(වයි.ඒ.එස්. වීරවංශ සහ මහින්ද අබේරත්න)
විවිධ රෝගවලින් පීඩා විඳිමින් අසරණව සිටින එකම පවුලේ සිව් දෙනෙකු පිළිබඳව හම්බෙගමුව කහකුරුල්ලන් පැලැස්ස කිවුලගම ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙවන් දුක්ඛිත තත්ත්වයට පත්ව ඇත්තේ ජී. ඩබ්ලිව්. එස්. ධර්මකීර්ති, ඔහුගේ බිරිඳ හා දියණියන් දෙදෙනාය. ධර්මකීර්ති මහතා 44 හැවිරිදි වියේ පසුවන කම්කරුවෙකු ලෙස කටයුතු කළ අයෙකි.
මීට වසර එක හමාරකට ඉහතදී ඔහුට හෘදයාබාධයක් හටගත් අතර ඔහුගේ මුත්‍රාශ්‍රය ආශ්‍රිතව ගලක් හට ගෙන ඇති බව ද ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවසා ඇත.
ඔහුගේ බිරිය ජී.එල්. චන්ද්‍රානී මල්ලිකා (41) මහත්මිය කම්කරු රැකියාව කර ඇත. මීට වසර දෙකකට පමණ ඉහතදී ඇයට පියයුරු පිළිකාවක් වැළඳීමෙන් ශල්‍යකර්මයකට භාජනය කර කිසිවක් කර ගැනීමට නොහැකි තත්වයක පසු වන්නීය.
වැඩිමල් දියණිය ජී. ඩබ්ලිව්. ශලනි උමාෂා මොණරාගල කහකුරුල්ලන් පැලැස්ස විද්‍යාලයේ තුන වසරේත් දෙවනියා සියුමි පබසරා එහි ම එක වසරේත් ඉගෙනුම ලබති.
මේ සම්බන්ධයෙන් ජී. ඩබ්ලිව්. එස්. ධර්මකීර්ති මහතා මෙසේ පැවසීය.
මුත්‍රාශයේ ගල ඉවත් කිරීමට ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතව තිබුණත් හෘදයාබාධ තත්ත්වය හේතුවෙන් එය සිදු කළ නොහැකි බව වෛද්‍යවරු පවසනවා. මගේ බිරිඳට මීට වසර දෙකකට පමණ ඉහතදී පියයුරු පිළිකාවක් සෑදී අම්බලන්තොට රෝහලේදී ශල්‍යකර්මයක් සිදු කළා. තව මාස තුනකින් තවත් ශෛල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අතරතුර මගේ වැඩිමහළු දියණියට හතිය හා ඇදුම රෝගය වැළඳුනා. මේ වනවිට හම්බන්තොට රෝහලේ ළමා සායනයෙන් ඇයට මාසිකව ප්‍රතිකාර කරනවා. දෙවනි දරුවා මීට වසරකට පමණ ඉහතදී වකුගඩු රෝගී තත්ත්වයට පත් වුණා. ඇයට ද හම්බන්තොට රෝහලෙන් ප්‍රතිකාර කරනවා.
අපි සියලු දෙනා රෝගී තත්ත්වයට පත් වීම නිසා මාසිකව ප්‍රතිකාර සඳහා රුපියල් පනස් දහසකට වැඩි මුදලක් වැය වෙනවා. මටත් බිරිඳටත් දැන් කුලී වැඩක් කරගන්න බැහැ. මම ගෙයක් ගෙයක් ගානේ ගිහිල්ලා සල්ලි එකතු කරගෙනයි ප්‍රතිකාර ලබාගන්නේ.
ඊට අමතරව රජයෙන් දියණියට වකුගඩු ආධාරය ලබාදෙනවා. බිරිඳට පිළිකා ආධාරය ලබා දෙනවා. ඒ මුදල් ප්‍රමාණවත් නැහැ. ගමේ අය එකතු වෙලා අපට ඉන්න කුඩා නිවසක් සකස් කර දුන්නා.
පියුමි පබසරා දියණිය මෙසේ කීවාය.
මගේ වකුගඩු නරක් වෙලා කියලා වෛද්‍යවරු සඳහන් කරනවා. අම්මයි තාත්තයි ගමේ හැමෝමයි එකතු වෙලා අපට උදව් කරනවා. මම ඉගෙන ගන්න හරිම ආසයි. මේ ප්‍රවෘත්තිය කියවන නැන්දලා මාමලා අපි ගැන අනුකම්පා කරලා අපට උදව් කරනවා නම් ලොකු පිනක්.
ශලනි අමාෂා දියණිය මෙසේ කීවාය.
සමහර දවස් වලට අපි කන්නේ දවසට එක වේලයි. ඒ වුණත් නංගී මමයි කොහොම හරි පාසල් යනවා. පාසලේ මිතුරු මිතුරියන් අපට උදව් කරනවා. පාසල් උපකරණ ගන්න ගුරුවරුන් ගොඩක් උදව් කරනවා. අපි දෙන්නම රෝගීන් නිසා අව්වට වැස්සට දුවිල්ලට ඔරොත්තු දෙන්නේ නැහැ. නිතරම ලෙඩ වෙනවා.
එහෙම වුණාම පාසල් යන්න බැහැ. කවුරුහරි පින්වත්ත නැන්දලා මාමලා අපි ගැන හොයලා බලලා අපිට උදව් කරනවා නම් අපිට හැමදාම පාසල් යන්න පුළුවන් වේවි.
තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී එස්.චන්දිමා මහත්මිය මෙසේ කීවාය.
මේ අසරණ පවුල පිළිබඳව අප නිතරම සොයා බලනවා. ගම්වාසීන් එකතු වෙලා කුඩා නිවහනකුත් ඉදි කළා. මේ අයගේ ප්‍රතිකාර සඳහා මාසිකව විශාල මුදලක් වැය වෙනවා. ඒ නිසා කවුරුහරි ඉදිරිපත් වෙලා මේ අයට උදව් කරනවා නම් ලොකු පහසුවක්. මේ දරුවන් දෙදෙනා ඉගෙන ගන්නත් ආසයි.