බදුබරෙන් ඉපැදුණු උද්ඝෝෂණ


ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් මාස කිහිපයකට පසු රටේ බදු ක්‍රමය විශාල වෙනසකට බඳුන් කළේය. එතෙක්  පැවති ඉහළ බදු අනුපාත වෙනුවට බදු අනුපාත අඩු කර සමහර බදු අවලංගු කර රට තුළ බදු අඩුවෙන් අය කිරීමේ ප්‍රතිපත්තියකට ප්‍රවේශ විය. එම නව බදු ක්‍රමය පිළිබඳව කරුණු දෙකක් නිසා අතිශය සතුටට පත්වීමි. එකක් නම් රටේ බදු අඩු කිරීම උපාය මාර්ගිකව යොදාගනු ලබන්නේ නම් ආර්ථික වර්ධනය සඳහා ඉවහල් විය හැකි බැවිනි. අනෙක් කරුණ නම් මා ඒ වන විට විශ්වවිද්‍යාල සේවයේ යෙදී සිටි නිසා මගේ වැටුපෙන් අය කළ බදු ප්‍රමාණය විශාල ලෙස අඩු කර තිබීමය.

ගෝඨාභය රාජපක්ෂ මහතා අනුගමනය කළ බදු අඩු කිරීමේ ප්‍රතිපත්තිය රොනල්ඩ් රේගන් සහ මාග්‍රට් ත්‍රැචර් වැනි නායකයන් ද අනුගමනය කර තිබේ. එම රටවල එවැනි ප්‍රතිපත්තිවලින් සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ද තිබේ. අවාසනාවකට ඔහු මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේ රට කොවිඩ් ව්‍යසනයට මුහුණ දී රටේ ආදායම අන්තයටම පිරිහී තිබුණු අවස්ථාවකදීය. එනිසා එම බදු අඩු කිරීමෙන් ඉලක්කගත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි විය. එම අවස්ථාවේ දී ලබා ගත හැකි වූයේ එක ප්‍රතිඵලයක් පමණි. බදු අඩු කිරීමෙන් පසු සමාගම්වල ලාභ ඉහළ යාම හේතුවෙන් කොවිඩ් අවස්ථාවේ දී සේවකයන් ඉවත් නොකර ඔවුන්ගේ වැටුප් ගෙවා ආඛණ්ඩව සේවය ලබා ගැනීමයි.

ගෝඨාභය රජයේ බදු අඩු කිරීමට පෙර උපයන විට බදු ගෙවූ පුද්ගලයන්ගේ ගණන 11,48,883 කි. බදු අඩු කිරීමෙන් පසු 2021 දී එම ගණන 32,702 දක්වා අඩු විය. 1959 සිට 2021 දක්වා කාලය තුළදී දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් වශයෙන් ගත් විට බදු ආදායම සියයට 16ක් විය. එහෙත් එය 2021 දී  සියයට 8 දක්වා පහත වැටුණි. 1959 සිට වාර්තා වූ අඩුම අනුපාතය එය විය.

මෙම රජය විසින් හඳුන්වාදෙන ලද නව බදු ක්‍රමය මේ වසරේ ජනවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක වේ. සමාගම් සහ පුද්ගලයන් වෙත පනවා ඇති නව ආදායම් බදු අනුපාත පිළිබඳ සමහර අය විශාල විරෝධතාවක් දක්වන බව පැහැදිලි වේ. රටේ ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන්, වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතීඥවරුන් සහ ගෘහ නිර්මාණ ශිල්පීන් ඇතුළු වෘත්තිකයන් විශාල පිරිසක් නව බදු ක්‍රමයට විරෝධය පාමින් දැනටමත් උද්ඝෝෂණ පැවැත්වීම ආරම්භ කර ඇති අතර වහාම බදු ක්‍රමය සංශෝධනය නොකරන්නේ නම් විශාල විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බවද  ප්‍රකාශ කර තිබේ.

නව බදු ක්‍රමය පිළිබඳව අදහස් දක්වන ඇතැම් අය ප්‍රකාශ කරන්නේ රජයේ වියදම අඩු කර ආදායම කළමනාකරණය කර ගත යුතු බවත් බදු ඉහළ දැමීමක් සිදු නොකළ යුතු බවත්ය. නව බදු ක්‍රමය පිළිබඳව පැවති මාධ්‍ය හමුවක දී මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මෙසේ ප්‍රකාශ කළේය. ˝

‘‘දැන් රජයේ මාසික සාමාන්‍යය ආදායම රුපියල් බිලියන 145ක්. එහෙත් රජයේ වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 93ක් ද විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 27ක් ද සමෘද්ධිය සඳහා රුපියල් බිලියන 6ක් ද ගෙවිය යුතුයි. අනෙකුත් සමාජ සුබසාධන කටයුතු සඳහා ද සෑහෙන මුදලක් වැය වෙනවා. ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 11ක් වැය වෙනවා. ඒ අනුව මාසික සාමාන්‍යය වියදම රුපියල් බිලියන 154ක්. රුපියල් බිලියන 145ක ආදායමක් ලබද්දී රුපියල් බිලියන 154ක් ගෙවීමට සිදු වෙනවා. රජය දැන් හැකි තාක් වියදම සීමා කර තිබෙන්නේ. පවත්නා ආර්ථික අර්බුදය හමුවේ දුප්පත් සහ අවදානමට ලක් වී ඇති පිරිස් වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට සිදු වෙනවා. බදු වැඩි කිරීමට සිදුව තිබෙන්නේ මෙවැනි තත්ත්වයක් රටේ පවතින නිසා.’’ ˝

බංකොළොත්භාවය ප්‍රකාශ කර ඇති රටක් වශයෙන් ශ්‍රී ලංකාවට තව දුරටත් මුදල් මුද්‍රණය කිරීම හෝ ණයට මුදල් ලබා ගැනීම කළ නොහැකිය. රටට ඉතුරුව ඇති එකම විකල්පය වන්නේ බදු ප්‍රමාණය වැඩිකර ආදායම සහ වියදම අතර පරතරය පියවා ගැනීමයි. භාණ්ඩාගාර ලේකම්වරයා විසින් කරන ලද ප්‍රකාශය මගින් පැහැදිලි වන්නේ රටේ අද පවත්නා එම තත්ත්වයට විසඳුම් ලබාගත හැක්කේ බදු වැඩි කිරීම මගින් පමණක් බවයි.

බොහෝ දෙනකු නව බදු ක්‍රමය යටතේ බදු විශාල ප්‍රමාණයක් ගෙවීමට සිදුව ඇතැයි ප්‍රකාශ කරන්නේ ගෝඨාභය රජය විසින් බදු විශාල ලෙස අඩු කිරීමෙන් පසු පැවති බදු අනුපාත සමඟ නව අනුපාත සන්සන්දනය කිරීමෙනි. එහෙත් ඉතා කෙටි කලක් පමණක් ක්‍රියාත්මක වූ ගෝඨාභය රජයේ බදු ක්‍රමය නව බදු ක්‍රමය හා සැසඳීමේ තේරුමක් නැත. නව බදු ක්‍රමය සැසඳිය යුත්තේ ඊට පෙර පැවති බදු ක්‍රමය සහ බදු අනුපාත සමඟය. එසේ කිරීමේ දී බදු අනුපාත අතර විශාල වෙනසක් දක්නට නොලැබෙන බව පෙනේ. කෙසේ වුවද ඉහළ ආදායම් කාණ්ඩය සඳහා පැරණි බදු ක්‍රමය මගින් සියයට24ක උපරිම බදු අනුපාතයක් නියම කර තිබුණු අතර නව බදු ක්‍රමය මගින් එය සියයට 38 දක්වා ඉහළ නංවා ඇත. පැරණි බදු ක්‍රමය සහ නව බදු ක්‍රමය අතර ප්‍රධාන වෙනස වන්නේ එයයි.

රුපියල් ලක්ෂයක් දක්වා මාසික ආදායමක් ලබන පිරිස් ආදායම් බදුවලින් නිදහස් වෙති. බදු ගෙවීමට සිදු වන්නේ රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායමක් ලබන පිරිස් වලිනි. ඉන් පසු වැඩි වන සෑම රුපියල් 50,000කටම පියවරෙන් පියවරට වැඩි වන ඉහළ බදු අනුපාතයකින් බදු ගෙවීමට සිදු වේ. රාජ්‍ය අංශයේ රුපියල් ලක්ෂයකට වැඩි වැටුප් ලබන පිරිස් සිටින්නේ මුළු රාජ්‍ය සේවක සංඛ්‍යාවෙන් ඉතා සුළු පිරිසකි. කෙසේ වුවද පෞද්ගලික අංශයේ තත්ත්වය ඊට වඩා වෙනස්ය. එම අංශයේ ඉහළ තනතුරුවල සිටින විශාල පිරිසකට නව බදු අනුපාත අනුව ඉහළ බදු ප්‍රමාණයක් ගෙවීමට සිදු වේ. එහෙත් ඉහළ බදු ගෙවීමට සිදුව ඇති පෞද්ගලික අංශයේ නව බදු ක්‍රමය පිළිබඳව එල්ල වන විරෝධතා අවම මට්ටමක පවතිද්දී ඉහළ බදු ගෙවීමට සිදුව ඇති ඉතා සුළු පිරිසක් සිටින රාජ්‍ය අංශයෙන් විශාල විරෝධතාවක් ප්‍රකාශ වේ. මාසික ආදායම රුපියල් 500,000ක් වන අයකුට සියයට 6 සිට සියයට 36 දක්වා බදු අනුපාතයක් යටතේ බදු ගෙවීමට සිදු වේ. එහෙත් රුපියල් පන් ලක්ෂයක මාසික වැටුපක් ලබන කී දෙනෙක් රාජ්‍ය සේවයේ සිත්ද?

ශ්‍රී ලංකාව බොහෝ කලක සිට මුහුණ දී සිටින ප්‍රධාන ගැටලු‍වක් වන්නේ බදු පදනම වශයෙන් හඳුන්වන බදු ගෙවන පිරිසගේ සංඛ්‍යාව ඉතා කුඩා එකක් වීමයි. එහි සරල අදහස වන්නේ මුළු ජනගහනයෙන් ඉතා කුඩා පිරිසක් පමණක් රජයට බදු ගෙවන නමුදු ආදායම ලබන, බදු ගෙවිය හැකි බොහෝ පිරිස් බදු ගෙවීමෙන් වැළකී සිටින බවයි. බදු නොගෙවීම මෙන්ම ගෙවීමට ඇති බදු ප්‍රමාණය නොගෙවන බදු වංචා ද විශාල ලෙස සිදු වේ. බදු ගෙවිය යුතු පිරිස බදු නොගෙවන්නේ නම් රටක් පවත්වාගෙන යෑම දුෂ්කර වේ. විශේෂයෙන්ම දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින රටකට බදු ගෙවිය යුතු පිරිස් විසින් බදු නොගෙවීම විශාල ප්‍රශ්නයක් බවට පත් වේ.

බදු ගෙවීමට නියමිත පිරිස්වලින් බදු අයකර ගැනීමට නම් කාර්යක්ෂම බදු පරිපාලනයක් රට තුළ පැවතිය යුතුය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව බදු එකතු කිරීම පිළිබඳ වගකීම පැවරී ඇති ප්‍රධාන ආයතන වේ. රට තුළ බදු පරිපාලනය විධිමත්ව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යෑමට අදාළව කොතෙකුත් යෝජනා ඉදිරිපත්ව තිබේ. එසේ වුවද බදු පරිපාලනය සම්බන්ධ සමහර ආයතන තවමත් ක්‍රියාත්මක වන්නේ පැරැණි, යල්පැනගිය ක්‍රම සහ තාක්ෂණය මත පදනම්වය. උදාහරණයක් ලෙස වෘත්තීන් අනුව බදු ගෙවීම පිළිබඳ වර්ග කිරීමක් හෝ ඒ අනුව ලේඛන පවත්වාගෙන යෑමක් මේ දක්වා සිදු වී නැත. බදු පරිපාලනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හොඳ බදු ක්‍රමයක් පවත්වාගෙන යෑම සඳහා අත්‍යාවශ්‍ය කොන්දේසියකි.

ශ්‍රී ලංකාවේ ඉහළ බදු අනුපාත නිසා වෘත්තිකයන් රට හැර යන බවට කෙරෙන ප්‍රකාශවල කිසිදු වටිනාකමක් ඇතැයි මම නොසිතමි.  දියුණු රටවල්වල ද ඉතා ඉහළ සහ දැඩි බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක වේ. පැය ගණනට ගෙවීම් කරන අර්ධ කාලීන රැකියාවලින් උපයන ආදායමට පවා සැලකිය යුතු බදු ප්‍රමාණයක් එම රටවල් විසින් අය කර ගනී. වැටුප් සහ වෙනත් ආදායම් සඳහා ඉහළ බදු අනුපාත නියම කර තිබේ. බදු නිසා රට හැර යන්නේ නම් එම පිරිස්වලට ශ්‍රී ලංකාවේ ගෙවූ බදුවලට වඩා විශාල බදු ප්‍රමාණයක් එම රටවලදී ගෙවීමට සිදු වනු ඇත.

බදු වැඩි කිරීම පිළිබඳව රටේ ඉහළ වෘත්තිකයන් තරමක කැළඹීමකට පත්ව ඇති බව පෙනේ. බදු ක්‍රමය සහ බදු පරිපාලනය පිළිබඳව එම අයට අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව සංවාදයක් ඇති විය යුතු යැයි සිතමි. ඇතැම් වෘත්තිකයන් තම ආදායම් සඟවන බවට ද තවත් සමහරක් වෘත්තිකයන් මුදල් ලබා ගැනීම පිළිබඳව කිසිදු රිසිට්පතක්  නිකුත් නොකරමින් බදු නොගෙවා සිටින බවට ද චෝදනා නැගේ. එවැනි චෝදනා ඉදිරිපත් වන විවාදයක් පැවැත්වීමට වඩා අවශ්‍ය වන්නේ බදු ගෙවිය යුතු  සෑම දෙනා බදු ගෙවන තත්ත්වයක් ඇති කර ගැනීමයි. සෑම වෘත්තිකයකුටම තමන් නිසි පරිදි බදු ගෙවන බව ප්‍රකාශ කිරීමට තරම් වාතාවරණයක් එම අය විසින්ම සකස් කර ගත යුතුව ඇත.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර