2022-2023 මූල්‍ය වර්ෂය අවසන් වනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ඇති සමුච්චිත අලාභය රුපියල් බිලියන හය ලක්ෂය ඉක්මවා ඇති බව පසුගිය දිනවල මාධ්‍ය මගින් අනාවරණය කෙරිණ. ඇති වී තිබෙන මෙම තත්වය සමග ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලිකකරණය කෙරෙහිද අවධානය යොමුව ඇති බව පෙනේ. රාජ්‍ය ආයතන පාඩු ලැබීම, පෞද්ගලිකකරණය, රටේ ආර්ථිකය යන කාරණා ගැඹුරින් විමසා බැලූ විට ඒවා දිගුකලීන හා කෙටි කාලීන ගැටලු - විසඳුම් වශයෙන් විග්‍රහ කොට බැලිය හැකිය.
2008 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය රජයට පවරා ගත්තේ එම ආයතනය ඉතාමත්ම කාර්යක්ෂමව පැවැති අවස්ථාවකය. එම පවරා ගැනීම ද දේශපාලනික හේතුවක් මත සිදු වූ බව පැහැදිලිය.
මෙම පවරා ගැනීමෙන් පසු දුර්වල කළමනාකරණයත් අකාර්යක්ෂමතාවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙම තත්වයට පත්වීමට හේතු වූ බව පෙනේ. ඒ හැරෙන්නට ජාතික අනන්‍යතාවක් ඇතිවන පරිදි කටයුතු කිරීමට ද එම ආයතනය අසමත් විය. ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ තරම් පාඩු ලබන තත්වයට පත්වීමට බලපෑ දිගු කාලීන හේතු ලෙස මෙම මූලික කරුණු කිහිපයක් පෙන්වා දිය හැකිය.
ශ්‍රී ලංකන් නැවත කරළියට පැමිණියේ මීයකුගේ ප්‍රශ්නයකිනි. සේවකයන්ගේ සේවා වාර්තා ගැටලු සහ තාක්ෂණික ගැටලුද මේ හරහා සාකච්ඡාවට ලක්විය. මෙවැනි වාතාවරණයක දී සිදුවන්නේ ආයතනයේ කීර්තිනාමය පළුදු වීමය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ලංකාව සම්බන්ධයෙන් අවධාරණය කළ ප්‍රධාන කාරණා දෙකක් පැහැදිලිය. එකක් නම් කාර්යක්ෂමතාව පිළිබඳ අර්බුදයයි. අනෙක වංචා - දූෂණ පිළිබඳ අර්බුදයයි. මේ අනුව නිතරම සාකච්ඡාවට ලක්වන්නේ රටේ මූල්‍ය විනය පිළිබඳ ප්‍රශ්නයයි.
මෙවැන්නක් සාකච්ඡාවට ලක් වෙමින් තිබෙන අවස්ථාවක ශ්‍රී ලංකන් ගුවන් සේවය නැවත පෞද්ගලිකකරණය කිරීමේ අදහස මතුවී ඇත. පෞද්ගලිකකරණයෙහි අර්ථය යම් කිසි දේපොළක හෝ ව්‍යාපාරයක හෝ අයිතිය රජය මගින් පෞද්ගලික අංශයට ලබා දීමකි. එය ක්‍රියාවලියකි. එහෙත් රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කිරීමේ විනිවිදභාවය සම්බන්ධයෙන් අපි පුළුල් විග්‍රහයකට යා යුතු වෙමු. එසේ පෞද්ගලිකකරණය කිරීමේ දී රාජ්‍ය මූල්‍ය විනයගරුක බව කෙරෙහි ප්‍රධාන අවධානය යොමු කළ යුතුය. ලංකාවේ පෞද්ගලිකකරණය ක්‍රියාවලිය කෙරෙහි අවධානය යොමු කළහොත් ඊට තෝරාගත් ආයතන හා හේතු කවරේද යන්න විමසීම වටී. පසුගිය වසර 75 තුළම රජයේ ව්‍යවසාය කළේ ලාබ ලබන ආයතනවලින් පාඩු ලබන ආයතනවල වියදම් පියවා දැමීමය. එහෙත් එම ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගෙන යාම හිතකර නොවේ.
එය එසේ නොකළ යුත්තේ ලාබ ලබන ආයතනවල ආයෝජන අවස්ථා, නවෝත්පාදන අවස්ථා එයින් මඟ හැරී යාමය. එහෙත් මෙතෙක් කලක් භාණ්ඩාගාරය කළේ ලාබ ලබන ආයතනවලින් පාඩු ලබන ආයතනවලට මුදල් යෙදවීමයි. එය රාජ්‍ය මූල්‍ය විනය සම්බන්ධයෙන් බරපතළ තත්වයකි.
පෞද්ගලිකකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමුවීමට තවත් හේතුවක් නම් රාජ්‍ය සතු ව්‍යාපාර දේශපාලනීකරණය වීමය. ඊට පක්ෂපාතීව රැකියා අවස්ථා ලබාදීමය. අවාසනාවන්ත ලෙස රාජ්‍ය ආදායමෙන් සියයට 80-85ක් පමණ සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට යොදා ගැනේ.
මෙරට රාජ්‍ය අංශයේ සේවක අගය මිලියන 1.4කි. මේ බර අඩු කිරීමේ එක් විකල්පයක් ලෙස පෞද්ගලිකකරණය තෝරා ගැනේ. එහෙත් මේ විකල්පය සම්බන්ධ තීරණ ගැනීමේ දී මනා සැලසුම් සහගත බවක් අත්‍යවශ්‍යය. එයින් රජයේ අරමුණු ඉටු වන්නේද යන්න සලකා බැලිය යුතුය.
ආයතන පෞද්ගලිකකරණය කිරීමෙන් ලැබෙන මුදල රටේ ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමට භාවිත කළ යුත්තේ කෙසේද? යන්නට රජයට නිශ්චිත වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. එසේම අධ්‍යාපනය, සෞඛ්‍යය, යටිතල පහසුකම් ආදිය සම්බන්ධයෙන් පැහැදිලි විශ්ලේෂණයක් රජයට තිබිය යුතුය. අවාසනාවන්ත ලෙස මේ වන විට ලංකාවේ දිළිඳු ජනගහනය මිලියන හතරකින් වැඩි වී ඇත.
ලිබරල්කරණය ගැන දකුණු ආසියාවෙන් මුලින්ම කතා කළේ ශ්‍රී ලංකාවය. එසේ සාකච්ඡා කෙරුණු රටක මේ වනවිට පෞද්ගලිකකරණය සම්බන්ධයෙන් වැඩි වැඩියෙන් කතා කරන්නට සිදුවී තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධව ඇති වී තිබෙන කතා බහ ඊට එක උදාහරණයක් පමණි. මාගේ යෝජනාව නම් ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලිකකරණය කරන අදහසක් ඇත්නම් ඒ ගැන මීට වඩා විවෘත මහජන සංවාදයක් ඇතිවිය යුතු බවය.
දැනටත් ලංකාවේ සාර්ථක ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ සිටිති. ශ්‍රී ලංකන් වැනි ආයතනයක් පෞද්ගලිකකරණය කරන්නේ නම් එය ලංකාවේ ව්‍යවසායකයකුට මිලදී ගත නොහැකිද? එසේ මිලදී ගෙන පවත්නා අභියෝගයට යම් පිළිතුරක් සෙවීමට දායක විය නොහැකිද? එසේත් නැතිනම් මෙරට ව්‍යවසායකයන් කිහිපදෙනෙකු හෝ එකතු වී ඒ සම්බන්ධයෙන් යම් උත්සාහයක් දැරිය නොහැකිද? චීනය වැනි රටවල එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක වේ. එයින් විදේශීය සමාගම්වලටම රාජ්‍ය ආයතන විකිණීමේ ප්‍රවණතාවට දේශීය හැඩයක් ලැබෙනු ඇත.
සමාජ ආර්ථික දේශපාලන වශයෙන් මතුවී ඇති බොහෝ අර්බුදවලට ප්‍රධාන කරුණක් නම් ආකල්පවල ඇති ගැටලුවයි. රටේ ජනතාවගේ ආකල්ප යහපත් නොවීමත් වංකභාවයත් රට ගැන සැබෑ හැඟීමෙන් ක්‍රියා නොකිරීමෙන් කාලයක් තිස්සේ මතු වෙමින් පැමිණි අර්බුදවලට පැහැදිලිවම බලපා තිබේ. එහෙත් චීනය, ඉන්දියාව වැනි රටවල් ආර්ථික, දේශපාලන අර්බුද ජයගැනීමේ දී වැඩි වශයෙන් බලපෑවේ පාලකයන්ගේත්, නිලධාරීන්ගේත්, ජනතාවගේත් ආකල්ප බව පෙනේ. එය අපි පාඩමකට ගත යුත්තෙමු.
ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළු මෙරට ප්‍රධාන සමාගම් ගැන කතා කළත් එය රටේ ජනතාවගේ සම්පතක් බව ජනතාවටම අවබෝධයක්, දැනුමක්, තේරුමක් හෝ හැඟීමක් නොමැති තත්වයක අපි ජීවත් වෙමු. එබඳු ජනතාවක් බිහිවීමේ පසුබිම නිර්මාණය කළේ ගුණාත්මකභාවය වෙනුවට ප්‍රමාණාත්මක භාවයට තැන දුන් මේ රටේ අධ්‍යාපන ක්‍රමයයි. රටට ජාතික සම්පත්වලට ආදරය කරන පිරිසක් මේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහි වන්නේ නැත. එවිට ආකල්ප වර්ධනයක් ද අපේක්ෂා කළ නොහැකිය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අත් වූ ඉරණම මෙරට සමාජ ආර්ථික වශයෙන් අවධානයට ගත යුතු වැදගත් සිද්ධි අධ්‍යයනයකි. එය අප පාඩමකට නොගත හොත් තවදුරටත් මෙවැනි අර්බුද පැමිණීම වැළැක්විය නොහැකිය.මෙහිදී චීනය අනුගමනය කළ ව්‍යවසායකත්වකරණ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම ඉතාම වැදගත්ය. අපේ රටේ ව්‍යවසායකයන් පුරුදුව සිටින්නේ තනි තනිව ව්‍යාපාර ගොඩනැගීමටය. එහෙත් චීනයේ විශේෂ ව්‍යාපාර මොඩලය නම් තනි තනිව නොව කිහිප දෙනෙකු එකතු වී දේශීය වශයෙන් ව්‍යාපාර ගොඩනැගීමය. ඒ නිසාම එම ව්‍යාපාර ගොඩනැගීමේ දී තමන්ගේය යන හැඟීමක් කණ්ඩායම් හැඟීමක් ඔවුන් තුළ ඇති වේ.
ලංකාවේ ද එබඳු හැඟීමක් හා ව්‍යාපාර නාම ප්‍රචලිත කිරීමේ අනන්‍යතා ගොඩනැගුණු අවස්ථා අපි මීට පෙර ඉතිහාසය තුළ දැක ඇත්තෙමු. විලියම්ස් හන්දිය, සල්ගාදු හෝටලය, දාස ව්‍යාපාර ආදිය අපට අද අහිමි වී ඇතත් එහි ජාතික වශයෙන් එදා අනන්‍යතාවක් ගොඩනැඟී තිබිණ. එහෙත් ඒ හැඟීම ආකල්පමය වශයෙන් අද වනවිට පරිහානියට පත්වී තිබේ. එය ආර්ථික දියුණුව, සමාජ දියුණුව ගැන කතා කරන මේ යුගයේ ඉතාම අවාසනාවන්ත තත්වයකි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයම උදාහරණයට ගතහොත් එය මේ අර්බුදයෙන් ගොඩගන්නේ කෙසේද? යන්නට දේශපාලනික පක්ෂ – විපක්ෂ වශයෙන් යම් සාකච්ඡාවක් එකඟතාවක් සංවාදයක් තවමත් ගොඩ නැගී නැති එක් හේතුවක් වන්නේ ඉහතින් දැක් වූ ආකල්පමය කාරණයය. මේ තරම් වැදගත් ජාතික සම්පතක් අර්බුදයට යන අවස්ථාවක අඩුම වශයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය විශ්ලේෂණාත්මකව සාකච්ඡා කොට කාරක සභාවක් පත්කොට මීට විකල්ප යෝජනා කිරීමටවත් උනන්දුවක් ඇති බවක් නොපෙනේ.
මිලියන 1.4ක් මෙරට රාජ්‍ය සේවකයෝ සිටිති. ඔවුන්ගෙන් සියයට 95ක් කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූවෝ වෙති. එහෙත් රාජ්‍ය සේවයේ අදවන විට දැකිය හැකි නිලධාරිවාදය රටේ ආර්ථික කාරණාවලදී ද සෘජුව බලපා ඇත. රාජ්‍ය සේවාව පිළිබඳ ජනතාවගෙන් බහුතරය අතෘප්තිමත්ව සිටිති. මූල්‍ය විනය නැමැති කාරණයේදී ද මේ තත්වය බලපෑම් කරයි. ආකල්පමය ගැටලු නැවත මතු වී එයි.
රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය පිළිබඳව නැවත අපට වැඩි වශයෙන් කතා කරන්නට ද එය හේතුවක් වෙයි. ආයතනයක් පෞද්ගලිකකරණය කිරීමට පෙර මෙරට ව්‍යවසායකයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කොට ඒ කමිටුව මගින් අවශ්‍ය තීරණ ගැනීම සුදුසු බව මගේ යෝජනාවයි.
මගේ පෞද්ගලික විශ්වාසය නම් මේ රටේ පෞද්ගලිකකරණය කළ යුතු ඇතැම් ආයතන තිබෙන බවයි. උදාහරණයකට මෙරට දුම්රිය සේවය දැක්විය හැකිය.
පෞද්ගලිකකරණය යනු රටේ ජාතික සම්පත් විකිණීමක්ය යන වැරැදි මතයක් ඇතැම්හු රට තුළ ව්‍යාප්ත කරති. වැදගත් කරුණ නම් පෞද්ගලිකකරණය යනු දේපොළ විකිණීමක් නොවේ. එහෙත් රජයේ ඇතැම් ආයතන පෞද්ගලිකකරණය කළ යුතුද? යන්න නැවත සිතා බැලිය යුත්තේ ඒවා ජාතික වශයෙන් වඩාත් වැදගත් කාර්ය භාරයක් ඉටු කරන බැවිනි.
(*** සටහන – ගාමිණී කන්දේපොළ)