බරපතළ අභියෝග යුගයක්


ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත මෙරට නවවැනි විධායක ජනාධිපති තෝරාගැනීමේ ජනාධිපතිවරණය කරුණු කිහිපයක් නිසා වැදගත් වෙයි. කොවිඩ් 19 ගෝලීය වසංගතය, දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් රට බංකොලොත් තත්වයකට පත්වීම නිසා ඉදිරියට පැමිණි ජනතා අරගලයෙන් අනතුරුව පැවත්වෙන ජනාධිපතිවරණයෙන් බලයට පත්වන ජනාධිපතිවරයාට තීරණාත්මක මෙන්ම බලපෑම් සහගත කාරණා රාශියකට පිළිතුරු සෙවීමට සිදුවනු ඇත.

මැතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂකයන් තිස් අට දෙනකු ඉදිරිපත්ව සිටින මුත් ඉන් බොහෝ දෙනෙකු හුදු අපේක්ෂකයන් වශයෙන් පමණක් ඉදිරිපත්ව සිටින අතර තරගය ඇත්තේ කිහිප දෙනෙකු අතර පමණි. එහෙයින් ප්‍රතිපත්තිමය සංවාදවලට වඩා එකිනෙකා අතර විවෙචන සහ මඩ ගැසීම් සුලබව දිස්වන මෙම ජනාධිපතිවරණය බොහෝ අපේක්ෂකයන්ට ලිට්මස් පරීක්ෂාවක් කර ගැනීමට ලැබෙන අවස්ථාවකි.

මෙවර ජනාධිපතිවරණ සටනේද පෙර මැතිවරණවල දී මෙන්ම දැකිය හැකි මූලික ලක්ෂණයක් වන්නේ බොහෝ අපේක්ෂකයන්ගෙන් බොහෝ අය ඉටුකළ නොහැකි පොරොන්දු ජනතාවට ඉදිරිපත් කරමින් තමන් බලයට පත් කරන ලෙස ඉල්ලා සිටීමය. බිඳ වැටී ඇති ආර්ථිකය මැතිවරණ සටනේ තේමාව කරගනිමින් පොරොන්දු දේශපාලනයේ සුපුරුදු ලෙස නියැළෙන මොවුන්ගෙන් බොහෝ දෙනෙකු ජාතික ප්‍රතිපත්තියකට අනුව රට දියුණු කරන යථාර්ථවාදී සැලැස්මක් ඉදිරිපත් කරන්නට අසමත් වී ඇති අතර ඔවුහු ඉදිරිපත් කොට ඇති සැලසුම් ජනගත කිරීමට උත්සාහ නොගනිති. 

  ඉතාම වැදගත් එහෙත් අපගේ අවධානයෙන් අඩු වැදගත්කමක් ලැබී ඇති එක් කරුණක් වන්නේ රටේ කළයුතු දේශපාලන ප්‍රතිසංස්කරණය. ස්ථාවර දේශපාලන ක්‍රමයක් නොමැතිව ආර්ථික හෝ සමාජමය ක්‍ෂේත්‍රවල සංවර්ධනයක් සහ ස්ථාවරත්වයක් කිසිසේත්ම ඇති කළ නොහැක. අද රට පත්ව ඇති තත්ත්වයට ප්‍රධාන වගකිව යුත්තා ලෙස අප සියලු‍ දෙනාම ඇඟිල්ල දිගු කරන්නේ දේශපාලකයන් වෙතය. එසේ සිතීම ජනතාවගේ වරදක් නොවන්නේ, මෙතෙක් බලයට පත් කණ්ඩායම් තම පැවැත්ම සහ සුභසිද්ධිය උදෙසා පමණක් බලය හසුරවමින් රටේ ඉදිරි ගමන උදෙසා කළයුතු කාරණා නොසලකා හැරීම නිසාය.

විධායක ජනාධිපතික්‍රමය වෙනස් කිරීම සඳහා 1994 සිට බලයට පත් බොහෝ ආණ්ඩු විසින් විටින් විට පොරොන්දු ලබා දීම පොරොන්දු දේශපාලනය තුළ දැකගත හැකි තවත් ලක්ෂණයකි. මේ පිළිබඳව විවිධ අවස්ථාවල විවිධ කමිටු පත් කළද ඒවා ක්‍රියාවට නොනැංවීම තුළ විශාල මුදල් නාස්තියක් සිදුව තිබේ. මෙවර ජනාධිපතිවරණ සටනේත් මෙවැනිම ආකාර පොරොන්දු ගණනාවක් නැවත වරක් ඉදිරිපත් වී ඇත. වර්තමාන දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හඳුන්වා දුන් විධායක ජනාධිපති ක්‍රමය පුළුල් ජනතා කතිකාවකින් පසුව සැකසූ එකක් නොවන අතර එය එවකට එක්සත් ජාතික පක්ෂයේ නායකයා වූ ජේ.ආර්. ජයවර්ධනගේ දීර්ඝ කාලීන සිහිනයක් යථාර්ථයක් බවට පත් කිරීමක් විය. එතෙක් පැවති පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයෙන් මුළුමනින්ම බැහැර වූ ආණ්ඩුක්‍රමයක් වීම හේතුකොට ගෙන ජනාධිපති ක්‍රමය ජනතාව අතර ජනගත වන්නේ මන්දගාමී ස්වරූපයකිනි. ඇත්ත වශයෙන්ම මාගේ මූලික තර්කය වන්නේ ජනාධිපතික්‍රමය පිළිබඳව නොව එහි භාවිතාව තුළ සැලකිලිමත් විය යුතු අංශ කිහිපයක් පිළිබඳවය.

එහෙයින් මෙම ජනාධිපතිවරණයෙන් බලයට පත්වන ජනාධිපතිවරයා ජනාධිපතික්‍රමයේ අහිතකර අංග වෙනස් කිරීමට ක්‍රියා කළ යුතුය. නිදසුන් ලෙස ජනතා පරමාධිපත්‍යය සීමාව තුළට පමණක් ජනාධිපති තනතුරේ බලය සීමා කිරීම කාලීන අවශ්‍යතාවයකි. එසේම ජනතා වගවීමේ සිද්ධාන්තය ජනාධිපතිධුරයට අදාළ කළ යුතු අතර ජනාධිපතිවරයා වගවීමෙන් බැහැරව කටයුතු කරන විට ඒ සම්බන්ධව කටයුතු කිරීමේ ඉඩ ප්‍රස්ථාව ජනතාවට ලබාදීම සඳහා දැනට පවත්නා නෛතික ක්‍රියාදාමය සරල කළ යුතු ය. බලයේ සිටින ජනාධිපති තම කාර්යයන් හා කර්තව්‍යයන් ජනතා අපේක්ෂාවන්ට මෙන්ම ව්‍යවස්ථානුකූලව ඉටු නොකරයි නම් ‘නැවත කැඳවීම’ කළහැකි ආකාරයේ විධිවිධාන ව්‍යවස්ථාවට එකතු කළ යුතුය.  2022 ජනතා අරගලය මගින් අපට ලබාදුන් පණිවිඩය වූයේ ජනාධිපති තනතුර ජනතාවාදී එකක් බවට පත් කරමින් එය ඇමරිකාවේ මෙන් යම් සංවරණ සහ තුලන ක්‍රමයකට යටත් කළ යුතු බවය. පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයට නැවත අප යා යුතුයැයි යමෙකු තර්ක කරන්නේ නම් එමගින් ලැබිය හැකි ප්‍රතිලාභ මෙන්ම ස්ථාවර දේශපාලන ක්‍රමයකට ඇති ඉඩ ප්‍රස්ථාව කවරේ දැයි ගැඹුරින් විමර්ශනය කළ යුතුය. එහෙත් නේපාලය, පාකිස්තානය, බංගලාදේශය වැනි දකුණු ආසියානු රටවල මෙන්ම නැගෙනහිර ආසියාවේ ජපානයේ උද්ගතව ඇතිවී ඇති දේශපාලන අස්ථාවරත්වය මගින් පෙන්නුම් කරන්නේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය බහු ජනවාර්ගික සමාජයක්වන මෙරට දේශපාලන ස්ථාවරතාවයට කොතරම් සාර්ථක එකක් ද යන්නය.

පාලකයන් අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයන් බවට පත් කිරීමේ වගකීමෙන් ජනතාව වන අපට මිදිය නොහැක්කේ අප එහි සෘජු කොටස්කරුවන් වන බැවිනි. මෙතෙක් පැවති බොහෝ ජනාධිපතිවරණවලදී සැබෑ මහජන නියෝජනයක් සහිත පුද්ගලයන් ජනාධිපති තනතුරට පත් කිරීමට අප කොතෙක් දුරට කටයුතු කර තිබේද යන්න විමසිය යුතුය. එහෙයින් බුද්ධිමත් සහ අනාගත දැක්මක් සහිත ජනතා නායකයන් සෙවීමට අප දරන උත්සාහය වෙනුවට අප බුද්ධිමත්ව සහ අනාගත දැක්මක් සහිතව අපගේ ඡන්දය ප්‍රකාශ කළ යුතුය. එහිදී අප අවධානය යොමුකළ යුතු ප්‍රධාන කාරණා දෙකකි. ප්‍රථමව අප මෙරට දේශපාලන සංස්කෘතිය මනාව අවබෝධ කරගත යුතුය. නිදහසින් පසු කාලය තුළ මෙරට දේශපාලන සංස්කෘතිය ධනාත්මක ලෙස පෝෂණය වීම වෙනුවට සිදුවූයේ දේශපාලන සංස්කෘතිය තව දුරටත් දුර්වල වීමය. දේශපාලන ප්‍රතිසංස්කරණ මගින් දේශපාලන සංස්කෘතිය පෝෂණයවන අතර දේශපාලන සංස්කෘතිය මගින් දේශපාලන ප්‍රතිසංස්කරණවලට ඇති ඉඩකඩ මෙන්ම ඒවායේ තිරසාරබව නිර්ණය කරනු ලැබේ.

දෙවනුව ජනතාව‌ගේ දේශපාලන සාක්ෂරතාවය දේශපාලන ප්‍රතිසංස්කරණවලට වැදගත් දායකත්වයක් සපයයි. දශක අටකට ආසන්න කාලය තුළ නියෝජිතයන් තොරාගත් ආකාරය මෙන්ම බලයට පත් වූ  දේශපාලන කණ්ඩායම් සමඟ කටයුතු කළ ආකාරය විමර්ශනාත්මකව විශ්ලේෂණය කරන විට පැහැදිලිවන්නේ අපගේ දේශපාලන සාක්ෂරතාව තවදුරටත් දියුණු විය යුතු බවය. ඉහතින් දැක් වූ පරිදි අප මෙතෙක් සිදු කර ඇත්තේ දක්ෂ, ඉදිරි දැක්මක් සහිත ජනතාවාදී නියෝජිතයන් පත් කිරීම මැතිවරණ හරහා පරීක්ෂා කිරීමය. එය එසේ වුවද ක්‍රියාකාරී පුරවැසියන් ලෙස අප තේරුම්ගත යුත්තේ රටේ අනාගතය තීරණය කිරීම අපගේ වගකීමක් වන බැවින් නිවැරැදි තෝරාගැනීමක් මෙවර ජනාධිපතිවරණයේදීවත් සිදුකළ යුතු බවය.

පවත්නා ක්‍රමය රටේ දියුණුවට ගැලපෙන ආකාරයට ජනතා එකඟතාවකින් සිදු කිරීමේ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙත යොමු වීම බලයට පත්වන ජනාධිපතිවරයකු හමුවේ ඇති තවත් අභියෝගයකි. මෙය තිරසාර ප්‍රජාතන්ත්‍රවාදයක් උදෙසා අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ගයකි. රටතුළ තිරසාර ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කිරීම සඳහා රාජ්‍ය සේවයේ කටයුතු කරන රාජ්‍ය සේවකයන් හට අති මහත් කාර්යභාරයක් පැවරී තිබේ. තව ද ජනතා අරමුදල් වලින් වැටුප්, විශ්‍රාම වැටුප් සහ සෙසු වරප්‍රසාද ලබා ගන්නා රාජ්‍ය සේවයේ බොහෝ දෙනෙකුට තම ස්වාමියාවන මහජනතාව අමකත වී ඇති බව පෙනෙන්නට තිබේ.

නව තාක්ෂණය මුසුකරගත් රාජ්‍ය සේවාවක් රටතුළ ස්ථාපිත කොට එමගින් රාජ්‍ය සේවාව ජනතාව වෙත ලබාදීමට පත්වන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කළ යුතු ය. නිදහසින් පසුව රාජ්‍ය සේවාවේ සිදුව ඇති ප්‍රතිසංස්කරණ දෙස බලන විට ඒවායේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය කෙරෙහි බලපෑ ප්‍රධාන අභියෝගය වන්නේ ප්‍රතිසංස්කරණ පිළිබඳ විරෝධයක් ඒ තුළින්ම ඉදිරියට පැමිණ තිබීමය. අප දකින ප්‍රධාන ගැටලු‍ව වන්නේ රාජ්‍ය සේවාවට ගෙන ආ බොහෝ ප්‍රතිසංස්කරණ යෝජනා පුළු‍ල් කතිකාවකින් තොරව ගෙන ඒම නිසා ඒවාට එරෙහිව ප්‍රතිවිරෝධතා එම ක්ෂේත්‍ර තුළින්ම මතු වූ බවයි. 

ජනාධිපතිවරණය සමඟ සාකච්ඡාවට බඳුන්වන තවත් මාතෘකාවක් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළඹ ඇති එකඟතා ඉදිරියට ගෙනයාමේ ගමන්මගට කුමක් වේද යන්න පිළිබඳවය. වර්තමාන ආණ්ඩුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් අතර ඇතිකරගෙන ඇති ගිවිසුමේ සරල කාරණය වන්නේ අප රට මුහුණ දී ඇති ආර්ථික තත්ත්වය කළමනාකරණය කරගැනීමට ණය ලබා ගැනීමත් එම ණය ලබාදීමේදී සැලකිය යුතු මට්ටමේ කොන්දේසි මාලාවකට එළැඹීමත්ය. නව ජනාධිපතිවරයෙකු බලයට පත්වුවහොත් මෙම ගිවිසුම වෙනස් කළ යුතු ද සහ වෙනස්කළ හැකිද යන කාරණය මැතිවරණ වේදිකාව තුළ කතාබහට ලක් වුවත් ආණ්ඩු මාරුවන විට පවත්නා ප්‍රතිපත්තිමය එකඟතා ද වෙනස් කිරීම පුළුල් සාකච්ජාවක ප්‍රතිඵලයක් විය යුතු විනා ඒවා ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් කිරීමේ අත්හදා බැලීම් නොවිය යුතු ය.

ඉදිරි ජනාධිපතිවරණයෙන් බලයට පත්වන ජනාධිපතිවරයාට ගනුදෙනු කිරීමට ඇත්තේ අස්ථාවර වූ ගැටුම් සහිත ජාත්‍යන්තර පරිසරයකය. මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගනුදෙනුව කරගෙන යන අතරම ඉන්දියානු සාගර කලාපය තුළ මතුව ඇති ගැටුම්කාරී වාතාවරණය නිවැරදිව විශ්ලේෂණය කරගැනීම අවශ්‍යය. විශේෂයෙන් ඉන්දියාව සහ චීනය අතරත් දකුණු චීන මුහුදේ ව්‍යාප්තවාදී බල අරගලයක පැටලී සිටින චීනය සහ පිලිපීනය අතරත්, පාලනය සම්බන්ධයෙන් තායිවානය සමඟ චීනයේ පැටලීමත් මෙන්ම මියන්මාරය සමඟ චීනයේ ඇති අර්බුදයත් ශ්‍රී ලංකාවට කරනු ලබන බලපෑම නැවත සලකා බැලිය යුතු ය. කලාපීය සම්බන්ධතා කළමනාකරණය කර ගැනීම සඳහා අප රට උපායාත්මක විදේශ සම්බන්ධතා ගොඩනගා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය. එසේම බටහිර ආසියාව තුළ දිග්ගැස්සෙමින් පවත්නා ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුද්ධයත් එම රාජ්‍යයන් සමඟ එක්ව ගොඩනගාගෙන ඇති බල කඳවුරුවල ක්‍රියාකාරිත්වයත් අප රටට කරනු ලබන බලපෑම විශ්ලේෂණය කිරීමේ දී පෙනී යන්නේ එහි සෘජු සහ වක්‍ර බලපෑම්වලින් නිදහස්ව සිටීමට අපට නොහැකි බවය. අප විසින් කරනු ලබන අපනයන සහ ආනයනවලට සිදුවියහැකි බලපෑම කල්තබා හඳුනා ගැනීම මගින් ආරක්ෂණවාදී ක්‍රමෝපායන් සොයාගැනීමට ක්‍රියාකළ යුතුය.

 

(***)