පළාත් පාලන ආයතනවල මන්ත්‍රීන් සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීම සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සීමා නිර්ණය කමිටුවක් පත් කිරීමත් සමඟ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණ කල් දැමීමට උත්සාහ කරන බවට විරුද්ධ පක්ෂ යළිත් චෝදනා කරන්නට පටන්ගෙන තිබේ.
අප යළිත් යැයි සඳහන් කළේ විරුද්ධ පක්ෂ ගත වූ මාසය තුළ දෙවතාවක්ම මීට පෙර මෙම චෝදනාව නඟා ඇති හෙයිනි.
පසුගිය ඔක්තෝබර් 9 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති වෘත්තීයවේදීන් සඳහා වූ රැස්වීමක කතා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ ප්‍රතිසංස්කරණයක් සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන බවත් පළාත් පාලන ආයතනවල 8000කට වැඩි සභික සංඛ්‍යාව 4000කට අඩු කරන බවත්, දේශපාලන පක්ෂවල හා අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් අඩු කිරීමට නීතිමය පියවර ගත යුතු බවත් පැවසීය.
ආණ්ඩුව මැතිවරණ කල් දැමීමට උත්සාහ කරන බවට විරුද්ධ පක්ෂ මුලින්ම චෝදනා කළේ එහිදීය. ඇත්ත වශයෙන්ම එම චෝදනාව පදනම් විරහිත එකක්ම නොවේ. මැතිවරණ ප්‍රතිසංස්කරණ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පිහිටුවීම 2001 සිට සිදුවන්නකි. පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩු කරන්නට නම් යළි සීමා නිර්ණය කිරීම් කළ යුතුය. පළාත් පාලන මැතිවරණ සඳහා 2012 වසරේදී ආරම්භ වූ සීමා නිර්ණය ක්‍රියාවලිය අවසන් වූයේ 2017 දීය.
පළාත් සභා සඳහා මිශ්‍ර මැතිවරණ ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ 2017 දීය. එම මැතිවරණ සඳහා වූ සීමා නිර්ණය ක්‍රියාවලිය 2017 දී ආරම්භ වී 2018 දී ඇනහිටි අතර දැන් එම ක්‍රියාවලියට සිදු වූ දේ දන්නා කෙනකු නැති තරම්ය. එම නිසා විපක්ෂයේ එම චෝදනාවට වලංගුතාවක් තිබේ.
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් පසු ඔහුගේ එම අදහස් අනුව මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා යෝජනා ඉදිරිපත් කරනු පිණිස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉකුත් ඔක්තෝබර් 26 වැනිදා ඉල්ලා තිබිණි.
එවිටද විපක්ෂය මෙම චෝදනාව කළේය. ඊටද පදනමක් තිබිණි. මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා 2001 දී දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කෙරිණි. එහි කටයුතු 2012 දක්වා ඇදී ගොස් එම සභාවේ නිර්දේශයක් අනුව පළාත් පාලන මැතිවරණ සඳහා මිශ්‍ර මැතිවරණ ක්‍රමය හඳුන්වා දෙමින් නීතියක් සම්මත කෙරිණි.
ඉන්පසු දිනේෂ් ගුණවර්ධන මහතාගේම ප්‍රධානත්වයෙන් 2021 අප්‍රේල් 5 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාවක් අනුව තවත් එවැනිම තේරීම් කාරක සභාවක් පත් කෙරිණි. එම සභාව මේ වසරේ ජුනි 22 වැනිදා සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහෙත් එම කාරක සභාවද 2001 කාරක සභාව යෝජනා කළ පරිද්දෙන්ම මිශ්‍ර මැතිවරණ ක්‍රමයටම නිර්දේශ කොට තිබිණි. දැන් තවත් තේරීම් කාරක සභාවක් පත් කරන්නට ආණ්ඩුව සූදානම් වේ. විපක්ෂයේ චෝදනාවට පදනමක් ඇතැයි අප සිතන්නේ එහෙයිනි.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා වශයෙන් අගමැතිවරයා පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩු කිරීම සඳහා සීමා නිර්ණය කමිටුවක් පත් කොට ඇත්තේ ඒ පසුබිම යටතේය. මිශ්‍ර මැතිවරණ ක්‍රමය හඳුන්වා දෙනු ලැබ 2012පළාත් පාලන මැතිවරණ පනත යටතේ පත් කරනු ලැබ ඇති මෙම පංච පුද්ගල කමිටුවේ සභාපතිවරයා වශයෙන් පත් කරනු ලැබ ඇත්තේ ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති හා සීමා නිර්ණය කොමිෂන් සභාවේ වත්මන් සභාපති මහින්ද දේශප්‍රිය මහතාය.
සීමා නිර්ණය කොමිසමේ සාමාජිකයකු වන ජයලත් ආර්.ඩී. දිසානායක, ඩබ්ලිව්.එම්.එම්.ආර්. අධිකාරි, කේ. තවලිංගම් සහ අයි.ඒ. හමීඩ් එම කමිටුවේ අනෙක් සාමාජිකයෝය.
ඔක්තෝබර් 9 වැනිදා විද්වත් වෘත්තිකයන් හමුවේ තමන් ඉදිරිපත් කළ කරුණු බැරෑරුම් ලෙස සලකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු පෙනේ. මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ලබන වසරේ ජූලි මාසයට පෙර එම කටයුතු අවසන් නොකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් තමන් ජනමත විචාරණයක් පවත්වන බවද ඔහු පවසා තිබිණි. අධිකරණ ඇමැතිවරයා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ ඒ අනුවය. පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩු කිරීම සඳහා සීමා නිර්ණය කමිටුවක්ද පත්කරනු ලැබ ඇත.
සීමා නිර්ණය කොමිසම හා දැන් පත් කරනු ලැබ ඇති සීමා නිර්ණය කමිටුව යනු එකක් නොව දෙකකි. සීමානිර්ණය කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පත් කෙරෙන නිත්‍ය ආයතනයකි. සීමා නිර්ණය කමිටු යම් යම් නිශ්චිත කටයුත්තක් සඳහා පත් කෙරෙන්නකි. 2012 දී පළාත් පාලන ආයතන සඳහා එවැනි කමිටුවක් පත් කරන ලද අතර එහි කටයුතු 2015දී අවසන් විය.
2017 දී ආචාර්ය කේ. තවලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා සඳහා සීමා නිර්ණය කමිටුවක් පත් කරනු ලැබූ අතර එහි වාර්තාව 2018 අගෝස්තු මාසයේදී ඉදිරිපත් කිරීමෙන් පසුව එහි කටයුතු අවසන් විය. වත්මන් කමිටුවට තම වාර්තාව ඉදිරිපත් කිරීමට දී ඇත්තේ මාස හතරකි. එනම් ඉකුත් නොවැම්බර් 1 වැනිදා සිට ලබන පෙබරවාරි 28 වැනිදා දක්වාය.
මෙම කමිටුව පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කල්දමන්නට උත්සාහ කරන බවට ආණ්ඩුවට චෝදනා කරන විපක්ෂයේ නායකයෝ කමිටුවේ සභාපතිත්වය භාර ගැනීම සම්බන්ධයෙන් මහින්ද දේශප්‍රිය මහතාටද දොස් පවරති. මෙය භාර ගැනීමෙන් දේශප්‍රිය මහතා ආණ්ඩුවේ අවශ්‍යතාව අනුව කටයුතු කොට ඇතැයි ඔවුහු පවසති.
දේශප්‍රිය මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කරන ලද සීමා නිර්ණය කොමිසමේ සභාපති ධුරයට පත් කරන ලද්දේ 2020 දෙසැම්බර් මාසයේදීය. පසුගිය ඔක්තෝබර් 21 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වී ඔක්තෝබර් 31 වැනිදා කතානායකවරයාගේ අත්සනින් නීතිය බවට පත්වූ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ක්‍රියාත්මක වන හෙයින් සීමා නිර්ණය කොමිසම ඇතුළු සියලු ස්වාධීන කොමිෂන් සභා අලුතින් ස්ථාපනය කළ යුතුය. එහෙත් එතෙක් මේ දක්වා පැවැති කොමිෂන් සභා වලංගුවේ. දේශප්‍රිය මහතා සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති ලෙස තවදුරටත් කටයුතු කරන්නේ ඒ අනුවය.
මේ අතර පළාත් පාලන ආයතන සඳහා මිශ්‍ර මැතිවරණ ක්‍රමය 2012 දී හඳුන්වා දෙනු ලැබීම නිසා පළාත් පාලන ආයතන බල ප්‍රදේශ ඡන්ද කොට්ඨාසවලට බෙදීම සඳහා 2012දී සීමා නිර්ණය කමිටුවක් පත් කෙරිණි. එම කමිටුව 2015 දී වාර්තාව භාර දුන්නද එම වාර්තාව පිළිබඳ ගැටලු මතු වූයෙන් වෙනත් සමාලෝචන කමිටුවක් යටතේ එම ක්‍රියාවලිය 2017 දක්වා දිග්ගැස්සිණි.
දැන් පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩු කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇති හෙයින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අලුත් සීමා නිර්ණය කමිටුවක් පත් කොට ඇත. ඊට පෙර සභික සංඛ්‍යාව අඩු කිරීම සඳහා වූ ජනාධිපතිවරයාගේ යෝජනාවට ඉකුත් ඔක්තෝබර් 17 වැනිදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිණි. ඒ අනුව පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල ඡන්ද කොට්ඨාස අඩු කිරීමෙන් සභික සංඛ්‍යාව අඩු කිරීමට තීරණය විය. ඡන්ද කොට්ඨාස අඩු කිරීමට නම් යළි ඡන්ද කොට්ඨාසවල සීමා තීරණය කළ යුතුය. ඒ අනුව සීමා නිර්ණය කමිටුවක් පත් කරන ලෙස පළාත් පාලන ඇමැතිවරයාට උපදෙස් දෙනු ලැබීය.
එහිදී මීට පෙර මෙවැනි අවස්ථාවලදී කළා සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පත් කරනු ලැබ ඇති සීමා නිර්ණය කොමිසමේ සාමාජිකයන්ද එම කමිටුවට පත් කරන ලෙස තම කොමිසම ඉල්ලා සිටි බවත් තමන් එම කමිටුවට පත් කෙරුණේ ඒ අනුව බවත් සීමා නිර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පුවත්පතක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබිණි.
මෙම කමිටුව හා මැතිවරණ නිසි කලට පැවැත්වීම හෝ කල්දැමීම අතර කිසිදු සම්බන්ධයක් නැතැයි ඔහු පවසයි. තම කොමිසමේ කටයුතු අවසන් වී අඩු කරන ලද පළාත් පාලන ආසන සඳහා මැතිවරණ පවත්වන්නේද නැත්නම් දැන් පවතින ආසන 8000කට වැඩි සංඛ්‍යාව සඳහා මැතිවරණ පවත්වන්නේද යන්න ජාතික මැතිවරණ කොමිසම විසින් තීරණය කළ යුත්තක් බවත් ඔහු පවසයි. ඒ අනුව අවශ්‍ය නම් ආසන අඩු කරන්නට පෙර වුවද පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නීතියෙන් බාධාවක් නැත. කෙසේ වුවද පෙබරවාරි 28 වැනිදාට පෙර තමන්ට ආසන අඩු කොට ඒවායේ සීමා නිර්ණය කළ හැකි වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කොට තිබිණි. ඒ අනුව නම් පෙනෙන්නේ නව ආසන සීමා අනුව පැවැත්වුවද මැතිවරණ කල්දැමීමට අවශ්‍ය නොවන බවය.
මැතිවරණ කොමිසමටද පළාත් පාලන මැතිවරණ කල් දැමීමට අවශ්‍යතාවක් ඇති බව නොපෙනේ. එහෙත් දේශපාලනඥයන්ට අවශ්‍ය නම් මෙම සීමා නිර්ණය ක්‍රීයාවලිය යොදාගෙන මැතිවරණය කල් දමා ගන්නට කටයුතු කළ හැකිය.
දේශප්‍රිය කමිටුව සිය වාර්තාව නියමිත දිනට පෙර පළාත් පාලන ඇමැතිවරයා වෙත භාර දුන්නද එය පාර්ලිමේන්තුව මඟින් අනුමත කළ යුතුය. පාර්ලිමේන්තුව තුළ දැනට බහුතර බලය ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය. එම පෙරමුණ දැනට පවතින ආර්ථික අර්බුදය හමුවේ මැතිවරණයකට මුහුණදීමට මැළි වන බවක් පෙනේ. ඒ නිසා ඔවුන් මෙම වාර්තාව අනුමත නොකරන්නට ඉඩ තිබේ. එසේ වුවහොත් යළිත් සමාලෝචන කමිටුවක් පත් කොට මෙම වාර්තාව සංශෝධනය කළ යුතුය. මෙය දිග්ගැස්සිය හැකි ක්‍රියාවලියකි.
මෙය අසුබවාදී අනුමානයක් හෝ සැකයක් නොව පසුගිය අත්දැකීම් අනුව ඉදිරිපත් කෙරෙන අදහසකි. මුල්වරට පළාත් පාලන ආයතන සඳහා ආරම්භ කරන ලද සීමා නිර්ණය ක්‍රියාවලිය 2012 සිට 2017 දක්වා ඇදි ඇදී ගියේය.
2017 පළාත් සභා සඳහා මිශ්‍ර මැතිවරණ ක්‍රමය හඳුන්වාදී පළාත් සභා බල ප්‍රදේශ සඳහා ද සීමා නිර්ණය ක්‍රියාවලියක් ආරම්භ කෙරිණි. මුලින් ඒ සඳහා ආචාර්ය කේ. තවලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුව සිය වාර්තාව 2018අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. පාර්ලිමේන්තුව එය පූර්ණ වශයෙන් නොපිළිගත් හෙයින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වූ සමාලෝචන කමිටුවකට එය භාර දෙනු ලැබීය. සමාලෝචන කමිටුව මාස දෙකකින් සිය වාර්තාව ජනාධිපතිවරයාට භාරදිය යුතු වුවත් එය සිදු වූයේ නැත. පළාත් සභා මැතිවරණ අද දක්වා පැවැත්වුණේ නැත.
එදා සිටි නායකයෝම අදත් සිටිති. එදා මෙන්ම අදද ආණ්ඩුව මැතිවරණ පැවැත්වීමට කැමැත්තක් නොදක්වයි. ආණ්ඩුව මැතිවරණ කල් දමන්නට උත්සාහ කරන බවට විපක්ෂය නගන චෝදනාවල පදනමක් නැතැයි බැහැර කළ නොහැක්කේ එහෙයිනි. එහෙත් දේශප්‍රිය කමිටුව නිසිකලට සිය වාර්තාව භාර දුනහොත් මැතිවරණ කොමිසමට නම් මැතිවරණ නොපවත්වා සිටීම දුෂ්කර වනු ඇත.
(*** එම්.එස්.එම්.අයුබ්)