‘ඒ මහත්තයාගේ නම මං දන්නේ නෑ. ඒ මහත්තයා සතියකට උඩදි අනවශ්‍ය විදියට යන්න කතා කළා. මං කිව්වා සර් මං නැතිබැරි කමට කීයක් හරි හොයා ගන්න එක ඇත්ත. මට සල්ලි නැතුවවත් ඇතුවවත් මහත්වරුත් එක්ක යන්න කැමති නෑ කිව්වා. ඉන් පස්සේ ආයෙත් ඇවිදින් යන්න කතා කළා. මං බෑ කිව්වා. එයාගේ හිතේ තරහා පිරිමහන්න තුන් වැනි දවසෙත් ඇවිත් යන්න එන්න කිව්වා. මං බෑ කිව්වා.
කවුද මේ බට්ටි?
ඇයට බට්ටි කිව්වත් ඇයට වෙනත් නමක් ඇත. පදිංචිය රත්නපුරයේමය. 1979 ජූලි 11 වැනිදා උපන් බට්ටිට ඇති අධ්‍යාපන සුදුසුකම අට සමත්වීමය. 1994 විවාහ වූ ඇය දෙදරු මවකි.සැමියා හැරයාමෙන් පසු ආර්ථික දුෂ්කරතා හේතුවෙන් කොළඹට පැමිණි ඇය එහිදී පුද්ගලයකු සමග සම්බන්ධයක් ගොඩනගා ගන්නා අතර, එම පුද්ගලයා ඇයව රැක බලාගන්නවා යැයි බොරු චාටුබස් කියා සතියක පමණ කාලයක් කාමරයක තබාගෙන සිට ඇත. |
පොලිස් සැරයන්වරයකු රත්නපුරදී කාන්තාවකට පහර දෙන වීඩියෝවක් පසුගිය සතියේ ජනමාධ්‍ය ඔස්සේ හා සමාජ වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය විය. මුලින් එම වීඩියෝව දුටු බොහෝ දෙනෙක් මෙය ලංකාවේ සිදුවීමක්ද, ඉන්දියාවේ සිදුවීමක් ද යනුවෙන් කරුණු සෙවූහ.
වයරයකින් කාන්තාවට ගසමින් ඇයට බණිමින් පොලිස් සැරයන් පහර දෙන අයුරු එහි විය.
‘මට ගහන්න එපා සර්’ වීඩියෝවේ අවසන් හරියේ ඇය කියන වදන් හොඳින් ඇසෙයි. මේ නම් ලංකාවේ වීඩියෝවක් බව වැඩි දෙනකු ස්ථිර කර ගත්තේ එම වදන් අනුවය. ඉන් පසු මේ කොහේ සිද්ධියක්ද? පහර කන්නේ කවුද ආදී ප‍්‍රශ්න වැලක් මතු විය.දෙදිනක් ඇතුළත ඒ ප‍්‍රශ්න සියල්ලටම උත්තර ලැබිණි. මේ රත්නපුර බස් නැවතුම් පොළේ සිද්ධියක් බව මාධ්‍ය වාර්තා කළේය. ඉන් පසු පහර කෑ කාන්තාව ද කවුදැයි හෙළි විය. ඇය මානව හිමිකම් කොමිසමට ගොස් පැමිණිලි කළාය. මාධ්‍ය හමුවේ අදහස් දැක්වූවාය. ඇය හැඳින්වෙන්නේ බට්ටි නමිනි. මේ බට්ටි අපට කී කතාවයි.
‘ඒ මහත්තයාගේ නම මං දන්නේ නෑ. ඒ මහත්තයා සතියකට උඩදි අනවශ්‍ය විදියට යන්න කතා කළා. මං කිව්වා සර් මං නැතිබැරි කමට කීයක් හරි හොයා ගන්න එක ඇත්ත. මට සල්ලි නැතුවවත් ඇතුවවත් මහත්වරුත් එක්ක යන්න කැමති නෑ කිව්වා. ඉන් පස්සේ ආයෙත් ඇවිදින් යන්න කතා කළා. මං බෑ කිව්වා. එයාගේ හිතේ තරහා පිරිමහන්න තුන් වැනි දවසෙත් ඇවිත් යන්න එන්න කිව්වා. මං බෑ කිව්වා.
තවත් ගෑනු කෙනෙක් ඉන්නවා. එයාට කියලා කෙහොම හරි රණ්ඩු කරපන්, බැනපන්, ගහපං කියලා ඒ ගෑනු කෙනා මා ළඟට එවලා ඒ ගෑනු කෙනා මං එක්ක රණ්ඩු කළා. කුණුහරුපෙන් බැන්නා. මාත් එයාට බැන්නා. බැන්නට පස්සේ එයා කෝල් කරලා කියලා තියෙනවා මහත්තයට මට ඇවිත් ගහන්න කියලා.
මහත්තයා ඇවිත් හරි වැරැුද්ද හෙව්වේ නැහැ. තොට කියලා තියෙනවානේ මම මෙතනට එන්න එපා කියලා අහලා මම එතනින් එන්න හදනකොට මට වයර් එකකින් ගහගෙන ගහගෙන ගිහිල්ලා බිම දමාගෙනත් මට හොඳටම ගැහුවා. පයින් හිටන් ගැහුවා. ඊට පස්සේ මට කරගන්න දෙයක් නෑ මම එහෙම්ම ගෙදර යන්න ගියා.
පස්සෙ පොලිසියට ගියා පැමිණිල්ලක් දාන්න. එච්කිව්අයි මහත්තයා එදා හිටියේ නෑ. මම අතඇරලා දැම්මා මම වැඩිදුර ගෙනිච්චේ නෑ.
දවස් දෙක තුනකට පස්සේ පොලිසියේ මහත්වරු දෙන්නෙක් ඇවිල්ලා මෙන්න මෙහෙම ලෙඩ තියෙනවා කියලා එච්අයිවී එකෙන් කොළඹින් එනවා කියලා බොරු කියලා මාව එක්කගෙන ගිහිල්ලා හෝටල් කාමරයක තිබ්බා. තියලා ඉවර වෙලා රුපියල් තුන් දාහක් මගේ අතට දුන්නා. කාමරෙන් එළියට එන්න එපා කිව්වා. බොහොම අමාරුවෙන් මම යනවා කියලා එතැනින් පැනගත්තා.
එහෙම ඇවිත් ඉන්න අතරේ පොලිසියේ මහත්තයෙක් මාවයි ඒ මහත්තයවයි අරං ගියා පොඞ්ඩක් එන්න කියලා. ඉන් පස්සේ එච්කිව්අයි මහත්තයාගේ කාමරේට ගත්තා මාව. කාමරේට ගත්තාම කිව්වා ඔයා පැමිණිල්ලක්වත් දාලා තිබ්බේ නැහැනේ කියලා. මං කිව්වා ඇයි සර් සර් මං හම්බුණා. සර්මනේ පොතේ පැමිණිල්ලක් ලියන්න කිව්වේ කියලා. ඊට පස්සේ කිව්වා නෑ මම නෙමේ වෙන කෙනෙක් වෙන්න ඇති කියලා.
එච්කිව්අයි මහත්තයා මට කිව්වා ඕක ගොඩින් බේරා ගන්න කියලා. එච්කිව්අයි මහත්තයා කිව්වා මට මගේ රස්සාව නෙමේ නැතිවෙන්නේ මේ මහත්තයාගේ රස්සාවයි නැතිවෙන්නේ කියලා. මං මට වෙච්ච අසාධාරණයට ඉල්ලන්නේ වන්දියක්. පොලිස් දෙපාර්තමේන්තුවෙන් කෝටි පහක වන්දියක් ඉල්ලන්නේ.
මේ වීඩියෝව මාධ්‍යවල පළ වීමෙන් පසු පරීක්ෂණයක් ඇරැුඹි අතර සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්ගේ වැඩ තහනම් කැරිණි.
පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීම අසාධාරණ බව කියමින් පසුගිය බ‍්‍රහස්පතින්දා (02) භික්ෂුන් වහන්සේලාගේ ප‍්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් උද්ඝෝෂණයක් පැවැති අතර ඔවුන් ඉල්ලූවේ පොලිස් නිලධාරියා සාධාරණ නිසා ඔහු නැවත සේවයේ පිහිටුවන ලෙසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියනුයේ මෙවැනි කතාවකි.
රත්නපුර ප‍්‍රදේශයේ දී කාන්තාවකට පොලිස් නිලධාරියෙක් පහරදීමේ සිද්ධිය පසුගිය සිකුරාදා ප‍්‍රථම වතාවට ප‍්‍රවෘත්ති විකාශයකින් විකාශය වුණා. ඉන් පසු නැවත විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය මගින් ප‍්‍රචාරය වුණා. පළමුව මෙය විකාශය වූ දා සිටම අපි විමර්ශන ආරම්භ කළා. පරීක්ෂණ කණ්ඩායම් දෙකක් මගින් අපි මේ විමර්ශන සිදු කරගෙන යනවා.
රත්නපුර පොලිස් අධිකාරී (01) මගින් විමර්ශනයක් කරගෙන යනවා. මේ නිලධාරියා සම්බන්ධයෙන් විනයානුකූලව ක‍්‍රියා කිරීම සඳහා. ඒ සම්බන්ධයෙන් ප‍්‍රකාශ හතක් සටහන් කර ගෙන තියෙනවා විනයානුකූලව කටයුතු කිරීම සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ කටයුතු කිරීම සඳහා රත්නපුර අපරාධ විමර්ශන අංශය විශේෂ පරීක්ෂණයක් පවත්වා තියෙනවා. ඔවුන් ප‍්‍රකාශ අටක් සටහන් කරගෙන තියෙනවා. විමර්ශනයට අනුව අනාවරණය වී තියෙනවා සැප්තැම්බර් හය වැනි දා සවස තුනට පමණ තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ කියා. මේ සිද්ධිය සිදුවීමත් සමග විවිධ මාධ්‍ය මගින් විවිධාකාරයට සඳහන් කළා. කිසිම අවස්ථාවක පොලිස්පතිවරයා හෝ පොලිස් දෙපාර්තමේන්තුව මේ පහර දීම අනුමත කරන්නේ නෑ. පසුගිය 29 වැනි දා අපි මේ නිලධාරියාගේ වැඩ තහනම් කළා. ඒ අනුව චෝදනා පත‍්‍රයක් නිකුත් කර විධිමත් විනය පරීක්ෂණයක් පවත්වනවා. ඇයට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා. නමුත් ඇය (02 වැනි දා වන විට) පොලිසියට ඇවිත් නෑ. අපි ඇගෙන් ප‍්‍රකාශයක් සටන් කර ඇය වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.