පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය


පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරමට ධාන්‍ය ගබඩා කර නැතහොත් නිපදවා ඇත්තේ මේ රට තුළය.

එයට තවත් සාක්ෂියක් එක් කරනු ලබන්නේ ඌව වෙල්ලස්සෙනි. එනම් වෙල්ලස්ස යන නාමය ලැබී ඇත්තේ පෙර අතීතයේ වෙල් ලක්ෂයක් එනම් කුඹුරු වෙල්යාය ලක්ෂයක් තිබූ හෙයිනි. එමෙන්ම මෙරට ප්‍රධාන අාහාරය ලෙස කොයි කවුරුත් සලකන්නේ බත්ය. මේ රටේ බොහෝ දෙනා තුන්වේලටම බත් කන්නෝය. එබැවින් කාගේත් පැතුම වන්නේ බත බුලතින් සරු රටකි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් රටේ ජනගහනයට වුවමනා පරිදි බත සරිකර ගැනීමේ අර්බුදයකට මුහුණ පාන්නට සිදු වී තිබේ.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව අපේ රටේ මාසික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 200,000කි. ඒ අනුව වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 24 ක් පමණ වේ. එක් පුද්ගලයකුගේ වාර්ෂික සහල් පරිභෝජනය වසරකට කිලෝ ග්‍රෑම් 107 ක් පමණකි. එනම් මෙරට සිටින්නේ වසරකට සහල් කිලෝ 100 ඉක්මවා පරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයන්ය. මේ ආකාරයට සහල් පිළිබඳ ඉල්ලු‍ම ඉහළ යාම හේතුවෙන් සහල් මිල ගණන් බොහෝ දෙනාගේ ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කර ඇත. පනස් තුනේ හර්තාලයට හේතු වූයේද හාල් සේරුවක මිල ශත හැත්තෑව දක්වා ඉහළ දැමීමයි.

දිවයිනේ සහල් හිඟය උත්සන්න වෙමින් තිබෙන බව නොරහසකි. සහල් මිල ඉහළයාම එයට හේතුවයි. ඕනෑම භාණ්ඩයක හිඟයක් ඇති වී ඒ හේතුවෙන් මිල ඉහළ යාම සාමාන්‍ය සිදුවීමකි. හිඟයක් නිර්මාණය වන්නේ ඉල්ලු‍මට සරිලන පරිදි සැපයුම නොමැතිවීමෙනි. එවිට තිබෙන ස්වල්පය අධික මිල ගණන් යටතේ අලෙවි කිරීම සිදු වේ. වර්තමානයේ සහල්වලට සිදු වී ඇත්තේද එයයි.

අප රට සහලින් ස්වංපෝෂිත බව දේශපාලන වේදිකාවල ප්‍රසිද්ධ ප්‍රකාශයකි. එසේනම් සහල් හිඟයක් ඇති වන්නේ කෙසේද යන්න ප්‍රශ්නාර්ථයකි. මෙය මහා පරිමාණ හාල් මෝල් හිමියන් නිර්මාණය කළ කෘත්‍රිම හිඟයක්ද නැතිනම් සත්‍ය වශයෙන්ම සිදුවූවක්ද යන්න සොයා බැලිය යුතුය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශ නිල වෙබ් පිටුවේ ලංකාවේ වී නිෂ්පාදනය සම්බන්ධයෙන් මෙසේ සඳහන් වී තිබේ. “2024 මෙවර යල කන්නයේ දී වාර්තාගත වී අස්වැන්නක් ලැබී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය මහ කන්නයේ දී මෙට්‍රික් ටොන් ලක්ෂ 32 ක වී අස්වැන්නක් ලැබීම හා මෙවර යල කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 26 ක වී අස්වැන්නක් ලැබීම නිසා මෙම වසරේ සමස්ත වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 58ක් දක්වා ඉහළ ගොස් ඇත. එමගින් නිෂ්පාදනය කර ගත හැකි සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 30 ඉක්මවනු ලබයි. මේ හේතුවෙන් වසර ගණනාවකින් පළමුවරට මෙරට සහල් අතිරික්තයක් මෙම වසර තුළ වාර්තා වී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා පැවසීය.

රජය පොහොර සහනාධාරය ලබාදීම මෙන්ම පොහොර මිල අඩුවීම, වැඩි අස්වැන්නක් ලබාගත හැකි නව බීජ විශේෂ හඳුන්වා දීම හා නව තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම නිසා ඇතැම් වී වගා කලාපවලින් ඉහළම අස්වැන්නක් වාර්තා කර ඇත. නිදසුන් ලෙස හම්බන්තොට, උඩවලව, අම්පාර, පොලොන්නරුව හා රත්නපුර යන ප්‍රදේශවලින් හෙක්ටයාර් එකකට ලබන වී අස්වැන්න මෙට්‍රික් ටොන් 12 ඉක්මවා තිබේ. මේ නිසා මෙම වර්ෂය තුළ සහල් ආනයනය කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නැති බව සඳහන් කළ අමාත්‍යවරයා මෙවර යල කන්නයේ දී ගංවතුර නිසා හෙක්ටයාර් අක්කර ලක්ෂයක් පමණ වගා හානි සිදු නොවිණි නම් අස්වැන්න මීටත් වඩා ඉහළයාමට ඉඩ තිබූ බවද සඳහන් කළේය.”

මෙකී කරුණු සත්‍ය නම් අද සහල් හිඟයක් ඇතිවීම සිදුවිය නොහැක්කකි.

ශ්‍රී ලංකා මහ බංකුවේ මිල වාර්තාව අනුව සහල්වල තොග මිල වන්නේ සම්බා රුපියල් 235, නාඩු රුපියල් 220, සුදු සහ රතු කැකුළු රුපියල් 205, පුන්නි සම්බා රුපියල් 278 වේ. සිල්ලර මිල වන්නේ සම්බා රුපියල් 245, නාඩු රුපියල් 230, සුදු සහ රතු කැකුළු රුපියල් 210, පුන්නි සම්බා රුපියල් 290 වේ. රට පුර වෙළෙඳසල්හීදී සිතූ මිල ගණන් යටතේ හාල් අලෙවිවීම සිදු වේ. නාඩු සහල් කිලෝවක පාලන මිල රුපියල් 220 වන අතර, සම්බා සහල් කිලෝවක පාලන මිල 230 ක් වශයෙන් අලෙවි කළ යුතු බව පාරිභෝගික සේවා අධිකාරිය නියම කර ඇත. එහෙත් නාඩු සහල් තොග මිලම රුපියල් 220 වන බැවින් එය පාලන මිලට විකිණීමේ ගැටලු‍ පවතින බව අමුතුවෙන් කිව යුතු නැත.

නාඩු ඇතුළු සහල් වර්ග රැසක පවතින හිඟය හේතුවෙන් ඇතැම් සුපිරි වෙළෙඳසල්වලින් පාරිභෝගික ජනතාවට නිකුත් කෙරෙන සහල් ප්‍රමාණය සීමා කර ඇත. මේ අනුව, ඇතැම් සුපිරි වෙළෙඳසල්වලින් එක් බිල්පතකට නිකුත් කෙරෙන සහල් ප්‍රමාණය සහල් කිලෝග්‍රෑම් 3ක් දක්වා සීමාකර තිබේ. එමෙන්ම ඇතැම් වෙළෙඳසල් පවතින මිල ගණන් යටතේ සහල් අලෙවි කිරීමට නොහැකි බැවින් සහල් අලෙවියෙන් වැළකී සිටී. පවතින සහල් හිඟය හේතුවෙන් ගොවියන් බොහෝ දෙනකු තමන් සතු වී තොග වෙළෙඳපොළට අලෙවි නොකර සිය ආහාර අවශ්‍යතාව සඳහා ළඟ තබාගෙන සිටින බවට ද තොරතුරු වාර්තා වේ. මෙයින් වෙළෙඳපොළේ හාල් හිඟය තවදුරටත් උග්‍රවීම වළක්වාලිය නොහැක.

මෙරට සහල් මිල පාලනය කිරීම, සහල් වෙළෙඳපොළට මුදාහැරීම, වී මිලදී ගැනීමේ මිල ගණන් තීරණය කිරීම, රට තුළ හාල් හිඟය නිර්මාණය කිරීම ආදියෙහි කෘත්‍යාධිකාරී බලය රැදී පවතින්නේ මෙරට මහා පරිමාණ හාල් මෝල් හිමියන් සතුවයි. රටේ ප්‍රධාන පරිභෝජන භාණ්ඩය වන සහල් මිල පාලනය කිරීමේ ඒකාධිකාරි බලය මහා පරිමාණ මෝල් හිමියන් අතේ තිබෙන තෙක් මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබේද යන්න ගැටලු‍වකි. කළ යුත්තේ ගොවියන්ගේ වී ඇතුළු නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලැබෙන වෙළෙඳපොළක් නිර්මාණය කිරීමය.

එවැනි වෙළෙඳපොළක් නිර්මාණය කළහොත් ගොවියන්ට මහා පරිමාණ මෝල් හිමියන්ගේ ග්‍රහණයෙන් මිදී තම නිෂ්පාදන සාධාරණ මිලට අලෙවි කර ගැනීමට හැකි වේ. එමගින් පාරිභෝගික ජනතාවටද සාධාරණ මිලකට සහල් ලබාගැනීමටත් අවස්ථාව හිමිවේ.

මරදගහමුල සහල් වෙළෙඳපොළේ සහල් මිල දත්ත සටහන්කරු දුරකථනය හරහා සම්බන්ධ කරගත් අවස්ථාවේ පැවසූවේ මෙවැන්නකි.

“හාල් මිල දෝලනය වන තත්වයක තියෙන්නේ. සමහර තැන්වල හාල් මිල වැඩී. සමහර තැන්වල අඩුයි. පාලන මිලට වැඩියෙන් හාල් විකුණන්නේ. අපිට ස්ථීරව යමක් කියන්න බෑ”.

සහල් මිල සම්බන්ධ තොරතුරු දැනගැනීමට පාරිභෝගික අධිකාරියේ පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂක අසේල බණ්ඩාර මහතාගෙන් විමසූ විට ඒ මහතා ප්‍රකාශ කළේ සහල් හිඟයක් පවතින බවත් සහල් මිල ගණන්වල වැඩිවීමක් පවතින බවත් ඉදිරි දින කීපය ඇතුළත මේ ගැටලු‍වට විශේෂ වැඩපිළිවෙළක් සකස් කෙරෙන බැවින් තොරතුරු ලබාදිය නොහැකි බවත්ය.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය සහ හාල් මෝල් හිමියන්ගේ සංගමයේ බලධාරීන් දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සහා කළද එය සාර්ථක වූයේ නැත.

රට තුළ පවතින මෙම ගැටලු‍ව හමුවේ පීඩාවට පත්වන්නේ සිල්ලර වෙළෙඳුන් සහ පාරිභෝගිකයන්ය. වගකිවයුතු බලධාරීන් නිහඬය. මෙවැනි පසුබිමක තවදුරටත් ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරයක්ද? යන පැනය බොහෝ දෙනා තුළ නැගෙනු ඇත.

(*** ශෂිකා අබේරත්න)