පින්බර චීවර මාසයේ උදාව


කඨිනස්ස අත්ථාර මාසෝ ජානි තබ්බෝති

වස්සානස්ස පච්ඡිමෝ මාසෝ ජානි තබ්බෝ

වස්සාන සෘතුවෙහි අවසාන මාසය කඨිනත්ථාර කාලය වශයෙන් දත යුතුය.

පරිවාර පාලිය

ඇසළ පුන් පොහෝ දිනයෙහි පොහෝ පවුරුණු සිදු කොට ඇසළ අව පෑලවිය දිනයෙහි පෙර වස් එළැඹි සියලු  භික්ෂූන් වහන්සේ අදට යෙදෙන වප් පුර පොහෝ දිනයෙහි වස් පවාරණය කිරීම ශාසනික නියමයයි. එය මහා පවාරණය නමින් ද හැඳින්වේ. මෙතැන් සිට ඉල් පුර පොහෝ දිනය දක්වා වූ කාල සීමාව කඨිනාස්ථර කාලය හෙවත් චිවර මාසය යනුවෙන් හඳුන්වනු ලැබේ. වස් විසු සියලු විහාරස්ථානවල කඨින චීවර පූජාවන් සිදු කිරීම සිදුවේ. එසේ සිදු කරනුයේ ද ‘‘අනුජානාමි භික්ඛවේ වස්සං චුත්තාංනං භික්ඛුනං කඨිනං අත්ථරිතුං’’ යන බුද්ධ නියමය අනුවය. එම නියමයෙන් නියම ව ඇත්තේ සමාදන් වූ වස් ශික්ෂා පදය මැනවින් ආරක්ෂා කළ භික්ෂුන් සඳහා කඨින චීවර පූජාවන් සිදුකළ යුතු බවයි. ඒ අනුව මෙම උතුම් චීවර පූජාව සිවුරු ඇතිරීම වසර 2600කට අධික ඉතිහාසයකට හිමිකම් කියනු ලැබේ.

ලක්වැසි ජනතාව වසර 2328 ඉක්ම වූ කාල පරාසයක සිට මෙම උතුම් පිංකම් සඳහා යොමුව මහත් ශ්‍රද්ධාවෙන් යුතුව සිදුකරන අයුරු දැක ගත හැකිය. ඉතිහාසය පිළිබඳ විමසා බැලීමේ දී දුරාතීතයේ සිටම අපේ නරපතියන් බොහෝ දෙනකු මෙම මහා පින්කම ඉතා උත්කර්ෂවත් ලෙස සිදුකර ඇති අයුරු දැක ගත හැකිවේ. එම රජවරුන් අතර මහා පරාක්‍රමබාහු රජතුමා අසූ මහා ශ්‍රාවක පූජාවක් ලෙස එක් දිනක ස්ථාන අසූවක දී අසූ නමක් පමණ වූ තෙරවරුන් සඳහා කඨින චීවර පූජාවන් පිදිමේ මහා පින්කමක් පිළිබඳව සඳහන් වේ. එමෙන්ම සවෙනි පැරකුම්බා නිරිඳුන් ද ත්‍රී සිංහලයෙහිම වස් විසු භික්ෂුන් වහන්සේ සඳහා කඨින චීවර පූජා පැවැත් වූ බව සඳහන්ය. එහිදී කඨින චීවර තුන් දහස් හාරසිය දෙතිසක් පමණ පූජා කළ අයුරු සංඛ්‍යාත්මකව ද දක්වා තිබේ. එසේම කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාදි රාජසිංහ ආදි බොහෝ රාජරාජ මහා මාත්‍යවරුන් මෙම උදාර පින්කම මහත් ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් යුතුව සිදුකොට ඇති අයුරු අපේ ඉතිහාසය මගින් අනාවරණය කොට ඇත.

අදින් ඇරැඹෙන දින විසි නවයක් තරම් වූ ඉතා සීමිත කාල පරාසයක් තුළ මෙම අසිරිමත් මහා පින්කම පැවැත්වේ. මෙම මහ පින්කමෙහි ආරම්භය සිදු වන්නේ අදින් තෙමසකට පෙරදීය. එනම් ඇසළ පුර පොහෝ දිනයෙහි ආරම්භව එතැන් සිට ගෙවී ගිය මාස කිහිපය ඇතුළත ඒ ඒ  විහාරස්ථානවල වස් වැසීවීම සඳහා මූලික දායකත්වය ලබා ගත් දායක දායිකාවන් ඇතුළු සෙසු දායකවරුන්ද දිනපතා තම විහාරස්ථානවල විවිධ පූජා පින්කම් සිදුකරන  ලද ආකාරය ප්‍රකට වූවකි. බුද්ධ පූජා, බෝධී පූජා ධර්ම දේශනා ආදි විවිධ පින්කම් සංවිධානය කරන ලදී. ඒවායෙහි නියැළුණේ මෙම මහා පින්කමෙහි පරිවාස පින්කම් වශයෙනි. කඨිනත්ථාර කාලය හෙවත් චීවර මාසය ඇතුළත සිදුකළ යුතු මෙම මහා පින්කම් ජන වහරෙහි වස් පින්කම්, කඨින මහා පින්කම යනුවෙන් ව්‍යවහාර වේ. මේ මහා පින්කමෙහි ඇති ශක්තිමත් බව, අකම්ප්‍ය බව, නොබිඳෙන බව, ස්ථාවර බව, ‘‘කඨින’’ යන වචනයෙහි ගැබ්ව ඇති අතර මෙය මහා ගරුක පුණ්‍යක්‍රියාවක් ලෙස ධර්මයෙහි විස්තර කෙරේ. එපමණක් නොව ලොව්තුරා බුදුවරයන් වහන්සේ ද මේ සඳහා සහභාගිව ඇත්තාහ. එසේම උන්වහන්සේලාගේ මහත් වර්ණනාවට ද ලක්ව ඇති මහා පිංකමකි. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ මිල මුදල් තිබූ පමණින් හෝ තමා කැමති දිනයක හෝ මාසයක දී හෝ වර්ෂයක සිදු කළ හැකි පින්කමක් නොවීමය. විහාරස්ථානයක සිදුකළ හැකි වන්නේ වසරකට එක් කඨින දානමය පින්කමක් පමණක් වීම ද මෙහි ඇති  සුවිශේෂීතාවකි. අට මහා පින්කම් ලෙස අපේ ධර්මයෙහි හඳුන්වා දෙන ප්‍රදාන පුණ්‍යකර්ම නම් කිරීමේ දී ‘‘කඨිනාට්ඨ පරික්ඛාරං...’’ යනාදී වශයෙන් කඨින පූජා පින්කම එහි ප්‍රමුඛතම පින්කම ලෙස  හඳුන්වා දී ඇති අතර අටපිරිකර පූජාව සංඝාවාස පූජාව, බුදු පාමොක් මහා සඟනට දන් දීම ධර්ම පුස්තක ලියවීම කෙත්වතු පුජාව, බුද්ධ ප්‍රතිමා කරවීම, වැසිකිළි කරවා  පූජා කිරීම, යනාදිය සෙසු පින්කම් ලෙස දක්වා ඇත. වස් සමාදන්ව එය ආරක්ෂා කරමින්  කඨින චීවර පුජාවක් ලබන භික්ෂුන්ට මෙන්ම කඨින චීවර පුජාව සිදු කරනු ලබන දායක පක්ෂයටද යන දෙපාර්ශවයටම මහත් ආනිසංස ලැබෙන මහා පින්කමක් ලෙස මෙය සුවිශේෂත්වයකට පත්ව තිබේ.

කඨින චීවර මහා පින්කම පිළිබඳ ජනවහරෙහි එන ප්‍රකට උපමාවක්ද ඇත. චෛත්‍යයක් සාදවා එහි කොත පැළැඳවීමට මෙම මහා පින්කමට සමාන කිරීම එම උපමාවය. තෙමසක් මුළුල්ලේ සිදු කරන ලද ඉහත සඳහන් පරිවාර පින්කම් චෛත්‍යයේ ඉදිකිරීම්වලට  සමාන වන අතර වැඩ නිම වූ සෑ රදුන්ගේ කේතු පිලන්දනය එහි නිමාව සනිටුහන් කරන අසිරිමත් අවස්ථාවය. කඨින චීවර පූජා පින්කම් ද එයට සමාන කර ඇත්තේ එය එක් දිනකින් කළ නොහැකි ජන සමූහයකගේ ඒකරාශීවීමෙන් සිදු කළ යුතු දුර්ලභ ගණයේ අසිරිමත් පින්කමක් වීම නිසාය.

එක් විහාරස්ථානයක එක් වසරක සිදු කළ හැක්කේ එක් කඨින පින්කමකි. එම විහාරස්ථානයේම වස් විසූ වස් ශික්ෂාපදය ආරක්ෂා කළ භික්ෂුවක් හැර වෙනත් භික්ෂුවකට කඨින චීවරයක් පිළිගැනීමට හිමිකම් නොලැබේ. භික්ෂු සංඝයා විෂයෙහි පූජා කරන කඨින වස්ත්‍රයෙන් සකස් කරන ලද චීවරය සීමා මාලකයක දී අදාළ ඉහත සුදුසුකම් සපුරා ඇති භික්ෂුවකට බහුතර භික්ෂු සංඝයාගේ අනුමැතියෙන් පැවරීම සිදුකරනු ලැබේ. ඒ අනුව කඨින චීවරලාභි භික්ෂුවකට විනය ප්‍රඥප්තීන් කීපයක් සීමිත කාලයක් තුළ ලිහිල්ව භාවිත කිරීමේ පඤ්චවිධ ආනිසංසයක් ලැබෙන බව ද අපේ විනය ග්‍රන්ථවල සඳහන්ය. කඨින චීවර දානමය මහා පින්කම සිදුකරන දායක දායිකාවන්ට ද සාමාන්‍ය චීවර දහසක් හෝ ඉන් වැඩි ප්‍රමාණයක් හෝ පූජා කිරීමෙන් ලද නොහැකි මහා කුසලස්ඛන්දයක් මෙම එකම කඨින චීවර පූජාවකින් ලැබිය හැකිවීම මෙහි ඇති අසිරිමත් බවට සාධකයකි. තුන් සිවුරෙන් එක් සිවුරක් සඳහා අවශ්‍ය අලුත් වස්ත්‍රයක් හෝ මසා නිමකොට ඇති චීවරයක් කඨින චිවරදානය වශයෙන් පූජා කළ හැකි බව සඳහන් වේ. විහාරස්ථානයකට අවශ්‍ය විවිධ ගරු ලඝු භාණ්ඩ කඨින චීවර පූජාව සමග පූජා කිරීම සඳහා ද අපේ බොදුනුවන් පුරුදුව ඇත. මෙම මහා කඨින පූජාවට සම්බන්ධ කෙරෙන එම පිරිකර පූජාවන් අතර එදින පූජා කරන ඉතා සුළු පරිත්‍යාගයකින් පවා කඨින ආනිසංස ලැබෙන බව සඳහන් වන අතර ආනන්තරිය පාපකර්මය වැනි මහා පාපකර්ම හැර සාමාන්‍ය පව්කම්වල බරපතළ බව අඩු කිරීමට ද මෙම මහා පින්කම සමත්වන බව ධර්මයෙන් ප්‍රකාශිතය. 

අපේ බොදුනුවන් කඨින චීවර පූජා මහා පින්කම තරම් උසස් අයුරින් උනන්දුවෙන් විචිත්‍රව සිදුකරනු ලබන වෙනත් පින්කමක් නැති තරම්ය. වෙනත් ​ෙථරවාදී බෞද්ධ රටවල ද එම බෞද්ධයෝ ඉතා උත්කර්ෂවත් ලෙස මෙම පින්කම සිදු කරනු ලැබේ. අප ද අත්දැකීම් ලබා ඇති ලාඕස්, කාම්බෝජ, තායිලන්ත, බුරුම සහ වියට්නාම් ජාතික බෞද්ධයන් සිදු කරන මෙම මහා පිංකම තමන්ට ආවේනික පිළිවෙළකට අනුව ඊට අදාළ පාලි වාක්‍ය ආදිය ද ඔවුන් විසින්ම ප්‍රකාශ කරමින් සිදු කරන අයුරු ඉතා විචිත්‍ර බව සඳහන් කළ යුතුව ඇත. නගරයෙහි මහා මන්දිරයෙහි සිට ඈත එපිට ගම්මානවල කුඩා පැල්පත දක්වා බොදුනුවන් එකසේ උනන්දුවෙන් සිදු කෙරෙන මෙම මහා පින්කම එදවස අප විසින් දැක ඇත්තේ වෙනස් වූ ආකාරයකටය.

පූජා කිරීමට නියමිත වස්ත්‍රය අලුතින්ම සකස් කළා මතු නොව සකස් කරන ලද නියමිත වූ වස්ත්‍රය ගම් පියස පුරා රැගෙන ගොස් බොහෝ දෙනාගේ පූජාවට ලක් කොට හිමිදිරියේ හේවිසි හඬින් හා මහා සාදු නාදයෙන් යුතුව විහාරස්ථානයට ගෙනවිත් පූජා කරන සාමූහික පින්කමක් ලෙස ප්‍රකටය. එහෙත් වර්තමානය වනවිට මෙහි විවිධ වෙනස්කම් දක්නට ලැබේ. මෙම උතුම් පින්කම් කිසියම් තරගකාරී බවකට අවතීර්ණව ඇති බවක් ද දක්නට ලැබේ. බොහෝ විට නගරබදව දක්නට ලැබෙන මෙම ප්‍රවනතාව තුළ කඨින චීවර පූජා පෙරහැරකට තරම් නොගැලපෙන විවිධ අංගය ද එකතු වී තිබීම සතුටු විය හැකි කරුණක් නොවේ. කෙසේ නමුත් මෙම පින්කම් විචිත්‍රව සිදු කළ ද නොකළ යුතුය යන්න මින් අදහස් නොකෙරේ. එහෙත් තමා විසින් සිදු කරනු ලබන මෙම උතුම් පින්කමෙහි මූලික පරාමාර්ථයට හානියක් නොවන ලෙස අපේ කඨින මහා පින්කම් සංවිධාන කර ගැනීම ඉතා වැදගත් වන බව ද සඳහන් කළ යුතුව ඇත.

වප්පුර පොහෝ දිනය වූ අදින් කඨිනත්ථාර සමය ඇරඹෙනවා පමණක් නොව බුද්ධ චරිතයෙහි මෙන්ම හාසන ඉතිහාසයෙහි ද ඉතා වැදගත් සිදුවීම් රාශියක් සිදුවී ඇති බව අනාවරණය වේ. තථාගතයන් වහන්සේ සක් දෙවිදුන්ගේ පඩුපුල් අසුනෙහි වස් වසා වැඩ හිඳ වස් පවාරණය කොට සංකස්ස නගරද්වාරයට වැඩමවා තීර්ථක මං බිඳීම සඳහා යමා මහ පෙහර දැක්වීම සහ එම අසිරියෙන් ප්‍රමුදිත මෙතේ බෝසත්තුමා නියත විවරණ ලැබ පැවිදි වූයේ ද අදවන් දිනයකදීය. එමෙන්ම සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රඥාවන්ත භික්ෂුන් අතරින් අග තනතුරු ලැබීම ද මෙදින සිදුවූ අතර ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ සඟමිත් තෙරණිය වැඩමවා ගැනීම සඳහා මහා අරිට්ඨ කුමරුන් ප්‍රධාන රාජකීය දූත පිරිස ධර්මාශෝක රජුට සංදේශයක් රැගෙන පිටත්ව ගොස් ඇත්තේද වප් පුර පොහෝ දිනයකදීය. පසු කාලීනව පැවිද්දට පත් මහා  අරිට්ඨ මහා රහතන් වහන්සේ සිදුකරන ලද විනය සංඝායනාව සිදු කරන ලද්දේද වප් පුර පොහෝ දිනයක වන අතර මෙවන් වූ මහා අසිරිමත් සිද්ධීන් ද සැලකිල්ලට ගනිමින් ඉදිරියේ දී සිදුවන කඨින මහා පින්කම්වලට ද සහභාගි වෙමින් සසරින්  එතෙරවීම සඳහා තව තවත් උත්සාහවත් විය යුතු  බව අවධාරණය කළ යුතුව ඇත.

(***)