පුංචි එංගලන්ත තැපැල්හලේ ඉරණම කුමක් වේද?


විශ්ව තැපැල් සංගමයේ ප්‍රමිතීන් සහ ශ්‍රී ලංකා රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුගත වෙමින් සේවාලාභී තෘප්තිය උපරිම තලයකට ගෙන ඒම සඳහා ප්‍රසන්න වැඩ පරිසරයක් තුළ අභිප්‍රේරිත කාර්යමණ්ඩලය හා නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් වඩාත් නව්‍යකරණය වූ කාර්යක්ෂම, විශ්වාසනීය තැපැල් සේවාවක් සැපයීම යන මෙහෙවර පෙරටු කරගනිමින් තැපැල් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වේ.

දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන තැපෑල විවිධ දේශපාලන අතපෙවීම්වලට ලක්වන තැනක් බවට පත්ව තිබේ. කොළඹ කොටුව තැපැල් කාර්යාලය, නුවරඑළිය තැපැල් කාර්යාලය, මහනුවර තැපැල් කාර්යාලය, ගාල්ල තැපැල් කාර්යාලය ඒ අතරින් දේශපාලන දෑස් එල්ල වූ කේන්ද්‍රස්ථාන වේ. තැපැල් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන තැපෑල තැපැල් සේවාවකට පමණක් සීමා නොවී සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවට එදා මෙදා තුරා පත්ව තිබේ.

මධ්‍යම කඳුකරයේ මිටියාවතක පිහිටි නුවරඑළිය මෙරට සුවිශේෂ නගරයකි. එමෙන්ම මුහුදු මට්ටමේ සිට මීටර් 1868ක් උසින් පිහිටි නුවරඑළිය සීතළ දේශගුණයක් පවතින රමණීය ප්‍රදේශයකි. පුංචි එංගලන්තය යනුවෙන් හැඳින්වෙන නුවරඑළිය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් සුවිශේෂ සංචාරක ඉසව්වකි. ග්‍රෙගරි වැව, ග්‍රෙගරි පාර්ක්, ග්‍රෑන්ඩ් හෝටලය, වින්සර් හෝටලය, කිකිලියානම කඳුවැටිය, බ්ලැක්පූල්, රේස් පිටිය, ගොල්ෆ් පිටිය සහ නගර මධ්‍යයේ පිහිටි අලංකාර තැපැල් කන්තෝරුව ඇතුළු පෞරාණික භෞතික සම්පත් රැසක තෝතැන්නකි. ඉන් එකදු දෙයක සිදුවන වෙනස්වීමක් එහි පෞරාණිකත්වය, ආකර්ෂණය බිඳ වැටීමට හේතුවනු ඇත. 

නගර මධ්‍යයේ තැපැල් කන්තෝරුව ස්ථාපිත කර තිබෙන්නේ රාජකීය ස්වරූපයෙනි. එහි අභිමානවත් බ්‍රිතාන්‍ය කිරීටයේ සංකේතය වූයේ එංගලන්ත ගෘහ නිර්මාණ ශිල්පය සිහිගන්වන ත්‍රිකෝණාකාර හැඩතලවලින් විසිතුරුව රතු සහ සුදු වර්ණයෙන් අලංකාර වූ නුවරඑළිය තැපැල්හලයි. නුවරඑළිය තැපැල්හල දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් පෞරාණික ගොඩනැඟිල්ලකි. විදෙස් තැපැල් ලෝලීන්ගේ ද සුවිශේෂී ගමනාන්තයක් වූ නුවරඑළිය තැපැල් කාර්යාලය නුවරඑළිය නගරයේ අනන්‍යතා සලකුණ ලෙස ද සලකනු ලබයි. 1894 වර්ෂයේ එවකට නුවරඑළිය නගරයේ පාලකයා වශයෙන් කටයුතු කළ සර් විලියම් ‍ග්‍රෙගරි ආණ්ඩුකාරවරයාගේ නිර්මාණ කෞශල්‍යය ඉස්මතු කරන සුවිශේෂ නිර්මාණයකි. මෙම තැපැල්හලේ නාමය ලොවපුරා පතුරුවාලීමට බ්‍රිතාන්‍යයන් භාවිත කරන ලද්දේ Pink Post Office යන නාමයයි. මෙම ගොඩනැඟිල්ල නිර්මාණය කිරීමට පාදක කරගෙන ඇත්තේ ටියුඩර් එඩ්වර්ඩියන් (Tudor Edwardian) ගෘහ නිර්මාණ සම්ප්‍රදායයි.

මෙම ගොඩනැඟිල්ල සඳහා අවශ්‍ය කරන උළු බැංගලෝරයෙන් ආනයනය කළ ඒවාය. ඒ අතර වීදුරු උළු කැටද වේ. මෙහි ඇති තවත් සුවිශේෂත්වයක් වනුයේ අනාගතයේ වුවමනා වෙතැයි අනුමාන කොට වහලයට යොදාගත් ප්‍රමාණයෙන්ම තොගයක් තැපැල් කාර්යාලයේ පිටුපස ගොඩගසා තිබීමයි.

රක්ත වර්ණයෙන් දර්ශනය වන අලංකාර ගොඩනැඟිල්ල හා සම්බන්ධව ඉදිකර ඇති අඩි 45ක් පමණ උස ඔරලෝසු කණුව සුවිශේෂ වූවකි. එය පිත්තල හා වානේවලින් නිර්මාණය කර ඇති අතර ඔරලෝසුව ක්‍රියාත්මක වනුයේ බර ලඹ කැට මඟිනි. තැපැල් කාර්යාලය තුළ බ්‍රිතාන්‍යය යුගයේ භාවිත කළ තැපැල් පෙට්ටි සහ අනෙකුත් උපකරණ බොහෝමයක් දැකගත හැකිය. ඒ අතරින් වඩාත් කැපී පෙනෙන්නේ එකල භාවිත කළ විශාල ලී තැපැල් පෙට්ටියක් සහ වේවැල්වලින් නිර්මාණය කළ පැරණි තැපැල් පෙට්ටියයි.

මේ වන විට දක්නට ලැබෙන්නේ කොන්ක්‍රීට්වලින් හෝ චීනච්චට්ටිවලින් වාත්තු කොට නිපදවූ තැපැල් පෙට්ටියක් වුවද නුවරඑළිය තැපැල් කාර්යාලයේ ඇති තැපැල් පෙට්ටි නිමවා ඇත්තේ කදුරු ලීයෙන් වීම විශේෂත්වයකි. එමෙන්ම එදා සිට පැවත එන තවත් ඉපැරැණි වටිනාකමකින් යුත් මෙවලමක් වන්නේ තවමත් නොදිරා තිබෙන පදම් කළ වේවැලෙන් වියා ඇති තැපැල් පෙට්ටියයි.

බ්‍රිතාන්‍යයන් විසින් පිහිටවනු ලැබූ තැපැල් කණුවද තවමත් තැපැල් ගොඩනැඟිල්ල ඉදිරිපිට නිරුපද්‍රිතව පවතී. නුවරඑළියේ සංචාරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝ මෙම පැරැණි උපකරණ දැක බලා ගැනීමට මහත් උනන්දුවක් දක්වති. තැපැල් කාර්යාලය හුදෙක් ඓතිහාසික ස්ථානයක්ම පමණක් නොව දේශසීමා හරහා මිනිසුන් එකිනෙකා සම්බන්ධ කරන ලොව වටා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයකි. මෙම ආකර්ෂණය නිසාම තැපැල්හල නව්‍යකරණය වූ සංචාරක නිකේතනයක් බවට පත්කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොවේ. ඊට හේතුව වනුයේ 2012 වර්ෂයේ දී සංචාරකයන්ගේ දැඩි ඉල්ලු‍ම නිසාම තැපැල් ස්ථානාධිපතිවරයාගේ නවාතැන වූ ඉහළ මාලය සංචාරකයන්ගේ නවාතැනක් ලෙස යොදා ගෙන තිබීමය. පුරාවිද්‍යා වටිනාකමකින් යුත් මෙම ගොඩනැඟිල්ල සංචාරක අවශ්‍යතා සඳහා සංවර්ධනයට 2012 වර්ෂයේ දී වැය කළ මුදල රුපියල් මිලියන 5.5කි. එලෙස අලු‍ත්වැඩියා කිරීමේ දී ඉදිකළ නව සිවිලිමට පැරණි සුපුරුදු තේක්ක ලීයෙන් නිමකොට තිබූ බාල්ක, ආධාරක හා තේක්ක ලෑලි සිවිලිම මුළුමනින්ම වැසී ගොස් තිබේ. එනිසා සිවිලිමේ බාල්ක හා ආධාරකවල කොටා තිබූ කැටයම් සියල්ල වැසී ගොස් තිබේ.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් 1990 දෙසැම්බර් 26 වැනි දින ශ්‍රී ලංකා තැපැල් සංවත්සරය වෙනුවෙන් නුවරඑළිය තැපැල් කාර්යාලයේ ඡායාරූපයක් සහිත රුපියල් 15ක මුද්දරයක් නිකුත් කරන ලදී.  පසුව 2016 දෙසැම්බර් 26 දින මුද්දර කාර්යාංශයේ අංශයක් එහි ස්ථාපිත කිරීම නිමිත්තෙන් නුවරඑළිය තැපැල් කාර්යාලයේ  රුව සහිත රුපියල් 150ක මුල් දින කවරයක් ද නිකුත් කරන ලදී. තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල 1940 අංක 9 දරන පනත ප්‍රකාරව පුරාවිද්‍යා ආරක්ෂක ස්මාරකයක් ලෙස 2007 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කළ අතර එය නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුවේ අංක 1486 යටතේ ද ලේඛනගත කර ඇත.

නුවරඑළිය නගර සීමාව තුළ වන සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල මෙන්ම එම ප්‍රදේශයේ පවුල් 10,500කගේ 50,00කට ආසන්න ජනතාවකට සේවා සපයනු ලැබේ. දිවයින පුරා පිහිටි ප්‍රධාන තැපැල් කාර්යාල 654 අතරින් ඉහළ ආදායම් රැස්කරනු ලබන තැපැල් කාර්යාල අතර රැඳී තිබෙන නුවරඑළිය තැපැල් කාර්යාලය 2022 වර්ෂයේ දී රුපියල් මිලියන 34.6ක් සහ 2023 වර්ෂයේ මැයි මාසය වන විට රුපියල් මිලියන 61.6ක ඉහළ ආදායමක් රැස්කර ඇත. මෙම ගොඩනැගිල්ල පිහිටි ඉඩම රූඩ් 03 පර්චස් 8.36 (පර්චස් 128.6)කින් යුක්ත වේ. වර්ග මීටර් 2281 පමණ වන නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ තැපැල් කාර්යාලයට අමතරව නුවරඑළිය ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලය, සන්නිවේදන පියස, මුද්දර කාර්යංශය, නිවාඩු නිකේතනය සහ ප්‍රධාන තැපැල් ස්ථානාධිපති නිල නිවස පිහිටා තිබේ.

වසර 130ක් ඉපැරණි දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයෙන් යුත් නුවරඑළිය තැපැල් කාර්යාලය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පැවති ආණ්ඩුවේ තීරණ මත හෝටල් ව්‍යාපෘතියක් සඳහා ඉන්දියානු සමාගමක් වන ටාජ් සමුද්‍රා හෝටලය වෙත පැවරීමට උත්සහ ගැනුණේ මෙවන් පසුබිමකය. මෙම පවරා ගැනීම සම්බන්ධයෙන් දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේද විරෝධය පළ විය.

ලෝක උරුම ගොඩනැඟිලි සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ ගැනීමට පෙර මහා සංඝරත්නයෙන් කරුණු විමසීම කළ යුතුය. රටේ සංස්කෘතික සභ්‍යත්වය හා බැඳුණු ඓතිහාසික ගොඩනැඟිලි පිළිබඳ උරුමය අනාගතයට පැවරිය යුතු බව සඳහන්ව තිබේ. ඓතිහාසික නුවරඑළිය තැපැල් කාර්යාලය හෝටලයක් බවට පත්කිරීමට එරෙහිව එදා ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු අස්ගිරි පාර්ශ්වවල මහානායක හිමිවරු ද තම විරෝධය පළ කළහ.

නුවරඑළිය තැපැල් කාර්යාලය හෝටලයක් බවට පරිවර්තනය කිරීමේ රජයේ වෑයම සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදේශ සංචාරකයන් පවසා සිටියේ තමන් යුරෝපා රටක සුන්දරත්වය පෙරදිග රටක දී අත්විඳීමට නුවරඑළියට පැමිණෙන බවයි. නුවරඑළියේ නවාතැන් ගැනීමට ප්‍රමාණවත් හෝටල් පැවතුණ ද නැරඹීමට තිබෙනුයේ එක් රාජකීය තැපැල් කාර්යාලයක් පමණක් බවයි.

නුවරඑළිය තැපැල්හල් ගොඩනැඟිල්ල සංචාරක හෝටලයක් බවට පත් කිරීමට පිඹුරුපත් සකස් කර තිබුණද නව රජයේ ප්‍රතිපත්ති මත එම ගොඩනැඟිල්ල සහ භූමිය මින් ඉදිරියට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් වෙන් කරන බවත් මෙතෙක් ගෙන ඇති තීන්දු තීරණ සියල්ල අත්හිටුවන බව 150 වැනි ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

නුවරඑළිය තැපැල් කාර්යාලය අනෙක් තැපැල් කාර්යාලවලින් සුවිශේෂී වන්නේ මන්ද යන්න සහ මෙතෙක් එල්ල වූ දේශපාලන අතපෙවීම් සහ පෞද්ගලිකරණය කිරීමට යෑම මේ වන විට කුමනාකාරයෙන් විසඳී ඇත්ද යන්න සම්බන්ධයෙන් කළ විමසීමක දී තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන) තුසිත හුලංගමුව මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

නුවරඑළිය තැපැල් කාර්යාලය පෞද්ගලික හෝටල් ව්‍යාපෘතියකට (ටාජ් සමුද්‍රා හෝටලය) ලබා දීමට විරුද්ධ වුණේ ඇයි?

නුවරඑළිය තැපෑල කියන්නේ තැපැල් සේවාව යටතේ තිබෙන විශේෂිත වූ තැනක්. ඊට හේතුව තමයි එහි ගොඩනැඟිලි හදලා තියෙන ගෘහ නිර්මාණ ශිල්පය සහ පෞරාණිකත්වය නිසා විශේෂ වැදගත්කමක් තියෙනවා වගේම දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සුවිශේෂී ස්ථානයක් කිව්වොත් නිවැරදියි. මහජනතාව සහ තැපැල් දෙපාර්තමේන්තුව මීට විරුද්ධ වුණේ මුළුමනින්ම තැපැල් කාර්යාලය ඉවත් කරනවා කියපු සංකල්පයට. ලිපි භාරගැනීම, රෙජිස්ටර් කිරීම, පාර්සල් යැවීම, මුදල් ඇණවුම්, කුරියර් සේවා, ජාත්‍යන්තර තැපැල් සේවා, මුදල් ප්‍රේශන සේවා, බැංකු සේවා, රක්ෂණ සේවා කියන තැපෑලට ආවේණික වූ සේවාවලට බාධා එල්ල වීම එක හේතුවක්. අනෙක් හේතුව තමයි විදෙස් සංචාරකයන්ගේ සංචාරක කේන්ද්‍රස්ථානයක් වගේම ඔවුන් තැපෑල හරහා ඔවුන්ගේ රටවල් සමඟ පණිවිඩ හුවමාරු කරගන්න තැපැල් කාර්යාලය භාවිතයට ගන්නා නිසා තමයි තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මහජනතාව, ආගමික නායකයන්, විදේශිකයන් මෙම ව්‍යාපෘතියට තරයේම විරුද්ධ වුණේ.

මේ ව්‍යාපෘතිය හඳුන්වා දෙන්න පෙරාතුව තැපැල් කාර්යාලය පවතින ස්ථානයේ යටිතල පහසුකම්වල පවතින අඩුපාඩු රැසක් සම්බන්ධයෙන් දිසාපතිතුමා සමඟ මූලික සාකච්ඡාවකට ඇවිත් යෝජනා කළා. නුවරඑළිය තැපැල් කාර්යාලය කියන්නේ ගොඩක් පැරණි ගොඩනැඟිල්ලක්. එවැනි ගොඩනැඟිලි නඩත්තු කිරීම ඉතාමත් අපහසුයි. අපි එහිදී යෝජනා කළේ සංචාරකයන්ට පහසුවන ආකාරයට යටිතල පහසුකම් සංවර්ධනය කරන්න, කෝපි අවන්හල් ආදිය ස්ථාපනය කරන්න කියලා. ඒ සඳහා රජය මඟින් ලබා දෙන මුදල් ප්‍රතිපාදන හෝ පෞද්ගලික හවුල් ව්‍යාපාර මඟින් හෝ වැඩිදියුණු කරමු කියලා. ඒත් හිටපු ජනාධිපතිතුමාගේ මූලිකම සැලැස්ම වුණේ නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන්ම ඉවත් කරලා හෝටල් ව්‍යාපෘතියකට ලබා දෙන්න. මෙතන  හෝටල් ව්‍යාපෘතියක් කරන්න විශාල ඉඩකඩක් තියෙන තැනකුත් නෙමෙයි. තැපැල් කාර්යාලය ව්‍යාපෘතියට ලබා ගන්නා නිසා ඒ දිනවල ලබා දී තිබුණේ පැරණි නගර සභා ගොඩනැඟිල්ල. ඒත් එක්කම එල්ල වූ දැඩි බලපෑම්, පීඩනය නිසා අපට ඒ ව්‍යාපෘතියට කැමැත්ත පළ කරන්න සිද්ධ වුණා. අපි නගර සභා ගොඩනැගිල්ල පරීක්ෂා කරලා ඊටයෑමට සූදානම් වෙමින් ඉද්දී තමා අවසන් තීරණය ලැබුණේ.

ලෝක තැපැල් දිනය සමරමින් විජිත හේරත් මහතා ප්‍රකාශ කරනවා නුවරඑළිය තැපෑල පෞද්ගලික අංශයට ලබා නොදෙන බව ඒ සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් කර තිබෙනවාද?

තැපැල්පතිතුමා හා ජනමාධ්‍ය ඇමතිතුමා සමඟ පැවතුණ මූලික සාකච්ඡාවලදී ඉදිරිපත් කළ මූලික ඉල්ලීම් කිහිපයක් තියෙනවා. එකක් තමයි ජනාධිපති මන්දිරය ඉදිරිපිට තිබෙන තැපැල් කාර්යාලය සහ නුවරඑළිය තැපැල් කාර්යාලය තැපැල් දෙපාර්තමේන්තුවට ආවේණික ස්ථාන නිසා දෙපාර්තමේන්තුවට දෙන්න කියලා. එහිදී ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා එකඟ වුණා නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල පෞද්ගලික ව්‍යාපෘතිය සඳහා ලබා දෙන්නේ නැහැ එය නුවරඑළිය තැපැල් කාර්යාලයට ලබා දෙනවා කියලා. වාචිකව එකඟ වුණා තවම ලිඛිතව ඒ බව දැනුම් දීලා නෑ.

නුවරඑළිය තැපෑල සංචාරකයන් අතර ජනප්‍රියයි. ඔවුන් මොන ආකාරයේ කටයුතු සඳහා ද තැපෑල භාවිත කරන්නේ?

දෙස් විදෙස් සංචාරකයන් තැපැල් කාර්යාලයට ඇවිත් මූලික වශයෙන් සිදු කරන්නේ ඒ පරිසරයේ සිට ඡායාරූප ලබා ගැනීම. ඊට අමතරව විදේශ සංචාරකයන් දැඩි කැමැත්තක් දක්වනවා පින්තූර පෝස්ට් කාර්ඩ් අරගෙන ඒවා ඒ ඒ රටවල සිටින හිතමිතුරන්ට යවන්න. තැපැල්පත් (POST CARD) වලට අමතරව මුද්දර කවුළුවෙන් මුද්දර මිලදී ගැනීම් කරනවා. ඒ දේවල් සඳහා තමයි වඩාත්ම කැමති. පාර්සල් යැවීමට තිබෙන නැඹුරුව අඩුයි.

ඉදිරියේ දී මෙහි සංවර්ධනය වෙනුවෙන් මොනවගේ වැඩපිළිවෙළක් සකස් කරන්නද බලාපොරොත්තු වෙන්නේ?

අපි ඉදිරියේ දී සූදානම් වෙනවා පෙර කී සැලැස්ම ක්‍රියාත්මක කරන්න. ඒ කියන්නේ අපට රජයෙන් ලැබෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් නැතිනම් පෞද්ගලික හවුල් ව්‍යාපාර මඟින් විදේශීකයන්ට අවශ්‍ය පහසුකම් දියුණු කරලා ඔවුන් ආකර්ෂණය කරගත හැකි පරිසරයක් නිර්මාණය කරන්න. ඒ යටතේ කෝපි හල්, කෞතුකාගාරයක්, ඉහළ මහලේ තිබෙන කාමර විදේශිකයන් සඳහා විවෘත කරන්න වඩාත් සුදුසු වැඩපිළිවෙළක් සකසන්න සැලසුම් කරලා තියෙනවා.

ලෝකයේ පෞරාණික යැයි පිළිගත් රෝමය, වැනීසිය, පැරීසිය වැනි  නගරවලට වසරකට ලක්ෂ සංඛ්‍යාත සංචාරකයන් ඇදී එන්නේ එම නගරවල පෞරාණිකත්වය සියසින් දැකබලා ගැනීමටය. එලෙස නම් දැරූ ස්ථාන ඒ ඒ රටවල පුරවැසියෝ දිවිහිමියෙන් ආරක්ෂා කරති. ඒත් පෞරාණිකත්වයෙන් හෙබි ශ්‍රී ලංකාවට විදේශීය ආයෝජන මෙරටට ගලා එන ආකාරයේ වැඩපිළිවෙළක් සකසනවා වෙනුවට මෙරට දේශපාලන පාලන ව්‍යුහයෙන් අත්තනෝමතික ක්‍රියාපිළිවෙත් මත පදනම්ව රටේ සම්පත් පිටරට විකිණීමේ මාෆියාවන් සිදුවන්නේ මෑතක සිට නොවේ. නුවරඑළිය තැපෑල පෞද්ගලික සමාගමකට ලබා නොදෙන බව කියා ඇති නමුදු ඉදිරියේ දී කුමක් වේදැයි විචක්ෂණශීලීව බලා සිටිය යුතුය.

 

(*** මනීෂා වීරසිංහ)