පුරවැසියන් 17 කට රාජ්‍ය සේවකයකු අවශ්‍ය ද?


ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ගැන පළවන මත විවිධාකාරය. ඇතැම්විට රාජ්‍ය සේවය ප්‍රශංසා ලබයි. එහෙත් බොහෝ අවස්ථාවල රාජ්‍ය සේවය බැණුම් ඇසීම කැපී පෙනේ. එසේ වුවද අප සියලු‍ දෙනාටම උපතේ සිට විපත දක්වාම රාජ්‍ය සේවය අත්‍යවශ්‍යය. වෙනත් වචනවලින් කිවහොත් උප්පැන්න සහතිකයේ සිට මරණ සහතිකය දක්වාම රාජ්‍ය සේවය පුද්ගල ජන ජීවිතය හා බැඳී පවතී. 

අප රටේ මෙන්ම ලොව බොහෝ රටවල රාජ්‍ය සේවකයන් දොස් අහන්නේ සේවයේ අකාර්යක්ෂමතාව හේතුවෙනි. පසුගියදා පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ගැන සංසන්දනාත්මක ප්‍රකාශයක් කළ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගෙන් සෑම 17 දෙනකුටම එක් රාජ්‍ය සේවකයකු සිටින බවය.

එහෙත් අපට වඩා බොහෝ දියුණු ජපානය ගත් කල එම රටේ රාජ්‍ය සේවයේ එක් අයකු ජපාන ජාතිකයන් 300 කට සේවය සලසන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. ඔහු මෙම ප්‍රකාශය මගින් අදහස් කළේ අප රටේ බරපතළ රාජ්‍ය සේවාවක් ඇති බවත් මෙම සංඛ්‍යාව අපට දරාගත නොහැකි බවත්ය. විශේෂයෙන්ම මේ අය වෙනුවෙන් කැප කරන රාජ්‍ය සම්පත් කන්දරාවට සාපේක්ෂව කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ජනතාවට ලැබෙනවාද යන ප්‍රශ්නය කලක පටන්ම විවාදයට ලක්වූ කරුණක් බවද සිහි කටයුතුය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 - 2023 නවතම වාර්තාවට අනුව මෙරට දැනට සිටින රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව දහතුන් ලක්ෂ අනූ හතර දහසකි. (13,94,000). මෙම සේවක සංඛ්‍යාව මෙරට මිලියන 23 කට ආසන්න ජනතාවකට සේවය කිරීම සඳහා රාජ්‍ය සේවයට බඳවාගෙන ඇත. ඔවුන්ට වැටුප, විශ්‍රාම වැටුප සහ වෙනත් ප්‍රතිලාභ ගෙවන්නේ ජනතා බදු මුදලිනි. 2021 වසර අවසන් වනවිට රාජ්‍ය සේවයේ සේවකයන් ගණන ලක්ෂ 14 ක්වූ අතර 2022 හමාර වනවිට එහි සුළු අඩුවීමක් පෙන්නුම් කරමින් රාජ්‍ය සේවකයන් දහතුන් ලක්ෂ අනූ හතර දහසට අඩු විය. 

කවර තත්ත්වයක් යටතේ වුවත් අදත් අපේ සමාජයේ පිළිගැනීම වී ඇත්තේ ආණ්ඩුවේ රස්සාව ආරක්ෂා සහිත වෘත්තියක් බවය. එම නිසා අ.පො.ස. සා.පෙළ හෝ උසස් පෙළ සමත් වූ වහාම බොහෝ දෙනා ආණ්ඩුවේ රස්සා පෝලිමට එක්වෙති. රටේ දැන් ක්‍රියාත්මක අධ්‍යාපන ක්‍රමයට රටේ අවශ්‍යතා සඳහා ප්‍රයෝජනවත් වඩාත් ඵලදායී රාජ්‍ය සේවයක් නිර්මාණය කළ හැකිද යන්න ද බරපතළ ප්‍රශ්නයකි. රාජ්‍ය සේවය අකාර්යක්ෂමය යන චෝදනාවට පදනම වන්නේ රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීමේ ක්‍රමවේදය අදටත් සෑහෙන තරම් දුරට දේශපාලනීකරණය වී තිබීම බවට තර්කයක් තිබේ. මන්ත්‍රීතුමාගේ ‘චිට්’ එකට රස්සා ලබාගන්නා රාජ්‍ය සේවකයන්ට ජනතාව ලොකු නැත. ඔවුන් වැජඹෙන්නේ දේශපාලන හයිය පෙන්වමිනි. සමස්ත රාජ්‍ය සේවයම ජනතාවගෙන් බැණුම් අහන්නේ මෙවන් සුළු රාජ්‍ය සේවක පිරිසක් නිසාය.

මෙරට රාජ්‍ය සේවය අප රටේ හැටියට දරාගත නොහැකි බව දැන් කලක සිටම ආර්ථික විශේෂඥයන් විසින් පෙන්වා දී තිබේ. රාජ්‍ය සේවකයන්ගෙන් ඵලදායී සේවාවක් සිදුවන්නේද යන්න මැන ගැනීමට රජය සතුව ක්‍රමවේදයක් නැත. එහෙත් ජපානය වේවා යුරෝපා රටවල් වේවා ඒ බොහෝ ස්ථානවල රාජ්‍ය සේවයේ ඵලදායකත්වය නිරන්තරයෙන් කිරා මැන බලන ක්‍රමවේදයක් ක්‍රියාත්මකය. අප රටේ රාජ්‍ය සේවකයන්ට කාර්යක්ෂමතා කඩඉම වැනි විභාග පැවැත්වුවද ඔවුන්ගේ සේවා කාර්යක්ෂමතාව ගැන නැගෙන චෝදනා බහුලය. සේවය ගැන කෙසේ වෙතත් රාජ්‍ය සේවකයෝ නිරන්තරයෙන් තමන්ගේ වැටුප් හා වරප්‍රසාද ගැන උනන්දු වෙති.

රජයට ඉදිරිපත් කරන ඉල්ලීම් සලකා නොබැලු‍වහොත් ඔවුන් වර්ජන තර්ජන මගින් රජය බය කරන්නට තැත් කිරීම කැපී පෙනේ. ජීවන වියදම උද්ධමනය හා ඉහළ බැංකු පොලී අනුපාත ආදිය නිසා රාජ්‍ය සේවක වැටුපෙන් කළ හැකි දේ සීමා විය. පෞද්ගලික අංශයේ තත්ත්වය ද ඊට සමපාත විය. ඒ අතර මෙරට රාජ්‍ය සේවයේ තවත් ගති ලක්ෂණයක් ගැන සඳහන් කළ යුතුය. රාජ්‍ය සේවකයන් නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්නටය.

එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අයිතිවාසිකම් හා බැඳුණු යුතුකම් සමුදායක්ද වන බව සඳහන් කරනු වටී. යුතුකම් ඉටු නොකර අයිතින් දිනා ගැනීමට සටන් කිරීම යුක්ති සහගත හෝ සාධාරණ නොවේ. දියුණු රටවලටත් වඩා වැඩි රාජ්‍ය සේවකයන් සහිත අප රටේ වඩාත් ඵලදායී හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය වන්නට නම් රාජ්‍ය සේවකයන් තම අයිතින් ගැන මෙන්ම ඉටුවිය යුතු යුතුකම් ගැනද ප්‍රමුඛ අවධානයක් දැක්විය යුතු බව අවධාරණය කරමු.

(***)