බ්‍රිතාන්‍ය යුගයේ සිට ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමයක් අභ්‍යාස කළ රටක් ලෙස ශ්‍රී ලංකාවට ඉහළ පිළිගැනීමක් හිමිවිය. එකල සීමිත ලෙස උසස් අධ්‍යාපනය සඳහා තේරෙන සිසු සිසුවියන් වෙනුවෙන් පිහිටුවා තිබූ කොළඹ සහ පේරාදෙණිය වැනි සරසවිවල අධ්‍යාපනය ප්‍රශස්ත බව ජාත්‍යන්තරය පවා පිළිගත්තේය. පේරාදෙණිය සරසවිය ඇරඹීමට මුල් වූ ආචාර්ය අයිවර් ජෙනිංග්ස් එම සරසවිය ස්ථාපිත කළේ මහා බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් සරසවියේ ආදර්ශය අනුවය. එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය කේන්ද්‍රගත වී ඇත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාල වටාය. පසු කාලයේ ස්ථාපිත කරන ලද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිවිල් පාඨමාලා පැවැත් වුවත් එයද රාජ්‍ය විශ්වවිද්‍යාල අච්චුවේම ප්‍රමිතිගත වී ඇත.
එහෙත් දැන් උසස් අධ්‍යාපනයේ ලෝක සම්මතය අප රටට වඩා බෙහෙවින් පුළුල්ය. ලොව බොහෝ රටවල උසස් අධ්‍යාපනයේ වැඩි බරක් දරනු ලබන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල විසිනි. එහෙත් අවාසනාවක මහතා. ශ්‍රී ලංකාවේ පෞද්ගලික සරසවි ගැන කතා කිරීම පමණක් නොව සිතීම පවා දේශපාලන පාපයක් බවට හංවඩු ගසා තිබේ. දකුණු ආසියාවේ සෙසු ප්‍රධාන රටවල් වන ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය හා නේපාලය තුළද පෞද්ගලික සරසවි ස්ථාපිත කොට ඇත. එම රටවලට ලැබෙන විදේශ ඩොලර් ආදායමින් සෑහෙන ප්‍රතිශතයකට වග කියන්නේ විදේශීය දරු දැරියන් උසස් අධ්‍යාපනය සඳහා කරන ගෙවීම්ය. නේපාලයේ සහ ඉන්දියාවේ මනිපාල් සරසවි, බංග්ලාදේශයේ චිතගොන් සරසවිය මෙයට කදිම උදාහරණ වේ.
අප මෙම පූර්විකාව සුළුවෙන් සටහන් කළේ පසුගියදා ශ්‍රීමත් ජෝන් කොතලාවල සරසවියේ උපාධි ප්‍රදානෝත්සවයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට උසස් අධ්‍යාපනය ගැන පළ කරන ලද වෙසෙස් අදහස් කිහිපයක් ගැන අවධානය යොමු කරමිනි. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය රාජ්‍ය විශ්වවිද්‍යාලවලට පමණක් සීමාවීම කිසිසේත්ම සාධාරණ නොවන බවය. දැනට ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල සියල්ලම පාහේ රාජ්‍ය විශ්වවිද්‍යාල නොවන බවත් හෙතෙම සඳහන් කළේය.
එම ජාත්‍යන්තර පෞද්ගලික සරසවි බොහොමයක් ස්වාධීන ස්වයං පාලන ආයතන - ලාභ නොලබන පෞද්ගලික ආයතන හෝ පුණ්‍යායතන ලෙස ව්‍යුහගත කර ඇති බවද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය. එම නිසා එවන් ආයතන මෙරටෙහි ස්ථාපිත කිරීම යුගයේ අවශ්‍යතාවක්ය යන්න ජනාධිපතිවරයාගේ මතය විය. එසේම මෙරට සම්ප්‍රදායික දේශපාලන ආකල්ප විසින් එවැනි තත්ත්වයන්ට බාධා කරන්නේ නම් වත්මන් සමාජය ඊට අභියෝග කළ යුතු යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය. උපාධි ලබාදෙන පෞද්ගලික ආයතන උපාධි විකුණන අධ්‍යාපන කඩ ලෙස අරුත් ගැන්වීම සමාජයට කරන අසාධාරණයක් බව මෙම දෙසුමේදී ප්‍රකාශ විය.
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය මෙරට විවෘත මනසින් කල්පනා කරන සියලු දෙනා අවධානය දැක්විය යුතු කාගේත් ඇස් ඇරවන කතාවකි. අද මෙරට උසස් අධ්‍යාපනයට වාර්ෂික වරම් ලබන්නේ සිසු සිසුවියන් 40,000කට ආසන්න සංඛ්‍යාවකි. එහෙත් උසස් පෙළ සමත්වන සංඛ්‍යාව එමෙන් දෙතුන් ගුණයක් ඉක්මවයි. ඔවුන්ට මුදලක් ගෙවා හෝ මෙරට උසස් අධ්‍යාපනයට අවස්ථාවක් නැත. විශේෂයෙන් එදා සිට මෙරට වාමාංශික දේශපාලනය මෙම පෞද්ගලික අධ්‍යාපන සංකල්පයට විරුද්ධය. එහෙත් මෙම විරෝධතාවලට රටේ සරසවි ප්‍රජාව පොළඹවන නායක කාරකාදීන් සියල්ලන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන්නේ උසස් විදේශ (පෞද්ගලික) සරසවිවලය. මේ බව නොදන්නා අප රටේ ආවේගශීලී සරසවි යෞවනයෝ විරෝධතා කොඩිය රැගෙන පෞද්ගලික සරසවිවලට විරෝධය පාති.
ඒ අතර මෙරට මුදල් හදල් ඇති පවුල්වල දරුවන් 2500ත් 5000ත් අතර පිරිසක් වාර්ෂිකව විදේශීය විශ්වවිද්‍යාලවලට මුදල් ගෙවා ඇතුළු වෙති. ඉන්දියාව, චීනය, බංග්ලාදේශය, නේපාලය, ඔස්ට්‍රේලියාව, බෙලරූස්, කැනඩාව ආදී රටවල පෞද්ගලික සරසවි මෙරට දරුවන් අතර ඉතා ජනප්‍රියය.
මේ අධ්‍යායන කටයුතු සඳහා දළ වශයෙන් එක් දරුවකු වසරකට රුපියල් ලක්ෂ 20ත් 25ත් අතර මුදලක් වැය කළ යුතුය. බ්‍රිතාන්‍ය, අමෙරිකාව හෝ ඔස්ට්‍රේලියාව යන රටවලට නම් එක් සිසුවකු වසරකට ලක්ෂ 35ත් 40ත් අතර මුදලක් වැය කළ යුතුය. එම මුදල් ගෙවිය යුත්තේ ඩොලර්වලිනි. රටට ඩොලර් නැති කාලයේ පවා උසස් අධ්‍යාපනය සඳහා විදේශවලට ඇදී යන ඩොලර් ප්‍රමාණය ඉතා විශාලය.
මෙයට පෙර කළුතර දිසාවේ මතුගම ප්‍රදේශයේ මනිපාල් ජාත්‍යන්තර සරසවියේ ශාඛාවක් පිහිටුවීමට පසුගිය රජය කාලයේ තැත් කළේය. එය උද්ඝෝෂකයෝ කඩාකප්පල් කළෝය. සයිටම් සරසවිය පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට යම් තල්ලුවක් දෙන්නට උත්සාහ කළද එයට එල්ල වූ දහසකුත් එකක් විරෝධතා නිසා සයිටම් සරසවියද අඩාල විය. මේ සියල්ලේ ප්‍රතිඵල භුක්ති විඳින්නේ මෙරට සිසු පරපුරය.
මෙරට ප්‍රථමික අධ්‍යාපනයට හා උසස් අධ්‍යාපනයට දළ ජාතික ආදායමෙන් සියයට 7.5ක් පමණ වැය කරන්නට මෙවර අයවැයෙන් ඉතිහාසයේ පළමු වරට ප්‍රතිපාදන වෙන් කෙරුණි. එසේම රට පුරා ක්‍රියාත්මක පාසල් 10,500ක පමණ අධ්‍යාපනයේ ප්‍රමිති උසස් කිරීමටද රජය සෑහෙන උත්සාහයක් දරමින් සිටී. එසේම මෙවර අයවැයෙන් රට පුරා නව ජාතික පාසල් දහසක් ඇති කිරීමටද යෝජනා කර ඇත. ඊට රුපියල් මිලියන 2200ක්ද වෙන් කෙරුණි. ඒ ආකාරයට පාසල් අධ්‍යාපනයේ නිම් වළළු පුළුල් කළද උසස් අධ්‍යාපනයේ නිම් වළළු පුළුල් නොවීම ඛේදයට කරුණයකි.
කොතලාවල සරසවියේ උපාධි ප්‍රදානෝත්සවයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පෞද්ගලික සරසවි විරෝධය ජාතියේ ඛේදවාචකයක් පමණක් නොව ජාතික අපරාධයක් බවද සඳහන් කළේය. එසේ නම් ඒ ජාතික අපරාධය වැළැක්වීමට රජය පෙරමුණ ගත යුතුය. සමාජයේ වගකිව යුතු ඔබ අප සැමටද එම ප්‍රයත්නයට ධෛර්යය සැපයීමේ යුතුකමක් හා වගකීමක් පැවරී තිබේ.