යෝජිත පළාත් පාලන මැතිවරණය ගැන ඇත්තේ බලවත් අවිනිශ්චිත බවකි. එයට අදාළව පළවන විවිධ පුවත් විසින් ඡන්දය නියමාකාරයෙන් පැවැත්වේ ද නැත්නම් නවතී ද යන සැකය පුරවැසියන්ගේ සිත් තුළ ජනිත කරමින් පවතී. ඡන්දය පැවැත්වීම බාර වී ඇති මැතිවරණ කොමිසම ඊට අවශ්‍ය මූලික නිවේදන නිකුත් කොට ඡන්දය පැවැත්වීමට අදාළ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. එහෙත්, ආණ්ඩුවේ බලවත් පාර්ශ්ව විසින් ප්‍රකාශ කරනු ලබන්නේ පවත්නා ආර්ථික අර්බුදය නිසා මෙය ඡන්දයකට සුදුසු අවස්ථාවක් නොවන බැවින්, මැතිවරණය කල් දැමිය යුතු බවකි.
රජයේ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සතියේ කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ, මේ වන විට මහා භාණ්ඩාගාරය දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බවයි. රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සහ සමෘද්ධි දීමනාව ගෙවීම පමා විය හැකි බවත්, පවත්නා අර්බුදයට තාවකාලික පිළියමක් ලෙස අයවැයෙන් සියලුම අමාත්‍යාංශවලට වෙන් කළ මුදලින් සියයට 5ක් කපා හරින බවත්, අමාත්‍ය ගුණවර්ධන වැඩිදුරටත් පැවැසීය.
මෙම පුවත ප්‍රකාශ වූ පළමු මොහොතේම අපට සිතෙන්නේ රට මෙතරම් දරුණු ආර්ථික අර්බුදයක ගැලී සිටී නම්, මැතිවරණ පවත්වන්නේ කෙසේ ද කියාය. යෝජිත ඡන්දය සඳහා රුපියල් බිලියන 10ක් හෙවත් රුපියල් කෝටි 1,000ක මුදලක් වැය කළ යුතුය. ඒ සඳහා දැන් රජයට ආර්ථික ශක්තියක් නොමැති බව මෙම පුවතින් ගම්‍ය වේ.
එහෙත්, දැනටමත් වසරකින් පමා වී ඇති මැතිවරණය සම්බන්ධයෙන් මෙම නිදහසට කරුණු පිළිගත යුතු ද යන්න ප්‍රශ්න කරන පුරවැසියන් විශාල පිරිසක් සමාජයේ සිටින බව අමතක නොකළ යුතුය. ඒ අතර රජයේ අමාත්‍ය මණ්ඩලය මැතිවරණය සඳහා ඇප මුදල් බාර නොගන්නා ලෙස රාජ්‍ය පරිපාලන ලේකම්වරයා හරහා දිසාපතිවරුන්ට නියම කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා දිසාපතිවරුන්ට දැන්වූයේ, ඔවුන් දැනටමත් දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් ලෙස පත්කර ඇති බැවින්, ඇප මුදල් බාරගත යුතු බවය.
කොමසාරිස් ජනරාල්වරයාගේ ලිපිය නිකුත් කර මඳ වේලාවකින් රාජ්‍ය පරිපාලන ලේකම්වරයා මුදල් බාර නොගන්නා ලෙස නියම කරමින් දිසාපතිවරුන්ට යැවූ ලිපිය ඉල්ලා අස්කරගත් බව වාර්තා විය. මෙවැනිම සිද්ධියක් වසර 2017දීත් සිදු විය. එකල පැවැති සීමා නිර්ණය කමිටු වාර්තාව සමාලෝචනයේදී වැරැදි සිදු වූ බව කියමින් අධිකරණයට ගිය පිරිසක් මැතිවරණය සම්බන්ධයෙන් තහනම් නියෝගයක් ලබා ගත්හ.
ඒත් එකල සිටි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රශ්නගත නොවන පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා බාරගෙන ඡන්දය පවත්වන බව ප්‍රකාශ කළේය. මෙම සිද්ධිය වූ අවස්ථාවේදී දිසාපතිවරුන්ට ඇප මුදල් බාරගැනීම සම්බන්ධව මෙවැනි නියෝගයක් ලැබුණු නමුත්, මැතිවරණ කොමිසම ඔවුන්ගේ ස්ථාවරය වෙනස් නොකොට ඡන්දය පැවැත්වීය.
මෙකී නීතිමය හරඹය නිසා පළාත් පාලන ඡන්දය පිළිබඳව බෙහෙවින් ව්‍යාකූල තත්ත්වයක් හටගෙන තිබේ. එසේම, රජය සහ මැතිවරණ කොමිසම අතර තිරය පිටුපස ගැටුමක් හටගෙන ඇති බව පෙනී යයි. මෙම ගැටුම අධිකරණයෙන් කෙළවර විය හැකි බවට දැනටමත් දේශපාලන විචාරකයන් අනාවැකි පළ කරන්නට පටන්ගෙන ඇත.
මෑත ඉතිහාසයේ මැතිවරණයක් සම්බන්ධව මෙතරම් ආන්දෝලනයක් හටගත් අවස්ථාවක් අපට මතක නැත. මේ ව්‍යාකූලත්වය නිසා මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන රජයේ සේවකයෝ සහ වෙනත් දේශපාලන තනතුරු දරන්නෝ ලොකු අමාරුවක වැටී සිටිති. ඔවුන් නාම යෝජනා දෙන්නට පෙර සිය තනතුරුවලින් ඉල්ලා අස්වී, වැටුප් රහිත නිවාඩු ලබාගත යුතුය. පවතින අවිනිශ්චිත ස්වභාවය නිසා මේ රාජ්‍ය සේවකයන් හා වෙනත් තනතුරු දරන්නන් තීරණයක් ගත නොහැකිව අසරණ වී සිටින බව දැනගන්නට ඇත.
බරපතළ ආර්ථික ප්‍රශ්න මෙන්ම භීෂණකාරී වාතාවරණ පැවැති කාලවල පවා මෙරට මැතිවරණ පවත්වා තිබේ. පළමුව ඡන්දය දෙන තැනැත්තන් මරා දමන බවට තර්ජන පිට තර්ජන සිදුවෙද්දීත් ඡන්ද භාවිත කළ ජනතාවක් සිටින රටකි මේ. එබැවින්, ඡන්දය සඳහා ජනතාවට අවස්ථාවක් සලසා දීම අසාධාරණ යැයි කිව නොහැක. මෙයට මාස ගණනකට පෙර මෙරට සිදු වූ අරගලයේදී පැවැති ආණ්ඩුව පලවා හරින්නට ජනතාව පෙරමුණ ගත්තේ, ආණ්ඩුව ජනතාවට සිය යුතුකම් සහ වගකීම් නිසි ලෙස ඉටු නොකළ නිසාය.
හිතුවක්කාර අත්තනෝමතික තීරණ, අකාර්යක්ෂම පාලනය ආදී කරුණු මත පීඩනයට පත් ජනතාව වීදි බැස සටන් කරන්නට පෙළැඹුණි. එම අරගලයේ රස්නය පහව යද්දී නැවතත් ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය යටපත් වන ලෙසට ක්‍රියා නොකිරීම හරවත් ප්‍රබුද්ධ දේශපාලනයක් ගැන කතා කරන ආණ්ඩුවේ යුතුකම හා වගකීම වන බව පෙන්වා දෙනු කැමැත්තෙමි.
(***)