ඉකුත් අඟහරුවාදා මැතිවරණ කොමිෂන් සභාව මාර්තු 9 වැනිදාට නියමිත පළාත් පාලන මැතිවරණ සඳහා වූ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම කල්දැමීමත් සමග එම මැතිවරණ පැවැත්වේදැයි පැවැති අවිනිශ්චිතතාව තවදුරටත් වැඩි වී තිබේ. දැන් එම මැතිවරණ නොපැවැත්වීමේ සම්භාවිතාව වැඩිය.
ඒ තත්ත්වය ආපස්සට හැරෙන්නේ නම් ඒ ආණ්ඩුවට වෙන කරන්නටම දෙයක් නැති නම් පමණි.
මේ තත්ත්වයට හේතුවී ඇත්තේ මෙම මැතිවරණය මේ අවස්ථාවේදී පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ නොකැමැත්තයි.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී නිල කාලය අවසන්වන්නට තිබූ මෙම පළාත් පාලන ආයතන 341 සඳහා ඒ දිනවලම මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබුණද එවකට පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් ආණ්ඩුව එම මැතිවරණ වසරකින් කල් දැමීය. එවිට ඒ සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂවල එතරම් විරෝධයක් මතු වූයේ නැත.
එහෙත් එවක පැවැති ආර්ථික අර්බුදය එම වසර තුළදී අතිශයින් දරුණු වූයෙන් ආණ්ඩුවට එරෙහි ජනමතය බුර බුරා නැඟී එයම විශාල මහජන නැඟිටීමක් බවට පත්වී ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් මුදල් ඇමැතිවරයාටත් මහ බැංකු අධිපතිවරයාටත් තනතුරු අත්හරින්නට සිදුවිය. ඒ තත්ත්වය යටතේ විරුද්ධ පක්ෂ වෙතින් පමණක් නොව ජනතාව වෙතින්ද තම විරෝධය කියා පෑම සඳහා මැතිවරණයක් සඳහා වූ ඉල්ලුම ඉහළ නැඟ තිබේ.
විවිධාකාර හේතු හා උපක්‍රම ඉදිරිපත් කරමින් මෙම මැතිවරණය මගහරින්නට උත්සාහ කළ ආණ්ඩුව මේ වනවිට පවසන්නේ මැතිවරණයක් පවත්වන්නට මේ අවස්ථාවේදී ආණ්ඩුවට මුදල් නැති බවයි. මෙම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය හොබවන එක්සත් ජාතික පක්ෂයට හෝ මේ අවස්ථාවේදී මැතිවරණයකට මුහුණදීමට හැකියාවක් නැත. එම පක්ෂ දෙකේ ජනප්‍රියතාව ඉතාමත් පහළ මට්ටමකට බැස තිබීම ඊට හේතුවයි.
මෙම පක්ෂ දෙකේ නායකයෝ මෙම තත්ත්වය පසුගිය වසරේ අගභාගයේදීම දුටුවාහ. එහෙයින් ඒ දිනවල සිට පළාත් පාලන මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව විවිධ උපක්‍රම සොයන බව පෙනෙන්නට තිබිණි.
මුලින්ම ඔවුහු, විශේෂයෙන්ම ජනාධිපතිවරයා උත්සාහ කළේ නීතිමය උප්පරවැට්ටියකින් පළාත් පාලන මැතිවරණ කල් දැමීමටය. ඒ අනුව පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අටදහස් ගණනක සිට හාර දහස් ගණනකට අඩු කරන්නට කටයුතු කරන බව ඔහු ඉකුත් ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශ කළේය. ඒ අනුව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා නොවැම්බර් මාසයේදී පළාත් පාලන ආයතනවල ඡන්ද කොට්ඨාස සීමා යළි නීර්ණය කිරීම සඳහා කමිටුවක්ද පත් කළේය.
එම උපක්‍රමය වැරදුණහොත් ප්‍රයෝජනය ගැනීම සඳහා හෝ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නට යෝජනාවක් ඉදිරිපත් විය. ඒ එවැනි කාරක සභාවක් සිය වාර්තාව පසුගිය වසරේම ජූනි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ තිබියදීය. ඉන්පසු පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී.දොලවත්ත මහතා පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාවෙන් සියයට 25කට තරුණයන් පත් කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඉනුත් අනතුරුව ආණ්ඩුව දැනට ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති මැතිවරණයට බලපාන අයුරින් අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් සීමා කිරීම සඳහා වූ පනතක් ඉදිරිපත් කොට සම්මත කර ගත්තේය.
මේ නීති සංශෝධන යෝජනා සියල්ල අනුමත කළ හැකි ඒවා වුවද ඒවා මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්නේ කුමන අරමුණෙන්ද යන්න කුඩා ළමයින්ට පවා වැටහේ. ඒ නීති සංශෝධන ඉදිරිපත් කරන අතරතුර මැතිවරණයට මුදල් නැතැයි ආණ්ඩුව මැතිවරණය පැවැත්වීමට එරෙහි වීමෙන් එම නීති මේ අවස්ථාවේදීම ගෙන ඒ මේ අරමුණ ඉතා පැහැදිලිය.
2017 දී අලුත් නීතියක් සම්මත කොට පළාත් සභා මැතිවරණ අද දක්වාම පැවැත්වීමට නොහැකි වන තැනට කටයුතු කළ එජාපය පළාත් පාලන මැතිවරණ ද එවැනිම නීතිමය උගුලක සිර කිරීමට උත්සාහ කිරීමට අමතරව වෙනත් සදාචාර විරෝධී උපක්‍රම ද ක්‍රියාත්මක කරමින් මෙවර පළාත් පාලන මැතිවරණ කල් දැමීමට උත්සාහ කරයි.
ඒ අනුව පක්ෂ නායකයකු හා විධායකය නියෝජනය කරන්නා වන ජනාධිපතිවරයා ජනවාරි 6 වැනිදා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තම කාර්යාලයට කැඳවීය. එහිදී මැතිවරණය පවත්වන්නේද? නැද්ද? යනුවෙන් කොමිසමේ සාමාජිකයන් අතර ඇති මතභේද නිරාකරණය කරන්නා ලෙස ඔහු පැවැසීය. ඊට පසුවදා විශාල ප්‍රචාරයක්ද ලැබිණි. එහෙත් එවැනි මතභේද කොමිසම තුළ නැතැයි කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පසුව ජනමාධ්‍යයට ප්‍රකාශ කොට තිබිණි.
මේ අතර අපේක්ෂකයන්ගෙන් ඇප මුදල් භාර ගැනීම නතර කරන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට ජනවාරි 9 වැනිදා චක්‍ර ලේඛයකින් උපදෙස් දුන්නේය. එය කැබිනට් තීන්දුවක් අනුව සිදුවූ දෙයක් බව ජනමාධ්‍ය වාර්තා කොට තිබිණි. කෙසේ වෙතත් එදිනම එම චක්‍රලේඛය ඉල්ලා අස්කර ගත් හපුහින්න මහතා පසුව ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට සිය කනගාටුව ප්‍රකාශ කොට තිබිණි.
ජනවාරි 18 වැනිදා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනකු වනව එස්.බී. දිවාරත්න මහතාට හා කේ.පී.පී. පතිරණ මහතාට කොමිසමෙන් ඉල්ලා අස්වන ලෙසට මරණ තර්ජන එල්ල වී තිබිණි. ජනවාරි 27 වැනිදා කොමිසමේ තවත් සාමාජිකයකු වන එම්.එම්. මොහමඩ් මහතාට ද එවැනිම තර්ජනයක් එල්ල විය. මේ අවස්ථාවේ දී මෙම මැතිවරණය පැවැත්විය යුතුයැයි කියන පිරිස වෙතින් මෙවැනි තර්ජනයක් එල්ල වේ යැයි සිතිය නොහැකිය. මේ අතර කොමිසමේ තවත් සාමාජිකාවක් වූ පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඉල්ලා අසුවූවාය.
මැතිවරණයට මුදල් නැතැයි යන ආණ්ඩුවේ තර්කය ඉදිරියට එන්නේ මේ පසුබිම තුළය. ඖෂධ හිඟය, පොහොර හිඟය වැනි ප්‍රශ්න සමඟ ගළපා බලන විට ආණ්ඩුව විශාල මූල්‍යමය අර්බුදයකට මුහුණ දී සිටින බව පැහැදිලිය. එහෙත් මැතිවරණය කල් දැමීම සඳහා මැරවරයන්ද ඉදිරිපත් වී සිටින තරමට උත්සන්න වී ඇති ආණ්ඩුවේ මැතිවරණ විරෝධය හමුවේ මැතිවරණයට මුදල් නැතැයි යන්න ජනතාව පිළිගන්නේද යන්න ප්‍රශ්නයකි.
අනෙක් අතට පසුගිය අයවැයෙන් මෙම පළාත් පාලන මැතිවරණ සඳහාම රුපියල් කෝටි දහසක් වෙන් කරනු ලැබූ බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පසුගිය ජනවාරි 8 වැනිදා ජනමාධ්‍යයනට පවසා තිබිණි.කෙසේ වෙතත් මැතිවරණය කල් දමන්නට නියෝගයක් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු වන ඩබ්ලිව්. එම්.ආර්. විජේසුන්දර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කරනු ලැබ ඇති පෙත්සමට අදාළව දිවුරුම් පෙත්සමක් මඟින් කරුණු දක්වා ඇති මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මැතිවරණයකට මුදල් සැපයීම අභියෝගයක් වී ඇතැයි පවසා තිබිණි.
ඉන් අදහස් කරන්නේ මුදල් දිය නොහැකි බවද නැත්නම් දිය හැක්කේ අමාරුවෙන් බවද? එම පෙත්සම මේ මස 23 වැනිදා යළි කැඳවූ විට ඇතැම් විට එය දැන ගත හැකි වනු ඇත.
මේ දීර්ඝ විස්තරයෙන් අප පවසන්නට උත්සාහ කරන්නේ ස්වාධීන යැයි කියන කොමිෂන් සභා කොතරම් දුරට ස්වාධීන දැයි යන ප්‍රශ්නය දැන් මතු වී ඇති බවයි. මෑත කාලයේ සිදුවූ ඇතැම් සිද්ධීන් අනුව මෙම ප්‍රශ්නය ස්වාධීන යැයි කියන වෙනත් කොමිෂන් සභා සම්බන්ධයෙන්ද මතුවේ. විශේෂයෙන්ම වත්මන් විදුලි අර්බුදය හමුවේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සම්බන්ධයෙන් මෙම ප්‍රශ්නය මතුවේ.
පසුගිය සැප්තැම්බර් මාසයේදී ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය ගාස්තු සියයට 75කින් වැඩි කළේය.ඒ තත්ත්වය යටතේ යළිත් සියයට 66කින් ගාස්තු නැංවීමට විදුලි බල මණ්ඩලය හා විදුලි බල අමාත්‍යාංශය උත්සාහ කළ විට මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊට විරුද්ධ විය. කෙසේ වෙතත් සභාපතිවරයාගේ මතය නොපිළිගත් කොමිසමේ අනෙක් සාමාජිකයන්ගේ එකඟතාවෙන් ගාස්තු නැංවීමට බදාදා තීරණය කෙරිණි.
මෙම කාරණය පිළිබඳ විවාදය කෙරෙන අතරතුර ජනවාරි 23 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේ විදුලි කප්පාදුව නොකළ යුතු යැයි රත්නායක මහතා විදුලි බල මණ්ඩලයට දැනුම් දුන්නේය. එහෙත් මණ්ඩලය එය නොතකා විදුලි කප්පාදුව කරගෙන ගියේය. ඔහු ඊට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළද පෙබරවාරි 10 වැනිදා එය ප්‍රතික්ෂේප විය. අධිකරණය නීතිමය කරුණු සලකා මෙම තීන්දුව දෙන්නට ඇත. එහෙත් විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමේ දැනුම්දීම නොතකා හැරියේය යන්න සිදු වූවකි.
මේ අතර උසස් විභාගය පැවැත්වෙන කාලයේ කෙරෙන විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමද විදුලි බල මණ්ඩලය, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය, මහජන උපයෝගීතා කොමිසම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යන ආයතනවල නියෝජිතයන් කැඳවා සාකච්ඡා කළේය. ඒ අනුව ආයතන අතර යම් යම් එකඟතා ඇති කරගෙන අදාළ කාලය තුළ විදුලි කප්පාදුව නොකරන්නට සියලු දෙනා එකඟ වූහ.
එහෙත් විදුලිබල මණ්ඩලය එම එකඟතාව නොතකා විදුලි කප්පාදුව දිගටම කරගෙන ගියේය. එහෙයින් තම කොමිසමට ඉන් අපහාසයක් වී යැයි මානව හිමිකම් කොමිසම ජනවාරි 30 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය. එහෙත් එම පෙත්සමද ප්‍රතික්ෂේප විය. එහිදී කොමිසමට අපහසායක් වුවාද නැද්ද යන්න කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලය කොමිසමේදී එකඟ වූ අයුරින් කටයුතු නොකළේය. යන්න සත්‍යයකි. මණ්ඩලයට ඒ සඳහා සාධාරණ හේතු තිබෙන්නටද ඇත. එහෙත් ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත් බවක් නොපෙනේ.
පොලිස් කොමිසමේ ස්වාධීනත්වය සම්බන්ධයෙන්ද පසුගිය කාලයේ ගැටලු මතුවිය. 2019 ජනාධිපතිවරණය පසුවී සතියකින් එවක රහස් පොලිස් අධ්‍යක්ෂ වූ ශානි අබේසේකර මහතා එම ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව ඔහු අත්අඩංගුවට පත්වීමත් පොලිස් කොමිසමේ ස්වාධීනත්වය පිළිබඳව ඇතැමුන් ප්‍රශ්න මතු කළ අවස්ථා විය. ඉන්පසු පසුගිය නොවැම්බර් 20 වැනිදා බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ සිට මෙරටට පැමිණෙන විට ඔහු පිළිගන්නට සිටි පිරිස අතර පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාද විය. එය අහඹු සිදුවීමක් බව ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළද එම සිද්ධිය බොහෝ දෙනා තුළ සැක සාංකා මතු කළේය.
මැතිවරණ කොමිසමේ හිටපු සාමාජික මහාචාර්ය රත්නජීවන් හුල් මහතා සම්මුඛ සාකච්ඡාවක දී කළ ප්‍රකාශයකින්ද එම කොමිසමේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නය මතුවිය. දෙමළ බසින් කරන ලද එම සාකච්ඡාවේ දී ඔහු පොදුජන පෙරමුණට එරෙහිව අදහස් ප්‍රකාශ කළේය.
ස්වාධීන කොමිසම් පත් කරනු ලැබුවේ ජනාධිපතිවරයාගේ විධායක බලතල සීමා කරනු පිණිසය. එහෙත් එම කොමිසම්වල ස්වාධීනත්වයට පිටින් මෙන්ම ඇතුළතින් ද හානි පැමිණෙනු ඉහතින් දැක් වූ කරුණු අනුව පෙනේ. එහෙයින් ස්වාධීන කොමිෂන් සභා කොතරම් ස්වාධීනදැයි යන ප්‍රශ්නය මතු කළ යුතුව තිබේ.
(*** එම්.එස්.එම්. අයුබ්)