බදු බරේ ආර්ථික ව්‍යාධිය


නව දේශීය ආදායම් බදු පනත ක්‍රියාත්මක වීමත් සමඟ ලබන බදු අය කර ගැනීමේ ක්‍රියාවලියේ විශාල වෙනසක් සිදු වනු ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවම ප්‍රකාශ කළේය. සැබැවින්ම විවිධ ක්ෂේත්‍රවල නියැළී සිටින පුද්ගලයන්ට මෙම පනත බලපාන ආකාරය විවිධය. බදු සංශෝධනය හඳුන්වා දෙමින් මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවැසුවේ ව්‍යුහාත්මක වෙනස්කම් තුළින් නැති බැරි ජනතාවගේ ආර්ථික පීඩනය අවම වන අතරේම බදු ගෙවීමේ ක්‍රමය ක්‍රමවත් වනු ඇති බවය. ආණ්ඩුව පවසන පරිදි ඇති හැකි අයට වැඩි බදු වගකීමක් පැනැවී ඇතිද යන ප්‍රශ්නය මෙන්ම මෙමගින් ආණ්ඩුව අපේක්ෂා කළ පරිදිම ආර්ථික පීඩනය අවම වනු ඇතිද යන්න විමසා බැලීම කාලෝචිතය. විශේෂයෙන්ම ආර්ථික ක්‍රියාවලියෙහි සක්‍රීයව සිටින ආර්ථික කණ්ඩායම්වලට එහි බලපෑම විමසීම වැදගත් වනු ඇත.

බදු පනත යටතේ හඳුන්වා දුන් විශේෂ කාරණා අතර මෙතෙක් ක්‍රියාත්මක වූ දෙසීයක් පමණ වූ බදු සහන ඉවත් කිරීමක් සිදුවේ. බදු සහන ලබාදෙන්නේ ව්‍යාපාර දිරිමත් කිරීමේ හෝ ආරක්ෂා කිරීමේ අරමුණෙනි. කෘෂිකාර්මික, සංචාරක හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට අදාළව 14% ක ප්‍රතිශතයක් නියම කර ඇත. ඊට අමතරව විශේෂයෙන්ම උපයන විට ගෙවීමේ (PAYE) බද්දට අදාළව බදු අනුපාත 24%ක උපරිමයක් දක්වා යෝජනා විය. ව්‍යාපාර ක්‍ෂේත්‍රයට මෙහි බලපෑම කුමක් ද? සෘජුවම ව්‍යාපාර අංශ මත ඇති කරන බද්ද අනෙකුත් ක්‍ෂේත්‍ර මත ඇතිකරනු ලබන බදුවල ප්‍රතිඵලයක් ලෙස ද සැලකිල්ලට ගත යුතුය. සමාගම් මත පනවා ඇති 28% ක බදු මගින් විශාල බලපෑමක් ඇතිකරනු ඇතැයි සිතිය නොහැකි වුවද ඊට අමතරව විවිධ බදු සහන හා බදු විරාම ඉවත්කිරීම යම් දුරකට බලපානු ඇතැයි කිවහැකිය.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල ව්‍යාපාරික අංශය 14% ක බද්දකට යටත් වුවද බොහෝ පිරිස් ඒවායේ නිරත වන්නේ තනි පුද්ගල ආර්ථික කටයුතු හැටියටය. තනි පුද්ගලයකු හැටියට ආර්ථික කටයුතුවල නිමග්න වීමේදී අදාළ වන්නේ පුද්ගල ආදායම් බද්දය. උදාහරණයකට මෘදුකාංග නිෂ්පාදන කර්මාන්තයක් ගනිමු. සමාගමක් හැටියට ලියාපදිංචි නොවී තනි පුද්ගල ව්‍යවසායක් හැටියට මෘදුකාංග නිෂ්පාදනයෙහි නිරත වන තැනැත්තකුට ආදායම 24% ක් උපරිමයක් වන ආකාරයට බද්දකට යටත් වේ. ඇතැම් ව්‍යාපාර සිදුවන්නේ සමාගම් හැටියට ලියාපදිංචි වීය. ඇතැම්හු එම ව්‍යාපාරයම සමාගමක් හැටියට ලියාපදිංචි නොවී කරති. නිෂ්පාදනය එකක් වුවද බදු ක්‍රමවේදය මේ දෙපිරිසට වෙනස් වේ. ලංකාව වැනි රටවල ව්‍යාපාර බොහෝමයක් සිදුවන්නේ තනි පුද්ගල ආර්ථික කටයුතු හැටියටය. නව ක්‍රමය යටතේ මෙසේ කේවල ආර්ථික කටයුතුවල නිරත වන තැනැත්තන්ට පැනැවෙන්නේ අධික බද්දකි.

නව බදු පනත මගින් මෙතෙක් කල් ව්‍යාපාරවලට ලැබුණු බදු සහන හා විරාම ද ඉවත් වන තත්ත්වයක් දකින්නට ඇත. ව්‍යාපාර දිරිගැන්වීමට අදාළව ලැබෙන බදු සහන නව පනතින් පිරිනමා ඇත්තේ ආයෝජන කේන්ද්‍ර කරගෙනය. එවිට බදු සහනය ලැබෙන්නේ ආයෝජනයේ පරිමාව අනුවය. ඉහත සෘජුවම ඇති කළ බලපෑමට වැඩි බලපෑමක් සිදුවන්නේ වක්‍රව යැයි මා කියන්නේ ඒ නිසාය. බදු සාමාන්‍ය ජනතාවගේ හිස මත පතිත වීම සමඟ භාණ්ඩ මිල ඉහළ යෑම ඇතුළු තත්ත්වය නිසා සිදුවූයේ භාණ්ඩ මිලට ගැනීමට ජනතාවට ඇති හැකියාව හෙවත් ක්‍රය ශක්තිය පහළ වැටීමය. පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ක්‍ෂේත්‍රවල නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවාවලට ඇති ඉල්ලුම අඩුවීමය. මෙසේ ඉල්ලුම අඩුවීම පසුගිය කාලයේදීත් අපි දුටුවෙමු. මුදල් සංසරණය අඩු වී ඇතැයි කීවේ එවිටය. මූල්‍යමය වශයෙන් ලැබීම් තිබුණ ද මූර්තමය වශයෙන් වැය කළ හැකි ආදායම පහළ යයි. ආර්ථික වර්ධනය පහළ මට්ටමක පැවැතීම විසින් මෙම පහළ යෑම තවදුරටත් වර්ධනය කරනු ලැබීය. ආර්ථිකය කිසියම් ආකාරයක වියළි ස්වරූපයක් ගනු ලැබීය. බදු මුදල් හැටියට රජය මුදල් එක්රැස් කළ විට ක්‍රය ශක්තිය පහළ යයි. මෙම තත්ත්වය හරිහැටි තේරුම් ගැනීමට ව්‍යාාපාරික අංශ ද සමත්ව නැත.

මේ සියල්ල අතරේ රටේ ණයගැතිභාවය ද විශාල ලෙස ඉහළ ගියේය. එය ආර්ථික කටයුතු අඩාල වීමට ද විශාල වශයෙන් බලපෑවේය. ණයට හා පොලියට මුදල් දීම් අද අපේ ආර්ථිකයේ විශාල වශයෙන් දැකිය හැකිය. දිගින් දිගටම ගන්නා ණය විසින් පුද්ගලයන් ණය උගුලකට හසුකරනු ලැබීම ද අපේ ආර්ථික ක්‍රියාකාරකම් පහළ වැටීමට බලපා ඇති බව කිව යුතුය. ජාතික ආදායමෙන් කොපමණ කොටසක් රජය වියදම් කරන්නේද පෞද්ගලික අංශය කොපමණ කොටසක් වියදම් කරන්නේද යන මූලික තීරණය ගැනීම බදු අනුපාත මගින් සිදුවේ. ජාතික ආදායමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් තමන් වියදම් කිරීමට රජය තීරණය කර ඇත. රජය එවැනි තීරණයක් ගන්නා විට රජය ගන්නා බදු වැය කරන්නේ කුමටදැයි අප සෙවිය යුතුය. රට තුළ නිෂ්පාදනය වන භාණ්ඩ හා සේවා සඳහා රජය පෙරළා වියදම් කරන්නේ නම් ඒ හරහා රටේ ව්‍යාපාරික අංශවලට ඉල්ලුමක් ජනිත වේ.

එහෙත් දැන් රජය විසින් එකතු කරනු ලබන බදු මුදල් විශාල වශයෙන් වැයවන්නේ ණය ආපසු ගෙවීමටය. එයින් සිදුවන්නේ රජය රටේ ජනතාවගේ මුදල් එක්රැස් කර බැහැර ආර්ථික ක්‍රියාවලියකට ප්‍රේෂණය කිරීමය. ඒ අනුව රට තුළ සිදුවන භාණ්ඩ හා සේවාවලට අදාළව රජය ඒකරාශි කරන බදු මුදල් යෙදවීමක් නොවේ. මහජනතාව ඒ මුදල් පාවිච්චි කළා නම් එහි වාසිය දේශීය භාණ්ඩ හා සේවාවලට බලපායි. ආණ්ඩුව කර ඇත්තේ ගලන දිය දහරකින් කොටසක් තමන්ගේ පැත්තට හරවාගැනීම වැනි වැඩකි. ආර්ථික කටයුතු අඩාලවන්නේ එහෙයිනි. ඒ අනුව නව බදු ප්‍රතිපත්තියේ සෘජු හා වක්‍ර බලපෑම් හැටියට ආර්ථික කටයුතු අඩාල වී ඇත.

ව්‍යාපාරික අංශවලට බදු සහන දීමේදී සමාගම්වලට පමණක් දැනට අනුගමනය කෙරෙන බදු පිළිවෙත සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හැටියට අාර්ථික ක්‍රියාකාරකම්වල නිරතවන්නන්ට ද අදාළ කරගන්නේ නම් වටනේය. නොඑසේව එකම කර්මාන්තයේ වුව එක් පිරිසකට සිදුවන්නේ අසාධාරණයකි. සහන නොලැබී යාමකි. රජයක් අනුගමනය කරන බදු ප්‍රතිපත්තිය සාධාරණ විය යුතු වුවත් එය විවිධ සමාජ කොටස් කෙරෙහි අසංතුලිතව බලපා ඇති බවක් පෙනේ. උදාහරණයකට ඇමැතිවරුන් විෂයෙහි උපයන විට ගෙවීමේ (PAYE) බදු නිසියාකාරව අය නොවේ යැයි නිල නොවන වාර්තා පවසයි. ඒ ගැන හරිහමන් විස්තරයක් ද නැත. සැබැවින්ම ඇමැතිවරුන් විෂයෙහි එය එසේ අය නොකෙරේ නම් ඉතා අසාධාරණ තත්ත්වයකි. මහජනතාව බදු ගෙවන අතරේ මහජන නියෝජිතයන්ගේ වැටුප්වලට වෙනම පිළිවෙතක් අනුගමනය කිරීම කිසිසේත් සාධාරණ නැත. බදු පනත අනුව ඔවුන් ද බද්දට යටත් විය යුතුය. නොඑසේව එය ඉතා නරක තත්ත්වයකි.

රජයේ බදු ආදායම ඉහළ නැංවිය යුතුය යන්න එන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියටය. එහෙත් දළ දේශීය නිෂ්පාදිතය නිවැරැදිව ගණනය වේදැයි යන ප්‍රශ්නය මතු වන්නේ දැන් කලෙක පටන්ය. ඇත්ත දළ දේශීය නිෂ්පාදිතය කුමක්දැයි තර්ක කෙරේ. මේ තර්කය වත්මන් විපක්ෂය මෙන්ම පැවැති විපක්ෂය ද ඉදිරිපත් කළ එකකි. එය සැබෑවක් නම් එකතු කරන බදු ප්‍රමාණය ද දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට දැන් ඇත්තේ ඉහළ මට්ටමකය. මේ බදු බර මිනිසුන්ට විශාල වශයෙන් පීඩනයක් ඇති කිරීමේදී ප්‍රධාන සාධකය වී තිබෙන්නේ ආර්ථික කටයුතු අඩාල වීමය. එහි ප්‍රතිඵලය මිලදීගැනීමේ හැකියාව පහළ වැටීමය. මෙම තත්ත්වයෙන් ගොඩඑන්නට නම් රජය ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනයට කටයුතු කිරීම අත්‍යවශ්‍යය. එවැනි උත්සාහයක් නොගත හොත් එය ආර්ථිකයට විශාල බලපෑමක් කරනු ඇත. විශේෂයෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අදාළව ණය ලබාගැනීම ආර්ථිකයට කොපමණ දායකත්වයක් දක්වන්නේදැයි යන්න ප්‍රශ්නාර්ථයක් වී තිබේ.

මත්තල වැනි ගුවන් තොටුපොළ අධිවේගී මාර්ග වැනි ව්‍යාපෘති ආර්ථික කටයුතුවලට සක්‍රීය දායකත්වයක් නොදක්වන තත්ත්වයක් තුළ ඉල්ලුම ගැන නොසලකා දිගින් දිගටම යටිතල පහසුකම් සංවර්ධනයට අවධානය දීමෙන් බදු බර වැඩිවීම නොවැළැක්විය හැකිය. රජය ඒ ගැන කල්පනා කළ යුතුය. මෙවැනි කාරණා දෙස බැලිය යුත්තේ සාර්ව ආර්ථික විද්‍යාත්මක ප්‍රවේශයකිනි. එහෙත් දැන් ඒ ගැන සාකච්ඡාව සිදුවන්නේ අසවලුන් එය කළ නිසා අප මෙය කරනවා යැයි යන හුදු පක්ෂ දේශපාලනික ප්‍රවේශයකිනි. දරාගත නොහැකි ලෙස ණයගැනීම ගැන පැවැති ආණ්ඩුවට එල්ල වූයේ දැඩි විවේචනයකි. එවක එහි විවේචකයෝ වූවෝ වත්මන් ආණ්ඩුවය. එහෙත් අද බලය හොබවන එවක විවේචකයන් යන්නේ ද එමඟෙහිම නම් වෙනස කුමක් ද? දිගින් දිගටම ණය ගැනීමෙන් රටක් හැටියට වැටී සිටි විපතට අමතරව අද වනවිට ආර්ථික ක්‍රියාවලියට කර උර දුන්නෝ ද එම වළේම වැටී ඇති සෙයක් පෙනේ. මෙය ලංකාව රාජ්‍යයක් හැටියට විඳවන ආර්ථික ව්‍යාධිය තවත් අසාධ්‍ය කරවන තත්ත්වයකි. 

හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා එක් අවස්ථාවකදී පැවැසුවේ පවතින උද්ධමනයට හේතුව මහ බැංකුව යැයි කියාය. එහෙත් හැරෙන තැපෑලෙන්ම ඊට පිළිතුරු දෙමින් උද්ධමනයේ සැබෑ හේතුව පසුගිය කාලයේ පැනැ වූ අධික බදු යැයි කියනු ලැබුවේ මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසිනි. යහපාලන රජය 2018 අයවැය සම්පාදනය කිරීමට සිදුවුණේ එවැනි තීරණාත්මක පසුබිමකය. ඒ කාරණයෙන් පැහැදිලි වූයේ උද්ධමනය මෙන්ම ආණ්ඩුව මුහුණ දී තිබෙන අනෙක් ප්‍රධාන ප්‍රශ්නය වන්නේ බදු බවය. මේ ආණ්ඩුව බලයට පත්වන විට කී එක් කතාවක් වූයේ සෘජු හා වක්‍ර බදුවල ඇති විෂමතාව දුරලීමය. එහෙත් ඒ වෙනුවට පසුගිය කාලය පුරාම සිදුවූයේ සාමාන්‍ය ජනයා මත අධික ලෙස බදු පැනවීමය. අද වනවිට සාමාන්‍ය ජනතාව මත ආර්ථික තෙරපුම ඇතිකරන ප්‍රධාන සාධකයක් වී ඇත්තේ මේ අධික බදුය. සාමාන්‍ය ජනතාව මත බදු බර පටවා ආර්ථිකය කළමනාකරණය කිරීමට බලපා ඇති ප්‍රධාන කරුණ වන්නේ ණයයි. ණයෙහි ප්‍රශ්නය වන්නේ ගැනීමටත් වඩා එය අර්ථාන්විතව භාවිත කිරීමයි. විශේෂයෙන්ම වාණිජ ණය ගෙන ප්‍රතිලාභ ලැබෙන පරිදි ආයෝජනය නොකිරීමෙන් සිදුවන්නේ ජනතාවගෙන් බදු මගින් උපයන මුදල් ණය ගෙවීමට යෙදීමය. අද වන විට රටක් හැටියට මුහුණ දී සිටින ප්‍රධාන ප්‍රශ්නය මේ විසම චක්‍රයෙන් මිදෙන්නේ කවදාද යන්නය.

සටහන - බිඟුන් මේනක ගමගේ