මෙරට ජාතික දේශපාලන ක්‍රමයේ විවාදයට තුඩු දී ඇති ක්ෂේත්‍ර ගණනාවක් සඳහා නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෘත්තීයවේදීන් අමතා ප්‍රකාශ කළේය. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළ ක්ෂේත්‍ර ගණනාවකි. ප්‍රාදේශීය සභා මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීම, පවත්නා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සහ ජන සභා ක්‍රමය සමාජගත කිරීම එම ප්‍රධාන ප්‍රතිසංස්කරණ අතර වන බව ප්‍රකාශිතය.
අතීතයේ මෙරට ක්‍රියාත්මක වූ ප්‍රධාන ප්‍රාදේශීය පරිපාලන සභා වූයේ ගම් සභා, නගර සභා සහ මහනගර සභාය. දැනටත් නගර සභා සහ මහ නගර සභා ක්‍රමය සක්‍රීයව පවතී. එහෙත් පසු කාලයේ ගම් සභා ක්‍රමය වෙනුවට ප්‍රාදේශීය සභා ක්‍රමය ආදේශ කළේය. අද වන විට මෙරට මෙබඳු පළාත් පාලන ආයතන 341ක් ක්‍රියාත්මකය. මහ නගර සභා 24ක් නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 276 කින් එම පළාත් පාලන ව්‍යූහය සකස් වී තිබේ. ප්‍රාදේශීය සභා ආරම්භයේ සිට පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණය දක්වා ඒවා නියෝජනය කළ මන්ත්‍රීන් ගණන 4000ක් පමණ විය. එහෙත් අවසන් ප්‍රාදේශීය සභා ඡන්දයේ දී මෙකී මන්ත්‍රීන් ගණන 4000 සිට 8000 දක්වා සියයට සියයකින් පමණ වැඩි කෙරිණි. මේ නිසා ප්‍රාදේශීය සභා පාලන ව්‍යුහය වඩාත් බරසාර මෙන්ම සංකීර්ණ ද විය. ඇතැම් ප්‍රාදේශීය සභා ලාභ සහිතව පවත්වාගෙන ගිය අතර තවත් ඇතැම් සභාවන් සඳහා රජයේ මුදල් පොම්ප කළ යුතු විය. එයට විසඳුමක් ලෙස පසුගිය දා ඉදිරිපත් කළ අතුරු අය වැය මගින් නගර සභා ආසන්නයේ පිහිටි ප්‍රාදේශීය සභා 22ක් ඊට සමීපතම නගර සභාවලට ඒකාබද්ධ කිරීමට යෝජනා කළේය.
2023 මාර්තු මාසේ වන විට දැනට කල් දමා තිබෙන ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට සිදු වෙයි. ඊට මැතිවරණ කොමිසම සූදානම් වන බව ද වාර්තා විය. මෙම මැතිවරණ පසුබිමේ පළාත් පාලන ආයතනවල නියෝජනය මන්ත්‍රීන් 8000 සිට පෙර පැවති 4000දක්වා අඩු කිරීමට ජනාධිපතිතුමා යෝජනා කර ඇත. ඒ සඳහා ඇතැම් විට නැවතත් පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණය කොමිසමක් මගින් පළාත් පාලන කොට්ඨාස අලුතෙන් සකස් කිරීමට ද සිදුවිය හැකිය. කෙසේ වුවද මැතිවරණ ක්‍රමය සංශෝධනය මුවාවෙන් ඡන්ද කල් දැමීම කිසිසේත් අනුමත කළ නොහැක.
මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීම අදාළ පළාත් පාලන ආයතනයේ වැය බර අඩු කිරීමට ප්‍රධාන වශයෙන්ම බලපාන සාධකයකි. එසේම එහි පරිපාලන ව්‍යුහය සරල වීමට ද මෙම යෝජනාව හේතු වෙයි. ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇති තවත් විශේෂ යෝජනාවක් වන්නේ ප්‍රාදේශීය සභාවක සභාපතිවරයාගේ තනි මතයට එහි පාලනය පවත්වාගෙන යනු වෙනුවට සභාපති මණ්ඩලයක් මගින් අදාළ පරිපාලන තීන්දු ගැනීම යෝග්‍ය බවය. එය ද ඉතා ප්‍රායෝගික අදහසකි.
පවත්නා මනාප මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ගැන කලක පටන්ම සමාජයේ විවිධ අදහස් පළ වී තිබේ. සැබැවින්ම දූෂණයට තුඩුදෙන මනාප මැතිවරණ ක්‍රමය පළාත් පාලන පළාත් සභා සහ මහ මැතිවරණ ආදී ප්‍රධාන මැතිවරණ සියල්ලම කණපිට හැර වූ ඡන්ද ක්‍රමයකි. මුළු පළාතක්, දිස්ත්‍රික්කයක් හෝ පළාත් පාලන බල ප්‍රදේශයම ඡන්ද කොට්ඨාසය ලෙස සලකා කෙරෙන මෙම ඡන්ද විමසීම් මනාප පොරයක් බවට පත්වී තිබේ. මෙකී මනාප පොරයේ ජය ලබන්නෝ වඩාත් ජනප්‍රිය යහපත් අපේක්ෂකයන් නොව වැඩිපුර මුදල් හදල් වැය කරන අපේක්ෂකයෝ ය. එය ප්‍රජාතන්ත්‍රවාදයේ සාරධර්ම කෙලෙසීමකි. එබැවින් මනාප ඡන්ද ක්‍රමය වෙනුවට කේවල ඡන්ද ක්‍රමය හෝ කේවල අනුපාත මිශ්‍ර ඡන්ද ක්‍රමය යෝග්‍ය බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
මේ සඳහා යෝග්‍ය මැතිවරණ ක්‍රමයක් යෝජනා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ළඟදීම පත්කරන බවත් එහි වාර්තාව ලබන ජූලි මාසයට පෙර ලබාදිය යුතු බවටත් නියම කර තිබේ. යම් හෙයකින් ජූලි මාසය වන විට අදාළ වාර්තාව නිකුත් නොකළ හොත් ජනමත විචාරණයක් පවත්වා ඒ ගැන නිසි තීන්දුවක් ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත. මෙය හොඳ අදහසකි.
ඡන්ද ක්‍රමය වෙනස් කරන අතර මැතිවරණ වියදම් ද සීමා කළ යුතු බවට වන යෝජනාවක් ද මෙම දේශපාලන ප්‍රතිසංස්කරණවලට අයත්ය. මේ ගැන මැතිවරණ කොමිසම ද වාර ගණනාවක්ම රජයට කරුණු දක්වා තිබුණි. එහෙත් දූෂිත මනාප ක්‍රමය වෙනස් නොකර මැතිවරණ වියදම් සීමා පැනවීම ප්‍රායෝගික නොවන බවට මත පළ වී ඇත. එහි සත්‍යයක් ඇත. එබැවින් මනාප ක්‍රමය වෙනසට භාජන කරද්දීම මැතිවරණ වියදම් සීමා කළ හොත් එය මැතිවරණ දූෂණ පාලනයට ගනු ලබන ඵලදායි පියවරක් ලෙස හැඳින්විය හැකිය.
මෙම සියලු යෝජනාවලට අමතරව දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී ජනසභා නම් නව සභා ක්‍රමයක් මෙරටට හඳුන්වා දිය යුතු බව ජනාධිපතිවරයා පවසයි. අතීතයේ ක්‍රියාත්මක වූ ග්‍රාමෝදය මණ්ඩලවල මෙන් ගමේ තිබෙන සියලු සමිති සංවිධාන එක්රැස් කෙරෙන පොදු මණ්ඩපයක් ලෙස ජනසභා සංවිධානය කළ යුතු බව සඳහන්ය. රාජ්‍ය වියදමකින් තොරව ස්වේච්ඡා පදනමින් ජන සභා ක්‍රියාත්මක වේ නම් එය රටට බරක් නොවේ. එසේ නොමැතිව ජන සභාවත් තවත් ප්‍රාදේශීය සභාවක් වුවහොත් ඊට ජන ප්‍රසාදය හිමිකර ගැනීම නම් පහසු නැති බව සඳහන් කළ යුතුය.
(***)