මේවනවිට 2024 සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මතවී තිබේ. කෙසේ වෙතත් ඉදිරියේ දී අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් පසු කිරීමට සිදු වන බව කිව යුතුය. ඒ සාධක කිහිපයක් හේතුවෙනි. එහි දී පළමු සාධකය ලෙස පෙන්වා දිය හැක්කේ සිදුවන ප්‍රතිපත්තිමය වෙනස්කම් නිසා ඇතිවන බලපෑමයි. දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වී තිබේ.
එය රට ඉදිරියට ගෙන යාම සඳහා ගනුලැබූ වැදගත් ප්‍රතිපත්තිමය තීරණයකි. අනෙක් අතට ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයක් ලෙස තවදුරටත් පවත්වාගෙන යාම සඳහා නව මහ බැංකු පනතක් හඳුන්වා දී ඇත. එය ද අද වනවිට ක්‍රියාත්මක මට්ටමක පවතී. ඒ අනුව ඉදිරියේ දී මහ බැංකුව තවත් ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට හැකියාව ලැබේ. අනෙක් අතට බැංකු පනතට ද සංශෝධන කිහිපයක් සිදුවීමෙන් අදාළ ප්‍රතිසංස්කරණ සිදු වී තිබේ.
දෙවැනි කාරණය ලෙස දැකිය හැක්කේ බදු හා මූල්‍ය ප්‍රතිසංස්කරණවල දී සිදුවන බලපෑමයි. ආදායම් බදු සීමා පුළුල් කිරීම හා නව ආදායම් බදු ප්‍රතිශත හඳුන්වා දීමෙන් සිදු වූ හා සිදුවෙමින් පවතින බලපෑම සුළු පටු නොවේ. ආදායම් බදු හා වැට් බදු මගින් සිදුවන බලපෑම ඉදිරියේ දී වැඩි වන බව ද පෙනී යයි. ඒ අනුව සියලු ක්ෂේත්‍රවල මිල ගණනත් ඉහළ යනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආණ්ඩුව පොරොන්දු වූ පරිදි සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදුකරන බව පෙනේ. පතුළටම සිරවී ගෙල වැළලාගෙන ඇති රටක වෙනත් විකල්පයක් සෙවීමට වඩා ඉක්මන් විකල්ප සෙවීමට ආණ්ඩුව පෙළැඹී ඇති බව පෙනී යයි. එය ආණ්ඩුව පැත්තෙන් සාධාරණ නමුත් යම් ආකාරයකට ජනතාවගේ පැත්තෙන් බලන විට අසාධාරණය. එසේනම් පොදුවේ කාටත් සාධාරණය ඉටුවන ක්‍රමවේදයක් කරා ගමන් කිරීමට උපදෙස් ලබාදීම, ඒ සඳහා මඟ පෙන්වීම මහ බැංකුවේ හා මුදල් අමාත්‍යංශයේ කාර්ය භාරය නොවන්නේ ද ?
මෙවර අය-වැයෙන් රජයේ ආදායම රුපියල් බිලියන 4127 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර රජයේ සමස්ත වියදම ලෙස ඇස්තමේන්තු කර ඇත්තේ රුපියල් බිලියන 6978 කි. එසේනම් රුපියල් බිලියන 2851ක අයවැය පරතරය පියවා ගැනීමට සිදු වේ. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.1 කි. අය-වැය හිඟයක් පවත්වාගෙන යාමට ද අපේක්ෂා කරනු පෙනේ. ලෝකයේ දියුණු වෙමින් පවතින බොහෝ රටවල් සැලකීමේ දී එම රටවල අයවැයවල ඇත්තේ හිඟයකි. ඇමරිකානු එක්සත් ජනපදයේ අය-වැය හිඟය සියයට 11.62 කි. එංගලන්තයේ සියයට - 6.26 කි. ජපානයේ සියයට - 6.1 ක් වන අතර ඉන්දියාවේ සියයට - 9.65 කි. චීනයේ සියයට - 7.54 කි. තායිලන්තයේ සියයට - 7.03 කි. මැලේසියාවේ සියයට - 5.7 කි. අය-වැය අතිරික්තයක් පවතින රටවල් ද ලෝකයේ පවතී. කෙසේ වෙතත් ලෝකයේ රටවල් සියයට 95 කම පාහේ අය-වැයයේ පවතින්නේ හිඟයකි.
බොහෝ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ 2024 අයවැයේ ඇති ඉලක්ක යථාර්ථයෙන් ඔබ්බට ගිය ඒවා බවයි. බොහෝ ආදායම් ඉලක්ක සපුරා ගත නොහැකි අවදානම් සහගත ඉලක්ක වන බව ද පෙනී යයි. 2023 දී රජයේ ආදායම් ඉලක්ක සියයට 23 කින් පහළ ගොස් තිබේ. බලධාරීන්ගේ ඉලක්කය වී ඇත්තේ 2024 දී ආදායම සියයට 45 කින් ඉහළ නංවා ගැනීමටයි. ඒ අනුව එය යථාර්ථයක් වන්නේද යන්න ගැටලුවක්ව පවතී. එකතු කළ අගය මත බදු සියයට 18 ට වැඩි කිරීමෙන් ආණ්ඩුව විශාල ආදායමක් අපේක්ෂා කරන බව පෙනේ. පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ වැට් බදු සශෝධන පනත මගින් අලුතින් රුපියල් බිලියන 370 අමතර ආදායමක් ආණ්ඩුව අපේක්ෂා කර ඇත. වැට් බදු මගින් 2024 වසරේ අපේක්ෂිත මුළු ආදායම රුපියල් බිලියන 720කි. රජය නව බදු ආදායම් වශයෙන් රුපියල් බිලියන 1276 ක් එනම් සියයට 45 කින් ආදායම් වර්ධනය කර ගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරයි. ඒ අනුව මෙතෙක් වැට් බදු අය නොකළ භාණ්ඩ වර්ග 97 ක් සඳහා අලුතින් වැට් බදු නියම කර තිබේ. එනිසා ජනතාව පිට පැටවෙන බරද ඇඟට දැනෙන ආකාරයෙන් ඉහළ ගොස් තිබේ.
ආර්ථිකයට සිදුවන බලපෑම
බදු වැඩි කිරීම, විශේෂයෙන්ම පාරිභෝගික භාණ්ඩ හා සේවා මත බදු වැඩි කිරීමෙන් අනිවාර්යයෙන් උද්ධමනය ඉහළ යනු ඇත. මේ වනවිට උද්ධමනය සියයට 4.5 මට්ටමක පවතින අතර වැට්බදු වැඩි කිරීමෙන් උද්ධමනය සියයට 8.7ක මට්ටමට ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
2024 දී ආර්ථික වර්ධනය සියයට 3.3 වන බව පුරෝකතනය කර ඇති පසුබිමක උද්ධමනය ඉහළ යාමත් සමග එම ඉලක්කය කරා ගමන් කළ හැකි ද යන ගැටලුව ඇති වේ. එසේනම් උද්ධමනය පහළ මට්ටමක පවත්වා ගනිමින් ආර්ථීකය යථා තත්ත්වයෙන් පවත්වාගන්නේ කෙසේද? යන්න අභියෝගයක්ව පවතී. ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ ජනතාවගේ පාරිභෝගික භාණ්ඩ සඳහා වැට් බදු වැඩි කිරීම සිදු නොවන බවය. එහෙත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ලේඛන බොහෝමයක පාරිභෝගික භාණ්ඩ සඳහා ද බදු ඇතුළත්ව පවතී. මේ වන විට එම භාණ්ඩ ලේඛන ප්‍රසිද්ධ වී තිබේ. කෙසේ වෙතත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ඖෂධ, ආබාධිත උපකරණ, හාල්පිටි, කිරිපිටි, එළවළු, පලතුරු, දියර කිරි සඳහා වැට් බදු අය නොවන බවය. තෝරාගත් තවත් භාණ්ඩ සඳහා ඉදිරියේ දී වැට් බදු ඉවත් කිරීමට පියවර ගැනීමට සූදානම් බව ද ප්‍රකාශ වී තිබේ.
බදු වැඩි කිරීමේ අවසාන බර පැටවෙන්නේ පාරිභෝගිකයාට ය. පීඩාවට පත්වන්නේ පොදු මහජනතාවය. එය තේරුම් ගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණකි. විශේෂයෙන් කඩා වැටී ඇති සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවාට බදු බලපෑම ඉහළය. අමුද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණවලට වැට් බදු වැඩිවීමෙන් කර්මාන්තවලට වන බලපෑම ගැන නැවත සලකා බැලිය යුතුය. එසේම විදුලිය, ජලය සඳහා ද බදු වැඩිවීමෙන් ගාස්තු ඉහළ යාම හේතුවෙන් කර්මාන්ත පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇත. විකල්ප බලශක්තිය දිරිගන්වන මොහොතක සූර්ය බලශක්ති සඳහා අවශ්‍ය වන උපකරණවල මිල ඉහළ යාමෙන් සූර්ය බලය සඳහා පෙළඹවීම අඩු වනු ඇත. අනෙක් අතට සෞඛ්‍ය උපකරණවලට බදු පැනවීම පිළිබඳව නැවත සිතා බැලිය යුතුය. ළදරු කිරිපිටි සඳහා බදු වැඩි කරන්නේ මවුකිරි දිරිගැන්වීම සඳහා ද යන්න ප්‍රශ්නයකි. දේශීය සහල් සහ එයින් සැකසුම් නිෂ්පාදන සඳහා වැට්බදු වැඩි කිරීමෙන් ජනතාවට බත්වත් කෑමට හැකිවේ ද යන්න ගැටලුවකි. එම නිසා මෙම වර්ගීකරණය පිළිබඳව ඉතා ඉක්මනින් නැවත සලකා බැලිය යුතුය.
විකල්ප සෙවීම
ප්‍රතිපත්ති සම්පාදකයන් විකල්ප සොයායන්නේ නැත්නම් එම විකල්ප සොයාදීම වගකිවයුතු නිලධාරීන්ට පැවරෙන වගකීමය. එමනිසා රජයට අමතර ආදායම් ලැබිය හැකි විකල්ප සොයාදීම ඹවුන්ගේ යුතුකමක් ලෙස පෙන්වා දිය හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පෙන්වාදෙන ප්‍රතිසංස්කරණ අධ්‍යයනය කිරීමේදී අපට පෙනීයන්නේ ඔවුන්ගේ බොහෝ යෝජනා සාපේක්ෂව නිවැරදි වන බවය. ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් 16 වතාවක් ණය ගෙන ඔවුන්ට පිටුපෑම පිළිබඳව ලජ්ජා විය යුතුය. පාඩු ලබන රාජ්‍ය ආයතන තවදුරටත් පවත්වාගෙන යාමෙන් සිදුවන ලාභය කුමක්ද? රාජ්‍ය සේවය පුළුල් කරම්න් එය පවත්වාගෙන යාමෙන් ලැබෙන වාසිය කුමක්ද? විදේශ රටවලින් දිගින් දිගටම ණය ගෙන අයවැය හිඟය පියවා ගනිමින් සිදුවූ වාසිය කුමක්ද යන්න නැවත සමාලෝචනය කළ යුතු නොවේද ?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන පරිදි පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම කඩිනමින් කළ යුතුය. ඒ සඳහා රටට ගැළපෙන ක්‍රමවේදයක් සකසා ගත යුතුය. රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය (PPP) යහපත් විකල්පයක් වනු ඇත. අනෙක් අතට සූදු පනත සංශෝධනය හා සූදු සඳහා බදු වැඩි කිරීමෙන් රාජ්‍ය ආදායම් වැඩිකර ගත හැකිය. වැට් බදු අයකිරීමේ දී කාණ්ඩ වශයෙන් බදු හඳුන්වාදීම තෝරාගත හැකි විකල්පයක් වන බව පෙනේ. ඒ තුළින් සිදුවන හානිය අඩුකරගත හැකිවන අතර ජනතාවට පැටවෙන බර ද අඩු කර ගත හැකිය. විදේශීය සමාගම්වල ලාභය සඳහා අයකරන බදු ප්‍රතිශතය ඉතා කුඩා ප්‍රමාණයකින් වැඩි කිරීම තවත් විකල්පයක් වන බව පෙනේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත්තේ විදේශ සමාගම්වලින් ද බදු අය විය යුතු බවත් සියලු බදු නිදහස් කිරීම් නතර කළ යුතු බවත්ය. එහෙත් මෙය විදේශ ආයෝජන සඳහා බලපෑම් ඇති කළ හැකිය. ඒ සඳහා විකල්ප ලෙස වසර 1-5 අතර පූර්ණ බදු සහන ලබා දී වසර 5-10 අතර බදු ප්‍රතිශත හා වසර 10න් පසු සමාගම් සඳහා බදු සහන ඉවත් කළ හැකිය.
ලංකාවේ ප්‍රධාන සමාගම් 100 සැලකිල්ලට ගනිමින් ඒ සඳහා කාණ්ඩ අනුව ඔවුන්ගේ ලාභාංශ සැලකිල්ලට ගනිමින් විශේෂිත වූ බදු හඳුන්වා දිය හැකිය. ඒ මගින් දැනට අපේක්ෂිත බදු ආදායම වැඩිකර ගත හැකිය. ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිටින දේශීය නොවන සමාගම් සඳහා බදු අය කළ හැකිය. බොහෝ සමාගම් ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි වී බදු වලින් නිදහස්ව වසර ගණනාවක් බදු දැලට හසුනොවී සිටී. එම සමාගම් පිළිබඳව සොයා බැලිය යුතුය.
මේ අවස්ථාවේ රටේ ජනතාව දැඩි පීඩනයකින් යුතුව සිටින බව පෙනේ. වෙනදාටත් වඩා බදු බර ඇගට දැනෙමින් පවතී. විකල්ප නොසොයා සිතූ සිතූ ලෙස ආදායම් ඉපයීම සඳහා බදු වැඩි කිරීමෙන් ජනතාව තව තවත් පීඩාවට පත් වී සිටිති. අනෙක් අතට හුදු සටන් පාඨ මගින් ආර්ථික අර්බුදවලට විසඳුම් සෙවිය නොහැක. ඒ සඳහා යථාර්ථයට මුහුණ දිය යුතුය. යථාර්ථය දුෂ්කරය. ඒහි ප්‍රතිඵලය යහපත් වනු ඈත. මෙම පොදු යථාර්ථයට මුහුණ දීමට ජනතාව සූදානම් ද යන්න ගැටලුවකි.
(***)
ආර්ථික විශ්ලේෂක
චිත්‍රාල් ජයවර්ණ