පිහියකින් ගෙල කපාගෙන කිවිඳිය මියයයි


 

උවනත දිලිසෙනා පානා සඳ     සෙ මි නා
සියොගත බබළනා නානා රුවෙනි     මනා
සිහිවෙන පියමනා නූනා අදර     ගුනා
මගේසිත වෙහෙසෙනා නෝනා නුඹව     ගැනා

6565

ඇලපාත මුදලිගේ කවි හසුන තම සුරතින් ගත් ගජමන් නෝනා වරක් නොව දෙතුන් වරක්ම මේ කවිය කියෙව්වාය.
සැමියාගේ අභාවයෙන් පසුව මේ වනවිට වසර හයකටත් වඩා ගෙවී ගොසිනි. ඇලපාත මුදලි හා කවි හසුන් හුවමාරු කරගන්නා අතර ඔහු සමග ඇරඹි පේ‍්‍රමයේ මල්ද පිපී තිබේ.


තවදුරටත් තනියහනේ නිදාගත යුතුදැයි ගජමන් නෝනා කල්පනා කළාය.

 

නෙතට දුකයි නුඹෙ උවනත     නොදැකීම
කනට දුකයි නුඹෙ අම බස්     නොඇසීම
කයට දුකයි නුඹෙ සුපහස     නොලැබීම
හිතට දුකයි මෙළෙසින් නිති     පසුවීම


ඇලපාත මුදලි නැවතද ලියා එව්වේය. මේ වනවිට ගජමන් නෝනාටද තනියහන එපා වී තිබිණි.

සිත පමා නොවන පදරුත්     දන්න
සිත යොමා වසන සරසවි පමන     මෙන
සිත පෙමා කරන මැතිඳුනි     සුපසන්න
මම පමාවුනයි නොසතුටු     නොමවන්න


ගජමන් නෝනා ඇලපාත මුදලිට එසේ ලියා යැව්වාය.


අන්තිමේදී එතෙක් කලක් තම හිතේ හැංගී තිබුණ පේ‍්‍රමයට පියාපත් ලැබිණි. ඇලපාත මුදලි ගජමන් නෝනා සොයාගෙන පැමිණියේය. තවදුරටත් තම හැඟීම් සඟවා තබාගත යුතු නැති බව ගජමන් නෝනා තීරණය කළාය. ඇලපාත මුදලි සමග තහනම් පේ‍්‍රමයේ රස පහස භුක්ති විඳින්නට ඇය හිත හදාගත්තාය.
ඔවුන්ගේ හමුවීම් අතිශයින්ම රසවත් විය. දෙදෙනාම කවීහුය. ඔවුහු හමුවන හැම මොහොතකම කවි කීහ.

 

මද මත් දිගු හොඬින් දස අත     පිඹින්නිය
ළැම පත් පියයුරන් හස පොළඹ     වන්නිය
සිරිමත් ඒ ගජමන් නෝනා     ඇතින්නිය
තෙරහත් රඹ උයන සිඳ බිඳ     හෙළන්නිය

 

ඇලපාත මුදලි එක්තරා සන්ධ්‍යාවක ගජමන් නෝනාට ඇසෙන්නට පැවසුවේය.
ගජමන් නෝනා වහා මෙසේ පැවැසුවාය.

 

වැස තදින් ගලන සිව්  ඕගය    ඈත
විසිරෙමින් පිරීගිය නොරදා     මෑත
තම දහම් බැම්ම බැඳි වැර     ඇලපාත
බිඳ ගොසින් වැටුණි නාරියතොට     ඇත


ගජමන් නෝනා බලන්නට ඇලපාත මුදලි පැමිණි විට ඔහු ඉක්මණින් ආපසු ගියේ නැත. ඇතැම් විට රාත‍්‍රිය පවා ඔහු ගතකළේ ගජමන් නෝනාගේ පුංචි නිවහනේය. තම සුවිසල් ඇලපාත වලව්වට වඩා වැඩි සැපක් ඔහුට ගජමන් නෝනාගේ නිවසේදී දැනුණි. ඇය උයා පිහා දෙන කෑමද රසවත්ය. එම කෑමවලින් ඔහුගේ රස නහර පිනා ගියේය. කෑම සේම ඇගේ රූසිරියද ආදරයද මී පැණි තරමටම රසවත් විය.

655
ඇලපාත මුදලි, ගජමන් නෝනා එකගෙයි දීග කන පුවත සමකාලීන කවි කිවිඳියන් අතරද පැතිර ගියේය. රංචාගොඩ ළමයා කවි මඩුවලට ගිය විට ගජමන් නෝනාගේ මේ අනියම් සම්බන්ධය ගැන පහර ගැසුවාය. එවිට ගජමන් නෝනා හොඳ වචනවලින් උත්තර දුන්නේ රංචාගොඩ ළමයාගේ කට වැහෙන පරිද්දෙනි.


මේ කාල පරිච්ෙඡ්දය ගජමන් නෝනාට අග හිඟ දැනුණ කාලයක් නොවේ. ඇගේ වැඩිමහල් දරුවෝ ගුරුවෘත්තිය ලැබී කොළඹ පැත්තේ පාසල්වල ඉගැන්වූහ. ගජමන් නෝනාට තිබුණේ ඇලපාත මුදලි සමග පේ‍්‍රමය සමපාත කිරීමට පමණකි.


එහෙත් කාලයත් සමග ගජමන් නෝනාගේ රූසිරිය වියැකී ගියේය. ඇලපාත මුදලිගේ කවි සිතද වියැළුණේ ඒ නිසාමය. කලක් බොහෝ ආශාවෙන් ප‍්‍රාර්ථනා කළ ගජමන් නෝනාගේ රස පහසම ඇලපාතට එපාවිය.


අන්තිමේදී ඔහු පැදුරටත් නොකියාම යන්නට ගියේ ගජමන් නෝනා අන්තෙටම අසරණ කරමිනි.


ගෙදරින් නික්ම ගිය දරුවන්ටද ගජමන් නෝනා එපාවී තිබිණි. පිටව ගිය එක දරුවෙකුවත් ලියුම් කරදාසියක් තරම්වත් එව්වේ නැත. වෙන එකක් තියා ඇලපාත මුදලිවත් ගජමන් නෝනාට එක කවියක්වත් ලියා එව්වේ නැත.


වරක් මේ ගැන දුක සිතුණු ගජමන් නෝනා මේ නිහඬතාවය ගැන අසා ඇලපාත මුදලිට හසුනක් යැව්වාය.


එයට ලැබුණු පිළිතුර ඇය කවදාවත් ප‍්‍රාර්ථනා කළ පිළිතුර නම් නොවේ.

 

මුලින් බැඳුණු මුත් දැඩි පේ‍්‍රමයක්     හදේ
කෙමෙන් එය නැතිව නුඹ සිිටි නිසා     තදේ
මේ දැන් කියමි කරුණක් දැනගන්න     හොඳේ
නිවන් දකින තුරු මට ඔබ එපා     ලඳේ


ඒ කවිය කියවන විට ගජමන් නෝනාට ඇඬිණි. ඇයට සිහිපත් වූයේ තල්පේ ආරච්චි සහ උයන්වත්තේ මුහන්දිරම් යන දෙදෙනාවය.  ඔවුන් ජීවතුන් අතර සිටියානම් ඇලපාත මුදලි මෙන් කවදාවත්ම ඇයව ප‍්‍රතික්ෂේප නොකරන බව ගජමන් නෝනාට සිතිණි.


සැබෑ ආදරය යනු රස පහස වෙනුවෙන් කෙරෙන බාල බැඳීමක් නොව ඊට එහා ගිය අධ්‍යාත්මික බන්ධනයක් බව ගජමන් නෝනා තේරුම් ගත්තාය.
ඇය ඇලපාත මුදලිට පිළිතුරු ලිව්වේ දෙනෙත තෙත් කළ කඳුළු වලිනි.

මුලින් ඔබ දුටුව දින බැඳුන පෙම     හදේ
කෙමෙන් එය දැඩිව අලි කළුගලක්     ලෙදේ
මෙදැන් ඔබගේ බස් මොන පුදුමයද     වදේ
නිවන් දකින තුරු මා හැර කවුද     හොඳේ


ඇලපාත මුදලිඳු වෙතින් ප‍්‍රතික්ෂේප වූ පසුව ගජමන් නෝනා ගතකළේ අතිශය දුෂ්කර වූ ජීවිතයකි. විටෙක ඇයට සිදුවූයේ බඩගින්නට වතුර විතරක් බී නිදාගන්නටය. ඇයට පිහිටට සිටියේ නෝනාගම වැව පමණක්මය.


ඒ වනවිට ඩොයිලිද මාතර සිටියේ නැත. ඔහුවත් සිටියානම් තම දුක ඔහුට හෝ කියාගන්නට ඉඩ තිබිණි. ඒ වෙද්දී ජෝන් ඩොයිලි සේවය කළේ කොළඹය. සිවිල් ඔඩිටර් ජනරාල් ලෙස ඔහුට උසස්වීමක් ලැබී තිබිණි.


එක්තරා රාත‍්‍රියක ගජමන් නෝනාට දැඩි කුසගින්නක් දැනිණි. එදා උදේ සිටම ඇයට බඩකට පිරෙන්නට තරම් රස අහරක් ලැබී තිබුණේ නැත.
ඇය මුළුතැන්ගෙට ගියේ එහිවත් බඩට දාගන්නට මොනවාහරි ඉතිරි වී තිබේදැයි බලන්නටය. ඇගේ නෙත ගැටුණේ පිහිය පමණි. ඒ පිහිය අතටගත් ඇය පිහියත් රැුගෙනම ගෙයි එහා මෙහා ඇවිද්දාය. කපාගන්නට කුරුම්බා ගෙඩියක්වත් වූයේ නැත. තවදුරටත් ජීවත්වන්නේ කුමටදැයි ඇය කල්පාන කළාය.
හැමදාමත් තනි නොතනියට ළඟ සිටි කවියට අන්තිමට වරටත් පණදුන් ඇය මෙසේ ලියුවාය.

සත විසි නෙත් දහස් සතිස්     වස
වත ලෑ කෙලෙස් උඳුවප් අඩහැර     දවස
නෙත ගුණ  ඉසබෙල් පෙරුමල්     දිගැස
සතපුර පැමිණි දිව සිරි සැප විඳින     ලෙස


ඉක්බිතිව ඇය කළේ පිහිය ගෙල මුල තබාගෙන ගෙලට තද කර ගැනීමය.


ගජමන් නෝනාගේ මරණය පිළිබඳ පුවත ගිරුවාපත්තුව පුරා පැතිරගියේ විදුලි වේගයෙනි.


රුහුණේ කිවිවරිය ලෙස එදාද සමහරකු හැඳින්වූ ගජමන් නෝනාගේ මිනිය බලන්නට බොහෝ දෙනෙක් නෝනාගමට පැමිණියහ. ඇලපාත මුදලිටද ගජමන් නෝනාගේ මරණය ගැන ආරංචි වී ඔහුද නෝනාගමට පැමිණියේය.


”අන්තිම කාලේ මමවත් බැලූවෙ නැහැනෙ, මේ ගෑනි දිහාවෙ...”


ඇලපාත තමන්ටම කියා ගත්තේය.


දැන් ඉතින් කළයුත්තේ ගජමන් නෝනාගේ අවමගුල් කටයුතු හොඳට කිරීමයි. ඇලපාත මුදලි ඒ කටයුත්ත තම වගකීම සේ සැලකුවේය.


මියගොස් වසර සිය ගණනකට පසුත් තවමත් කතාකරන ගජමන් නෝනාගේ සොහොන නෝනාගම වැව අද්දර කිරිනුග ගහක් යට කාලයක් යනකෙත් තිබූ බවද නෝනාගම වැසියෝ කියති.


එසේ වුවත් මේ වනවිට ඉතිරිව ඇත්තේ අගමැති ආර්. පේ‍්‍රමදාස මහතාගේ සංකල්පයක් යටතේ නෝනාගම හන්දියේ ඉදිකරුණු ගජමන් නෝනාගේ ප‍්‍රතිමාව පමණකි.

 
(අවසන්)

m