පෘතුගීසි ලේඛකයා දුටු ලංකාවේ පළමු භූමිකම්පාව


සිංහල අලූත් අවුරුද්ද උදාවූයේ රටපුරා මහත් උනන්දුවකින් සහ උත්සවශ්‍රීයකිනි. එයට හේතු වූයේ වෙනදා නොවූ විරූ තරම් සරුසාර අස්වැන්නක් ලැබී ගම ගෙවල අටු කොටු පිරී ඉතිරී යාම නිසාය. ඒ ක‍්‍රිස්තුවර්ෂ 1615 අපේ‍්‍රල් 14 වැනිදාය. පරංගි ආක‍්‍රමණයෙන් වසර 110 ක් ගිය තැන උදාවූ සිංහල අලූත් අවුරුදුදා පසුවී පසුදාට පහන් වූයේ ජනතාව තවමත් අවුරුදු ප‍්‍රීතිය භුක්ති විඳිමින් සිටියදීය. එහෙත් ඒ ප‍්‍රීතිය පැවතුනේ හෝරා කිහිපයකි. පසුදාට පහන්ව, හිරු උදාවන ඒ අසිරිය දැක ගැනීමට, විඳගැනීමට මේ බොහෝ දෙනෙකුට වාසනාව නොතිබුණ සේය. ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුම යුගයක් උදාකළ ඒ අපේ‍්‍රල් 14 වැනිදා සිදුවූ ඒ මහා ව්‍යසනය ගැන එදා මෙරට විසූ පෘතුගීසි ජාතිකයකු වූ ජෝර්ජ් රොඩි‍්‍රගස් නමැත්තා වර්ෂ 1616 දී පෘතුගාලයේ ලිස්බන් අගනුවරදී මුද්‍රණයකොට ඇති පිටු 4 කින් යුතු පත‍්‍රිකාවක සවිස්තර වාර්තාවක් වෙයි. ශ්‍රී ලංකාවේ වාර්තාගත ප‍්‍රථම භූමිකම්පාව ලෙස සඳහන් එම සිද්ධිය විස්තර කරන රොඩි‍්‍රගස්ගේ පත‍්‍රිකාව පෘතුගීසින් අදහන ආගම විශ්වාස නොකරන ජනයාට දෙවියන් විසින් දෙන ලද දඬුවමක් සේ හුවා දැක්වීමට උත්සාහ කර තිබේ. ඒ කෙසේ වෙතත් වර්ෂ 1615 අපේ‍්‍රල් මස 14 වැනිදා රාත‍්‍රියේ සිදුවූ එම භූමිකම්පාව ගැන ජෝර්ජ් රොඩි‍්‍රගස් මෙසේ සඳහන් කරයි. එදින අඩහෝරාවකටත් කලින් හිරු බැසගියේ සිදුවීමට යන හෙවත් දෙවියන් විසින් පැමිණවීමට යන දඬුවම දැකගැනීමට හෝ එහි සාක්‍ෂිකරුවකු වීමට අකැමැත්තෙන් මෙනි. රාත‍්‍රි 7 පසුවනවාත් සමගම කණ් බිහිරි කරවන ගිගුරුම් සහිත හෙණ හඬ පුපුරා යත්දී පොළෝතලය කම්පනය වූයේ හිටගෙන සිටීමටත් නොහැකි තරම් වේගයකිනි. නිවෙස් තුළ සිටි ජනයා එළිමහනට පැනගත්තේ ගොඩනැගිලි කඩාවැටේ යැයි බියෙනි. එහෙත් එය කබලෙන් ලිපට වැටුනාක් මෙන් විය. මහා හෙණ හඬ සමඟ එක පිට එක පතිත වූ අකුණු සැරවලින් බියපත් ජනයා එයින් බේරීමට යළි ගොඩනැගිලි තුළට දිවගියේ කිසිදා ආපසු නොඑන්නටය. ඔවුන් සිය නිවාස තුළම වැළලී ගොස් තිබිණි. ඒ මහා භූමිකම්පාවේ ප‍්‍රබලත්වය කොතෙක්ද යත් මහා මන්දිර මෙන්ම කුඩා පැල්පත් පවා බිමට සමතලා වී තිබිණ. පොළෝ තලය චලනය වූයේ සයුරු රළ ගසන්නාක් මෙනි. එම රළ පහරට හසුවූ මහා ගල් කුළු පෙරළී ගියේ සුළඟට අසුවූ පිහාටු මෙනි. පසුදා පහන්වනතුරු පැවැති මේ මහා භූ චලනයේ විනාශය හරිහැටි දැකගැනීමට දින ගණනාවක් ගතවිය. දිවයිනේ බොහෝ පළාත් වලින් මරණ වාර්තාවී තිබූ අතර වැඩිම ව්‍යසනය කොළඹ අගනුවර ප‍්‍රදේශය කේන්ද්‍ර කොටගෙන සිදුවී තිබිණ. මෙම ව්‍යසනයේදී මිනිසුන් පමණක් නොව සතා සිවුපාවා පවා ගොදුරු වී තිබිණි. කොළඹ අවට ප‍්‍රදේශයෙන් පමණක් මිනිස් ජීවිත 2000 (දෙදහසක්) පමණ මෙම භූමිකම්පාවට බිලිවූ බව වාර්තා විය. කොළඹ කොටුවේ බටහිර කොටුබැම්ම ද කඩා වැටුණු අතර ඒ මත වූ කුලූනක් ඇද වැටීමේදී ඊට යට වූ නිවෙසක සිටි සිව්දෙනෙකු එතැනම මිය ගිය බව ද වාර්තාවිය. කොළඹ අවට නිවාස 200 ක් පමණ විනාශ වී තිබිණ. මේ භූමිකම්පාවේ භයානකම ප‍්‍රතිපලය වූයේ පොළෝ තලය පුපුරා ඉතා ගැඹුරු අගාධ ඇතිවී තිබීමය. මෙම අගාධවලින් වරින් වර ගිනි දළු සහ ගෙන්දගම් සැර ඇති දුමාරයක් ගලායමින් තිබිණ. මෙම අගාධ වලින් පිටවූ ගිනි දළු සහ ගෙන්දගම් සැර කොතරම් ප‍්‍රබල වීද යත් ඒවා වසා දැමීමට කිසිවෙකුත් කාලයක් ගතවන තුරු ඒවා අසලටවත් නොගිය බව වාර්තාවී තිබිණ. මෙම මහා භූ චලනයේ ප‍්‍රබලත්වය අංශක 8 ක් හෝ 9 ක් පමණ විය හැකි බව විශ්වාස කෙරේ. මෙම මහා භූමිකම්පාවේ ප‍්‍රබලත්වය කියාපාන හොඳම උදාහරණය ලෙස රොඩි‍්‍රගස් ගෙනහැර පාන්නේ කැලණිය ගඟ මතින් ඉදිකොට තිබූ කළු ගලින් නිමවූ පාලම විනාශවී ගිය අන්දමය. විශාල කළු ගල් යොදා එමෙන්ම විශාල වියදමක් දරා ඉදිකරන ලද මෙම පාලමේ ගල් සුළඟට අසුවූ පිහාටු මෙන් වීසිවී ගිය බට සඳහන් වේ. එම කළු ගල් කුට්ටි පාලම තිබූ තැන සිට ගව් (ලීග) කිහිපයක් දුරින් පතිත වී තිබී හමුවීමෙන්ම මේ බව සනාථ වෙතැයි රොඩි‍්‍රගස් සඳහන් කරයි. රොඩි‍්‍රගස්ගේ වාර්තාවට අනුව මේ මහා භූමි කම්පාවට පෙර, දිවයිනට බලපෑමට නියමිත ව්‍යසනයක් පිළිබඳ ඉන් මාසයකට පෙර අනතුරු ඇඟවීමක් සිදුවූ බව සඳහන් කර තිබේ. එය නම් වර්ෂ 1615 මාර්තු මස 7 වැනි දින පෑයූ වල්ගා තරුව හා ඒ සබැඳි විනාශ කාරී බලපෑම පිළිබඳවය. දිවයිනෙහි ජනයා, වල්ගා තුනකින් සමන්විත මේ ආකාශ වස්තුව දෙස විශ්මයෙන් ද භීතියෙන් ද යුතුව බලා සිටියහ. දින ගණනාවක් දර්ශනය වූ මේ වල්ගා තරුවෙහි වලිග තුනේ කෙළවර ඊතල තුඩු සේ දිස්වූ අතර එයින් ගිනි පිටවෙන්නාක් මෙන් මුළු අහස් තලයම රක්ත වර්ණ ගැන්වී තිබිණ. මෙම වල්ගා තරුවේ බලපෑම කෙතෙක් ප‍්‍රබලවීද යත් දින ගණනක් සූර්යාලෝකය පතිත නොවීමෙන් අවකාශය දුෂ්‍යවී මිනිසුන් පමණක් නොව වතුපිටිවල සිටි ගව ආදී සතුන් පවා තැන තැන මැරී වැටුණු බවද වාර්තාවී තිබිණ. මේ විශ සහිත වායුවෙන් මුහුදේ මාළුන්ට පවා බලපෑමක් ඇති වූ බව පසක්වූයේ රළ පහරට වෙරළට මාළු පාවී ආ අයුරු දුටු විටය. මෙසේ වෙරළට ගොඩ ගැසූ මාළු ආහාරයට ගත් මිනිසුන් මෙන්ම කපුටන් ආදී පක්‍ෂීන්ද මියගියේ ජනසමාජය මහත් භිෂණකාරී වාතාවරණයක ගිල්වමිනි. මෙම සිද්ධියෙන් මිනිසුන් කොතරම් භීතියට පත්වීද යත් වෙරළාසන්නයේදී මියගිය මිනිසුන්ගේ සිරුරු වළදැමීම සඳහාවත් කිසිවකු ඒ අසලටවත් යෑම ප‍්‍රතික්‍ෂේප කළහ. මේ නිසා මිනිසුන්ගේද සතුන්ගේද මළ කඳන් වලින් නැගී ආ දුර්ගන්ධය ඉවසිය නොහැකි තරමට වාතය දුෂ්‍ය වූයේ එම ප‍්‍රදේශය ජන ශූන්‍ය විය. මේ සියලූ ව්‍යසන වලට හේතුව ලෙස රොඩි‍්‍රගස් දක්වා තිබෙන්නේ පෘතුගීසීන් අදහන ආකාරයට දෙවියන් විශ්වාස නොකරන මිනිසුන්ට පැමිණවූ දේව දඬුවමක් ලෙසටය. වල්ගා තරු මෙන්ම භූමි කම්පා ආදිය මේ පෘථිවියේ ස්වභාවික සංසිද්ධීන් බව රොඩි‍්‍රගස් ජීවත්වූ යුගයේ මිනිසුන්ට වැටහීමක් නොතිබූ බව ඔහුගේ අර්ථකථනයෙන් ගම්‍ය වෙයි.
විශේෂ ලියුම්කරුවකු විසිනි
අතීතයේදී සිදුවූ භූමිකම්පාවක දර්ශනයක් කොළඹ වරායේ පැරණි දර්ශනයක්