මුළු රටේම පාහේ ගොවීන් එකවර උද්ඝෝෂණවල නිරතවූ කාලයක් මතකයට නැඟෙන්නේ නැත. මේ දිනවල රට පුරාම දිනපතාම පාහේ කෙරෙන ගොවි උද්ඝෝෂණවල විශේෂත්වය එයයි. එය පෙර නොවූ විරූ තත්ත්වයකි.
එක්දහස් නවසිය අනූ ගණන්වලදී වගා ණය ගෙවා ගත නොහැකිව උතුරු මැද පළාතේ ගොවීහු ගණනාවක් දිවි නසා ගත්හ. ඒ කාලයේදීවත් දැන් මෙන් රට පුරා වී එළවළු හා තේ ගොවීන් එකවර හා දිනපතාම පාහේ උද්ඝෝෂණය කළේ නැත. මෙවර උතුරේ ගොවීහුද මෙම උද්ඝෝෂණවලට එක්වී සිටිති.
ආණ්ඩුවේ බොහෝ නායකයන් පවසන්නේ මෙම උද්ඝෝෂණ ගොවීන් ස්වේච්ඡාවෙන් කරන ඒවා නොව විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයන්ගේ උසිගැන්වීම් මත ඔවුන් කරන ඒවා බවය. විශේෂයෙන්ම ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ මෙම උද්ඝෝෂණ පිටුපස සිටින බවය. මෙසේ ප්‍රකාශ කරන ආණ්ඩුවේ දේශපාලනඥයන් අවංකවම එසේ සිතන්නේද?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 23 වැනිදා කුලියාපිටියේ උඩුබද්දාවේ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානයක් නිරීක්ෂණය කිරීමට ගොස් සිටි අවස්ථාවේදීද මෙම අදහස පළාකොට තිබිණි. සමාජයේ ඇතැම් කණ්ඩායම්වල පෙළඹවීම මත ගොවීන් දැන් රසායනික පොහොර ඉල්ලා සිටින බව ඔහු එහිදී පැවැසීය.
ඉන්පසු ඔහු එහිදී කාබනික පොහොර භාවිතයේ ප්‍රයෝජන පිළිබඳ කරුණු ගෙනහැර දැක්වූ අතර දැනට වසර පනහකට පමණ පෙර මේ රටේ කාබනික පොහොර නිසා කොතරම් සාර්ථක ලෙස පරිසරය ආරක්ෂා වී වස විසෙන් තොරව ආහාර නිෂ්පාදන කෙරුණේ දැයි සිහිපත් කළේය. එම කතාවෙන්ද පෙනුණේ දැනට මෙරට ගොවීන් හට උද්ඝෝෂණය කරන්නට හෝ මැසිවිලි නඟන්නට හෝ කරුණු නැති බව ඔහු සිතන බවය.
මීට සති ගණනාවකට ඉහත ගොවීන් පොහොර හිඟයට පිළියම් ඉල්ලා උද්ඝෝෂණය කරන්නට පටන්ගත් දා සිටම කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම උද්ඝෝෂණ සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂවලට චෝදනා කරයි. එපමණක් නොව එක්තරා ගොවි සම්මේලනයක නායකයකුට රසායනික පොහොර සමාගම් උද්ඝෝෂණ පැවැත්වීම සඳහා මුදල් ගෙවන බවටද ඔහු වරක් චෝදනා කළේය. ජනාධිපතිවරයාද කුලියාපිටියේදී පැවැත්වූ සිය කතාවේදී ඒ සමාන චෝදනාවක් කර තිබිණි. ‘‘සමහර පුද්ගලයන් රසායනික පොහොර තහනමට විරුද්ධයි. ආණ්ඩුවේ වැඩපිළිවෙළ නතර කරන්නට ඔවුන් මුදල් වියදම් කරනවා’’ යැයි ඔහු පැවසීය.
ආණ්ඩුවේ නායකයන් දේශපාලන ප්‍රතිවාදීන් හට අපහාස කිරීමට නොව ඇත්ත වශයෙන්ම ගොවීන්ට උද්ඝෝෂණය කරන්නට තරම් ප්‍රශ්නයක් නැතැයිද ඔවුන් මෙම උද්ඝෝෂණවලට පොළඹවා ගනු ලැබ ඇත්තේ විරුද්ධ පක්ෂවල දේශපාලඥයන් විසිනැයිද සිතන්නේ නම් එය බරපතළ තත්ත්වයකි.
ඒ ඔවුන් කරන චෝදනා සත්‍ය නිසා නොව ඔවුනට මහ පොළොව මත සිදුවන දෑ පිළිබඳව අවබෝධයක් නැතිවීම නිසාය. එසේම දැනට මෙරට ගොවි බිම්වල පවතින තත්ත්වය අනුව ළඟදීම විශාල ආහාර හිඟයක් පිළිබඳ අනතුරක් ඇතැයි යන්න රාජ්‍ය නායකයා හෝ විෂය භාර ඇමැතිවරයා වටහා ගෙන නැතැයි ඉන් කියවෙන නිසාය. ඒ දෙදෙනා මේ අනතුර තේරුම් ගෙන නැත්නම් ඊට පිළියම් යෙදීමක්ද නොකෙරෙන්නට ඉඩ ඇති නිසාය.
ගොවි උද්ඝෝෂණ කෙරෙන්නේ එක්සත් ජාතික පක්ෂයට හා සමගි ජනබලවේගයට යම් පදනමක් ඇති නාගරික ප්‍රදේශවල නොව කෘෂිකර්මාන්තය කෙරෙන ග්‍රාමීය ප්‍රදේශවලය. පසුගිය දශකයට වැඩි කාලයක් පුරා විශේෂයෙන්ම 2018 පළාත් පාලන මැතිවරණ, 2019 ජනාධිපතිවරණය හා පසුගිය වසරේ පාර්ලිමේන්තු මැතිවරණය ආදියේදී මෙම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගෙන් අති බහුතරය ඡන්දය දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දුන් හා දෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය.
දැනට පොහොර ඉල්ලා උද්ඝෝෂණය කළේ වුවද තව දින දෙක තුනකින් වුවද මැතිවරණයක් පැවැත්වේ නම් පොදුජන පෙරමුණට ඡන්දය දුන් මෙම ග්‍රාමීය ජනතාවගෙන් බහුතරයක් දෙනා සමගි ජනබලවේගයට හෝ එක්සත් ජාතික පක්ෂයට හෝ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙනු ඇතැයි සිතීම දුෂ්කරය. පොහොර හිඟය නොවේ නම් මෙම ජනතාව හා මෙම විරුද්ධ පක්ෂ අතර කිසිදු සබඳතාවක් ඇති කළ හැකි තරම් ප්‍රබල කරුණක් නැත. එහෙයින් මෙම උද්ඝෝෂණ මෙම විරුද්ධ පක්ෂ විසින් මෙහෙයවනු ලබන ඒවා යැයි ආණ්ඩුවේ නායකයන් සිතීම තම ආධාරකරුවන් හඳුනා නොගැනීමකි.
එහෙත් රසායනික පොහොර හා පළිබෝධ නාශක ආනයනය කිරීම නතර කිරීමට වැරැදි අවස්ථාවකදී ආණ්ඩුව ගත් තීරණයත්, ප්‍රතිඵල ගැන සිතා නොබලා එය ක්‍රියා කළ ආකාරයත් විරුද්ධ පක්ෂ තම වාසියට හරවා ගැනීම සත්‍යයකි. එසේම එය අපේක්ෂා කළ යුත්තකි. එය ඕනෑම පක්ෂයක් කරන දෙයකි. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ කටයුතු කළේද ඒ අයුරින්මය. ප්‍රහාරයෙන් දින හයකට පසු ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව පැවසීය. ප්‍රහාරය උපයෝගී කරගෙන පොදුජන පෙරමුණ හා එම පක්ෂයට හිතවත් ජනමාධ්‍ය විශාල මුස්ලිම් විරෝධයක් රටතුළ ඇති කොට එමගින් සිංහල ජනතාව වැඩි වැඩියෙන් තමන් වෙතට නම්මා ගත්තේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය මෙන් නොව පොහොර ප්‍රශ්නය ඉතා පැහැදිලිවම ආණ්ඩුවේ වරදකි. ඉතා යහපත් යැයි පෙනෙන අරමුණක් වැරැදි වේලාවක වැරැදි ආකාරයට දඩිබිඩියේ ඉටුකර ගන්නට යාම මෙම අර්බුදයේ මුලයි. එහෙයින් විරුද්ධ පක්ෂවලට ඉන් වාසි ගැනීම පහසුය. අද සිදුවන්නේ එයයි.
පොහොර හිඟය මුලින්ම ගොවීන්ට දැනුණේ පසුගිය යල් කන්නයේදීය. රසායනික තහනම් කිරීමේ තීරණය ගනු ලැබුවේ ඉකුත් අප්‍රේල් මාසයේදීය. අප්‍රේල් 22 වැනිදා ජනාධිපති නිල නිවසේ රජයේ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවකදී රසායනික පොහොර භාවිතයේ අයහපත් ප්‍රතිඵල විස්තර කළ ජනාධිපතිවරයා අනාගතයේදී මෙරට කෘෂි කර්මාන්තයේදී කාබනික පොහොර පමණක් භාවිත කිරීමට සහතික කිරීම සඳහා පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.
‘‘රසායනික පොහොරවලින් වැඩි අස්වැන්නක් ලැබෙන බව සැබෑය. එහෙත් රසායනික පොහොර මගින් වැව්, ඇළ මාර්ග හා භූගත ජලය දූෂණය වීමෙන් මිනිස් ජීවිතවලට ඇතිවන අහිතිකර බලපෑම එසේ ලැබෙන ලාභයට වඩා වැඩිය. වකුගඩු රෝග ඇතුළු බෝ නොවන රෝග ගණනාවකට රසායනික පොහොර භාවිතය හේතුකාරක වේ. මේ අතර රසායනික පොහොර සඳහා වසරකට ඩොලර් මිලියන 400ක් පමණ වැයවන අතර එම මුදල ජනතාවගේ ජීවිතය නඟාසිටුවීම සඳහා යොදාගත හැකිය’’යි රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළ බව ජනාධිපති කාර්යාලය නිවේදනය කොට තිබිණි.
එසේම දැනට ගොවි ජනතාවට සහනදායි ලෙස දෙනු ලබන රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ලබා දෙන බවද ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී ප්‍රතිඥා දුන්නේය.
වකුගඩු රෝගවලට රසායනික පොහොර හේතුකාරක වීම ඇතුළු රසායනික පොහොරවලින් ඇතිවන අහිතකර ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැක්වූ අදහස් ඇතැම් විශේෂඥයන් හා දේශපාලනඥයන් නොපිළිගත්තද එම අදහස් සම්බන්ධනේ මෙරට ගොවි ජනතාවට එදා හෝ අද හෝ ගැටලුවක් නැත. ඔවුන්ට අදාළ වූයේ තම වගාවට අවශ්‍ය කාබනික පොහොර දෙන බවට ජනාධිපතිවරයා එහිදී දුන් ප්‍රතිඥාව පමණි.
රසායනික පොහොර හා අනෙකුත් කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීම තහනම් කිරීම සඳහා වූ ගැසට් පත්‍රය නිකුත් කරන ලද්දේ පසුගිය මැයි 6 වැනිදාය. ඒ වනවිට පැවතියේ යල් කන්නයයි. ඔක්තෝබර් මුල ආරම්භ වන ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර රට තුළම නිෂ්පාදනය කොට බෙදාහරින බවද එසේ කළ නොහැකි වුවහොත් විදේශයකින් කාබනික පොහොර ආනයනය කොට බෙදාහරින බවද කෘෂිකර්ම ඇමැතිවරයා එදා ප්‍රකාශ කළේය.
පොහොර ආනයන තහනම ඒ වනවිට තවමත් ළඟා වී නොතිබූ මහ කන්නට පමණක් නොව ඒ වනවිට පැවැති යල් කන්නයේ වගාවලින් කොටසකටද බලපෑවේය. ඒ නිසා ඇතැම් ප්‍රදේශවල ගොවියෝ ඉදිරි මහ කන්නයට නොව දැනට කෙරෙන යල් කන්නයේ වගාවන්ට පළමුව පොහොර දෙන්නැයි ඉල්ලා සිටියහ.
එම ඉල්ලීම් අතරේම යල් කන්නය පසුවී මහ කන්නය පැමිණියේය. එහෙත් කොහෝ හෝ කුඩා ගොවිපොළක දෙකක විනා දේශීය වශයෙන් කාබනික පොහොර නිෂ්පාදනයත් සිදු වූයේ නැත. එසේම කාබනික පොහොර ආනයනය සඳහා පියවර ගැනුණේද පසුගිය මාසයේය.
ඒ සඳහා චීන සමාගමකින් සාම්පල ගෙන්වා ගෙන මෙරට රසායනාගාරවලදී කරන ලද පරීක්ෂණවලදී හෙළිවූයේ එම සාම්පලවල මෙරට පසට අහිතකර බැක්ටීරියා වර්ග ඇති බවය. පරීක්ෂණ දෙකකදීම මේ බව දැනගත හැකිවිය. එහෙත් අදාළ චීන සමාගම එම පරීක්ෂණ ප්‍රතිඵල පිළිගත්තේ නැත. කෙසේ වෙතත් මේ තත්ත්වය යටතේ මෙරට බලධාරීහු ඉන්දියාවෙන් දියර පොහොර ගෙන්වීමට පියවර ගත්හ.
දැන් මෙම ගනුදෙනු දෙකම මතභේදවලට තුඩු දී තිබේ. ඉන්දීය සමාගමේ දියර පොහොර වෙනුවෙන් මුදල් ගෙවීමේදී අක්‍රමිකතා සිදුවී ඇතැයි සමඟි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. මේ අතර චීන සමාගම තම පොහොර ප්‍රතික්ෂේප කිරීම නොපිළිගෙන තුන්වැනි පාර්ශ්වයක ‘‘ස්වාධීන’’ රසායනාගාරයකින් තම සාම්පල පරීක්ෂා කළ යුතු යැයිද එසේ නොකරන්නේ නම් මෙම ගනුදෙනුව සඳහා ණයවර ලිපි විවෘත කළ මහජන බැංකුව ආසාදු ලයිස්තුගත කරන බවටද මෙරට චීන තානාපති කාර්යාලය මාර්ගයෙන් තර්ජනය කරයි.
මේ අතර චීන පොහොර නැව චීනයෙන් පිටත් වී ශ්‍රී ලංකාව කරා පැමිණෙන බවට විරුද්ධ පක්ෂ පවසන අතර එම නැවට වරායට ඇතුළුවීමට හෝ පොහොර තොගය ගොඩබෑමට හෝ ඉඩ නොදෙන බව කෘෂිකර්ම ඇමැතිවරයා ඉකුත් බදාදා ජනමාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. එසේම මෙම පොහොර තොගය නොව අලුත් තොගයක සාම්පල එවන්නේ නම් ඒවා තුන්වැනි පාර්ශ්වයක ‘‘ස්වාධීන’’ රසායනාගාරයකදී පරීක්ෂාවට ලක් කිරීමට තමන් එකඟ වන බවද ඔහු ප්‍රකාශ කළේය. මෙය මෙරට රසායනාගාරයේ විශ්වාසනීයත්වය සැකයට භාජන කිරීම පිළිගැනීමකැයි විරුද්ධ පක්ෂ කියයි.
මේ අතර කාබනික පොහොර යැයි කියමින් රජය තවත් පොහොර තොගයක් ආනයනය කොට අම්පාර දිස්ත්‍රික්කයේ බෙදාහැරියේය. එහෙත් ගොවීන් පවසන්නේ එම පොහොර කාබනික පොහොර නොව වී ගොවිතැනේදී යොදන රතු කැට හෙවත් බණ්ඩි පොහොර බවත් ඒවා අවශ්‍ය වන්නේ දැනට නොව පසුව බවත් දැනට ගොවිතැනට අවශ්‍යවන්නේ මඩ පොහොර බවත්ය. එසේම ඉන්දියාවෙන් ආනයනය කරන ලද දියර පොහොරවලට අවශ්‍ය නයිට්‍රජන් ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් බවටද චෝදනා එල්ල වෙමින් පවතී.
ආණ්ඩුවේ දේශපාලනඥයන් කියන්නට උත්සාහ කරන්නේ රටේ ගොවීන්ට අවශ්‍ය පොහොර තිබෙන බවත් එහෙත් ඔවුන් රසායනික පොහොරම ඉල්ලා සිටින අතර විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයන් ඔවුන් උද්ඝෝෂණ සඳහා පොළඹවන බවත්ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සෙනසුරාදා කුලියාපිටියේදී පැවැත්වූ කතාවේදී ද විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයන්ට දොස් පවරමින් කාබනික පොහොරවල යහපත පිළිබඳව විස්තර කළේය.
තමන් කුඩා කල කුඹුරුවල සිටි සතුන් රසායනික පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය හේතුවෙන් වඳවී ගොසේ ඇති බවත් ඇතැම් ළිංවල ජලය පානයට නුසුදුසු තත්ත්වයට පත්වී ඇති බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.
එහෙත් දැන් ගොවීන්ගේ ප්‍රශ්නය වී ඇත්තේ කාබනික පොහොරද රසායනික පොහොරද යන දෙකෙන් එකක් තෝරා ගැනීම නොව පොහොර නැතිව වගා කරනවාද නැත්නම් රසායනික පොහොර හෝ කාබනික පොහොර යෙදා වගා කරනවාද යන ප්‍රශ්නයයි. මන්දයත් ඔවුනට කුමන පොහොරක්වවත් ලබාගැනීමට නොහැකිවී ඇති හෙයිනි. ඒ නිසා කුමන පොහොර හිතකරද, චීන පොහොර තුන්වැනි පාර්ශ්වයේ රසායනාගාරයකින් පරීක්ෂා කර ගන්නවාද යනාදී වශයෙන් දැනට රටේ කෙරෙන කිසිදු මතදේභයක් හෝ සංවාදයක් ඔවුනට වැඩක් නැත. ඔවුන්ට අවශ්‍ය කුමක් හෝ පොහොරකි.
(*** එම්.එස්.එම්. අයුබ්)