පියාගේ සෙනෙහස දියණියගේ ආත්මය පසුපස


බෞද්ධ දර්ශනයට අනුව ප‍්‍රතිසංධිය ලබන්නේ විඤ්ඤාණය මුල් කොටයි. එමඟින් විඤ්ඤණය සහ සිරුර කෙතරම් බැඳීමකට ලක්ව ඇද්දැයි පැහැදිලි වෙයි. මේ පිළිබඳව සිදුකළ නුතන පරීක්ෂණ මගින්ද හෙළි වී ඇත්තේ විඤ්ඤාණය මරණය සමඟින් සිරුරින් ඉවත් වුවද එහි පවතින ආත්මීය බැඳිම් සියල්ලම නොනැසී ඒ ආකාරයෙන්ම පවතින බවයි. මින් පැහැදිලි වන්නේ ඊළඟ ආත්මයේදී උප්පත්තිය ලැබීමට පෙර ආත්මීය විඤ්ඤාණය ඉවහල් වන බවයි. මරණින් පසු  ඕලාරික සිරුරින් ඉවත් වන විඤ්ඤාණය සුදානම් වන්නේ ඊළඟ ආත්මයට පිවිසීමටයි. බුදුදහමට අනුව මෙය මනෝමය කායේ සිට පරදත්තුපජීවී තත්ත්වයට පත්වීමකි. එහෙත් ප‍්‍රතිසංධියක් ලබාගැනීම අතිශයින්ම අසීරු කාර්යයකි. එහිදී වැදගත් වන්නේ මරණාසන්න අවස්ථාවේදී විඤ්ඤාණයේ පවතින ස්වභාවයයි. විඤ්ඤාණය අරමුණක එල්බ නොසිටියේ නම් ප‍්‍රතිසංධියක් ලබාගැනීමට ඇති අවස්ථාව අවමය. එම විඤ්ඤාණයට සමහර විට දිර්ඝ කාලයක් අන්තරාභවයේ සිටීමට සිදුවෙයි. මෙලෙස විඤ්ඤාණය හොඳ අරමුණක පැවතීම තුළ මරණයට පත් පුද්ගලයකු ගේ ආත්මීය සිදුවීම් ඊළඟ ආත්මයේ උප්පත්තිය හා මනාව ගැළපෙන බව පහත සඳහන් කතා පුවතින් පැහැදිලි වෙයි.

 

 

මෙම කතාංගයට මුල්වන දැරිය සකුන්තලාය. ඇයට වසර හය ඉක්මවන විට ඇය නුහුරු නුපුරුදු ස්ථාන සහ පුද්ගල නාමයන් පිළිබඳව කතාකරන්නට වුවාය. දෙමාපියන්ට මෙය යම් මට්ටමක ප‍්‍රශ්නයක් විය. විශේෂයෙන්ම ගමනක් යන විට විවිධ ගස් වර්ගවල නාමයන් නිවැරදිව කීම හා ඒවා වැඩෙන ප‍්‍රදේශ පිළිබඳවද තොරතුරු හෙළි කළාය. සමහර අවස්ථාන්හිදි දෙමාපියන් මේ පිළිබඳව තොරතුරු විමසීය. ‘‘ඇයි අම්මේ අපේ වෙද සීයගේ ගෙදර තිබුණේ මේ වගේ ලොකු කොහොඹ ගහක්. එක එක ලෙඩවල් වලට අපේ ගෙදරින් කොහොඹ කොළ කඩාගෙන යන්නේ.


කවුද ලොකු සීයා කියන්නේ ....
ඇයි අම්ම දන්නේ නැද්ද අපේ වෙද සීයා ගැන...


විටින් විට සකුන්තලා මේ ආකාරයේ විවිධ තොරතුරු හෙළිකළාය. කාලය මෙසේ ගෙවී යන විට ඇය පවසන තොරතුරු පෙර භවයක තොරතුරු බව පැහැදිලි වුවද ඒවා පිළිබඳ තොරතුරු සොයාබැලීමට යාමෙන් අධ්‍යාපන කටයුතු අඩාළ විය හැකි බැවින් දෙමාපියෝ නිහඩ වූහ.


පාසල් ගොස් පැමිණි එක් දිනක සකුන්තලා දහවල ආහාරය ගනිමින් සිට එකවරම මවට කිවේ ....


අම්මේ අපේ වෙද සීයලයි කොස් ගහෙන් රතු කොස් ගෙනැල්ල මට උයලා දෙන්නකෝ කියාය. රතු කොස් ගහ ගැන තවදුරටත් විමසීමේදී ගෙඟන් එගොඩ වෙද සීයාගේ තොරතුරු යළිත් කියන්නට වූවාය.


තවත් දිනක දියණිය නිදිකරවමින් සිටින විට ඇය කතාකළේ තමන්ද මේ ආකාරයට දියණියක් නිදිකළ බවයි.....
අම්මා වගේම මමත් දුවෙක් හැමදාම කකුල් දෙකේ තියාගෙන මෙන්න මෙහෙම නිදිකරවනවා ... ඇය කොට්ටයක් තම දෙකකුල් මත තබාගෙන් නිදිකරන ආකාරය මවට පෙන්වූවාය.


මේ අතර නිවෙසේ දානමය පිංකමකට සුදානම් වෙමින් පැවතිණි. සකුන්තලාගේ මවගේ පියා මියගොස් වසර හතක් පිරීම නිමිත්තෙන් දානමය පිංකම සිදුකිරීමට නියමිතව පැවතිණි. මේ සියල්ල දෙස බලාසිටි සකුන්තලා විටින් විට ඒ පිළිබඳව තොරතුරු විමසන්නට වූවාය... කවුද අම්මේ මැරිලා ඉන්නේ... මගේ සීයා... කොහේද, සීයා හිටියේ... කවදද මැරුනේ... මොනව වෙලාද.... සකුන්තලා කියාගෙන යන ආකාරය දෙස බලාසිටි මව, පියා පිළිබඳව විස්තර හෙළිකළාය.... එතකොට අපේ සීයා මැරිලා ගොඩක් කල් නේ... ඇය නිහඩව සිටින ආකාරය මව හොඳින් නිරීක්ෂණය කළාය. ඇයි දුව කල්පනා කළේ... ඇය යළිත් කතා කරන්නට වූවාය... සීයා කොහොමද මැරුනේ ලෙඩ වෙලාද... ලෙඩවෙලා. එමපණින් කතාව මව අවසන් කළාය. ඒත් සකුන්තලා කල්පනාවේ සිටියාය.


පසුදා දානමය පිංකම සඳහා මව සිය පියාගේ ඡුායාරූපය ගෙන පිසදා සාලයේ තැබීය. එකවරම ඒ දෙස ස්වල්ප වේලාවක් බලා සිටි සකුන්තලා .... ‘‘මේ මමනේ. අදනේ මම මැරුනේ. ඔයාල දන්නේ නැද්ද....’’ ඇය ඡුායාරූපය අසලට ගොස් හොඳින් විපරම් කොට බලා... ‘‘මම මේ පින්තුරය ගත්තේ ... තැනින් .. නෝනත් එක්ක තවත් එකක් ගත්තා .... කෝ ඒක... ගත්තේ වෙසක් දවසක..’’ මව සහ පියා විස්්මයෙන් සියල්ලම අසා සිටියහ. මේ අතර මවගේ ඡුායාරූපයක් පැරණි ඡුායාරූපයක් ගෙනවිත් පෙන්වූ අතර එය හඳුනාගත් සකුන්තලා... ‘‘මේ මගේ නෝන මට කලින් නේ මැරුනේ... පපුවේ අමාරුවකින්. මම කොච්චර ඇඬුවද. එතන නේ වැළලූවේ...’’ මෙම කතාබහ නිසා සියල්ලෝම විස්මයට පත්වූහ. මේ පිළිබඳව තවදුරටත් කරුණු සොයාබැලීමට  දෙමාපියන් උත්සුක වූයේ කියන තොරතුරු සමහර අවස්ථාවන්හිදී පරස් පර වීමෙනි. එහෙත් මෙහි යම් සත්‍යතාවයක් ඇති බව පැහැදිලි විය. පසුකලක දියණියට මෙය මානසික පීඩාවක් විය හැකි බැවින් ආචාර්ය ග‍්‍රැන්විල් ධර්මවර්ධනයන්  වෙත යොමුකොට මෝහන ප‍්‍රතිගමනයට ලක්කෙරෙණි. එහිදී හෙළිවූ තොරතුරු වලින් සකුන්තලාගේ පෙර ආත්මයේ තොරතුරු මනාව ගලපා ගැනීමට හැකිවිය. පහතින් දැක්වෙන්නේ එම තොරතුරු වලින් කොටසකි.
පැහැදිලි කරන්න ඔබේ දු දරුවන් ගැන...


මට දුවෙක් හිටියා. මම ඈට හරිම ආදරෙයි. ඇස්දෙක වගේ ඇය හදාගත්තේ...
තව විස්තර කරන්න. ඇයගේ වයස කීයද? හැඩහුරුකම විස්තර කරන්න..
වයස අවුරුදු විසි දෙකක් විතර. හරිම ලස්සනයි. දිග කොන්ඩයක් තියෙනවා. සුදුයි ලස්සන සිනහවක් තියෙනවා. දුව විවාහ වෙලා මාස තුනෙන් මම අසනීප වුණා.


මොකද්ද අසනීපය ....
මුලදි අඳුනගන්න බැරි වුනා අසනීපය මොකද්ද කියලා.
එම අසනීපයෙන්ද මරණයට පත් වුණේ.
ඒ අසනීපය සුවකරන්න ඔපරේෂන් එකක් කරන්න සිද්ද වුණා. මම අකමැති වුණා. දුවගේ බලපෑමට මම ඒකට අන්තිමට කැමැති වුණා.
තව දුරටත් පැහැදිලි කරන්න ....
මම ඔපරේෂන් එකට ගෙනියනකොට දුව මගේ ළඟින්ම ආවා. දුව අඬ අඬ මම ගෙනියනවා බලාගෙන හිටියා. මම දුවගේ අත්දෙක අතහරින්න කැමැති වුනේ නැහැ. දුව අත්දෙක අතහැරියේ අන්තිමට. මගේ දිහා අඬ අඬ බලාගෙන හිටියා.
ඉන් පස්සේ සිදුවූ දේ පැහැදිලි කරන්න..


මම නිල් පාට ලෝකයක අතර මං වුණා. පාවෙලා ගියා. මම හැමතැනම හොයලා බැලූවා දුව හමුවුනේ නැහැ.’’
මෙතැන් සිට ඇය පැවසූ බොහෝ දේ තුළ ඇතුළත් වුයේ මරණයෙන් පසු දියණිය සොයමින් ගිය ආකාරයයි. එහෙත් දියණිය සොයාගැනීමට නොහැකි වීම නිසා පා වෙමින් සිට ඇත. ඔහු දිර්ඝ කාලයක් අන්තරාභවයේ සැරිසරමින් සිට ඇත්තේ දියණිය සොයාගැනීමටය. ඔහුගේ විඤ්ඤාණය තුළ තැන්පත් වී තිබුණේද දියණිය පිළිබඳ සිතුවිල්ලයි. මෙලෙස තොරතුරු හෙළිකරන අතරතුර සමන්ත යන නමින් පුද්ගලයකු හැදින්වීය. පසුව ඔහු කවුරුන්ද යන්න හෙළිවිය. සකුන්තලා ගේ පෙර භවයේ තොරතුරු විශ්ලේෂණය කිරීම සිදුකිරීමෙන් පසු හෙළිවූයේ සකුන්තලා මෝහන ප‍්‍රතිගමනයේ දී හෙළිකළ තොරතුරු වලට අනුව ඇය පෙර ආත්මයේ සකුන්තලාගේ මව ගේ පියා විය. මෙය නිරවුල් කිරීම සඳහා බොහෝ තොරතුරු සොයාබැලීමට සිදුවිය. විශේෂයෙන්ම වෙද සීයා ලෙසින් හැඳින්වූයේ කවුරුන්ද යන්න සොයා බැලීමේදී පැහැදිලි වූයේ පියාගේ ළඟම ඥාතියකු බවයි. එය පැහැදිලි නිවැරදි තොරතුරක් විය. මේ අනුව පැහැදිලි වූයේ මරණින් පසු අන්තරාභවයේ ඔහු සැරිසරා ඇත්තේ ඉතා කෙටි කාලයක් බවයි. ඉතා ඉක්මනින් උප්පත්තියක් ලැබීමට හේතුවූයේ මරණාසන්න මෙහොතේ ඔහු තුළ පැවැති දියණිය පිළිබඳ බැඳීමයි. මරණින් පසුද ඔහු සොයමින් සිට ඇත්තේ දියණියයි. තව දුරටත් තොරතුරු විග‍්‍රහ කිරීමේදී හෙළිවූයේ දියණියගේ කුසේ පියා පිළිසිඳ ගැනීමයි. ඒ අනුව සකුන්තලා මරණයට පත් පියාය යන්න බැහැර කළ නොහැකිය. එය පිළිගැනීම සඳහා තොරතුරු හොඳින් අධ්‍යයනය කිරීමට සිදුවිය. පියාගේ දානමය පිංකම දින ඡුායාරූපය සකුන්තලා එකවර හඳුනාගැනීම සහ පියාගේ බිරිඳගේ ඡායාරූපය හඳුනාගැනීමද, වෙද සීයාගේ තොරතුරුද, ශල්‍ය කර්මය සඳහා ගෙනයන විට සිදුවූ සිදුවීම් ද සියයට සියයක් සමාන විය. මෙහිදී විඤ්ඤාණය තුළ ගැබ්ව ඇති පෙර ආත්මයේ තොරතුරු නිවැරදි බව පැහැදිලි වන්නේ රතු කොස් ගස පිළිබඳ තොරතුරයි. එය ඉතා හොඳින්ම විඤ්ඤාණයේ ගැබ්ව තිබිණි.


මෙහිදී විසඳා ගැනීමට නොහැකි ප‍්‍රශ්න කිහිපයක්ද විය. ඒ අතරින් මුලින්ම පැවතියේ සිය දියණියගේ ගැබේ උපන් පියාට එම දියණිය පෙර ආත්මයේ තමාගේම දියණිය බව හඳුනාගැනීමට නොහැකි වීමයි. ඒ සඳහා මව කුඩා කළ ගත් ඡුායාරූප ඉදිරිපත් කළද සකුන්තලාට සිය මව පෙර ආත්මයේ තමාගේම දියණිය බව හෙළිකිරීමට නොහැකි විය. ඒ සඳහා හේතු වූයේ මරණාසන්න අත්දැකීමක් නිසා ඇතිවන මානසික ව්‍යාකූලත්වය නිසා ප‍්‍රතිසංධියේදී එය විඤ්ඤාණයෙන් බැහැර වන්නට ඇතැයි යන්නයි. මේ අනුව පැහැදිලි වන්නේ ප‍්‍රතිසංධියේදී පෙර ආත්මයේ මරණාසන්න අවස්ථාවේ මානසික තත්ත්වය ඊළඟ ආත්මයේ ප‍්‍රධාන සාධකයක් විය හැකි බවයි. මෙහි මූළික සිද්ධාන්තය වන කර්ම ශක්තිය සියලූ මනුෂ්‍යයන්ගේ මරණය සහ උප්පත්තිය තීරණය කිරීමෙහි ලා ප‍්‍රධාන සාධකය බවයි. ඒ අනුව පියා සිය දියණිය සොයා පැමිණියේ කර්ම ශක්තිය පදනම් කොටයි. බුදුරජානන් වහන්නසේ අංගුත්තර චතුක්ක නිපාත පත්තකම්ම වග්ගයේදී මෙය මනාව පැහැදිලි කොට ඇත.

 

සටහන : නිල් සිරිවීර