමග ඉදිරියට යනවා. හැබැයි, වෘත්තිකයන් මත පනවා තිබෙණ බදු ගැන අපි නැවත සිතා බැලිය යුතුයි. දෙවනුව, දිළිදු ජනතාවට ආහාර, ඖෂධ සහ අධ්‍යාපනය ලැබෙණ බව අපි තහවුරු කළ යුතුයි. IMF එක අපත් සමග ගිවිසුම්ගත වෙලා ඉන්නේ රට වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගොඩට ගෙන ඒමට උදව්වක් හැටියට. මුල්‍ය ප්‍රතිපත්තිය සමගත් අපට ගැටලු තිබෙනවා. පළාත් මට්ටමින් පවතින ඛනිජ සම්පත් සහ ස්වාභාවික සම්පත් පදනමේ සිට භාණ්ඩ හා සේවා අංශවල සීඝ්‍ර වර්ධනයක් අපි අත්පත් කරගත යුතුව තිබෙනවා. සංචාරක සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවලටත් මෙය අදාළ යි. අලුත් තාක්ෂණය අපට අවශ්‍යයි. බලශක්ති පිරිවැය පහත දමන්නට අපට අවශ්‍යයි. ඉදිරි වසර කිහිපය ඇතුළත විදුලි ගාස්තු සියයට 30-35 අතර ප්‍රමාණයකින් පහත දමන්නට අපි කටයුතු කරනවා. ආයෝජකයින්ට හිතකර පරිසරයක් අපි නිර්මාණය කරනවා. කාර්යක්ෂම රාජ්‍ය ආයතන අපි නිර්මාණය කරනවා. ව්‍යවසායකයින්ට අවැසිව තිබෙණ නීතිමය රැකවරණය අපි ලබාදෙනවා. ස්ථාවර බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට අපි පියවර ගන්නවා. අපේ රටේ දැන් තියෙණ තත්ත්වය යටතේ ව්‍යාපාරයකට පිවිසෙන්න නම් දේශපාලන සම්බන්ධතාවයක් වුවමනාමයි. එහෙම වෙන්න බැහැ. ආර්ථිකයේ ප්‍රජාතන්ත්‍රවාදයක් අපි සහතික කළ යුතුයි.
ප්‍රශ්නය - ඉදිරිය සැළකීමේ දී, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ඔබේ ප්‍රතිපත්තිය කුමක් ද? ඔබ එයට එකඟ වනවා ද?
උතුරේ ප්‍රශ්නය විසදීමට ව්‍යවස්ථාමය විසඳුමක් පමණක් ප්‍රමාණවත් නොවන බවයි අපේ සිතීම. නමුත්, ව්‍යවස්ථාමය විසදුමක් ඔවුන්ට අවශ්‍යයි. පොලිස් බලතල ගැන අප නැවත සිතා බැලිය යුතුයි. ඉඩම් බලතල ගත්තොත් අපි මුලින්ම ජාතික ඉඩම් භාවිතා ප්‍රතිපත්තියක් සකස් කරගත යුතුයි. ඒ වගේම, ජාතික ඉඩම් භාවිතා ප්‍රතිපත්තිය බලාත්මක කිරීමට ඉඩම් කොමිසමක් ස්ථාපිත කිරීමටත් අපි එකඟයි.
ප්‍රශ්නය - ඔබ ලොව පුරා යමින් ශ්‍රී ලංකා පුරවැසියන් මුණ ගැසෙනවා. ඔවුන් ඔබේ දේශන අසන්නට එන්නෙත් විශාල කණ්ඩායම් ලෙස. කවුද මේ සංචාරවලට අරමුදල් දෙන්නේ? මේ දේවල් ගැන විනිවිදභාවයක් තිබිය යුතුයි නේද?
ඇත්තටම කවුදෝ කියා තිබෙනවා මම රුපියල් ලක්ෂ 700ක් පමණ විදෙස් සංචාරවලට වියදම් කර තිබෙණ බවක්. මම ඉන්දියාවේ සහ චීනයේ සංචාර කළේ එම රටවල රජයන්ගෙන් ලැබුණු ආරාධනාවලට අනුව. සියලු වියදම් දැරුවේ ඉන්දියාවේ සහ චීනයේ ආණ්ඩු.
ප්‍රශ්නය - ඒ කියන්නේ මේ විදේශ රටවල ආණ්ඩු ඔබට අනුග්‍රහය දැක්වූවා?
ඔව්. ඔවුන් මට අනුග්‍රහය දැක්වූවා. මම සංචාරය කරන සෑම අවස්ථාවකම යන්නේ සාමාන්‍ය පන්තියේ. ව්‍යාපාර පන්තිය පාවිච්චි කරන කිසිම කෙනෙක් ගැන මට විරෝධයක් නැහැ. කෙනෙක්ට ඒ පිරිවැය දරන්න පුළුවන් නම්, කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි, මම යන්නේ ලංකාවේ සංක්‍රමණික සේවකයින් අපට ලබාදුන්නු අරමුදල්වල පිහිටෙන්. ඒ නිසා මම නම් කිසිම අවස්ථාවක ව්‍යාපාරික පන්තිය පාවිච්චි කරන්නේ නැහැ. දකුණු කොරියාවට, ඔ්ස්ටේ්‍රලියාවට, එක්සත් ජනපදයට, කැනඩාවට, ස්වීඩනයට, එක්සත් රාජධානියට සහ ජපානයට කළ සංචාරවලට මම වියදම් කර ඇත්තේ රුපියල් ලක්ෂ 33.7ක් පමණයි.
ප්‍රශ්නය - ඔබ විනිවිදභාවය ගැන ගොඩක් කතා කළා. නමුත් ජාතික ජනබලවේගය/ජනතා විමුක්ති පෙරමුණ කිසිම අවස්ථාවක ඔවුන්ගේ වත්කම් හෙළි කර තිබෙනවා ද? ඒ වගේම, ඔබේ පක්ෂයට අරමුදල් ලබාදෙන අය කවුරුන්ද යන්න ගැනත් විනිවිදභාවයක් තිබෙනවා ද?
පක්ෂයේ අරමුදල් ගැන වරලත් ගණකාධිවරයෙක්ගේ සහතික කිරීමක් සහිත වාර්තාවක් සෑම වසරකම මාර්තු මාසයේ අපි මැතිවරණ කොමිසමට යොමු කරනවා. තොරතුරු දැනගැනීමේ පනත හරහා ඔබට එම වාර්තා මැතිවරණ කොමිසමෙන් ලබාගත හැකියි. මම ඔබට එක දෙයක් කියන්නම්. ගොඩක් අය කියනවා අපිට තමයි දේශපාලන පක්ෂ අතරින් ලොකුම අරමුදල තියෙන්නේ කියා. මැතිවරණ කොමිසමට යොමුකළ වාර්තාවලට අනුව අපිට තිබුණේ රුපියල් ලක්ෂ 830ක අරමුදලක්. මගේ මතකය නිවැරදි නම් එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තිබුණේ පිළිවෙලින් රුපියල් ලක්ෂ 350 සහ රුපියල් ලක්ෂ 170 බැගින් වූ අරමුදල්. ඔබට එය විශ්වාස කරන්න පුළුවන් ද? ඔවුන් පාවිච්චි කරන්නේ කලු සල්ලි. ඒක තමයි හේතුව.
ඔවුන්ගේ ගිණුම්වල මුදල් නැහැ. නමුත් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරවලට ඔවුන් විශාල ගණන්වලින් මුදල් පොම්ප කරනවා. ඒ ප්‍රමාණයන් අපිත් එක්ක ගත්තහම සිය ගුණයකටත් වඩා වැඩියි. නමුත් ඔවුන් මැතිවරණ කොමිසමට වාර්තා කරන්නේ ඔවුන්ගේ අරමුදල්වල සත්‍ය වටිනාකමින් හතරෙන් එකක තරමේ ප්‍රමාණයක් පමණයි. අපි හැම සතයක්ම වියදම් කරන්නේ බැංකු හරහා. මම මගේ වත්කම් ප්‍රකාශය කතානායකවරයාට යොමු කර තිබෙනවා.
ප්‍රශ්නය - සමහර රටවල්වලට ලංකාවේ ඊළග ජනපතිවරයා ජනතා විමුක්ති පෙරමුණෙන් පත්වෙනවා දකින්නට වුවමනා නිසාත්, ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් දකින්නට වුවමනා නිසාත්, ඔවුන් ඔබේ පක්ෂයට අරමුදල් සපයනට බවට චෝදනා තිබෙනවා. මේ ගැන ඔබට කියන්නට ඇත්තේ මොනවා ද?
අපිට කිසිම රටකින් අරමුදල් ලැබී නැහැ. මම ඉස්සෙල්ලා කිව්වේ. මගේ ගුවන් ටිකට්පත්වල පිරිවැය දැරුවේ ඉන්දියාවේ සහ චීනයේ ආණ්ඩු. ඒ හැරෙන්නට අපිට කිසිම මුදලක් ලැබී නැහැ. අපි කුඩා බලවේගයක්. හැබැයි කිසිම රටකට හෝ සංවිධානයකට අපිව මුදලට මිලදී ගන්න නම් බැහැ. ඔය චෝදනා කරන්නේ මුදලට යටවුණු නායකයින්.
(සාකච්ඡාව: අජිත් සිරිවර්ධන)