අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර සිදු වූ උණුසුම් වචන හුවමාරුවක් ගුටි බැට හුවමාරුවක් බවට පත්වී විපක්ෂයේ මන්ත්‍රීවරියකට රෝහල්ගත වීමට සිදු වීමේ පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. ගැටුමෙන් අනතුරුව සභා ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණි අවස්ථාවේ එහි සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතාට විපක්ෂයේ මන්ත්‍රීවරයකු පහර දුන් බවට ඒ මහතා නිට්ටඹුව පොලිසියට පැමිණිලි කර ඇති බව ද එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
ප්‍රකෝපකාරී හැසිරීම්වලට චණ්ඩ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ඉකුත් සමයේ බොහෝ ප්‍රසිද්ධ වූයේ රට හදන තැන හෙවත් පාර්ලිමේන්තුවය. එම ආදර්ශය ගමේ සභාවලටත් බෝ වී ඇති සෙයකි. අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරියක වන ක්‍රිෂ්ණා ජයසුන්දර මහත්මියට රෝහල්ගත වීමට සිදු වීමෙන් පැහැදිලි වන්නේ එයය.
මෙයට පෙර වාර්තා වූ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ නුවරඑළිය කොත්මලේ කැටඹුලාව ප්‍රාදේශීය කමිටු රැස්වීමේදී ප්‍රාදේශීය දේශපාලනඥයන් දෙදෙනකු අතර ඇති වූ ගුටි බැට හුවමාරුවක් හේතුවෙන් කොත්මලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු රෝහල්ගත කිරීමට සිදු වූ බවය. මෙම ගැටුමේ විශේෂත්වය වන්නේ මන්ත්‍රීවරුන් දෙදෙනාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන්නන් වීමය.
නාවලපිටියේ ක්‍රීඩාංගනයක් සම්බන්ධ ප්‍රශ්නයකට නාවලපිටිය නගර සභවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මහ පාරේ ගුටි බැට හුවමාරු කරගත් සිද්ධියට දෙතුන් සතියකි.
මහජනතාවට සේවය කිරීමට මෙම දේශපාලනඥයන් සතුව කෙතරම් බලවත් උනන්දුවක් තිබේ ද යන්න මෙම සිදුවීම්වලින් පැහැදිලිය. මරාගෙන මැරෙමින් හෝ ජනතාවට සේවය කිරීමට ඔවුහු පෙළැඹී සිටිති. මෙවන් මහජන නියෝජිතයන් එම ජනතාවට වාසනාවකි. පෙර කළ පින් මහිමයෙන් හැර මෙවන් මහජන නියෝජිතයන්ගේ ඇසුර ලැබීමට හැකි වන්නේ නැත.
මෙයට වසර දහයකට පමණ පෙර පාලකයන් ප්‍රකාශ කළේ ‘ආසියාවේ ආශ්චර්යය’ නිර්මාණය කරන බවය. යහපාලන ආණ්ඩුව සමයේ කියැවුණේ ‘මාස හැටෙන් අලුත් රටක්’ හදන බවය. දැන් කියන්නේ ‘සෞභාග්‍යයේ ඉදිරි දැක්ම’ තිබෙන බවය. පොරොන්දු පත්‍රවල මුද්‍රිත අකුරු ජීවමාන යථාර්ථයක් බවට පත් වී නැත. ඒවා ඉබේටම එසේ වන්නේ ද නැත. ඒ සඳහා සාමූහික මිනිස් ක්‍රියාකාරීත්වයක් ඇවැසිය. ඒ සඳහා පෙරමුණ ගත යුතු වන්නේ මහජන නියෝජිතයන්ය. සමාජයට ආදර්ශ ගලා යන්නේ ඔවුන්ගෙනි. එහෙත් දේශපාලනය යනු බඩ රස්සාවක් යැයි සිතන, එසේ සිතා කටයුතු කරන මදාවියන්ගෙන් මුද්‍රිත අකුරු ජීවමාන යථාර්ථයක් බවට පරිවර්තනය කිරීමේ මෙහෙයුම් ආරම්භ කළ නොහැක.
මහජන නියෝජිතයා නියත වශයෙන්ම ශිෂ්ට විය යුතුය. දැන උගත්කමින් පොහොසත් විය යුතුය. නිහතමානී විය යුතු සේම කාරුණික විය යුතුය. ප්‍රමාණය ඉක්මවා ගිය තරමට අවංක විය යුතුය. එමෙන්ම නීතිගරුක හා යුක්තිගරුක විය යුතුය. මේ සියලු සාර්ධර්ම වැඩෙන්නේ මිනිසකු තුළය. එහෙයින් දේශපාලනඥයා පළමුව මනුස්සයකු විය යුතුය. එයට හේතුව සතුන් තුළ මෙම සාර මනුදම් නොවැඩෙන හෙයිනි.
විවෘත ආර්ථිකයත් සමග අප රට වේගයෙන් වෙනස් වී ගියේය. ඇතැම් වෙනස්කම් යහපත්ය. ඇතැම් ඒවා අයහපත්ය. එසේ අයහපත් ලෙස වෙනස් වූ ක්ෂේත්‍රයක් වන්නේ දේශපාලන ක්ෂේත්‍රය විය. එම වෙනස්කම තුළ පළමුව මෙරට දේශපාලනය තුළ සිටි අවංක මහජන සේවකයා අතුරුදන් වී ගියේය.
විවිධාකාර අපරාධකරුවන්ගෙන්, මං පහරන්නන්ගෙන්, චෞර කප්පිත්තන්ගෙන් මෙරට දේශපාලනය පිරී ගියේය. නඩු වැටුණු ගරු කටයුතු මහජන නියෝජිතයන් කී දෙනකු උත්තරීතර පාර්ලිමේන්තුවේ දෙසිය විසිපස් දෙනා අතර සිටී දැයි සොයා බැලීමෙන් ඉහත කාරණය සනාථ කරගත හැකිය.
දේශපාලනයේ තම ඉලක්කය සපුරා ගැනීමට ඇති පහසුම මග වන්නේ බාහු බලය ප්‍රදර්ශනය කිරීම යැයි ඇතැමෙක් සිතති. තම බාහු බලය පමණක් නොව මැර සේනාංකවල බලය ද ඔවුහු මුදාහරිති. මෙරට මැතිවරණයක් යනු ප්‍රචණ්ඩත්වයේ නිවුන් සොහොයුරා යැයි හඳුනා ගැනීමට සිදු වූ පරිසරයක් නිර්මාණය වූයේ එසේය.
සෑම විනාශයක් තුළම යම් බලාපොරොත්තුවක් ද නිර්මාණය කරයි. ඒ අනුව මුදුනේ දේශපාලනය තුළ ඇති වී තිබෙන විපරීත තත්ත්වය හමුවේ පහළ හෙවත් ගමේ දේශපාලනය තුළ යම් ශීලාචාර බවක් ඇති වේවි යැයි බලාපොරොත්තුවක් විය. එහෙත් එම බලාපොරොත්තුව ද බිඳ වැටෙමින් තිබේ. පුංචි මන්ත්‍රීලාගේ ‘ලොකු වැඩ’ ඒ තත්ත්වය ඇති කර තිබේ. අශීලාචාර හා අනීතික ලෙසත් අවිනීත ලෙසත් හැසිරෙන මේ පුංචි මන්ත්‍රීලාට එරෙහිව ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයන් කටයුතු කරාවි යැයි විශ්වාසයක් තිබිණි. එහෙත් එම විශ්වාසයත් අතීතයට අයත් වූවකි.
(***)