පොපි මලට එරෙහිව සුරියමලෙන් උපන් කාන්තා බලකාය


දකුණු කොළඹ තරුණ ලීගය (මාක්ස්වාදී) සූරියමල් ව්‍යාපාරයට හවුල් වූ අතර එය නව අධිරාජ්‍ය විරෝධී හා යුද විරෝධී පදනමකින් නව පණක් ලැබ පිබිදී ආයේය. දෙවැනි ලෝක මහ යුද්ධය දක්වා වසරක් පාසා තරුණ කාන්තාවෝ වීදිවල පොදු සම්මුතියෙන් සටන් අත්හැරීමේ දිනයේදී, අධිරාජ්‍යවාදීන්ගේ පොපි මල් අලෙවි කරන්නන් හා තරගෙට සූරිය මල් අලෙවි කළෝය.

කැරොලයින් ගුණවර්ධන ඇන්තනි පිල්ලෙයි

කැරොලයින් ගුණවර්ධන ඇන්තනි පිල්ලෙයි එස්.සී.සී. ඇන්තනි පිල්ලෙයිගේ භාර්යාව වූවාය. කැරොලයින් ආකාර කිහිපයකින්ම පුරෝගාමී කාන්තාවක් වූවාය. තමාට හොඳ වෘත්තීය සමිති නායකයකු වීම සඳහා සිංහල භාෂා දැනුමක් අවශ්‍ය බව ඇන්තනි (ටෝනි) සිතුවේය. තම සොයුරිය වූ කැරොලයින්ගෙන් ඇය සිංහල භාෂාව ඉගෙනීම හොඳ යැයි, පිලිප් ගුණවර්ධන යෝජනා කළේය. ඇය ඇන්තනි හට සිංහල ඉගැන්වූවාය. 1939 ඔවුන් ආදරයෙන් බැඳී විවාහ වීමට පෙරාතුව ඇය කම්කරු ව්‍යාපාරයට බැඳුනාය.

තම වැඩිමල් සොයුරන් වූ හැරී, පිලිප් හා රොබට් නිසා එම ව්‍යාපාරයට ඇදී ආ ඇය 1930 ගණන්වල මුල් භාගයේ ලාංකීය ජාතික ව්‍යාපාරයට සහභාගී වෙමින් 1935 දී ලසසප ආරම්භ කරන්නට උපකාර කළාය. තමාගේ ස්ව කැමැත්තෙන් හා උනන්දුවෙන්ම පක්ෂ ක්‍රියාකාරිණියක වූ ඇය වාමාංශීය ව්‍යාපාරයේ පුරෝගාමී කාන්තාවක ලෙස ප්‍රශංසාවට භාජන වූවාය. ඉන්දියාවේ මදුරාසියේදී සිය සැමියා සමග එක්වූ කැරොලයින් ඔවුන්ගේ බ්‍රිතාන්‍ය විරෝධී වැඩපිළිවෙළේ නොකඩවා යෙදී සිටියාය.

දෙවැනි ලෝකමහ යුද්ධය පැවති සමයේ කැරොලිනා ඉන්දියාවේ විප්ලවකාරී ට්‍රොට්ස්කි පක්ෂයක තම සැමියා ඇන්තනි පිල්ලෙයි සමග එක්වී කටයුතු කළාය. ඇන්තනි පිල්ලේයි හිටි හැටියේ යටිබිම් ගත වූ අතර 1947 මාර්තුවේ, මදුරාසි හිදී අත්අඩංගුවට පත් වූයේය. මහජන රැස්වීම් ඇමතීමේ කාර්යය භාරගත් කැරොලයින් එම කාර්යය කරගෙන ගියාය. 2000 වසරේදී ටෝනි (ඇන්තනි පිල්ලේ) මියගිය පසු කැරොලයින් සිය දරුවන් සමග වාසය කරන්නට බොරළුගොඩට පැමිණියාය.

ෆ්ලොරන්ස් මෙන්ඩිස් සේනානායක

1903 දී උපත ලැබූ ෆ්ලොරන්ස් මෙන්ඩිස් සේනානායක ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය බවට පත්වූවාය. 1925 දී රෙජිනෝල් සේනානායක සමග විවාහ වූ ඇය පසුව ලසසප ආරම්භක සාමාජිකාවක බවට පත්වූවාය. 1947 පළමු පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව ඇය කිරිඇල්ල අසුන ජයගත්තාය.

කුසුම්සිරි (කුසුමා ගුණවර්ධන)

කුසුමා ගුණවර්ධන 1912 වසරේ තංගල්ලේ උපත ලැබුවාය. මියුසියස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇය පසුව සූරියමල් ව්‍යාපාරයට සහභාගිවී ලසස පක්ෂයට බැඳුණාය. 1939 ජුනි 30 වැනිදා ලසසප ආරම්භක සාමාජිකයකු වූ පිලිප් සමග ඇය විවාහ වූවාය.
දෙවැනි ලෝක යුද්ධය සමයේ තම ස්වාමියා සිපිරිගේ බිඳ ඉන්දියාවට පැනයද්දී ඇය වෙස් වළාගෙන ඔහු සමග නික්ම ගියාය. පසුව 1943 දී ඔවුන් දෙදෙනාම ඉන්දියානු පොලිසියේ අත්අඩංගුවට පත්විය. ඉන් මාස කිහිපයකට පසුව ඔවුන් ලංකාවට පිටුවහල් කරනු ලැබීය. 1947 වැඩ වර්ජනයට හවුල් වීම නිසා පිලිප් ගුණවර්ධනට සිය මන්ත්‍රී ආසනය අහිමි වූයේය. අතුරු මැතිවරණයේදී එම ආසනයට කුසුමා ගුණවර්ධන නිතරගයෙන්ම ඔහු වෙනුවට පත් වූවාය.

විවියන් වයලට් ගුණවර්ධන

1916 දී උපත ලද විවියන් ගුණවර්ධන පිලිප්ගේ ලේලියක වූ අතර සූරියමල් ව්‍යාපාරයට බැඳී අධිරාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්වල නියැලුණාය. ඉන්දියානු නිදහස් ව්‍යාපාරය සහ ශ්‍රී ලංකාව නිදහස් කරගැනීමේ ව්‍යාපාරය යන කාර්ය දෙකේම කටයුතු කළ විවියන් නිදහසින් පසු ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන චරිතයක් වූවාය. ඇය වාමාංශික ව්‍යාපාරයේ, අයුක්තියට එරෙහිව සටන් වැදුනු කිහිපදෙනා අතරින් එක් අයෙකි. දෙවැනි ලෝක යුද්ධය ආරම්භයත් සමග ඇයගේ ස්වාමියා වූ ලෙස්ලි සිපිර ගෙයින් මිදී ඉන්දියාවට පලා යනවිට ඇයද ව්‍යාජ නමකින් ඉන්දියාවට පලා ගියාය. ඉන් අනතුරුව ඇය ‘ඉන්දියාවෙන් පිටවෙයව්’ නම් ව්‍යාපාරයේ කටයුතුවල නිමග්න වූවාය. සිය නැන්දනිය වූ කැරොලිනා හා එක්වී රහසේ දේශපාලන රැළි වලට සහභාගි වීම කරගෙන යාමට පෙරාතුව ඇයගේ රොබට් මාමා ඈට ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර උපාධියක් හැදෑරීමට උපකාර කළේය.

සෙලිනා මානුට් පීරිස්

ලසසප ආරම්භක සාමාජිකාවක වූවාය. බදුල්ලේ ධනවත් පවුලක උපත ලැබූ ඇය සිය ද්විතියික අධ්‍යාපනය මියුසියස් විදුහලෙන් සම්පූර්ණ කොට කොළඹ විශ්වවිද්‍යාල කොලිජියට ඇතුලත්ව උපාධිය ලබාගත්තාය. දකුණු කොළඹ තරුණ ලීගය ඔස්සේ දේශපාලනයට පිවිසුණු ඇය පිලිප් සමග එක්වී මෙරට දේශපාලනයේ ක්‍රියාකාරීව රැඳී සිටියාය.

ලන්ඩනයේ සිට පෙරළා පැමිණි සිටි ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා හමුවන විට ඇය සූරිය මල් ව්‍යාපාරයේත්, මැලේරියා සහන සැලසීමේ ව්‍යාපාරයේත් ක්‍රියාකාරීව සිටියාය. ලසසප මධ්‍යම කමිටුවට පත් කරනු ලැබ එහි භාණ්ඩාගාරික ලෙස සේවය කළ ඇය 1936 මාර්තු මාසයේදී ඇන්.ඇම්. සහ විවාපත් වූවාය.

1939 දී පාලි හා සංස්කෘත භාෂා ලින් සෙලීනා බී.ඒ. උපාධිය ලැබුවාය. සමාජවාදී කම්කරු පක්ෂය හා සම්බන්ධ වී ඈ ඇමෙරිකා එක්සත් ජනපදයට ගියේ මෙක්සිකෝව වෙත ගමන් කර එහිදී ට්‍රොට්ස්කි මුණගැසීමේ බලාපොරොත්තුවෙනි. 1940 ජුනි මාසයේ ඇන්.ඇම්. ඇතුළු පක්ෂ නායකයන් කිහිපදෙනකු අත්අඩංගුවට ගනු ලැබූ විට ලසසප යෝධ විරෝධතා පා ගමනක් සංවිධානය කොට ඊට ප්‍රතිචාර දක්වද්දී ඊට බැටන් ප්‍රහාර එල්ලවූයේය. සෙලිනා එවර අත්අඩංගුවට පත්ව සිරගත කරනු ලැබුවාය. අනතුරුව ඇන්.ඇම්. ගෙන් දික්කසාද වූ ඇය ඉන්දියාවේ වාසය තෝරා ගත්තාය. සිය මරණය දක්වාම ඇය ඉන්දියාවේ ගුරුවරියක ලෙස කටයුතු කළාය.

ලාංකීය දේශපාලන ව්‍යාපාරයේ සිටි සුදු කාන්තාවන්

21 වැනි සියවසේ මුල් කාලයේ යුරෝපය පුරා හමාගිය රැඩිකල් තාරුණ්‍යයේ විවිධ පසුබිම්වලට අයත් යුරෝපා කාන්තාවෝ මෙරටට පැමිණියෝය. එවැනි කාන්තාවන් පස්දෙනෙක් නම්, ඩොරීන් යංග් (වික්‍රමසිංහ) එඩිත් ග් යෝම්රෝයි (ලුඩොවයික්), හෙයිඩ් සයිමන් (කේනමන්), මාවුඩ් රොජර්සන් (කේනමන්) සහ ජීන් හෝබන් (මුණසිංහ)ය. මේ සියලු කාන්තාවන් විවාපත් වූයේ ශ්‍රී ලාංකීය මාක්ස්වාදීන් සමගය. එම නිසා ඔවුන්ගේ පෞද්ගලික සම්බන්ධතා ඔස්සේ මෙරට දේශපාලනයේ බොහෝ තැන් විස්තර කෙරේ.

ඔවුහු හුදෙක් දේශපාලන භාර්යාවෝ නොවූහ. ඔවුන් මෙරට වාමාංශික දේශපාලනයේ ප්‍රබල ලෙස ක්‍රියාකාරීව රැඳී සිටි නිසා එම තත්ත්වය ඔවුන්ගේ විවාහ ජීවිතවලට දැඩි ලෙස බලපෑම් කරන්නට ඇත.

ඩොරීන් යංග්

1907 බ්‍රිතාන්‍යයේ උපත ලද වාමාංශික කාන්තාවක වූ ඩොරීන් යංග් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් දේශපාලනයේ ප්‍රමුඛ පෙළේ චරිතයක් බවට පත්වූවාය. 1920 ගණන්වලදී ලන්ඩනයේ ශිෂ්‍යාවක ලෙස බ්‍රිතාන්‍යයේ අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයේ ක්‍රියාකාරීව සිටියදී ඉන්දියානු නිදහස් ලීගය හරහා එවකට පශ්චාත් උපාධිය හදාරන ශිෂ්‍යයකුව සිටි ආචාර්ය එස්.ඒ. වික්‍රමසිංහව හඳුනාගත්තාය. ඔහුද රැඩිකල් කොමියුනිස්ට්වරයකු වූයේය. ශ්‍රී ලංකාවට පැමිණි ඔවුන් දෙපළ විවාපත් වූහ.

1933 දී ඩොරින් The Battle Of Flower නම් ලිපියක් ලිව්වාය. එය පොපිමල් හා සූරියමල් අතර හටගත් සටන පාදක කරගත් ලිපියකි. එය එවකට සිලෝන් ඩේලි නිවුස් පුවත්පතේ පළවූයේය. බ්‍රිතාන්‍ය රණවිරුවන්ට උපකාර කිරීම සඳහා ශ්‍රී ලාංකීය ශිෂ්‍යයන්ට පොපි මල් අලෙවි කිරීම එම ලිපියෙන් විවේචනයට ලක් කළේ ඒ වනවිට ලාංකීය ජනයා බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයේ ප්‍රහාරවලට ලක්ව සිටින බව සඳහන් කරමිනි.

සූරියමල් ව්‍යාපාරයේ පළමුවෙන්ම සභාපති තනතුරට පත්වූයේ ඩොරින්ය. ආනන්ද බාලිකා විදුහලේ විදුහල්පතිනිය වූ ඇයව 1936 දී පාසලේ බ්‍රිතාන්‍ය විරෝධී කටයුතුවල නියැලුණේ යයි සැක කොට එම තනතුරෙන් ඉවත් කරනු ලැබුවාය. 1952 දී අකුරැස්ස ආසනය සඳහා ඇය කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය. (ඈ අතින් පරාජයට පත්වූයේ එජාපයේ සී. විජේසිංහය) ඇය එම අතුරු මැතිවරණයට ඉදිරිපත් වූයේ ඇගේ සැමියාට මැතිවරණ පෙත්සමක් නිසා ආසනය අහිමි වූ නිසාය.

එඩිත් උජ්වාරි ලුඩොවයික්

මනෝ විශ්ලේෂණ විශේෂඥවරියක වූ එඩිත් ලසසපයේ තරුණයන් කිහිපදෙනකුට මනෝ විද්‍යාව හා මනෝ විශ්ලේෂණය පිළිබඳ පන්ති පැවැත්වූවාය. ලසසපයේ කාන්තා අංශයේ ලේඛන කටයුතුවල නියැළී ඇය බ්‍රිතාන්‍යයට අයත්ව තිබූ ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පත් සමාගමේ කටයුතුවලටද දායක වූවාය. 1938 දී හෝර්දිගේ ෆැසිස්ට්වාදී රෙජිමය යුදෙව් විරෝධී නීතිය සම්මත කළ විට ඇය ඇගේ තුන්වැනි සැමියාවූ උජ්වාරි නම් ජනමාධ්‍යවේදියා සමග ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූවාය. ඔහු 1940 දී මිය ගියේය. පසුව ඇය කොළඹ, යුනිවර්සිටි කොලිජියේ ඉංග්‍රීසි මහාචාර්ය ඊ.එෆ්.සී. ලුඩොවයික් සමග විවාහ වී ට්‍රොට්ස්කිවාදී සමසමාජ පක්ෂයට බැඳුනාය.

හේඩි සහ මාවුඩි කේනමන්

හේඩි පීටර් කේනමන්ගේ පළමු භාර්යාවයි. බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකාවක වූ හේඩි මෙරට ගත කළේ වසර 5 ක් පමණකි. පීටර් කේනමන්ගේ දෙවැනි භාර්යාව වූ මාවුඩ් කේනමන්, ඉංග්‍රීසි බසින් පළවූ කොමියුනිස්ට් පක්ෂයේ සතිපතා සඟරාව වූ (Forward සඟරාව) වසර 10කට ආසන්න කාලයක් සංස්කරණය කළාය. එවකට ඇගේ සැමියාවූ පීටර් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ධුරය දැරුවේය. පීටර් ගේ තුන්වැනි භාර්යාව වූ (Ouida) ඔයිඩා දේශපාලන කටයුතුවල නියැලුණේ නැත.

ජීන් (Jeanne) මුණසිංහ

ලන්ඩනයේ ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් හි අධ්‍යාපන කටයුතු අතරමග නතර කර දැමූ ජීන් ඇගේ සැමියා වූ අනිල් සමග ශ්‍රී ලංකාවට පැමිණියාය. එහෙත් ඍජු ලෙස දේශපාලන කටයුතුවල නියැළීමෙන් වැළකී සිටි ඇය ලංකා වතු කම්කරුවන්ගේ වෘත්තීය සමිතියේ කටයුතු වලට හවුල් වූවාය. ජීන් ඔබසර්වර් පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙසද කටයුතු කළාය.

1947 දී වාමාංශික ව්‍යාපාරය මතවාදී වශයෙන් කොටස් තුනකට බිඳී ගියේය. එකිනෙකෙහි වෙනස්කම් නොසලකා පොදුවේ බලපෑ කටයුතුවල එක්ව නියැළීමට ඔවුහු එකඟ වූහ. මේ හේතුව නිසා ලසසපයේ කාන්තාවෝ සහ බොල්ෂෙවික් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ කාන්තාවෝ එක්සත් කාන්තා පෙරමුණේ එක්ව වැඩ කළහ. ඔවුන්ගේ ප්‍රධාන වාමාංශික ප්‍රවාහයේ ලක්ෂණ එතුළ පැහැදිලිව එකිනෙකින් හඳුනාගත හැකි නොවූයේය. මෙම විශිෂ්ට කාන්තා පෙරමුණ ඒ ආකාරයට අනාගතය උදෙසා සමාජවාදී කාන්තා ව්‍යාපාරයක් ලෙස ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව ආරක්ෂා කරගනු ලැබීය.

මෙම කණ්ඩායමේ ප්‍රමුඛතාව හෙබවූ කාන්තාවන් වූයේ ඩොරීන් වික්‍රමසිංහ, විවියන් ගුණවර්ධන, එඩිත් ලුඩොවයික්, විමලා විජේවර්ධන, පරමේශ්වරී කන්දයියා, එම්.වී.සී. පීරිස් මහත්මිය, වයිකුන්තවාසම් මහත්මිය, ශිරාණි ජයවර්ධන, ජීත් පින්තූ, අයිරාංගනී මීදෙනිය (අයිරාංගනී සේරසිංහ) මේ වනවිට ජීවතුන් අතර සිටින්නේ අයිරාංගනී සේරසිංහ පමණකි. කෝරා ආබ්‍රහම් හා හෙලන් ගුණසේකර යන අයයි. තම සංවිධානය සමාජවාදී සංවිධානයක් ලෙස හඳුන්වාගත් ඔවුහු සමාජයේ පදනම් ව්‍යුහය වෙනස් කිරීමේ කාර්යය උදෙසා පෙනී සිටියහ.


Women's Brigade of Suriyamal Fame; Marxist Independence Struggle in 30s / 40s  ලිපියේ පරිවර්තනය  සමන් පුෂ්ප ලියනගේ. 

කේ.කේ.එස්.පෙරේරා විසිනි.