පොලිසිය බල කඳවුරු දෙකක් අතර


ශ්‍රී ලංකා වාසීන් බොහෝ දෙනෙක් නොදැන සිටි කාරණයක් ගෙවුණු සතියේ එළියට ආවේය. එය නම්, රටේ බල කේන්ද්‍ර දෙකක් මේ වන විට පවතින්නේය යන්නය.

එකක් පවතින්නේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේය. අනෙක පවතින්නේ හිටපු අගමැති, මහින්ද රාජපක්ෂ මහතා යටතේය. මේ දෙකම, එකිනෙකට සමාන්තරව ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, පෙනෙන්නට තිබිණ.

ගෙවුණු 9 වැනිදා, කළු සදුදා, දින අරලියගහ මන්දිරය ඉදිරියේ සහ ගාලුමුවදොර පිටියේ රැඳී සිටි සාමකාමී උද්ඝෝෂකයින්ට එල්ල වූ ප්‍රහාරයන් මෙම තත්ත්වය රටට නිරාවරණය කළේය. උද්ඝෝෂකයින්ට ඉතා අමානුෂික ලෙස පහර දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඔවුන්ගේ ආධාරකරුවන් සහ මැර කල්ලි මේ වන විට හඳුනාගැනෙමින් පවතී. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිදුවීම සම්බන්ධයෙන් දියත් කර තිබෙණ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය.

එසේ වුවද, විමර්ශන කටයුතුවල මන්දගාමීභාවය සහ ඒවා ක්‍රියාත්මක වන අති ඒක පාර්ශවික ස්වභාවය හමුවේ, එම විමර්ශන පැවැත්වෙමින් තිබෙන්නේ විධිමත් ලෙස, අපක්ෂපාතී සහ කාර්යක්ෂම ලෙසදැයි පැනයක් නැගේ. කොටින්ම, නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවා ගෙවුණු අඟහරුවාදා දින පාර්ලිමේන්තුව අමතමින්, විමර්ශන පැවැත්වෙමින් පවතින ආකාරය පිළිබඳව තමාගේ පැහැදීමක් නොමැති බව කියා සිටියේය.

රජය නියෝජනය කරන දේශපාලකයින් ඇතැමෙකුගේ නිවෙස් ඉතාම සමීපව අධීක්ෂණය කරමින් සිටි මෙරට ඉහළම පෙලේ බුද්ධි අංශයක්, එම නිවෙස්වල දී, එකී දේශපාලකයින් සහ ඔවුන්ගේ මැර කල්ලි, ගාලුමුවදොර විරෝධතාකරුවන්ට පහර දෙන සැළසුම සම්බන්ධයෙන් සාකච්ඡා කළේ යැයි අනාවරණය කරගැනීමට සමත් විය. ඒ බව ගෙවුණු සතියේ මෙම තීරුවෙන් අනාවරණය කෙරිණ. එම අදාළ තොරතුරු ඇතුළත් වාර්තා ලිඛිතව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතට භාරදීමටත් කටයුතු කෙරී තිබෙන බව හෙළි කිරීමට මේ ලියුම්කරුට අද හැකිය.

සැළසුම් සහගතව සිදුකෙරෙන එවැනි ඕනෑම ප්‍රහාරයක් වළක්වාගනු වස්, මෙම තොරතුරු සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් නිලධාරීන් සහ උසස් නිලධාරීන් දැනුම්වත් කරන ලෙස ජනපතිවරයා එම බුද්ධි අංශයේ ප්‍රධානියාට උපදෙස් දී ඇත.

“එහෙම කිසිම දෙයක් සිදුවන්නට ඉඩ තබන්න එපා” යැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත නැවතත් අවධාරණය කර ඇතැයි ද දැනගන්නට තිබේ. වෙනත් වචනවලින් කියතොත්, රටේ ජනපතිවරයා- රටේ සේනාධිනායකයා, ආරක්ෂක අමාත්‍යවරයා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා මෙන්ම තවත් තැන් බොහෝමයක මුල් පුටුව හොබවන පුද්ගලයාට අවශ්‍යව තිබී ඇත්තේ විරෝධතාකරුවන්ට පැමිණිය හැකි කුමන හෝ හානියකින් ඔවුන්ව ආරක්ෂා කරගැනීමටය. ඒ, ගාලුමුවදොර විරෝධතාකරුවන් ගැන ලෝක අවධානය වඩවඩාත් යොමුවෙමින් තිබූ වාතාවරණයකය.

නාවික හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කමාන්ඩර්වරයෙක් මෙන්ම හිටපු අගමැතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ යෝෂිත රාජපක්ෂ මහතාගෙන් අදහස් විමසීමට හැකිවූයේ නම්, ප්‍රහාර සැළසුමේ සම්පූර්ණ චිත්‍රයක් ගොඩනගා ගත හැකිවන්නට තිබුණේ යැයි බුද්ධි අංශ විශ්වාස කරයි. කෙසේවුවත්, කළු සදුදා දින සන්ධ්‍යාවේ ලහිලහියේම සිංගප්පූරුව බලා පියාසර කළ ඔහු දැන් සිටින්නේ කොහේදැයි කිසිවෙක් නොදනී.
යෝෂිත රාජපක්ෂ ඕස්ට්‍රේලියාවට ගොස් ඇතැයි මීට පෙර වාර්තා පළවුව ද, ඒවා සාවද්‍ය බව පසුව සනාථ විය.

“මේ ප්‍රහේලිකාවේ දැනට හොයාගන්නට නැති කොටස් ගොඩක් සම්බන්ධ කරන්න යෝෂිතට පුලුවන්”  යැයි එම බුද්ධි අංශ නිලධාරියා පැවසුවේය.


පතිරණගේ අනාවරණය
එයින් පසුව සිදුවූයේ කුමක් ද? එක් පිළිතුරක් පැමිණියේ හිටපු වැවිළි කර්මාන්ත අමාත්‍යවරයා මෙන්ම කැබිනට් ප්‍රකාශකවරයා ලෙස ද, කටයුතු කළ වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගෙන්ය.

රටක් කම්පනයට පත්කරවමින් ඔහු පාර්ලිමේන්තුවේ දී, දීර්ඝ අදහස් දැක්වීමක නිරත වුණු අතර එයින් ගත් වැදගත් කොටස් කිහිපයක් පහත පරිදිය.

“හිටපු අගමැති මහින්ද රාජපක්ෂට සුභ ගමන් පතන්නට අපිත් කණ්ඩායම් රැගෙන ආවා. එය සිදුවුණේ අරලියගහ මන්දිරයේදී. ගොඩක් අය එතනට ගියේ එක අරමුණක් ඇතිව. මම එතන රැස්වීමේ හිටියා. මම මේක කියන්නේ දැඩි අසතුටකින්”

“රැස්වීම අවසන් වූ පසුව ඇතැම් මුග්ධ දේශපාලකයින්, පැමිණිලා හිටපු ජනතාව පෙළඹෙව්වා. අප එය පිළිගත යුතුයි. ඒකට එතනට පැමිණිලා හිටපු පිරිසෙන් සියයට 10කටත් අඩු කට්ටියක් අහුවුණා. අරලියගහ මන්දිරය පිටත සහ ගාලුමුවදොර පිටියේ රැස්වෙලා ඉන්න පිරිසට පහර දිය යුතුයි කියන මානසිකත්වය ඇතිවුණේ ඔය පිරිස අතරේ”
“මේක ඛේදවාචකයක්”

“විරෝධතාකරුවන්ගේ අරගලය පුරා මසකට වැඩි කාලයක් පැවැත්වෙමින් තිබෙන්නක්. ඔවුන්ට එක ගලකින්වත් පහරක් ගහන්න ජනපතිවරයාටවත්, අගමැතිවරයාටවත් කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. ඒ නිසයි ඔවුන් අදටත් එතැන ඉන්නේ. අපි සම්පූර්ණ ආරක්ෂාව දුන්නා. කදුලු ගෑස් පාවිච්චි කළෙත් නැහැ.”

“නමුත්, පුද්ගලයින් කණ්ඩායමක් අරලියගහ මන්දිරයෙන් පිටවෙලා ගිහින්”
“අරලියගහ මන්දිරය ඉස්සරහ සහ ගාලුමුවදොර පිටියේ ඔය සිදුවීම් ඇතිවන්නට පටන්ගත් වෙලාවේ මම හිටියේ අරලියගහ මන්දිරයේ. මම වහාම බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහත්මයාව දුරකතනය ඔස්සේ ඇමතුවා.

ඛේදවාචකයක් ඇතිවීමට යන බව මම ඔහුට දැනුම්දුන්නා. ප්‍රහාරයකින් වළක්වන්නය කියා මම ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියා”

“ඔහු මගේ කීම අසා, කිසිම ගැටලුවක් නැති බවත්, සාමකාමී විරෝධාකරුවන්ට බාධා කිරීමට අවස්ථාවක් නොලැබෙන හැටියට මාර්ගබාධක යොදා මාර්ගය අවහිර කරන්නට පොලිසිය කටයුතු කර තිබෙන බවත්, පැවසුවා. ඉන් පස්සේ වහාම මම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමකට සහභාගී වෙන්න ජනාධිපති මන්දිරය බලා ගියා. රැස්වීමේ ඉන්නකොට මට එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහගෙන් දුරකතන ඇමතුමක් ලැබුණා.... මහා අර්බුදයක් නිර්මාණයවීමට යන බවට මට අනතුරු ඇඟවූ ඔහු, වහාම ඒ පිළිබඳව ජනපතිවරයා දැනුම්වත් කරන්නැයි මගෙන් ඉල්ලා සිටියා”

“ඒ ඇසූ මම, බරපතල ගැටලුවක් පවතින බව ජනපතිවරයාට දැනුම්දුන්නා. අර්බුදයක් ඇතිවීමට යන බවත්, වහාම එය නවත්වන ලෙසත්, මා ඉල්ලා සිටියා. මා සහ අනෙක් අමාත්‍යවරු ඉදිරියේ ඔහු වහාම දුරකතන ඇමතුමක් ගත්තා”

“මම උදේ කිව්වා නේද මේක නවත්වන්න කියලා. දැන් මොකද මේ වෙන්නේ? ඔහු ඇසුවා. ඔහු ඇමතුම අරගෙන තිබුණේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන්ට”
“පුද්ගලයින් පළවා හරින්නට කදුලු ගෑස් හෝ ජල ප්‍රහාර යොදා නොගන්නා ලෙසට පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා තමාට උපදෙස් දුන් බවට ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකොන්, ජනපතිවරයාට පිළිතුරු දී ඇතැයි අපට දැනගන්නට ලැබුණා.
 
පොලිස්පතිවරයාගේ එම ඇමතුම තමාට ලැබුණේ පස්වරු 12.40 ට පමණ බවත්, ඔහු ජනපතිවරයාට පවසා තිබෙනවා. මෙය නැවැත්වීමට මැදිහත් නොවන්නැයි පොලිස්පතිවරයා තමාට සෘජුවම දැනුම්දුන් බවත්, ඔහු ජනපතිවරයාට කියා තිබෙනවා”

“ජනපති ගෝඨාභය ඔහුට ප්‍රතිචාර දැක්වූයේ මහ හඩින්”
“මේක ඕහේට කියන්නේ රටේ ජනතිවරයා. වහාම මේක නවත්වන්න, එයින් පසුවයි ඔවුන් කදුලු ගෑස් සහ ජල ප්‍රහාර යොදාගත්තේ ප්‍රහාරය මැඩපවත්වන්න. ප්‍රහාරය අවසන් වුනේ එම මැදිහත්වීමෙන් පස්සේ”

“අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී, පැවසූ දෙය ඇත්ත. ප්‍රහාරය එල්ල කරන්නට වුවමනා වුණු මෝඩ පුද්ගලයින්ට බාධා නොකරන්නැයි පොලිස්පතිවරයා තමන්ට උපදෙස් දුන් බවට, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකොන් සහ තවත් දෙදෙනෙක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. ප්‍රහාරකයන්ට බාධා නොකරන ලෙසට තමාට නියෝග කළ දෙවැනි පුද්ගලයා ලෙස ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකොන් සඳහන් කර තිබෙන්නේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් මහතාව”

ප්‍රහාරයෙන් පස්සේ, ඒකට කිසිඳු අයුරකින් සම්බන්ධ නොවී නිවෙස් බලා යමින් සිටි පුද්ගලයින් දහස් ගණනක් පහර කෑම්වලට ලක්වුණා. එම අවාසනාවන්ත සන්ධ්‍යාවේ දී, ඔවුන් අපේ නිවාස ගිණි තිබ්බා. ගාලු දිස්ත්‍රික්කයේ පළමුවෙන්ම ගිණි තැබීමට ලක්වුණේ මගේ නිවස. මගේ නිවස මට පමණක් අයත් එකක් නෙවෙයි. ඒක මගේ සොහොයුරියන්ටත් අයත්. මගේ දෙමාපියන් මට ඉතිරි කරලා ගිය එකම දේපළ ඒකයි. ඒක ගිණි තැබීම, මට මහත් වේදනාවක් ගෙන ආ දෙයක්”

“අපට අපේ දේපළ සහ නිවාස අහිමිවුණා. පොලිසිය ක්‍රියාත්මක වුණේ නැහැ, හමුදාව සහාය දැක්වූවේ නැහැ. සහ නීතියෙන්වත් සරණක් ලැබේය කියා මට කිසිම බලාපොරොත්තුවකුත් නැහැ. රටේ සිදුවෙමින් පවතින දේවල්වල හැටියට, මම මේ කිසිම දෙයකින් සහනයක් අපේක්ෂා කරන්නේ නැහැ” යයි වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.


ගින්නට හසුවූ පොලිස්පති
කලක් පොලිස් දෙපාර්තමේන්තුවේ තිබූ කීර්තිමත්ම අංශය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පක්ශග්‍රාහීව කටයුතු කරමින් සිටින්නේ යැයි, බ්‍රහස්පතින්දා, කොටුව මහේස්ත්‍රාන් තිළිණ ගමගේ මහතා අනතුරු ඇගවූයේය. විවිධ පුද්ගලයින්ට විවිධ ආකාරයන්ට සළකමින් සිටින්නේ යැයි විවෘත අධිකරණයේදීම එම දෙපාර්තමේන්තුවට චෝදනා කළ ඔහු, විරෝධතාකරුවන්ගේ පැමිණිලි සැළකිල්ලට ගෙන ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු නොකළේ ඇයිදැයි විමසා සිටියේය. විමර්ශන පැවැත්වීමේ දී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එකිනෙකාගේ හිතසුව පිණිස කටයුතු නොකළ යුතු බවටත්, මහේස්ත්‍රාත්වරයා අනතුරු ඇගවූයේය.

ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානියා, එනම් පොලිස්පති චන්දන වික්‍රමරත්න දැඩි ලෙසම විවේචනයට ලක්වූ දෙවැනි අවස්ථාව මෙයයි.

ගෙවුණු 14 වැනිදා ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක දී, එයට සහභාගීව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකළ දැඩි විවේචනයන් නිසාම, ඔහු එම රැස්වීමට කැඳවුණු ලැබුණු අවස්ථාව පළමුවැන්න විය.

තමන්ගේ නිවාස ගිනි තැබුණු අවස්ථාවල දී, පොලිසිය එවැනි ක්‍රියා වැළැක්වීමට ඉදිරිපත් නොවුණේ යැයි, පොලිස්පතිවරයා ඉදිරියේ මන්ත්‍රීවරු චෝදනා කළහ. නමුත් පොලිස්පතිවරයා එම චෝදනාවලට සෘජුව මුහුණදුන්නේය. එම ප්‍රදේශයන්හි පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ලෙස පත්කර සිටින්නේ පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් නිර්දේශ කළ නිලධාරීන් වන හෙයින්, තමාට ඔවුන්ව එම පොලිස් ස්ථානවලින් මාරු කර යැවීමට පවා බලයක් නොමැති බව ප්‍රකාශ කළ ඔහු, ගිණි තැබීම් සම්බන්ධයෙන් පොලිසිය පියවරක් ගෙන නොමැති නම්, චෝදනා කරන මන්ත්‍රීවරුන් එය විමසිය යුද්දේ ඔවුන්ගේම නිර්දේශයෙන් පත්කර තිබෙන නිලධාරීන්ගෙන් බව පැවසුවේය.

පාලක පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිර්දේශයෙන් පත්වන පොලිස් ස්ථානාධිපතිවරුන් සිටින, ඔවුන් යටතේ මෙහෙයවෙන, නීතිය රක්ෂා කිරීමේ ව්‍යුහයක තමන් නමට පමණක් ප්‍රධානියා බවට පොලිස්පති චන්දන වික්‍රමරත්න සකළේ ස්වයං පාපොච්චාරණයකි.

පවතින්නේ එවැනි තත්ත්වයක් නම් නීතිය සහ සාධාරණත්වයක් ජනතාවට කෙසේ නම් බලාපොරොත්තු විය හැකි ද? බරපතලම කාරණය වන්නේ, තමාගේ අත්පය බැඳ ඇතැයි ඇගවීමටත් ඔහු යම් ගැටලුවක් පැන නඟින තෙක්ම සිටීමය.

පොලිස් ස්ථාන පාලනය කරන්නේ පාලක පක්ෂයේ දේශපාලකයින් ද?, අව්‍යශම කාරණයක් නොවන්නේ නම් පොලිස් ස්ථානයකට අඩිය තැබීමටවත් පොදු ජනතාව අදිමදි කරන්නේ මේ නිසා ද? පොලිසිය කෙරේ ජනතාවගේ විශ්වාසය සෝදාපාලුව තිබීමට ප්‍රධානම හේතුව මෙය ද?

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අදහස් දැක්වූයේ පොලිස්පතිවරයාට පක්ෂවය.

නීති කඩන අයත් එක්ක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් වැඩකරනකොට, පොලිස්පතිවරයා මොනවා කියලා කරන්න ද?, යැයි ඔහු පාර්ලිමේන්තුවේ දී, ප්‍රශ්න කළේ ය.

දේශබන්දු තෙන්නකෝන් දැඩි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාක්ෂිකයෙක් යැයි චෝදනා ලබා සිටින්නෙක් ද වේ.

ගාලුමුවදොර පිටියේ සිටින අරගලකරුවන් නිසා තමන් මහත් අපහසුතාවයට පත්ව සිටින්නේ යැයි කොළඹ හෝටල දෙකක කළමණාකාරීත්වයෙන් ප්‍රකාශයන් ලබාගැනීමටත් ඔහු උත්සාහ කර ඇතැයි සඳහන්ය. එසේ කර තිබෙන්නේ අරගලකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර, ඔවුන්ව එතැනින් එළවා දැමීමටය. එක් හෝටලයක් ඔහුගේ ඉල්ලීම බැහැර කර තිබෙණ අතර, අනෙක එයට අනුගත වුවත් පසුව ඉහළ කළමණාකාරීත්වයේ දැඩි දෝෂාරෝපණයට හසුව ඇත.

දේශබන්දු තෙන්නකෝන්ගේ ක්‍රියාකලාපයන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කැරුණු විමර්ශන කොමිසමේදී ද, දෝෂාරෝපණයට ලක් විය.

දැඩි විවේචනයට ලක්ව සිටින්නේ පොලිස්පති වික්‍රමරත්න පමණක් නොවේ. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ද අල්විස් මහතා ද, රජයේ ඉහළම තලයන්ගෙන් නැගුණු දොස් සහ විවේචනයන්ට ලක්ව ඇත.

මෙසේ දෙදෙනාටම එරෙහිව බරපතල චෝදනාවන් නැගෙමින් පවතින වාතාවරණයක, වහාම පිළිතුරු සොයාගත යුතු පැනය වන්නේ එවැනි ප්‍රහාරයක් එල්ලවීම වළක්වන ලෙසට ජනපතිවරයා ලබාදුන් නියෝජගය ඔවුන් පැහැර හැරියේ ද? නැතිනම් සුලුකොට තැකුවේ ද? යන්නය.

ඔවුන් කටයුතු කර තිබෙන්නේ අනෙක් බල කේන්ද්‍රයේ වුවමනාවට ද? යන්නය. එසේ නම්, නෛතික වශයෙන් ස්ථාපනයව තිබෙන අණදීමේ සහ අණ ක්‍රියාත්මක කිරීමේ පටිපාටිය ඒ අයුරින් ක්‍රියාත්මක වන බව සහතික කිරීමට රජයේ නායකයින් සහ ජනපතිවරයා අනුගමනය කිරීමට යන පියවර මොනවා ද?

එසේ නොකළොත්, කළු සදුදා දින සිදුවූවාක් මෙන්, පීඩාවට ලක්වීමට සිදුවණු ඇත්තේ ජනතාවට නොවේ ද?


ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර