බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ


අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බවය. මූලිකව ගත්තොත් ලංකාවේ පවත්නේ ඉතාමත්ම සංකීර්ණ බදු ක්‍රමයකි. ආණ්ඩුවේ වියදම් සහ අය භාරය දෙස බැලූ විට ගත වූ අවුරුදු තිහ හතළිහ කාලය තුළම දිගින් දිගටම අයවැය හිඟයක් පවත්වාගෙන යන තත්වයක් අපි දැක ඇත්තෙමු. මේ අය වැය හිඟය පියවා ගැනීමට මොහෝවිට සිදු කොට තිබෙන්නේ දේශීය හෝ විදේශීය වශයෙන් ණය ලබාගැනීමය. නැතහොත් ආධාර ලබාගැනීමය.

ආණ්ඩුවේ ආදායම් සාමාන්‍යයෙන් සැලසුම් කරන්නේ බදු හා බදු නොවන ආදායම් ලෙසය. බදු හැටියට ඍජු හා වක්‍ර බදු ඇතුළත් වේ. 2019 -2022 දක්වා කාලය ගතහොත් අයවැය හිඟය සියයට 13 දක්වා වර්ධනය වූ බව දැකිය හැකිය. මේ අනුව රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට වඩා අඩුවීම කාලයක් තිස්සේ සාමාන්‍ය දෙ‍යක් බවට පත් වී තිබුණි. 2024 අයවැය ලේඛනය ඉදිරිපත් කරන විටද ආණ්ඩුව රුපියල් බිලියන 4164 ක ආදායමක් අපේක්ෂා කළේය. එහෙත් ඒ වනවිටත් අපගේ අදහස ලෙස ඉදිරිපත් කළේ එම ආදායම ආණ්ඩුවට ලබාගත නොහැකි බවය. එම අපේක්ෂිත ආදායම 2023 දී ආණ්ඩුව අපේක්ෂා කළ ආදායමට වඩා සියයට 42ක වැඩි අගයකි.

රජය තම ආදායම සියයට 42 කින් වැඩි කරගැනීමට අපේක්ෂා කරන්නේ මේ රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවකය. මහජනයා පීඩාවට පත්ව ඇති අවස්ථාවකය. දශක තුනක පමණ කාලයක සිට දිගින් දිගටම මෙම අර්බුදය වර්ධනයවීමට බලපෑ විවිධ හේතු දැකිය හැකිය. ඍජු බදු මෙන්ම වක්‍ර බදු ගත්තත් මේ රටේ ඇත්තේ සංකීර්ණ බදු ක්‍රමයක් බව අපි මුලින්ද කීවෙමු. සාමාන්‍යයෙන් බදු පැනවිය යුත්තේ සමාජ සාධාරණත්වය සහ ආර්ථික කාර්යක්ෂමතාව යන කාරණා දෙකම කෙරෙහි අවධානය යොමු කරමිනි. පුද්ගලයා, පවුල, ව්‍යාපාර, ආයතන යන මේ කිසිම කාණ්ඩයක් පීඩාවට පත් නොවන ලෙස එම බදු පැනවීම සිදු කළ යුතුය. අනෙක් පැත්තෙන් සමාජයේ ආදායම් විසමතාව, ධනය විසමතාව අවම වන ආකාරයට එම බදු පැනවිය යුතුය. එහෙත් සංකීර්ණ බදු ක්‍රමයක් පවතින ශ්‍රී ලංකාව වැනි රටක මේ අරමුණු එකක්වත් නිසියාකාරව ඉටුවන බවක් පෙනෙන්නට නැත.

පසුගිය දශක තුනක පමණ කාලයක සිට මේ දක්වා ආණ්ඩුවේ අයවැය ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වන්නේ ඇයි ද යන්න විමසා බැලූ විට ඒ සඳහා ප්‍රධාන හේතුව වන්නේ මෙම ඉලක්ක යථාර්ථවාදී නොවීමයි. පළමු වැනි හා වැදගත්ම කාරණය වන්නේ එයයි. රටේ ආර්ථිකය හැකිළෙමින් තිබෙන අවස්ථාවක සුළු හා මධ්‍ය ව්‍යාපාර සැලකිය යුතු ප්‍රමාණයක් වැසී ගොස් තිබෙන අවස්ථාවක වෘත්තිකයන්ට බදු පැනවී තිබෙන අවස්ථාවක 2024 අයවැය ඉලක්කය රුපියල් බිලියන 4164 ක් අපේක්ෂා කිරීම යථාර්ථවාදී නොවේ. එයින් පෙනෙන්නේ රටේ පවත්නා ආර්ථිකය පිළිබද නිසි වැටහීමක් නොමැතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ වෙනත් සංවිධානවල වුවමනා සහ අපේක්ෂා ඉටුකිරීම සඳහා කෘත්‍රිමව බදු ආදායම් ඉලක්ක පනවා ඇති බවය.

ලබන ආදායම් වියදම් කිරීමේ ක්‍රමවේදය ඉතාම වැදගත්ය. මේ වියදම්වල අධික නාස්තියක් දැකිය හැකිය. මෙරට ආණ්ඩුවේ වියදම් ක්‍රමවේදය සලකා බලන විට රුපියලකින් ශත 25 ක පමණ නාස්තියක් සිදුවන බව පෙනේ. නාස්තිය ඉතාම දරුණුව තිබෙන අවස්ථාවක, දූෂණ වංචා ආදිය ද අවම වී නැති තත්වයක මෙබඳු යථාර්ථවාදී නොවන ආර්ථික ඉලක්ක පැනවීමට ආණ්ඩුවට සිදුවී තිබේ. මෙම සමස්ත වියදම් ඉලක්ක නිර්මාණය වන්නේ දූෂණ, වංචා හා නාස්තිය ද එකතු වීමෙනි. එහෙත් ආණ්ඩුව තම ආර්ථික ඉලක්ක පනවා ගතයුත්තේ ආර්ථිකයේ සැබෑ ස්වරූපය, සන්දර්භය, ජනතාවගේ ආදායම් හැකියාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇතිවය. පසුගිය කාලය පුරාම අයවැය ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වූයේ එම ගැඹුරු අවබෝධය නොමැති වූ නිසාය.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ හැකි දෙවැනි කාරණය නම් බදු පරිපාලනය දුර්වලවීමය. ඍජු බදු හා වක්‍ර බදු එකතු කරන ආයතන ගතහොත් ඒවා නිසි පරිදි කළමනාකරණය වන යාන්ත්‍රණයක් අපේ රටේ දැකිය නොහැක. එක් පැත්තකින් එම යාන්ත්‍රණය අකාර්යක්ෂම බවට බොහෝ දෙනා චෝදනා නගන අතර අනෙක් පැත්තෙන් බදු එකතු කිරීමේ ක්‍රියාවලියේ ද මනා පාරදෘශ්‍ය බවක් දැකිය නොහැක.

තුන්වැනි කාරණය නම් ලංකාවේ බදු අනුකූලතාවද දුර්වල මට්ටමක පැවතීමයි. බදු පැහැරහැරීම හා මගහැරීම බොහෝ සෙයින් සිදුවන අතර එය ඍජු බදු මෙන්ම වක්‍ර බදු සම්බන්ධයෙන් ද බලපාන කාරණයකි. තවමත් අපේ රටේ තිබෙන්නේ තාක්ෂණික මාර්ගවලට නිසි ලෙස යොමු නොවුණ සාම්ප්‍රදායික තක්සේරු ක්‍රමයක් හා බදු එකතු කිරීමේ ක්‍රමයකි. වෙබ් අඩවියේ බදු පෝරමය තිබූ පමණින් තාක්ෂණික මාර්ගය සම්පූර්ණවන්නේ නැත. 2014 හෝ ඒ ආසන්න කාලයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු ආදායම් එකතු කරන ආයතන ඩිජිටල්කරණය කිරීමේ යෝජනාවක් පැවැතිණ. එහෙත් එය අද වන තුරුත් නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නැත. වක්‍ර බදු අය කර ගැනීමේ දී ද ඒකාබද්ධ අරමුදලකට බැරවන ලෙස තාක්ෂණික ක්‍රමයක් අනුගමනය කළ හැකිය. එසේ වූ විට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට බදු මග හැර යාමේ අවස්ථාව අවම වනු ඇත. ඉන්දියාව උදාහරණයකට ගෙන බැලු‍වොත් 2014 සිට මේ දක්වා ඔවුන් ලැබූ විශාල ජයග්‍රහණයක් වන්නේ නවීන තාක්ෂණය යොදා ගැනීම නිසා බදු පැහැර හැරීම් අවම කොට ගැනීමයි. විශාල බදු ආදායමක් එමගින් ලබාගැනීමට මේ කාලය තුළ ඔවුහු සමත්ව සිටිති. ඒ සඳහා ඔවුන් අනුගමනය කළේ බදු අනුපාතය ඉහළ නොදමා බදු අනුකූලතාව ක්‍රමවත් කර ගැනීමය.

බදු එකතු කිරීමේ ඇතැම් ආයතනවල පවත්නා අක්‍රමිකතා ද තවත් කාරණයකි. එසේ වූ විට සැලකිය යුතු බදු ආදායමක් ආණ්ඩුවට අහිමි වේ.

හතර වැනි කාරණය නම් ලංකාවේ පවත්නා බදු දැල එනම් බදු පදනම කෙතරම් පුළුල් එකක්ද යන්නයි. අවුරුදු 18 ට වැඩි සෑම අයකුටම බදු ෆයිල් විවෘත කරන්නැයි කී පමණින් බදු ගෙවිය හැකි හා ගෙවිය නොහැකි අය කවුද යන්න තක්සේරු වන විදියේ තාක්ෂණික වශයෙන් දියුණු ක්‍රමයක් නැත්නම් එයින් පලක් නොවේ. එයින් වන්නේ බදු ෆයිල් ගොඩගසමින් රජයේ පරිපාලන වියදම් වැඩිකර ගැනීම පමණි. එම නිසා බදු පදනම පුළුල් කරගැනීමේ නිසි ක්‍රමවේදයක් සැකසීම අවශ්‍යය. එහෙත් ගැටලු‍ව වන්නේ ආර්ථික අර්බුදයක සිටින මෙවැනි අවස්ථාවක බදු දැල පුළුල් කළ හැකිද යන්නයි.

ආණ්ඩුව තම අයවැය ඉලක්ක ඉහළ දමා ඇත්තේ රටේ ආර්ථිකය සංකෝචනය වෙමින් තිබෙන, ජනතාව පීඩාවට පත්ව ඇති, උද්ධමන බද්ධක් ද ගෙවන්නට සිදු වී ඇති අවස්ථාවකය. ජීවන වියදම තුන් හතර ගුණයකින් ඉහළ ගොස් තිබෙන අවස්ථාවකය. බදු ගෙවීමේ හැකියාව දරුණු ලෙස දුර්වල වී ඇති කාලයකය. එබඳු පරිසරයක ආණ්ඩුවේ අපේක්ෂිත අයවැය ඉලක්ක ළගා කරගැනීම යථාර්ථවාදී නොවේ. අපේක්ෂිත ආදායම සපුරාගත හැකි ඉලක්ක වෙත යාමට නම් ආර්ථික අර්බුදයට විසදුම් සෙවිය යුතුය. පසුගිය වසර දෙකක කාලය තුළ අපේ රටේ මිලියන 1.3 කට රැකියා අහිමි වී තිබේ. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයේ බරපතළ කඩා වැටීමක් සිදුව තිබේ. අප රටේ නීතිය ක්‍රියාත්මකවීම වැනි කරුණු ව්‍යාපාරිකයන්ට බලපා ඇත. සංචාරක කර්මාන්තය පීඩාවට පත් විය. සමස්තයක් වශයෙන් ගත් කල නිෂ්පාදන ක්‍රියාවලිය දුර්වල වෙමින් තිබෙන අවස්ථාවක දල දේශීය නිෂ්පාදිතය ඒකපුද්ගල ආදායම දුර්වල වෙමින් තිබෙන අවස්ථාවක උද්ධමනය නිසා ක්‍රය ශක්තිය දුර්වලව පවතින අවස්ථාවක බදු අනුපාත වැඩි කළ පමණින් ආණ්ඩුවට බදු ආදායම් වැඩි කරගත නොහැක. එයින් පෙනෙන්නේ ආර්ථිකය පීඩාවට පත්වීමයි.

ලංකාවේ දල දේශීය නිෂ්පාදිතය වැඩි කරගැනීම සඳහා දේශීය කෘෂිකර්මය, කර්මාන්ත, සේවා අංශයේ නිෂ්පාදන ක්‍රියාවලිය පණ ගන්වන්නේ නැතිව ආණ්ඩුවට මේ කියන බදු ඉලක්ක සපුරා ගැනීම දුෂ්කර වනු ඇත. එසේම රාජ්‍ය ව්‍යවසායන්ගේ කළමනාකරණය සහ පරිපාලනය දේශපාලනික කරණයෙන් මුදාගත යුතුය. එවිට ඒවා ලාබ ලබන තත්වයට පත් කරගත හැකිය. බදු පරිපාලනය කාර්යක්ෂම කිරීමත් බදු අනුකූලතාව ක්‍රමවත් කිරීමත් දූෂණ, වංචා සම්බන්ධයෙන් මීට වඩා තදින් ක්‍රියාත්මකවීමත් සිදුවුවහොත් ආණ්ඩුවේ බදු ආදායම ඉහළ නංවා ගත හැකිය.

(*** සටහන – ගාමිණී කන්දේපොළ)