බදු ගෙවන්නන් බිත්තියට හිරකිරීම


දැනට පවතින බදු අභියාචනා පටිපාටියට සංශෝධන ගෙන ඒම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට 2024.07.22 දින කැබිනට් අනුමැතිය හිමි වූ බව ටික දිනකට පෙර කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ අභියාචනා ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ අභියාචනාධිකරණ (CA) අදියරේදී එය අවසන් කිරීම සඳහා වැය වන අනවශ්‍ය අතිකාල අඩු කිරීමයි.

ඒ අනුව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් (CGIR) සහ බදු අභියාචනා කොමිෂන් සභාව (TAC) විසින් මෙතෙක් ව්‍යවස්ථාපිතව අනුගමනය කරන ලද අභියාචනා පටිපාටිය වෙනස් කිරීමට නියමිතය.

මෙම රැඩිකල් වෙනසට පූර්විකාවක් ලෙසින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සහ බදු අභියාචනා කොමිෂන් සභාව විසින් ව්‍යවස්ථාපිතව අනුගමනය කරන ලද අභියාචනා ක්‍රියා පටිපාටි පිළිබඳව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් කලක පටන් සිය කනස්සල්ල පළ කරමින් සිටියහ.

පවතින අභියාචනා ක්‍රියාපටිපාටිය වනාහි හේතු කිහිපයක් නිසා අභියාචනා බදු ගෙවන්නන් සෑහීමට පත් වන සහ ගෝලීයව පිළිගෙන ඇති අතිශය විශිෂ්ට බදු ක්‍රමවේද වලින් එකකි. එමෙන්ම අභියාචනාධිකරණයට යාම අවශ්‍ය නොකරන, අඩු වියදම් සහ ඵලදායී යාන්ත්‍රණයක් ලෙස මෙම ක්‍රමවේදය ඉතා ප්‍රකටය.

විශ්වාසනීය ආරංචි මාර්ගවලට අනුව බදු අභියාචනා ක්‍රියාපටිපාටි සම්බන්ධයෙන් පවතින නීතිවලට පහත සඳහන් දැඩි සංශෝධන ගෙන ඒමට රජය තීරණය කර ඇති අතර, රජය මෙසේ කරන්නේ කෙටි කලකට පෙර පනවන ලද මුල් නීති සම්පාදනයේ අභිප්‍රායද නොසලකා හරිමිනි. බදු අභියාචනා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට ලබා දී ඇති ව්‍යවස්ථාපිත අනිවාර්ය කාලය වසර දෙකේ (02) සිට මාස හයක් (06) දක්වා අඩු කිරීම

බදු ගෙවන්නකු විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් මාස හයක (06) ව්‍යවස්ථාපිත කාලසීමාව තුළ CGIR විසින් තීරණය කළ නොහැකි නම් අභියාචනය අභියාචක බදු ගෙවන්නාට එරෙහිව තීරණය කළ ලෙස සලකනු ලැබේ.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ තීරණය හෝ නිර්ණය සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන්නේ නම් අභියාචනා බදු ගෙවන්නාට බදු අභියාචනා කොමිෂන් සභාවට එසේත් නැත්නම් අභියාචනාධිකරණයට යා හැක්කේ අදාළ කාරණාවේ නීතියේ හෝ පරිසිද්ධියේ ප්‍රශ්නයේ ස්වභාවය අනුවය.

අදාළ ප්‍රශ්නය තනිකරම පරිසිද්ධියක් නම් අභියාචනා බදු ගෙවන්නාට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ තීරණය නිර්ණයට එරෙහිව බදු අභියාචනා කොමිෂන් සභාව වෙත පමණක් අභියාචනාවක් ඉදිරිපත් කළ හැකිය. ප්‍රශ්නය තනිකරම නීතිය සම්බන්ධ නම් හෝ පරිසිද්ධියක් සහ නීතිය යන දෙකම සම්බන්ධ නම්, අභියාචනා බදු ගෙවන්නාට සහනයක් ලබා ගත හැක්කේ අභියාචනාධිකරණයෙන් පමණි.

 

අහම්බෙන් පසුබැසීම

ශ්‍රී ලාංකිකයන්ට, විශේෂයෙන්ම බදු ගෙවන්නන්ට අත්වන ඛේදවාචකයක් ඇත. එය නම් ඔවුන් මාර්ගයෙන් ජයග්‍රහණය කරවා පාර්ලිමේන්තුවට යවනු ලබන නියෝජිතයන් පසුව ඉනිමග අමතක කර තමන් සර්වබලධාරී සර්වඥ දෙවියන් යයි සිතා ගැනීමයි. එසේ සිතා ඔවුහු තමන් හිතූ මතේ නීති සම්මත කරති. ඒවා සංශෝධනය කරති. පසුව ප්‍රතිසංශෝධනය කරති. දැන් සිදුව ඇත්තේත් එවැනිම දෙයකි. බදු පැනවීමේ මූලික ප්‍රතිපත්ති වන සාධාරණත්වය, අනුකූලතාව, පහසුව සහ කාර්යක්ෂමතාව යන කිසිත් නොසලකා සහ ඒවා උල්ලංඝනය කරමින් ඔවුහු කටයුතු කරති.

පවතින නීතියකට සංශෝධනයක් ගෙන ඒමට පෙර නීති සම්පාදකයන් දෙවරක් හොඳින් සිතා බැලිය යුතු යයි පුන පුනා කිව යුතු නැත. එමෙන්ම යම් කිසි නීතියක් පිටුපස ඇති මුල් තාර්කිකත්වය කුමක්ද? යන්නද ඔවුන් ගැඹුරින් සිතා බැලිය යුතුය. මෙම මූලික තාර්කිකත්වයට අදාළ ඔවුන් විසින්ම නීති පනවන ලද්දේ මේ මෑතකදීය. එදා එයට එහෙයි’ කියා අත් දෙකම එසවු එම මැති ඇමතිවරුම පසුව එයට සංශෝධන ගෙන ආහ. මෙනිසා මහජනතාවද නීතිය පසිඳලන්නන්ද ඉමහත් අපහසුතාවකට හා අසීරුතාවකට පත් වූහ. අරමුණ වන්නේ මෙතෙක් අනුගමනය කරන ලද බදු අභියාචනා ක්‍රියාවලියට යෝජිත වෙනස්කම් ගෙන ඒම හේතුවෙන් බදු ගෙවන්නන්ට මුහුණ දීමට සිදුවන අහිතකර ප්‍රතිවිපාක අවධාරණය කිරීමය.

 

ක්‍රියා නොකිරීම ක්‍රියාවකි

මාස හයක ව්‍යවස්ථාපිත කාලසීමාව තුළ බදු ගෙවන්නකුගේ අභියාචනයක් සම්බන්ධයෙන් CGIR විසින් තීරණයක් නොගැනීම බදු ගෙවන්නාට එරෙහිව ගනු ලැබූ තීරණයක් ලෙස සැලකීම බදු ගෙවන්නන්ගේ අයිතිවාසිකම්වලට තවදුරටත් පහරක් පමණක් නොව රාජ්‍ය සේවය සඳහා වූ අක්‍රියතාව සඳහා දිරිගැන්වීමක් ද වේ. පුදුම සහ කම්පා කරවන පුවත වූයේ යහපාලනය, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව, මහජනතාවගේ අයිතීන් ගැන කතා කරන නීතිඥයකු වූ මුදල් ඇමතිවරයා විසින් මෙවැනි සදාචාර විරෝධී සහ නොගැළපෙන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර තිබීමයි.

අභියාචනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට වඩා CGIR මගින් තීරණයක් නොගැනීම රාජ්‍යයට වාසිදායක වන බැවින් එවැනි සංශෝධනයක් රාජ්‍ය සේවකයන් තීරණයක් නොගන්නා ලෙස දිරිමත් කරන බැවින් රාජ්‍ය සේවය තවදුරටත් පිරිහී යනු ඇත.

 

ගංවතුරට වේල්ලක් නොබැඳ දොර ජනෙල් තදින් වසා ගැනීම

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සහ බදු අභියාචනා කොමිෂන් සභාව විසින් බදු අභියාචනාවක් අවසන් කිරීම සඳහා ව්‍යවස්ථාපිත කාල සීමා අඩු කිරීම සඳහා රජය ඉදිරිපත් කරන සාධාරණීකරණය වන්නේ අභියාචන බදු අයකර ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමයි. බැලූ බැල්මට නම් එය උදාර අරමුණක් සේ පෙනෙනු ඇත.

එහෙත් ස්වාධීන දෘෂ්ටිකෝණයකින් මෙම යෝජිත වෙනස දෙස බලන විට අධිකරණ ක්‍රියාදාම නිසා ඇති විය හැකි අනවශ්‍ය ප්‍රමාද, බදු නිලධාරීන් සිදු කළ හැකි දූෂණය, බදු ගෙවන්නන්ට නෛතික කටයුතු සඳහා දරන්නට සිදු වන ඉහළ පිරිවැය යනාදී කරුණු අනුව මෙයින් යහපතට වඩා සිදු වනු ඇත්තේ අයහපතමය.

 

යුක්තිය පමා කිරීම යනු යුක්තිය ඉටු නොකිරීමය

නීතියේ ප්‍රශ්න, දෙමුහුන් නීතිය සහ පරිසිද්ධි ප්‍රශ්නවලට අදාළ සියලු‍ම බදු අභියාචනාවලින් අභියාචනාධිකරණය පිරීම මෙම ප්‍රශ්නය තවත් සංකීර්ණ කරනු ඇත. පවතින දස දහස් ගණන් අභියාචනා ගොඩට නව අභියාචනා එක්වීම, බදු කටයුතු පිළිබඳ දැනුමක් ඇති නීතිඥයන්ගේ හිඟය වැනි කරුණු නිසා අභියාචනාධිකරණයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් මන්දගාමී විය හැක.

වත්මන් බදු අභියාචනා ක්‍රියා පටිපාටිවලට අනුව 2018 04 01 දින සිට ආරම්භ වන ආදායම් බදු පරිපාලන සමාලෝචන හැර බදු අභියාචනා කිසිවක් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතියකින් තොරව බදු අභියාචනා කොමිෂන් සභාවට යොමු කරනු නොලැබේ. මේ අනුව නව සාක්‍ෂි හෝ ගැටලු‍ බදු අභියාචනා කොමිෂන් සභාව විසින් නීතිමය ලෙසින් වළක්වන ලද හෙයින් හා ඒවා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට ඉදිරිපත් නොකළ නිසා යම් අභියාචනාවක් සම්බන්ධයෙන් තීරණයක් පහසුවෙන් සහ ඉක්මනින් ගන්නට බදු අභියාචනා කොමිෂන් සභාවට හැකි වේ.

බදු අභියාචනා කොමිෂන් සභාව විසින් ලබා දී ඇති නිර්දේශයක් විෂයයෙහි බදු ගෙවන්නකු හෝ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත් නොවන්නේ නම් එවිට එම නඩුව තීන්දුව සඳහා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ හැකිය. මෙවිට සැලකිල්ලට ගත යුතු කරුණක් නම් බදු අභියාචනා කොමිෂන් සභාවේ සාමාජිකයන්ගෙන් බහුතරයක් අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමික විනිසුරුවරුන් වන බවයි.

ප්‍රකාශිත නඩුව හිටපු විනිසුරුවන්ගෙන් සමන්විත බදු අභියාචනා කොමිෂන් සභාව විසින් තීරණය කර විශ්ලේෂණය කර ඇති බැවින්, එවැනි බොහෝ තීරණ අදාළ පාර්ශ්වය විසින් අවසාන සහ තීරණාත්මක ලෙස පිළිගනු ලැබේ. එසේ නැත්නම් ඒ සඳහා වන අභියාචනාධිකරණයේ  නියෝගය ඉක්මනින් ලබා දෙනු ඇත. මන්දයත්, කාර්ය භාරයෙන් අඩක් දැනටමත් බදු අභියාචනා කොමිෂන් සභාව විසින් සිදු කර ඇති බැවිනි.

 

නිෂ්ඵල වෑයම්

වත්මන් බදු අභියාචනා ක්‍රියාවලිය වෙනස් කිරීමට රජය දරන උත්සාහය අනතුරුදායක දැලිපිහියක් වැනිය. එනිසා මෙම සංශෝධනයේ ප්‍රතිවිපාක ධනාත්මක වනවාට වඩා සෘණාත්මක වනු නියතය. විශේෂයෙන්ම බදු ගෙවන්නන්ගේ සහ බදු නිලධාරීන්ගේ අන්ත දෙකෙහිම දූෂණයට එරෙහිව සටන් කිරීම මෙහි අරමුණ නම් එම අරමුණ සාර්ථක වන්නේ නැත.

බදු අභියාචනා උද්ගත වන්නේ බදු ගෙවන්නන් විසින් සපයනු ලබන බදු ප්‍රතිලාභ ප්‍රතික්ෂේප කරමින් බදු නිලධාරීන් විසින් නිකුත් කරන ලද අතිරේක සහ සංශෝධිත තක්සේරු කිරීම් පිළිබඳ බදු ගෙවන්නන් එකඟතාව නොදැක්වීමක් වශයෙනි. එවැනි තක්සේරු කිරීම්වලින් සියයට අසූවකට (80) වැඩි ප්‍රමාණයක් අවසන් වන්නේ අභියාචනාවලින් බව රහසක් නොවේ.

අභියාචනා තීරණය කිරීමේ අයිතිය බදු අභියාචනා කොමිෂන් සභාවට අහිමි කිරීමෙන් සහ ඒවා සෘජුවම අභියාචනාධිකරණයට පැවරීමෙන් අභියාචනා ක්‍රියාවලිය වෙනස් කිරීමට නියමිත බැවින්, බදු ගෙවන්නන්ගේ අපහසුතාව කිහිප ගුණයකින් වැඩි වනු ඇත. නෛතික ක්‍රියාවලි සඳහා වන වියදම් වැඩි වීම, සිතේ සැනසිල්ල නැතිවීම යනාදිය එම අපහසුතාවලින් සමහරකි. එවැනි සංකීර්ණ පරිසරයක් තුළ බදු නිලධාරීන් අතර දූෂණය ද ඉහළ යනු ඇත.

 

රෝදය අලු‍තෙන් සොයා ගැනීම අවශ්‍ය නොවේ

අතිරේක සහ සංශෝධිත තක්සේරුවලින් සියයට 80 කට වඩා වැඩි ප්‍රමාණයක් බදු අය කර ගන්නට නොහැකි බව සත්‍යයකි. මන්ද යත් ඒවා බදු ගෙවන්නන්ගේ මතභේදයට තුඩු දී ඇති අතර නොවිසඳුණු අභියාචනා ගොඩට වැටී ඇති බැවිනි. මෙම කරුණ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්ෂික කාර්ය සාධන වාර්තාව 2022 මගින්ද තහවුරු කරන ලදී. නොගෙවා පැහැර හැර තිබෙන මුළු බදු ප්‍රමාණය රු. බිලියන 904 ක් වූ අතර එකතු කළ හැකි බදු රු. බිලියන 163 (19%)කි. තවද මතභේදයට ලක් ව ඇති (අභියාචනා කළ) බදු රු. බිලියන 741 (81%). මෙම අසාධාරණ සහ හිරිහැරකාරී බදු තක්සේරු කිරීම් පාලනය කිරීම සඳහා ප්‍රතිකර්මයක් ලෙස, 2010 වසරෙහි 2010 අංක 16 දරන පැහැර හැරීම් බදු (විශේෂ විධිවිධාන) පනත” නමින් පනතක් සම්පාදනය කරන ලදී.

එම පනතේ 12 වැනි වගන්තිය මගින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට අනිවාර්ය නියෝගයක් පනවන ලදි. එනම් බදු වසරක් සඳහා නිකුත් කළ යුතු පැහැර හැරීමේ බදුවල එකතුව පෙර වසරේ එකතු කරන ලද මුළු බදුවලින් සියයට 03 කට වඩා වැඩි විය නොහැකිය යන්නයි.

ජාත්‍යන්තරව පිළිගත් පවතින අභියාචනා ක්‍රියාවලියේ විශිෂ්ට ක්‍රමවේදයට රැඩිකල් වෙනනස්කම් ගෙන ඒමට උත්සාහ කරන නීති සම්පාදකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු බොහෝ දෙනකු, අවංක බදු ගෙවන්නන්ට හිරිහැර ඇති කරන අනවශ්‍ය බදු තක්සේරු කිරීම් මැඩලීමේ අරමුණ සහිත උක්ත අගනා නීතිය ගැන නොදන්නා බවක් පෙනේ. මෙය නම් රටේ අවාසනාවකි.

 

බදු තක්සේරු නිකුත් කිරීමේ කාල සීමාව අඩු කිරීම

නියමිත අතිරේක බදු ඉක්මනින් අයකර ගැනීම විෂයයෙහි රජය ඇත්තෙන්ම අවංක නම්, අතිරේක හෝ සංශෝධිත තක්සේරු නිකුත් කිරීම සඳහා වන ව්‍යවස්ථාපිත කාල සීමාව මාස 30 සිට මාස 18 දක්වා අඩු කළ යුතුය. 2018.04.01 දිනට පෙර පැවති නීතිය මෙයයි.

එය වෙනුවට බදු නිලධාරීන් කරන්නේ ලබා දී ඇති දීර්ඝ වසර ගණන හෝ මාස ගණන නොසලකා ව්‍යවස්ථාපිත කාල සීමාව අභිබවා යමින් අවසාන මොහොතේ බදු ඇස්තමේන්තු නිකුත් කිරීමය. එබැවින් බදු ගෙවන්නන් අසීරු තත්වයකට පත් කරන ආකාරයෙන් අභියාචනා ක්‍රියාවලිය වෙනස් කිරීම වෙනුවට තක්සේරු නිකුත් කිරීම සඳහා මාස 30 ක කාල සීමාව මාස 18 දක්වා අඩු කිරීම නැණවත්ය. එමඟින් නියමිත බදු අයකිරීමේ ක්‍රියාවලියට මාස 12 ක් ඉතිරි වනුද ඇත.

 

(***)