විදේශ විනිමය සංචිත බරපතළ ලෙස පහත වැටීමෙන් රටෙහි ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හා ඒ අර්බුදයෙන් ගොඩ ඒමට රජය අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳව සුදු මෙන්ම කළු විග්‍රහයන් ද ඉදිරිපත් වෙයි.
වෙරිටේ රිසර්ච් ලංකාවේ පමණක් නොව සමස්ත ආසියාවේම රටවල ආර්ථික, නීති හා ජනමාධ්‍ය කේෂ්ත්‍ර පිළිබඳ පර් යේෂණ කරන ස්වාධීන ආයතනයකි. තම පර් යේෂණවල දත්ත හා විශ්ලේෂණ විවිධ රටවල ප්‍රතිපත්ති සම්පාදකයන්ට සපයන ඒ ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයා වන්නේ ආචාර්ය නිශාන් ද මැල්ය.
ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධිය දිනාගත් ඒ මහතා ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය දිනාගෙන තිබෙන්නේ මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියෙහි. විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒමට ලංකා රජය ගෙන තිබෙන ක්‍රියා මාර්ග ගැන ආචාර්ය මැල් මෙසේ කරුණු දක්වයි.
විදේශ විනිමය හිඟයක් නිර්මාණය වී තිබෙන්නේ ඇයි ද යන්න ගැන රට අභ්‍යන්තරයේ බැරෑරුම් ලෙස සාකච්ඡා වී නැති බව මගේ තක්සේරුවයි. මා දකින ආකාරයට මේ ප්‍රශ්නයට මූලික වී තිබෙන්නේ රජයේ ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන රට දෙස බලන අලුත් ආකාරයන්ය. ඇත්තෙන්ම මෙය ආරම්භ වන්නේ ජාත්‍යන්තරය ලංකාව ගැන කරන තක්සේරුව මතය.
2019 දෙසැම්බර් මාසයේ සිට අපේ රජය අනුගමනය කරන්නේ අලුත් බදු ප්‍රතිපත්තියකි. ඒ හේතුවෙන් දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට තුනකින් රජයේ බදු ආදායම අඩුවිය. නිවැරැදි ලෙස තක්සේරු කළොත් එය සියයට තුනක් නොව සියයට හතරකි.
2019 දෙසැම්බරයට පෙර පැවැති බදු ආදායම දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 12.6කි. 2019 දුන් බදු සහන නිසා එය සියයට 8.6කට පමණ කඩා වැටිණි. මගේ තක්සේරු කිරීම් අනුව රාජ්‍ය බදු ආදායම රුපියල් බිලියන 2000 කට වැඩි ගණනකින් අඩු විය.
රජයේ බදු ආදායම එලෙස අඩුකර ගැනීම හේතුවෙන් ණය ගෙවීමට රජයට තිබෙන හැකියාව ඉතා අවම වනු ඇතැයි ජාත්‍යන්තරය තක්සේරු කළේය. වියදම් අඩු නොකර ආදායම් අඩුකර ගත්විට ඇතිවන්නේ හිඟයකි. ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන ඉහත තක්සේරුව කළේ ඒ මතය. ලංකා රජය තමන් සතු ණය ගෙවා ගැනීමට නොහැකි වේවිය යන තක්සේරුව මත ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන ද ණය ගෙවීමේ හැකියාව අතින් ලංකාව සිටි තැනින් පහළ හෙළනු ලැබීය.
ලෝක මූල්‍ය වෙළෙඳ පොළට ගොස් ණය ගැනීමේ ප්‍රතිපත්තියක් ලංකාව ආරම්භ කළේ 2008 දීය. ඒ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මගිනි. එසේ ගෙන තිබෙන ණය ප්‍රමාණය චීනයට ගෙවීමට තිබෙන ණයවලට වඩා හතර ගුණයකින් පමණ විශාලය. අපට ණය ගෙවීමට හැකියාවක් නැතිය කියන තක්සේරුවට පැමිණි විට එසේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මගින් ණය ගැනීම සඳහා වැඩි පොලියක් ගෙවිය යුතුය. එය සරල සිද්ධාන්තයකි.
පොහොසතකු බැංකුවකින් ණය ඉල්ලුවහම බැංකුව ඔහුට ණය දෙන්නේ අඩු පොලියකටය. එහෙත් ඒ බැංකුව දුප්පතකුට ණය දෙන්නේ වැඩි පොලියකටය. ඊට හේතුව දුප්පතාගේ ණය ගෙවීමේ හැකියාව අවිනිශ්චිත නිසාය. දුප්පතුනට වැඩි පොලියකට ණය දෙන්නේ ඔවුනතරින් එක් අයකු හෝ ණය ගෙවීම පැහැර හැරියහොත් බැංකුවට වන පාඩුව අවම කර ගැනීම සඳහාය.
ඒ සිද්ධාන්තය පුද්ගලයන්ට සේම රටකට ද අදාළය. වර්තමාන මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයාව සිටිය දී මිලදී ගත් ග්‍රීක බැඳුම්කරවල පොලිය ඉහළ ගියේ ද මේ සිද්ධාන්තය මතය. එදා ඒ ග්‍රීක බැඳුම්කරවලට වැඩි පොලියක් නියම වූයේ ද ග්‍රීක රාජ්‍යයට ඒ ණය ගෙවා ගැනීමට නොහැකි වේය යන ජාත්‍යන්තර මූල්‍ය සංවිධානවල තක්සේරුව මතය.
ග්‍රීක රාජ්‍යයට ඒ ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ඒ තක්සේරුව සැබෑවිය. එමගින් ලංකාවට වූ පාඩුව අති විශාලය. අද ලංකාව සිටින්නේ එදා ග්‍රීසිය සිටි තත්ත්වයේය. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පෙළෙන් ගන්නා ණයවලට වැඩි පොලියක් ගෙවිය යුතුය. එහිදී රජය තීරණය කළේ වැඩි පොලියට ණය නොගෙන සිටීමටය. එසේ ණය නොගෙන සිටියදී තිබෙන ණය ගෙවද්දී අපේ විදේශ විනිමය සංචිත ශීඝ්‍රයෙන් අඩුවෙයි. අතීතයේ අප කළේ ණය ගෙවද්දී තවත් ණය ගැනීමය. අද එසේ නොකරන්නේ අධික පොලියක් ගෙවීමට සිදුවන නිසාය. අපට එසේ වූයේ වියදම් අඩු නොකර ආදායම් අඩුකර ගැනීම නිසාය. මේ තත්ත්වය මත අඩු හෝ සාධාරණ පොලියකට ලංකාවට ණය දීමට දැන් ජාත්‍යන්තරය අකමැතිය.
සියල්ල මෙසේ සිදුවන්නේ රටේ ආර්ථික කළමනාකරණයේ පවතින දුර්වලතා මතය. ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොළෙන් ණය ගැනීම අත්හිට වූ රජය එමගින් ඇතිවන ප්‍රශ්න අවමකර ගැනීමට ආනයන අඩු කළේය. ආනයන එසේ සීමා කිරීම නිසා අපනයන කර්මාන්තවලට දුෂ්කරතා පැමිණ තිබේ. ඊට හේතුව අපේ බොහෝ අපනයන, ආනයනය කරන අමුද්‍රව්‍ය මත රඳා පවතින හෙයිනි. ඒ නිසා ආනයනය කිරීමට නොහැකි තැන අපනයනය කිරීම ද දුෂ්කර වෙයි. අපනයන අඩුවන හෙයින් ආනයනය සීමා කිරීම ද විසඳුමක් නොවෙයි. ප්‍රශ්නය නිර්මාණය වන්නේ කෙසේ ද යන්න දැන් ඉතා පැහැදිලිය.
ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොළෙන් ණය ගැනීම නතර කළේ කිසිම විකල්පයක් නැතිවය. ස්වෛරීත්ව බැඳුම්කර මගින් ජාත්‍යන්තරයෙන් ගන්නා ණයට ඉහළ පොලියක් ගෙවීමට සිදු වූයේ ණය වර්ගීකරණය කරන ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම්වලින් ලංකාව පහළට ඇද දැමූ නිසාය. ජාත්‍යන්තරයේ ඇති වී තිබෙන මේ තත්ත්වය සුබ දිශාවකට රැගෙන යාමට අප දක්ෂ විය යුතුය. කළමනාකරණය හෙවත් මැනේජ්මන්ට් කියන්නේ එයටය. ජාත්‍යන්තර තක්සේරු නිවැරැදි කළ හැක්කේ අපේ දක්ෂතාව මත මිස අනුකම්පාව අයැදීමෙන් නොවේ. එහෙත් දැනට පෙනෙන්නේ තවමත් අප අදක්ෂයන් බවය.
ණය නොගනිමින් ණය ගෙවීමේ ප්‍රතිපත්තිය දිගු කාලයක් පවත්වාගෙන යා නොහැකිය. බංග්ලාදේශයෙන් ඍජු ණයක් ගත්තේ අඩුව පියවා ගැනීමටය. එසේම ඉන්දියාවෙන් හා චීනයෙන්ද මුදල් ඉල්ලා තිබේ. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මගින් ණය ගැනීමට නොහැකි නිසා රටවල් සමග ඍජුව සාකච්ඡා කර කෙටි කාලීන ණය ගැනීමේ ප්‍රතිපත්තියකට දැන් මාරු වී සිටියි. එය පුදුම දෙයක් නොවේ. එහෙත් පවතින විදේශ විනිමය සංචිත තවත් ශීඝ්‍රයෙන් පහළ ගියොත් රුපියලේ අගයත් ඊට සාපේක්ෂව ශීඝ්‍රයෙන් පහළ බසියි. එය එසේ වුවහොත් ආනයන වියදම තවත් ඉහළ යයි. බඩු මිල ද ඉහළ නගියි. එය රජය නොදන්නවා විය නොහැකිය.
දිගු කාලයක් කෙටි කාලීන ණය ගෙන විදේශ විනිමය හිඟය පියවා ගත හැකි නම් දැනට අපට අහමිව තිබෙන ජාත්‍යන්තර විශ්වාසය යළි දිනාගැනීමට අප දක්ෂවිය යුතුය. ලංකාව ණය ගෙවීමේ හැකියාව තිබෙන රටක් බව අප ජාත්‍යන්තරයට ප්‍රදර්ශනය කළ යුතුය. සිඳුනු ඒ විශ්වාසය යළි දිනාගත හොත් රටවල්වලින් ඍජුව කෙටිකාලීන ණය ගැනීම සාර්ථකය කියා නිගමනය කළ හැකිය. ඒ විශ්වාසය දිනාගත නොහැකි වුවහොත් මේ ක්‍රමය ද අසාර්ථකවීමේ අවදානමක් පවතී. වැටී සිටින වළෙන් අපට ගොඩයා හැක්කේ කෙටි කාලීන ණය ගැනීමෙන් නොව ගන්නා ඒ ණය ඔස්සේ යළිත් ජාත්‍යන්තර විශ්වාසය දිනාගත හොත් පමණකි.
කොරෝනා නිසා අපට පොඩි වාසියක්ද වී තිබේ. ඒ වාසිය නම් ඉල්ලුම අඩුවීමය. මුදල්වලට තිබෙන ඉල්ලුම ද අඩු වී තිබේ. පෞද්ගලික අංශයේ ණය වැඩිවීමේ අනුපාතය ද (Credit Growth) ඉතාමත් අඩු වී තිබේ. ඉන් කියැවෙන්නේ අලුත් ආයෝජනවලට ණය ගැනීම ඉතා අඩු වී තිබෙන බවය. ඒ නිසා පොලී අනුපාත ද අඩු වී තිබේ. මහ බැංකුවෙන් සියයට 9 පොලියට දේශීය වෙළෙඳ පොළට නිකුත් කළ බැඳුම්කර දැන් විකුණන්නේ සියයට පහට හයටය. කාලයක් ඒවායේ පැවැති පොලී අනුපාතය සියයට 12ක් තරම් ඉහළ මට්ටමක පැවැතිණි.
එහෙත් දැන් එය වේගයෙන් පහළ බැස තිබේ. ඉන් කියැවෙන්නේ රජය රට ඇතුළෙන් ණය ගන්නේ ඉතා අඩු පොලියකට බවය. ඒ නිසා ණය ගෙවීමේ හැකියාව තවත් ටිකක් ශක්තිමත් වෙයි. එය රජයට වාසියක් වුවත් ජනතාවට ප්‍රශ්නයකි.
රජය දැන් රටේ ජනතාවගෙන් ණය ගන්නේ අඩු පොලියකටය. එහෙත් උද්ධමනය ඉහළ නංවා තිබේ. සියයට තුනක පමණ තිබූ උද්ධමනය දැන් සියයට 6.5ක් දක්වා ඉහළ නැග තිබේ. ඒ අනුව රජයට ණය දෙන පුද්ගලයන්ට දැන් ලැබෙන නියම පොලිය බින්දුවකි. රජය ජනතාවගෙන් සියයට පහක හයක පොලියකට ණය ගෙන උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළ නැංවීමෙන් එය එසේ සිදු වී තිබේ. රජය ගෙවන පොලිය උද්ධමනයෙන් කැපී යයි. ඉන් ව්‍යංගාර්ථවත් වන්නේ රජය ගන්නා ණය සඳහා ජනතාවට පොලියක් නොගෙවන බවය. පවතින තත්ත්වය රජයට වාසියක් බව මා කියන්නේ එහෙයිනි.
රටේ දැනට පවතින වාතාවරණය මත පිට රටවලින් ණය ගැනීම අඩු කිරීම හොඳ අදහසකි. වර්තමාන රජය බලයට පත්වීමට පෙර සිටම මහ බැංකුවේ ප්‍රතිපත්තිය ද එයම විය. එය දිගු කාලීනව ඉතා හොඳ තිරසාර ප්‍රතිපත්තියකි.
විදෙස් රටවලින් ගන්නා ණය ප්‍රමාණය සියයට තිස් ගණනකට අඩුකරගත යුතු බව මහ බැංකුවේ ප්‍රතිපත්තියයි. එය ඉතා හොඳ ප්‍රතිපත්තියකි. වර්තමාන රජයේ ප්‍රතිපත්තිය වන්නේ එය ක්‍රමක්‍රමයෙන් කිරීම නොව කෙටි කාලීනව කිරීමය. ශීඝ්‍රයෙන් එය කිරීමට යාම නිසා වෙනත් ප්‍රශ්න ද ඇති වී තිබේ. ආනයන සීමා කිරීම එකකි. අපනයනවලට ප්‍රශ්න ඇතිවීම තවත් එකකි. රුපියල අවප්‍රමාණය වන වේගය ඉහළ යාම තවත් ප්‍රතිඵලයකි. ඒ නිසා උද්ධමනය ඉහළ යාම තවත් අතුරු ප්‍රතිඵලයකි. ඒ නිසා මේ ක්‍රමයෙහි එතරම් තිරසාර බවක් නොපෙනෙයි. පුද්ගලයකුට සේම රටකට ද විශ්වාසය ඉතා වැදගත්ය. විශ්වාසය නැති වූ විට වියදම වැඩි වෙයි. විශ්වාසය අඩුකම පියවා ගැනීමට යන වියදම ඉතා විශාලය. දුප්පතාට වැඩි පොලියකටත් පොහොසතාට අඩු පොලියකටත් ණය දීමෙන් මා කියන ඒ කාරණය තේරුම් ගත යුතුය.
මේ කාරණය පුද්ගලයකුට සේම රටකට ද අදාළය. එහෙයින් මේ අවස්ථාවේ දී රජය කළ යුතු ලොකුම කටයුත්ත නැති වූ විශ්වාසය යළි ගොඩනගා ගැනීමය. ආර්ථිකය ගොඩ නැංවිය හැක්කේත් ජනතාවට සහන සැලසිය හැක්කේත් එමගිනි. එහෙයින් රජය පළමුව ජාත්‍යන්තරයෙහි රටේ ආර්ථික ප්‍රතිපත්ති හා ආර්ථික කළමනාකරණය පිළිබඳව විශ්වාසය ගොඩ නැගිය යුතුය. රජයේ ප්‍රතිපත්ති නිතර වෙනස් වීම ඉතා නරකය. ජාත්‍යන්තරයෙහි අවිනිශ්චිතතාවක් ඇතිවීමට මෙසේ ප්‍රතිපත්ති වෙනස්වීම ද හේතුවකි.
අවිනිශ්චිතතාවෙන් ගොඩ නැගෙන්නේ අවිශ්වාසයකි. අවිශ්වාසයට ගෙවිය යුතු වන්දිය හා වියදම ඉතා විශාලය. අද රට තිබෙන්නේ එතැනය. විදෙස් රටවලින් ගන්නා ඍජු ණයට කොපමණ පොලියක් ගෙවනවාද කියා රජය හෙළි නොකරයි. රටට හා පුරවැසියන්ට ඒ තොරතුරු හෙළි නොකිරීම වරදකි. බැඳුම්කර මගින් ණය ගන්නා විට ගෙවන පොලිය කාටත් දැනගත හැකිය. බංග්ලාදේශයෙන් ණය ගත්තේ කොපමණ පොලියකටදැයි රජය හෙළි නොකරයි. එය ජනතාවගෙන් සැඟවීම වරදකි. මක් නිසාද යත් ඒ ණයත් පොලියත් ගෙවිය යුත්තේ ජනතාවම වන බැවිනි.
ජනතාවට බලපාන සියල්ල සිදුවන්නේ රජයේ ප්‍රතිපත්ති සැලසුම් හා කළමනාකරණය මතය. රජයේ ප්‍රතිපත්ති අවිනිශ්චිත වූ කල ඊට වැඩි වන්දියක් ගෙවීමට සිදුවන්නේත් වැඩි වියදමක් දැරීමට සිදුවන්නේත් ජනතාවටය. එහෙයින් පළමුව රජයට තිරසාර ප්‍රතිපත්ති හා සැලසුම් තිබිය යුතුය. එහෙත් රජයට තිරසාර සැලැස්මක් නැත. සියල්ල අවිනිශ්චිතය. ආර්ථික කළමනාකරණය ගැන පමණක් නොව කොරෝනා වසංගතය කළමනාකරණය සම්බන්ධයෙන් ද පවතින්නේ ඒ අවිනිශ්චිතතාවයයි. සංචරණ නීති පැනවීම, හා ලිහිල් කිරීම ගැන අද කියන දෙය හෙට වෙනස් කරයි. මේ පැයේ කියන දෙය ඊළඟ පැයේ දී වෙනස් කරයි. ආර්ථිකය ගැන තීන්දු ගන්නේත් එලෙසිනි.
රජය තවමත් තම ආර්ථික සැලැස්ම ඉදිරිපත් කර නැත. ඇත්තෙන්ම නම් දැන් රජයට සැලැස්මක් තියෙනවද? නැතිද? කියාවත් කිසිවෙක් නොදනිති. වරින් වර ඉදිරිපත් කරන අදහස් ද විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරන ඒවා නොවේ. ඉන් සිදුවන්නේ අවිශ්වාසය තව තවත් තහවුරුවීමය. එය රටට ඉතා හානිකරයි. ප්‍රතිපත්තියක් සැලැස්මක්. විශ්වාසයක් විශ්ලේෂණයක්, කළමනාකරණයක් නැති තැන තිරසාරභාවයක් ඇතිවන්නේ කෙසේ ද? පවතින මේ තත්ත්වය නිසා රටේ ආර්ථිකය මුළුමනින්ම කඩා වැටෙනු ඇතැයි මම නොකියමි. මෙසේ කාලයක් ගැට ගසාගෙන යාමට හැකිවෙයි. අවිශ්වාසය තිබෙන නිසා ගැට ගසාගෙන යාමටත් ලොකු වියදමක් දැරීමට සිදුවන බව මගේ තක්සේරුවයි.
(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)