පුංචි ඡන්දයට වෙට්ටු දමන්නෝ


කල් දමනු ලැබ ඇති පළාත් පාලන මැතිවරණ වහාම පැවැත්විය යුතු යැයි හඬ නගන විරුද්ධ පක්ෂවල එම සටන මුළුමනින්ම පරාජය කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. එසේම තමන් සතු විධායක බලය හා පාර්ලිමේන්තුවේ බහුතර බලය උපයෝගී කරගෙන ආණ්ඩුව සියලු බාධක පෙරළා ගෙන යාමට දරන උත්සාහයක් ද ඒ මගින් පෙනේ.

එහිදී ආණ්ඩුව දේශපාලන සදාචාරය හෝ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙරෙහි එතරම් සැලකිල්ලක් හෝ ගරු කිරීමක් නොදක්වන බව ද පෙනේ.

පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අලුත්ම උත්සාහය වී ඇත්තේ කල් ඉකුත් වීම නිසා විසුරුවා හරිනු ලැබූ බවට සැලකෙන පළාත් පාලන ආයතන යළි සක්‍රීය කොට පළාත් පාලන ඇමැතිවරයා කැමති වන කාලයක් දක්වා මැතිවරණ නොපවත්වා පවත්වාගෙන යාමටය.

මේ උත්සාහය සමඟ අපට සිහිවන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයකු (ජේ.ආර්.ජයවර්ධන) යටතේ 1982දී පාර්ලිමේන්තු නිල කාලය වසර හයකින් දීර්ඝ කර ගැනීමේ සිද්ධියයි. එදා ආණ්ඩුව පාර්මේන්තුවේ නිල කාලය දිගුකර ගත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒමෙනි. එහෙත් දැන් ආණ්ඩුව පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කරන්නට යන්නේ ආණ්ඩුවේ පනතක් මඟින් නොව පෞද්ගලික මන්ත්‍රීවරයකුගේ පනත් කෙටුම්පතක් මගිනි.

යෝජනාව ඉදිරිපත් කොට ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාය. එහෙත් එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේත් පොදුජන පෙරමුණේත් අවශ්‍යතාව මත ඉදිරිපත් කරුණක් බව පැහැදිලිය.

 දැනට පවතින තත්ත්වය යටතේ කල් දමනු ලැබ ඇති පළාත් පාලන මැතිවරණ නුදුරු දිනෙක පැවැත්වුණහොත් ජනාධිපතිවරයා නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය හා පොදුජන පෙරමුණ පරාජය වනු ඇතැයි මේ වසර මුල දී පැවැති ජනමත විමසුම් දෙකක් අනුව අනුමාන කළ හැකිය. පොදුජන පෙරමුණ කෙසේ වෙතත් එජාපයේ ඡන්ද පදනමෙන් සියයට අනූවක් පමණ 2020 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ දී සමගි ජන බලවේගය විසින් අත්පත් කර ගනු ලැබ තිබිණි. ඒ අනුව කල් ඉකුත් වූ පළාත් පාලන ආයතන යළි පණ ගැන්වීමට දරනු ලබන මේ උත්සාහය පිටුපස ඇත්තේ එජාපයේ හා පොදුජන පෙරමුණේ මැතිවරණ  භීතිකාවයි.

ආණ්ඩුවේ මෙම පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් ආණ්ඩුව මෑතක දී ගත් ඇතැම් ක්‍රියාමාර්ග සමඟ එකට ගෙන සලකා බැලීමෙන් ද එම උත්සාහය පිටුපස ඇත්තේ මැතිවරණ භීතිකාව බව පැහැදිලිය.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ආණ්ඩුව පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩකින් අඩුකරන බව ප්‍රකාශ කළේය. එවිටම එය එම ආයතන සඳහා වූ මැතිවරණ කල් දැමීමට දරන උත්සාහයක් බව විපක්ෂය චෝදනා කළේය. ඉන්පසු මැතිවරණ නීති සංශෝධනය සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සිය වාර්තාව මාස පහකට පෙර ඉදිරිපත් කොට තිබියදී ආණ්ඩුව යළිත් ඒ සඳහාම තවත් තේරීම් කාරක සභාවක් පත් කරන්නට උත්සාහ කළේය. ජනවාරි මාසයේ දී ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් කැඳවා යම් යම් මතභේදාත්මක අදහස් පළකොට තිබිණි.

 ඒ අතර විශ්‍රාමික හමුදා නිලධාරියකු පළාත් පාලන මැතිවරණ නොපවත්වන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට රීට් පෙත්සම්ක් ඉදිරිපත් කළේය. අනතුරුව පළාත්පාලන මැතිවරණ ප්‍රකාශයට පත් කරනු ලැබ තිබිය දී එම මැතිවරණවලට බලපාන පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. අවසානයේ දී මැතිවරණ සඳහා වූ මුදල් රඳවා තබා නොගත යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දී තිබිය දී ද එම මුදල් නිකුත් නොකිරීම නිසා මැතිවරණ දින නියමයක් නැතිව කල් ගොස් තිබේ.

 ඒ අනුව කැටගොඩ මහතාගේ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතේ අරමුණ ද  පැහැදිලිය. මෙම පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත්තේ ජූනි 26 වැනිදාය. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ පසුගිය බදාදා (5) ය. එහිදී විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පෑ විට කැටගොඩ මහතා ප්‍රකාශ කොට තිබුණේ විසුරුවා හැරුණු පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු යැයි විපක්ෂය 2020දී කියා සිටි බවය.

 විපක්ෂය එදා එසේ ඉල්ලා සිටි බව සැබෑ වුව ද එය ඔහුගේ යෝජනාවේ අරමුණ සමග සැසඳිය නොහැකිය. එදා කොවිඩ් 19 රෝගය පැතිරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟය. එම වසංගත රෝග තත්ත්වය නිසා නව පාර්ලිමේන්තුව සඳහා නියමිත කාලයේ දී මහ මැතිවරණය පැවැත්වීමට ද නොහැකි විය. ඒ අනුව ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා පාර්ලිමේන්තුවට මුදල් අනුමත කළ නොහැකි  තත්ත්වයක් උදාවිය.  විපක්ෂය පැරණි පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලා සිටියේ ඒ පසුබිම තුළය.

එහෙත් අද පළාත් පාලන ආයතන යළි කැඳවන්නට ආණ්ඩුව උත්සාහ කරන්නේ මැතිවරණ භීතිකාව නිසාය. ආණ්ඩුව එම උත්සාහය දරන්නේ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු දෙකක් හා ඒ හා සම්බන්ධ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ වූ නඩු දෙකක් තිබියදීය. එවැනි නඩු තිබිය දී නීතිමය වශයෙන් මෙවැනි  පනත් කෙටුම්පත් ඉදිරිපත් කළ හැකි ද යන්න ප්‍රශ්නයකි.

 කැටගොඩ මහතාගේ පනත් කෙටුම්පත සම්මත වුවහොත් ප්‍රාදේශීය සභා නගර සභා  හා මහනගර සභා මැතිවරණ සඳහා  වූ පනත් සංශෝධනය කරනු ලැබ, කල් ඉකුත් වූ පළාත් පාලන ආයතන පළාත් පාලන ඇමැතිවරයා විසින් තීරණය කරනු ලබන කාලයක් සඳහා යළි කැඳවනු ලබනු ඇත. එනම්  ඇමැතිවරයාට අවශ්‍ය නම් වසර ගණනාවක් යන තෙක් පළාත් පාලන මැතිවරණ නොපවත්වා සිටිය හැකිය.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වඩාත්ම සතුටු වනුයේ පොදුජන පෙරමුණයි. මන්දයත් අවසාන වතාවට 2018 වසරේ පවත්වන ලද පළාත් පාලන මැතිවරණයේ දී පළාත් පාලන  ආයතන 340කින් 230කට  වැඩි සංඛ්‍යාවක බලය අත්පත් කොට ගත්තේ එම පෙරමුණයි. මෙම පනත් කෙටුම්පත අනුව එම පෙරමුණට තවත් කාලයකට එම ආයතනවල බලය රඳවා ගත හැකිවනු ඇත.

මෙම පනත් කෙටුම්පතේ නීතිමය තත්ත්වය කෙසේ වෙතත් එය පදනම් විරහිතව මැතිවරණ කල් දැමීම අරමුණ කරගෙන ගෙන එන ලද්දක් වන හෙයින් එය ප්‍රජාතන්ත්‍රවාදී නොවේ. පසුගිය වසරක පමණ කාලයක් තිස්සේ ආණ්ඩුව මෙසේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි අණපනත් ගණනාවක් ඉදිරිපත් කොට තිබේ. අධි ආරක්ෂක කලාප පිහිටුවීමේ නියෝගය, පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත හා ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඒ අතර වේ. ආණ්ඩුව ඒවා ඉදිරිපත් කළේ ජාතික හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලින් විරෝධය එල්ල වන බව  දැන දැනය. මේ පනත් කෙටුම්පත ද ඉදිරිපත් වන්නේ ඒ පසුබිම තුළය.

මේ පනත් කෙටුම්පත් සමඟ සිහිපත් වන තවත් කරුණක් නම් ජනමත විචාරණයකින් මැතිවරණ කල් දැමීම පිළිබඳව පසුගිය ජුනි 22 වැනිදා එජාප සභාපති වජිර අබේවර්ධන මහතා කළ ප්‍රකාශයකි. 1982 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා කළා සේ මැතිවරණ කල් දැමිය හැකිය යනු ඔහු දැක් වූ අදහසයි.  ඒ අනුව ඉදිරියේ දී මහ මැතිවරණය පවා කල් දැමීමේ අදහසක් එජාපයට තිබේදැයි කෙනකු සැක සිතීම සාධාරණය.

ආණ්ඩුව කටයුතු කරන්නේ ජනතා වරම සදාකාලික දෙයක් ලෙස සලකාය. 1982 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කළේ ද එවැනි අදහසක් රටට දෙමිනි. එම සිද්ධියේදීද එවකට එජාප ආණ්ඩුවේ ඇමැතිවරයකු වූ රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ වැඩ කොටසක් ඉටු කළේය.

1982 ඔක්තෝබර් 20 වැනිදා පැවැති මෙරට පළමු ජනාධිපතිවරණයෙන් එතෙක් ජනාධිපතිව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතා ජය ගත්තේය. ඒ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව වූ සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය අහෝසි කරනු ලැබ තිබුණෙන්  ශ්‍රීලනිප වෙනුවෙන් තරග කළේ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාය.

ඔක්තෝබර් 28 වැනිදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළ වික්‍රමසිංහ මහතා කොබ්බෑකඩුව මහතා ජයගත්තේ නම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණු බවත්  එමගින් ව්‍යවස්ථා විරෝධි පාලනයක් පිහිටුවීමට නියමිත වූ බවත් පැවසීය. ඉන්දියාවේ නැක්සලයිට් කැරැලිකරුවන් මෙන් මෙම කුමන්ත්‍රණය සැලසුම් කොට තිබුණු බවත් ඔහු  ප්‍රකාශ කළේය. එය එකල ප්‍රසිද්ධ වූයේ නැක්සලයිට්  කුමන්ත්‍රණය යනුවෙනි.

 මෙම කුමන්ත්‍රණය යටතේ තමන්, ඇමැතිවරුන් කිහිප දෙනකු හා අනුර බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවැති බව ජනාධිපති ජයවර්ධන මහතාද නොවැම්බර් 3 වැනිදා නිවේදනයක් මගින් කියා සිටියේය. නැක්සලයිට් චෝදනාව යටතේ විජය කුමාරතුංග, රත්නසිරි වික්‍රමනායක වැනි පිරිසක් පසුව අත්අඩංගුවට ගනු ලැබූහ. නොවැම්බර් 3 වැනිදාම ආණ්ඩුවට එරෙහි ප්‍රබලතම විවේචකයකු වූ ‘‘ඇත්ත’’ පුවත්පත තහනම් කෙරිණි. වික්‍රමසිංහ මහතා නැක්සලයිට් චෝදනාව කළ ඔක්තෝබර් 28 වැනිදාම ජයවර්ධන මහතා තම පක්ෂය වන එජාපයේ මන්ත්‍රීවරුන්ගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි ලබා ගත්තේය.

මෙසේ තමන්ට එරෙහි හා එරෙහි විය හැකි සියල්ල මර්දනය කරමින් ආණ්ඩුව නොවැම්බර් 4 වැනිදා පාර්ලිමේන්තුවේ නිලකාලය දීර්ඝ  කිරීම සඳහා 4 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළේය. එය සම්මත කළ හැක්කේ තුනෙන් දෙකක ඡන්ද බලයෙන් හා ජනමත විචාරණයක් මගින් යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ජනතාවගේ අභිවෘද්ධිය සඳහා ක්‍රියාත්මක වැඩසටහන් ඉදිරියට ගෙන යාම මෙම සංශෝධනයේ අරමුණ බව එහිම සඳහන් විය.

ශ්‍රේෂ්ඨාධිකරණය කී පරිදි 1982 දෙසැම්බර් 22 වැනිදා පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් පැවිත්විණි. දැඩි මර්දනකාරී වටපිටාවක අතිශයින්ම දූෂිත වූ එම ජනමත විචාරණයෙන් ආණ්ඩුව ජය ගත්තේය. ඒ අනුව පාර්ලිමේන්තුවේ නිල කාලය 1989 ආගෝස්තු 4 වැනිදා දක්වා දීර්ඝ කෙරිණි.

 මෙම ජනමත විමසුම දූෂිත යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතා අධිකරණය හමුවට ගියේය. එහි ප්‍රතිඵලය වූයේ ආණ්ඩුව බොරු චෝදනා මත ජවිපෙ තහනම් කිරීමයි. එමඟින් ජවිපෙ සන්නද්ධ මාවතට තල්ලු කෙරිණි. එම සන්නද්ධ ගැටුමේ දී 60,000කට වැඩි පිරිසක් රජයේ හමුදා හා ඔවුනට සහාය වූ සන්නද්ධ කල්ලි විසින් 1988/89 කාලයේ දී ඝාතනය කරනු ලැබූහ. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කිරීමේ සැබෑ හේතුව වූයේ 1977 දී  එජාපය ලැබූ හයෙන් පහක පාර්ලිමේන්තු බලය තවත් වසර හයකට පවත්වාගෙන යාමයි.

කැටගොඩ මහතා යොදාගෙන වත්මන් ආණ්ඩුව කරන්නට යන්නේද තමන් සතු බලය තවත් කාලයකට පවත්වාගෙන යාමය. එයින් ද සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශ්වාසය ක්‍රමයෙන් බිඳී යාමය.

 

(*** එම්.එස්.එම්. අයුබ්)