එකක් පසුපස එකක් වශයෙන් නිර්මාණය වූ හා නිර්මාණය කරගත් අර්බුද හේතුවෙන් රට අසාධ්‍ය ආතුරයකුගේ තත්ත්වයට පත්ව තිබේ. ලෝක වසංගතයක් චණ්ඩ මාරුතයක්ව හමා යමින් තිබියදී ඒ සම්බන්ධ නිසි තක්සේරුවක් නොමැතිව කාබනික පොහොර ව්‍යාපෘතිය හඳුන්වාදීම අර්බුද වගුර තවත් ගැඹුරු කිරීමට හේතුවිය. එය වැරැදි තීරණයක් බව ජනාධිපතිවරයාද ඉකුත්දා පිළිගත්තේය. එහෙත් ඒ වනවිට විනාශය සිදුවී හමාරය. පෙරදිග ධාන්‍යාගාරය යැයි විරුදාවලිය ලත් රටට සහල් ආනයනය කිරීමට සිදුවූ මෙරට වැරැද්ද බරපතළ විය.
කාබනික පොහොර ව්‍යාපෘතිය ආණ්ඩුවේ ප්‍රධානම ව්‍යාපෘතියක් වුවද එය බලපෑවේ අහිංසක ගොවීන්ටය. ඉකුත් 9 වැනිදා සඳුදා ප්‍රහාරයට ලක්වූ ඇතැම් මැති ඇමැතිවරුන්ගේ නිවාස හා දේපළ මෙන්ම ගොවි බිම් සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තාවල සඳහන් වූයේ ඇතැම් මැති ඇමැතිවරුන් සතුව රසායනික පොහොර මිටි දහස් ගණනින් තිබූ බවය. එය අමතර කතාවකි.
රසායනික පොහොර තහනමත් සමග එම පොහොර වර්ගය සොයා ගැනීම කළුනික සෙවීම බඳු විය. මේ වනවිට එම තහනම ඉවත් කර තිබුණද රසායනික පොහොර හිඟයක් රට තුළ පවතී. මෙම හිඟය නිසා පොහොර මිටියක මිල රුපියල්30000 ත් 35000 ත් අතරය. මේ බව අනාවරණය වන්නේ පොහොර ප්‍රශ්නය විසඳීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ අකිල විරාජ් කාරියවසම් කමිටුව කළ නිරීක්ෂණයකදීය. මේ තත්ත්වය යටතේ ගොවීන්ට වගා කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද එම කමිටුව පෙන්වා දේ.
අප රට තුළ කෘෂිකර්මය තිබුණට කෘෂිකර්මාන්තයක් නැත. එමගින් කියැවෙන්නේ කෘෂිකර්මය කර්මාන්තයක් වශයෙන් සංවර්ධනය වී නැති බවය. ගොවියා සිය පාරම්පරික දැනුමෙන් තමන්ට හැකි ආකාරයෙන් කෘෂි කර්මයෙහි යෙදී සිටී. එය රටේ අවශ්‍යතාවට ප්‍රමාණවත් නොවන බව ඔප්පු වී තිබේ. එම පරිසරය තුළ රුපියල් 30000 ක් 35000 ත් අතර මිලකට පොහොර මිලදී ගෙන ගොවියා ගොවිතැන් කරනු ඇතැයි සිතිය නොහැක. මෙය සරලව ගෙන පහසුවෙන් බැහැර කළ හැකි තත්ත්වයක් නොවේ.
ගොවියාට අවශ්‍ය ජලය, පොහොර හා බීජ පමාවකින් තොරව ලබා දෙන්නේ නම් රටට ඇවැසි අස්වැන්න නෙළා ගත හැකි බව රහසක් නොවේ. එහෙත් ගොවියාට පොහොර ලබා ගැනීමට ජලය ලබා ගැනීමට බීජ ලබා ගැනීමට අරගල බිමට පිවිසීමට සිදුවී තිබේ. ඵලදාව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඇති සටන මෙන්ම අස්වැන්න විකිණීමට සිදු කරන සටන අමතර වශයෙනි.
තත්ත්වය එසේ වන විට මේ රට කෘෂිකාර්මික රටක් ලෙස හැඳින්වීම කෙතරම් දුරට ප්‍රායෝගිකද යන්න විමසිය යුතුය. මඩ සෝදාගත් කල්හි ගොවියා සිහසුනට වටී යන්න වෙනුවට මඩ සෝදාගත් කල්හි ගොවියා සුසානයට වැනි අලුත් යෙදුම් නිර්මාණය වී තිබෙන්නේ එසේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඉකුත්දා ප්‍රකාශ කළේ මේ වසරේදී ආහාර නැතිවන රටවල් අතරට ලංකාවේ නමද ඇතුළත්ව ඇති බවය. බලාපොරොත්තු නොවූ දේ, වේගයෙන් අපකරා පැමිණෙන සෙයකි. අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේදී ලෝකයටම ආහාර හිඟයක් ඇතිවන අතර සමහර තැන්වලට ආහාර නැති වන බව ඇමෙරිකාවේ මුදල් ඇමැති සහ භාණ්ඩාගාර ලේකම් ජැනට් හෙලන් සඳහන් කර ඇති බවය. ආහාර නැති රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය ඇතුළත් කර ඇති බවද අගමැතිවරයා සඳහන් කළේය.
මෙම අනාවරණය කිරීම් එයට හිමි නිසි බරින් හඳුනා ගත යුතුය. කොහොම තිබුණ රටක්ද යනුවෙන් හූල්ලමින් පසුවීම ප්‍රශ්නයට පිළිතුරක් නොවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කර තිබුණේ රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ළඟදීම ගෝලීය වශයෙන් වසර ගණනාවක් පැවතිය හැකි දැවැන්ත ආහාර අර්බුදයක් ඇතිවන ලකුණු පහළ වී ඇති බවය.
අවදානමට වඩා සූදානම අතිශයින්ම වැදගත්ය. බොහෝ කලක සිට අප පුරුදුව සිටින්නේ සංහාරයෙන් පසුව සංරක්ෂණය සම්බන්ධයෙන් කටමැත දෙඩවීමටය. බොහෝ විපත් අප ගෙන්වා ගත්තේ එහෙයිනි. ඒ බව අවබෝධ කරගැනීම වැදගත්ය. බත බුලතින් සරුසාර මවු පොළොව ආහාර පාන නැති රටවල් ලැයිස්තුවට එක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයා එක් අතකින් ලජ්ජාවට පත්විය යුතුය.
කළ යුත්තේ කුමක්ද? පොළොවේ ඉඩ ඇති සෑම තැනකම වගා කළ යුතුය. ඒ සඳහා ගොවියා දිරිමත් කළ යුතුය. ඒ සඳහා ආරම්භක පියවරක් වශයෙන් රසායනික පොහොර මිටියක් රුපියල් දහ දාහකට දිය යුතු යැයි පොහොර ප්‍රශ්නය විසඳීම සඳහා අගමැතිවරයා පත් කළ කමිටුව රජයට නිර්දේශ කර තිබේ. එය එලෙසින්ම ක්‍රියාත්මක වනු ඇතැයි අපි විශ්වාස කරමු.
(***)