පොදුජන හදවතේ නොමැරෙන යුද වීරයා සෙන්පති කොබ්බෑකඩුව


ජාතියේ රැකවරණය පිණිස පොදු ජනතාව මහත් බලාපොරොත්තු තබා සිටි සෙන්පතියකුගේ හදිසි අභාවයෙන් මුළු මහත් රටම නිරායාසයෙන්ම හඬා වැටුණේ 1992 අගෝස්තු 8 වැනිදාය. සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව ජාතියෙන් සදහටම සමුගත් පුවත රජයෙන් රූපවාහිනිය හා ගුවන්විදුලිය පමණක් තිබූ අනූවේ දශකයේදී මුවෙන් මුවට සන්නිවේදනය වූයේ වර්තමාන සමාජ මාධ්‍ය පුවතකටත් වඩා වේගයෙනි. ඒ සමගම මහල් දෙමහල් තුන් මහල් නිවසේද පිදුරු සෙවිලි කළ පැල්පතේද සියලු රථවාහනවලද සුදු කොඩි එසවුණේය. ඒ කඳුළින් පිරුණු 8 වැනිදා මෙරට නොතෙත්වූ දෙනෙතක් නැත.

1940 ජුලි 27 වැනි දින උපන් ඩෙන්සිල් ලක්‍ෂ්මන් කොබ්බෑකඩුවගේ පියා ලොකු බණ්ඩා කොබ්බෑකඩුවය. මව ඉයෝනා රත්වත්තේය. මවු හා පිය පස පරම්පරා දෙකම උඩරට රජුන් කල මහ වාසලේ සේවය කළ      නිලමඃකාර පරම්පරා දෙකකි. කොබ්බෑකඩුව පරපුරේ ආදි මහා පුරුෂයකු වන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කල විසූ රාජගුරු කොබ්බෑකඩුවේ සිරි නිවාස නායක හිමියන්ය. උඩරට මහ කැරැල්ලේදී කොබ්බෑකඩුවේ රටේ මහත්මයා ඉංගිරිසියට එරෙහිවූ  පුද්ලයකු වශයෙන් චෝදනා ලැබීය.

1966 එජාප ආණ්ඩුවට එරෙහි හමුදා කුමන්ත්‍රන සිද්ධියේදී එවක හමුදාපති ජනරාල් රිචඩ් උඩුගම සමග එවකට මේජර්වරයෙකු වූ ඩෙන්සිල් කොබ්බෑකඩුවත් අනිවාර්ය නිවාඩු යැවිණි. 1970 සමගි පෙරමුණ රජය යටතේ ඔහු යළි හමුදා සේවයට බඳවා ගැනිණි.

වේගයෙන් ව්‍යාප්ත වූ ජනඝාතක ත්‍රස්තවාදය හමුවේ එය මැඩලීම සඳහා ජනතාව විශ්වාසය තබා සිටියේ මේජර් ජනරාල් කොබ්බෑකඩුව සෙන්පතියා ගැනය. 1987 මැයි ජුනි අතර යාපනයේ වඩමාරච්චි  මෙහෙයුමේදී ප්‍රභාකරන් ගල ග්‍රහනයෙන් ගන්න ඔන්න මෙන්න කියා තිබියදී ඉන්දීය අමැතිගේ උදව්වෙන් යාන්තමින් ගැලවුණු මොහොතේ කොබ්බෑකඩුව සහ විජය විමලරත්නගේ සේනාංක කළ මෙහෙය නිසා යුද්ධය යළිත් ඇවිළුණු අවස්ථාවේ ජනතා බලාපොරොත්තුව වූයේ සෙන්පති කොබ්බෑකඩුවය. පනාගොඩ යුද හමුදා මුලස්ථානයේ අණ දෙන නිලධාරියා වූ ඔහු සටන් විරාම සමයකින් ඉක්බිතිව යුද්ධය යළි ඇරඹුණු 1990 ජුනි 12 වැනිදා නැගෙනහිර පළාතට ගියේ එහි ආඥාපති හැටියටය. වැදගත් සියලු බිම් පෙත් එක රැයෙන් අල්ලා ගෙන සිටි එල්.ටී.ටී.ඊය සැලසුම් සහගත මෙහෙයුම් කිහිපයකින් පරාජය කර පළවා හරින්නට සෙන්පති කොබ්බෑකඩුව සමත්විය. ඔහුගේ කාර්ය මණ්ඩලයේ විධායක නිලධාරියකුත් එවකට ලුතිනන් කර්නල් සනත් කරුණාරත්නත් අප සමග කියා සිටියේ දුෂ්කර යුද බිමක වුවත් සෙන්පතිවරයා පියකු සේ සිය සෙබළුන්ට සැලකූ අන්දමය.

‘‘වඩමාරච්චි මෙහෙයුමෙන් පසු ජනරාල් කොබ්බෑකඩුවට බ්‍රිතාන්‍යයේ හමුදා  ඇකැඩමියක පුහුණුවීමේ ශිෂ්‍යත්වයක් ලැබුණා. එම පුහුණුව නිමවා පැමිණි පසු ඔහුට පනාගොඩ යුද හමුදා මූලස්ථානයේ ආඥාපතිධුරය ලැබුණා. මාණ්ඩලික නිලධාරියකු ලෙස ඔහු මාවත් ඔහුගේ කාර්ය මණ්ඩලයට බඳවා ගත්තා. ඒ 1990 අවුරුද්ද යුද්ධය නැවත ඇරඹුණාම හමුදාපති අණ කළා. නැගෙනහිර ආඥාපති ලෙස වැඩ භාරගන්න. කිසිම පැකිළීමකින් තොරව ජනරාල් නැගෙනහිරට ගියා. මාණ්ඩලික නිලධාරියා ලෙස මාත් ගියා. අපේ මූලස්ථානය පිහිටුවා ගත්තේ අම්පාරේ, එතකොට පළාතම කොටි යටතේ තිබුණේ. මඩකලපුව  කිරාන් හා තවත් පෙරමුණකින් ක්‍රමානුකූලව සටන් කර පළාත ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගන්න ජනරාල්ට හැකිවුණා. මෙහෙම යනකොට  තමයි දැනගන්න ලැබුණේ පොලිසියේ විශාල පිරිසක් කංචිකුඩි ආරු වනයට ගෙන ගිහින් කියලා. හමුදා මෙහෙයුමකින් ප්‍රදේශය අල්ලගෙන කැලෑව ඇතුළට යනකොට කොටි අල්ල ගත්ත පොලිස් නිලධාරීන් සිය ගණනම මරා දමලා එම දර්ශනය දුටු ජනරාල් කොබ්බෑකඩුව බොහෝම කනගාටුවෙන් බලා සිටියා. ඉන් ටික  දවසකට පසු හමුදාපතිගේ අණ ආවා නැගෙනහිරට කොළඹින් අලුත් නිලධාරියෙක් එවනවා. උතුරට ගිහින්  දෙවැනි සේනාංකය භාර  ගන්න කියලා. එතකොට වන්නියේ කඳවුරු ඇද වැටිලා කොකාවිල් මාන්කුලම් ඇදවැටිලා.... සංහාරය කරලා.... ඉහළින් ආපු අණ මමයි දුරකතනය හරහා ලබා ගත්තේ. මම ගිහින් කීවා සර් ඔබ දෙවැනි සේනාංකයට පත් කරලා කියලා. එතුමා ඒ අණ ඉතා  හොඳින් පිළිගෙන උතුරට ගියා. වෙන නෙනකුට නම් කේන්ති යනවා. ඒත් කොබ්බෑකඩුව සිනාමුසුව අලුත් වගකීම භාර ගත්තා. එතුමා නියම මහත්මයෙක්. අපිට තාත්තා වගේ උපදෙස් දුන්නේ. ඒ වගේම අපේ දක්ෂකම් හඳුනාගෙන සිටියේ. එතුමාගේ අභාවයෙන් අපිට ඒ හැමදේම නැතිවුණා. අපි වගේ නිලධාරීන් රැසකට ලොකු පාඩුවක් වුණා. එක් නිලධාරියෙක් මම....’’ ජනරාල් සනත් කරුණාරත්න මහතා සඳහන් කළේය.

ජනරාල් කොබ්බෑකඩුවට මුළු රටම ආදරය කරන්නට පටන් ගත්තේ සටන් බිමේ සටන් වැද සිටි සෙබළුන්ට ඔහු දැක්වූ දයාව ලෙංගතුකම නිසාය. උතුරේ පොදු ජනතාවට මානුෂිකව සැලකූ නිසාය. මරණය පෙනී පෙනී  සටන් වැදුණු සෙබළුන්ට තාත්තා වූයේ ඔහුය. ඔහු සෙබළුන් අමතා පළ කරන වචන කිහිපය ඔවුන්ට අයෝමය එඩියක් ගෙන එන්නට සමත් විය. ඒ නිසාම අඩු පහසුකම් යටතේ මරු පෙනී පෙනී වුව  සටනට බසින්නට සෙබළුන් පැකිලුණේ නැත.

1991 දී බ්‍රිගේඩියර්වරයකු ලෙස ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා වෙත වන්නියේ යුද තත්වය සහ සිවිල් පාලනය ක්‍රියාත්මක කිරීම සඳහා ගත යුතු පියවර ගැන විස්තරාත්මක විග්‍රහයක් (ප්‍රසන්ටේෂන්) ඉදිරිපත් කළේය. එය ජනාධිපතිවරයාගේ සිත බෙහෙවින්ම ඇදගත් අවස්ථාවක් බවට පත්විය. එහෙත් දේශපාලන හා නිලධාරීවාදය මෙම  සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබාදුන්නේ නැත. විශ්‍රාමික මේජර් ජනරාල් සනත් කරුණාරත්නද එම අවස්ථාවට සහභාගි වූ හමුදා නිලධාරියෙකි. ජනරාල්වරයා එම අවස්ථාව මෙසේ සිහිපත් කරයි.

“ඒ අවස්ථාවේ ජනරාල් කොබ්බෑකඩුව වන්නි ආඥාපති. ඔහු අප සියලු දෙනාම මෙම රැස්වීමට කැඳවාගෙන ගියා. රැස්වීම තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේ. ඇමැති මණ්ඩලයත් මෙම අවස්ථාවට සහභාගි වුණා. මම එතකොට ලුතිනන් සුනිල් තෙන්නකෝන්, වවුනියා ආඥාපති බ්‍රිගේඩියර් දේවින්ද කළුපහන, සහ මම මෙහිදී ප්‍රසන්ටේෂන් ඉදිරිපත් කළා...... මෙතන ජනරාල් කොබ්බෑකඩුවගෙ සැලැස්ම තිබුණේ භූමිය අල්ලා ගන්න ගමන්ම වාරිමාර්ග හා කුඹුරු නිදහස් කරගෙන ඒවා වගා කරන්න සාමාන්‍ය ජනාවට අවස්ථාව ලබාදීම මෙමගින් හමුදා කඳවුරු පවත්වාගෙන යාමට වැයවන අති විශාල මුදල අඩුවී රජයට  ආදායමක් ලැබෙන බවත් ජනරාල් කොබ්බෑකඩුව ජනාධිපතිට පෙන්වා දුන්නා. ඔහුගේ සැලැස්ම ජනාධිපති ආර්. ප්‍රේමදාස ඉතා හොඳින් පිළිගත්තා. ඒත් එම සැලැස්මට බාධා පැමිණුනා..’’ ජනරාල් කරුණාරත්න මහතා සඳහන් කළේය.

බ්‍රිගේඩියර් කොබ්බෑකඩුවගේ සැලැස්මට ජනාධිපතිවරයා කැමති වූයේ එමගින් සාමාන්‍ය ජනතාවට සේවයක් වන නිසාය. ත්‍රස්තවාදීන් සහ සාමාන්‍ය ජනතාව අතර පරතරයක් නිර්මාණය වන නිසාය. බ්‍රිගේඩියර්වරයාගේ සටන තිබුණේ ත්‍රස්තවාදීන් සමග මිස සාමාන්‍ය ජනතාව සමග නොවේ. යුද්ධය හිඟන්නාගේ තුවාලය කරගෙන එමගින් ජීවත්වූ හමුදා සහ දේශපාලන අංශ බ්‍රිගේඩියර් කොබ්බෑකඩුවගේ සැලැස්මට එරෙහි වූයෙන් යුද්ධය දිගටම ඇදුණි. ජවිපෙ ත්‍රස්තවාදය මැඩ පැවැත්වූ හමුදා  ක්‍රියාන්විතයේදි ඔහු තරුණ සංහාරයට අකමැති වුයෙන් ඉහළ නිලධාරීන්ගේ දෝෂ දර්ශනයට ලක්විය. ඒනිසාම ඊලාම් යුද්ධය යළි ඇරඹුණු  පසු ජවිපෙ භීෂණය මැඩලූ නිලධාරීන් කොළඹ සීත කාමරවලට අරක් ගනිද්දී ජනරාල්වරයා දරුණු  යුද බිම්වලටම සීමා කෙරිණි.

පිපිරීම සිදුවූයේ කයිට්ස් දූපතේදීය. එහි සිට එල්.ටී.ටී.ඊ. ය අතට පත්වී තිබූ යාපන අර්ධද්වීපයට හමුදාව  ගොඩ බස්සවා  මහා ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් පෙර විපරම් කිරීමට කළ නිරීක්ෂණ  සංචාරයකදී කොටින්ගේ පීඩන බෝම්බයකට මෙම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු හසුවූහ. සෙන්පති කොබ්බෑකඩුවගේ දකුණු අතසේ උතුරු  යුද බිමේ හරඹ කළ බ්‍රිගේඩියර් විජය විමලරත්නද තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු අට දෙනෙක්ද එක තැන මරු වැළඳ ගත්හ. සිද්ධියෙන් බරපතළ  තුවාල ලැබූ ජනරාල් කොබ්බෑකඩුව මියගියේ කොළඹ මහරෝහලේදීය. මෙම මෙහෙයුම එකල සැලකුණේ ඉන්දීය බලපෑම නිසා අතරමග නැවතුණු ‘‘වඩමාරච්චි මෙහෙයුමේ’’  දෙවැනි ගමන හැටියටය. මෙම ඛේදනීය මරණ සිදුනොවී මෙහෙයුම ක්‍රියාත්මක වී නම් එදා එල්.ටී.ටී.යේ අවසානය සිදුවීමට ඉඩ තිබිණ. ජෙනරාල් කොබ්බෑකඩුව මහතාගේ අවසන් කටයුතු සිදුවූ දා කොළඹ කනත්ත එකම යුද පිටියක් විය. එයට හේතුවූයේ කිසිවකුත් නොසිතූ පරදි අති විශාල ජනතාවක් ආදාහන උත්සවයට සහභාගිවීම සහ එයට පැමිණ සිටි රජයේ මැති ඇමැතිවරුන් දැක ඒ ජනතාව කෝපයට පත්වීමය. කොළඹ කනත්තේ තාප්ප පෙරළමින්  ගල් අතට ගත් ජනතාව එම ඇමැතිවරුන්ට  පහර එල්ල කරන්නට වූහ. ආරක්ෂක රාජ්‍ය ඇමැති ජෝන් අමරතුංග මහතාට ගල් පහර කීපයක්ම වැදී ඔහුගේ හිසෙන් ලේ ගලන්නට පටන් ගත්තේය. තවත් ඇමැතිවරුන් ගණනාවකටම පහර වැදිණි. පොලිස් යතුරුපැදි හා ට්‍රක් රථ ගිනි තැබිණි. මෙම නොසන්සුන්තාව ගල් මුල්ද කඳුළු ගෑස්ද හුවමාරු වූ පොදු ජන සටනක් බවට පත්විය. තමන් ආදරය කළ සෙන්පතියාගේ මරණයට වගකිව යුත්තේ පාලක ප්‍රේමදාස රජය යැයි ජනතාව කල්පනා කිරීම නිසා එම අවමංගල මොහොත සෘජු ආණ්ඩු විරෝධයක් බවට පත්විය.

 

(*** ප්‍රේමකීර්ති රණතුංග)