පෝලිම් බිහිවීමේ හේතු සොයා ඊට විසඳුම් දෙන්න


හැත්තෑ ගණන්වල පැවති පෝලිම් යුගයෙන් වසර හතළිහක් පමණ ඉකුත්ව ගිය පසු නැවත පෝලිම් යුගයක් පැමිණ ඇති බව පැහැදිලිය. එකල පෝලිම් බිහිවුණේ ආහාර හිඟය ප්‍රමුඛ අවශ්‍යතා පදනම් කරගෙනය. මෙකල පෝලිම් බිහි වී ඇත්තේ ඉන්ධන හිඟය ප්‍රමුඛ බලශක්ති අර්බුදය හේතුවෙනි. පෝලිම් බිහිවන්නේ බොහෝ විට භාණ්ඩ හා සේවාවන්හි ඉල්ලුමට සරිලන සැපයුම් නිසි කාලයක් තුළ සපයා ගැනීමට නොහැකි වූ විටය. හිඟ වූ භාණ්ඩ මිලදී ගැනීමට ක්‍රය ශක්තිය වැය කිරීමට ඉදිරිපත් වන ප්‍රමුඛතාව මත පාරිභෝගිකයකු පිටුපස පාරිභෝගිකයා පෙළගැසීම පෝලිමය.

ලෝක ආහාර අර්බුදය එකල පැවති පෝලිම් යුගයට තරමක් හේතු වුවද, ඊටත් වඩා දේශපාලන තීරණ මත ගනු ලැබූ නිෂ්පාදනයේ, කළමනාකරණයේ, බෙදාහැරීමේ හා මිල තීරණයේ අඩු පාඩු හැත්තෑ ගණන්වල පැවති පෝලිම් යුගයට බලපෑ බව කිව හැකිය.

පසුගිය මාස 12 පමණ කාලය තුළ සමස්ත උද්ධමනයේ වැඩිවීම සියයට 50කි. එම කාලය තුළ ආහාර මිල සියයට 80කින් පමණ වැඩිවී ඇතත් මෙවර පෝලිම් වැඩිපුර බිහිවී ඇත්තේ ආහාර හිඟය නිසා නොවේ.

මෙකල බිහි වී ඇති ඉන්ධන පෝලිම් මිනිස් ශ්‍රම පැය නොව දින ගණන් කා දමනා පෝලිම්ය. හැත්තෑ ගණන්වල අප දුටුවේ මල්ල අතින් ගත් මිනිසුන්ගේ පෝලිම්ය. ඒවා පැය කිහිපයකින් හමාර වූයේය. මෙවර ගෑස් සිලින්ඩර කර ගසාගත් ජනයා දින දෙක තුන නිදි වැරූහ. යතුරුපැදි පසුපස කිලෝ මීටර ගණන් දිගට යතුරුපැදිය. ත්‍රිරෝද පසුපස ත්‍රිරෝදය. කාර් රථ පසුපස කාර් රථය. මෙම පෝලිම් පැය ගණනකින් නිමා වූ ඒවා නොවේ. දින ගණන් නිදි වරමින් ජනයා රැඳී සිටින පෝලිම්ය. මේ වනවිට පෝලිම්වල රැඳී සිටි අය 20කට වඩා පෝලිමේදීම මරු දුටුහ.

හැත්තෑ ගණන්වල බිහිවූ පෝලිම් යුගයෙන් වසර 5ක් පමණ කල් ගත වූ පසු, ප්‍රබල දේශපාලන පරිවර්තනයක් සිදු වූයේය. පැවති ආහාර හිඟය එකී දේශපාලන පරිවර්තනයට මූලික ලෙසම බලපෑවේය. 1977න් අනතුරුව ආර්ථිකය විවෘත කරනු ලැබුවේත්, ආනයන සීමා ඉවත් කරනු ලැබුවේත්, මිල පාලනය ඉවත්කොට ඉල්ලුම සැපයුම මත ආහාර මිල තීරණය වන්නට ඉඩ හැරියේත් ආහාර ඉල්ලුම උදෙසා සැපයුමත් බෙදාහැරීමත් කාර්යක්ෂම කරනු පිණිසය.

මෙවර පෝලිම් යුගයේ ප්‍රතිඵලයක් ලෙස දේශපාලන පරිවර්තන සිදු වන්නට හය මසක් ගත වූයේ නැත. තුනෙන් දෙකක බහුතර පාර්ලිමේන්තු බලයක් හිමිව තිබූ ආණ්ඩුව මේ පෝලිම් යුගය බිහිවී සිව් මසක් ගත වන්නට පෙර දෙදරුම් කෑවේය. අගමැතිවරයාට ඉල්ලා අස්වන්නට සිදුවිය. මතුවූ මහජන උද්ඝෝෂණ හමුවේ හැටනව ලක්ෂයක ඡන්ද සංඛ්‍යාවක් හිමි කරගෙන සිටි විධායක ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන්නට සිදුවිය. මෙම දේශපාලන පරිවර්තනය තවමත් හමාර වී නැති සෙයක් පෙනේ.

 ඉන්ධන හිඟ වන්නට ගත්තේ, ඉන්ධන ආනයනය කරගන්නට ප්‍රමාණවත් විදේශ විනිමය හිඟ වෙන්නට පටන් ගත් අවස්ථාවේ පටන්ය. අපගේ සමස්ත ආනයන වියදම්වලින් වැඩිම ප්‍රතිශතයක් වැය වන්නේ ඉන්ධන (ඛනිජ තෙල්) උදෙසාය. 2021 වසරේ එම ප්‍රතිශතය සියයට 11.7ක් වූ අතර ඇමරිකානු ඩොලර් බිලියන 2ක් පමණ වැයවී ඇත්තේ ඛනිජ තෙල් ආනයනය උදෙසාය.

රටේ විදේශ සංචිත සිඳී යාමට දීර්ඝ කාලීනව බලපෑ හේතුව, නිසි සේ අපනයන ආර්ථිකයකට හුරු නොවීමය. සාම්ප්‍රදායක තේ, පොල්, රබර් අපනයනවලට අමතරව ඇඟලුම් අපනයනය පමණක් සැලකිය යුතු තරමින් වර්ධනය විය. පසුගිය වසර කිහිපය තුළ ප්‍රමාණවත් ලෙස අපනයන විවිධාංගීකරණය සිදු නොවීය. ඇඟලුම් අපනයන කරමින් සිටි බංගලාදේශය එම තත්ත්වයෙන් මිදී ඖෂධ ඇතුළු වෙනත් දෑ අපනයනය කරමින් ජාත්‍යන්තර වෙළෙඳපොළට පිවිසි ආකාරය එරට අගමැතිවරිය වරක් අගේට පැහැදිලි කර දුන්නාය. අපනයන ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය ඍජු විදේශ ආයෝජන ද පසුගිය වසර 30-40 තුළම මෙරට සිදු නොවූයේය. ලෝකයේ ඍජු විදේශ ආයෝජන දකුණ හා අග්නිදිග ආසියා කලාපවලට ගලා එමින් පවතින කාලයේ අපට එම වාසිය අත්පත් කර ගන්නට නොහැකි විය.

මෙකී විදේශ සංචිත හිඟය වසර දෙකකට පෙර පටන් කල් තියා දැක ඊට පිළියම් යෙදීමට රජය අසමත් විය. දේශීය මූලාශ්‍රවලින් විදෙස් ණය ගෙවීමට දියත් කළ සියලු සැලසුම් පුස්සක් බවට පත්විය. රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු වූයේ සියලු වින්නැහි සිදු වූවාට පසුවය. ඉන්ධන හිඟය විදෙස් සංචිත හිඟවීමේ එක් ප්‍රතිඵලයක් පමණි. එහි අහිතකර ආර්ථික ප්‍රතිඵල රාශියකි.

මීට අමතරව ඛනිජ තෙල් ආනයනය හා බෙදාහැරීම සම්බන්ධයෙන් අප පොට වරද්දා ගත් අවස්ථා බොහෝය. 1960 ගණන්වල මුල් භාගයේ තෙල් කොම්පැනි ජනසතු කිරීම ඛනිජ තෙල් අර්බුදයේ මූලාරම්භය බව සනාථ කරන්න සාක්ෂි බොහෝය.

ආහාර හිඟය නිසා බිහිවන පෝලිම්වලට වඩා ඉන්ධන හිඟය නිසා බිහිවන පෝලිම් අතිශය ප්‍රබලය. ආහාර සැපයූ විට ආහාර අර්බුදය නිමාවන මුත්, නැවත ඉන්ධන සපයන විට සිදුවිය යුතු හානිය සිදුවී හමාරය. කර්මාන්ත ඇණහිටීමී, රැකියා අහිමිවීම් පමණක් නොව ජාතියේ ඉදිරි ගමනද ඉන්ධන අර්බුදයෙන් ඇණහිටින බව දැන් පැහැදිලිය. පාලක, පාලික දෙපාර්ශ්වයම මෙම අර්බුදවලින් ඉගෙන ගත යුතු දෑ බොහෝය.

(***)