මාගිරිස් අප්පු යනු අලූත්කඬේ බන්ධනාගාරයේ සේවය කළ නියාමක වරයෙකි. ඔහුගේ පදිංචිය උතුවන්කන්දේ වුවත්, රැකියාවට යාමට ඔහු කොළඹ ප‍්‍රදේශයේ බොරු ලිපිනයක් උපයෝගී කරගත්තේය. ”උතුවන” ග‍්‍රාමය එංගලන්තයේ මහ රැජිනගේ පාලනයට අවනත නොවන ග‍්‍රාමයක් ලෙස කෑගල්ල දිසාපති සෝන්ඩර්ස් විසින් මීට පෙර මහ ආණ්ඩුවට දන්වනු ලැබීම ඊට හේතුවයි.
සරදියෙල් රිමාන්ඞ් බන්ධනාගාරගත වූ දින සිටම උත්සාහ කළේ ඉන් පැන යන්නටය. එක් අවස්ථාවකදී ඔහු බරපතළ ලෙස අසනීප විය. ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරයා අනතුරුව ප‍්‍රකාශ කළේ කිසිම රෝගයක් නැති බවය. සරදියෙල් එසේ උත්සාහ කළේද ප‍්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් වී එහිදී පැන යන්නට විය හැකිය.
බන්ධනාගාර නියාමක මාගිරිස් අප්පුට මේ අදහස සරදියෙල් කී විට ඔහු ඒ සඳහා උපකාර කරන්නට පොරොන්දු විය. එහෙත් එය සිතන තරම් ලෙහෙසි පහසු කරුණක් නොවීය. නමුත් බන්ධනාගාරය ඇතුළත දෛනිකව සිදුවන ක‍්‍රියාකාරකම් හා පැනයන්නට ඇති කුඩාම හෝ ඉඩකඩ පිළිබඳව මාගිරිස් අප්පු සරදියෙල් දැනුවත් කළේය. සොරකමක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි වේයන්ගොඩ ප‍්‍රදේශයේ වේලූන් අප්පු නමැත්තකුද සරදියෙල් රඳවා සිටි කූඩුවේ සිටියේය. ඔහුද ඕනෑම දෙයකට ඔට්ටු අයෙකි. සරදියෙල්ගේ සිරගෙදරින් පැනයාමේ උත්සාහයට වේලූන් අප්පුද උපකාර කළේය. නමුත් තවත් සිරකරුවන් කිහිපදෙනෙකුද එහි රඳවා සිටි නිසා ඔවුන්ට රහසේ මේ පැනයාම කළ යුතු විය.
වේලූන් බලන්නට බන්ධනාගාරයට පැමිණි ඔහුගේ මිතුරකු හොර රහසේ ගංජා පාර්සලයක් වේලූන්ට ගෙනවිත් දුන්නේය. සිරකුටියේ සිටම ගංජා සුරුට්ටු එතූ වේලූන් හා සරදියෙල් දිනක් රාත‍්‍රියේදී තමන් සමග සිටි සිරකරුවන්ට ඒවා බොන්නට දුන්නේය. එම සිරකුටිය ආසන්නයේ සේවය කළ නිලධාරීන් කිහිපදෙනකුද මහත් ආශාවෙන් ගංජා සුරුට්ටු පාවිච්චි කළ බවද කියැවේ.
මේ වන විට මාගිරිස් අප්පු සරදියෙල් රඳවා සිටි සිර කූඩුවේ දොරෙහි යතුරට සමාන යතුරක් සකස් කර තිබිණි. එදින වන විට ඒ යතුරද සරදියෙල්ට ලැබී තිබිණි. පසුදින අලූයම බන්ධනාගාරයෙන් පලායන්නට සරදියෙල් හා වේලූන් සූදානම්ව සිටියහ.
පාන්දර හතර පමණ වන විට පෙරදින රාත‍්‍රියේ හොඳ හැටි ගංජා වලින් සප්පායම් වී සිටි සිරකරුවෝ දිගු නින්දකට වැටී සිටියහ. අසළ සිටි නිලධාරීහුද ගොරවා ගොරවා නිදාගෙන සිටියහ. මාගිරිස් අප්පු දුන් යතුරෙන් සිර මැදිරියේ දොර ඇරගත් සරදියෙල් හා වේලූන් සැමදෙනාටම රහසේ එළියට පැමිණ වැසිකිළියේ වහලයෙන් ගලවා ගත් පරාලයක් ගෙන තාප්පයට තබා ඊට ගොඩවී එළියට පැනගත්හ. කුණු කාණුව දිගේ බඩගාගෙන ගිය දෙදෙනා පසුව කරත්තයක නැගී රහසේම පලාගියේය.
නොවැම්බර් 29 වැනිදාට දිනය උදාවිය. සරදියෙල් හා වේලූන් සිරකූඩුවේ නොමැති බව දැනගත් බන්ධනාගාර නිලධාරීහු වහ වහා මේ සිද්ධිය ඉහළ නිලධාරීන්ට දැනුම් දුන්නේය.
මාගිරිස් අප්පු මේ සඳහා උපකාර කළ බව පසුව හෙළි විය. බන්ධනාගාරයෙන් පැනයාමට උදව් කිරීම යන චෝදනාවට අමතරව එසේ කිරීම සඳහා සිරකරුවන්ගෙන් අල්ලස් ගත්තා යැයිද මාගිරිස් අප්පුට එරෙහිව චෝදනා නගා තිබුණි. පසුව අධිකරණයට ඉදිරිපත් කළ ඔහුට බරපතළ වැඩ සහිත මාස හයක සිරදඬුවමක් ලබාදුන් අතර රැකියාවෙන්ද නෙරපා හරින ලදී.
බන්ධනාගාරයෙන් පැනගත් සරදියෙල් කෙළින්ම පැමිණියේ උතුවනටය. මාස කිහිපයක් බන්ධනාගාරයේ සිටියදී වැඩුණු රැවුල නිසා සරදියෙල්ගේ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබූ අතර ලෙහෙසියෙන් ඔහු හඳුනාගන්නටද අපහසුවී තිබිණි. එහෙත් බන්ධනාගාරයෙන් පලාගිය ආරංචිය කෑගල්ල දිසාපති සෝන්ඩර්ස්ටද දැන ගන්නට ලැබී තිබූ නිසා සරදියෙල් ගමට ගියේ දෙගිඩියාවෙනි. උතුවන ගමේදී මම්මලේ ඇතුළු මිතුරෝ පිරිස සරදියෙල්ව සාදරයෙන් පිළිගත්හ. සරදියෙල්ගේ මව වූ පිචෝහාමි සරදියෙල්ව දැක ඔහුගේ හිස අතගා මුහුණ සිපගත්තාය.
සරදියෙල් තම වාසස්ථානය ලෙස උතුවන්කන්ද මුදුනේ පිහිටි ගල්ගුහාවට යළි ගියේය. මම්මලේ, කිරිහොඳා සහ සිරිමලාත් සරදියෙල්ගේ වුවමනා එපාකම් සොයාබැලීය. අවට ස්ථානවල සඟවා තිබුණු ආයුධ පතරොම් ආදිය නැවත ගල් ගුහාවට රැගෙන එන ලදී.
ආයුධ ද රැස්කර සරදියෙල් යළිත් තම රාජකාරියට බැස්සේය. සරදියෙල් යළි උතුවනට පැමිණ ඇති බවට ආරංචිය දැනගත් අවට ගම්වාසීහු දැඩි සතුටට පත්වූහ. දුප්පතුන් සඳහා ඔහු බෙදාදෙන දේ මාස ගණනක්ම නොමැති වීමෙන් බොහෝ දෙනා අසරණ බවට පත්ව සිටියහ.
අනතුරුව සරදියෙල් පෙරටත් වඩා මහා පරිමාණයෙන් කොල්ලකෑම් වල නිරත විය. කොළඹ සිට මහනුවර බලා දිවෙන තැපැල් අශ්ව කෝච්චිය නවතා එහි තිබූ මුදල් පැහැරගත් සරදියෙල්, සුදු ජාතිකයන් ගමන් ගත් අශ්ව කරත්ත නවතා ඔවුන් සතු වස්තුව කොල්ලකෑවේය.
සුදු පාලකයෝ අපේ රටේ සරුවට වැවී තිබුණු වන ගහණයට දැඩිසේ ආශා කළහ. කළුවර, බුරුත, නැදුන් වැනි දැවැන්ත ගස් කැපූ සුදු පාලකයින් ඉන් වටිනාම කොටස දැව වශයෙන් තම රට වූ එංගලන්තයට යැවූහ. තවත් වටිනා දැව යොදා මෙරට පිහිටි ඔවුන්ගේ නිවාසවලට යොදාගත්හ. මාවනැල්ල, කෑගල්ල ආදී ප‍්‍රදේශවල වන ගහණය මේ නිසා දැඩි තර්ජනයකට ද ලක්විය.
දිනක් වටිනා දැව කඳන් තොගයක් රැගෙන මා ඔය දිගේ පාරු මගින් රැගෙන යමින් සිටියදී මාවනැල්ල ප‍්‍රදේශයේදී ඔවුන්ව අල්ලාගන්නට සරදියෙල්ට හැකිවිය. පරදේශක්කාරයන්ට ගැතිකම් කරන අපේ රටේ කම්කරු පිරිසක් සුදු ජාතිකයෝ සඳහා මේ දැව තොගය රැගෙන යමින් සිටියහ.
දැව තොගය පිටින්ම පාරුව පැහැරගත් සරදියෙල් එම දැව තොගය තමන්ගේ අඩවිය දෙසට රැගෙන ගියේ පාරුවේ සිටි කම්කරුවන්ට පහරදී එළවා දැමීමෙන් අනතුරුවය.
සරදියෙල්ට එරෙහිව යළිත් වරෙන්තු නිකුත්වූයේ ඉන් අනතුරුවය. සෝන්ඩරස් දිසාපතිවරයාට යළිත් වරක් සරදියෙල්ගේ හිසරදය දැනෙන්නට පටන්ගත්තේය.
සරදියෙල්ට එරෙහිව පැමිණි විශාලතම කොල්ල සිද්ධිය වාර්තා වන්නේ දොළොස්බාගේ ප‍්‍රදේශයෙනි. ප‍්‍රවාහනය කරමින් තිබූ කෝපි හා ගම්මිරිස් තොගයක් ගැල්කරුවන්ට පහරදී ගැල් පිටින්ම පැහැරගෙන තිබුණි. අරනායක වැවිලිකරුවන්ගේ හා දොළොස්බාගේ වැවිලිකරුවන්ගේ ඉල්ලීම පරිදි එවකට පොලිස් දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා වූ පොලිස් සුපරින්ටන් මැකාර්ති අරනායක ප‍්‍රදේශයේ පොලීසියක් ආරම්භ කළේය.
මේ පොලීසිය ආරම්භ කරන ලද්දේ සරදියෙල්ගෙන් වතු හිමියන්ට හා ඔවුන්ගේ දේපල වලට නිරන්තරයෙන් එල්ලවන බලපෑම් නිසාය. පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරුන් සිව්දෙනකු මේ පොලීසියට මුලින්ම අනුයුක්ත කරන ලද අතර පසුව ද තවත් නිලධාරීහු කිහිපදෙනෙක් ඊට අනුයුක්ත කළහ.
මේ පොලීසිය පිහිටුවීමෙන් පසුව පොලීසියේ නිලධාරීහු සරදියෙල්ගේ ගෝලයින් පිළිබඳව තොරතුරු රැස්කළහ. මම්මලේ, බයියා, සිරිමලා, හවඩියා පිළිබඳව තොරතුරුත් සරදියෙල්ගේ පෙම්වතිය බව කියන තංගම්මා පිළිබඳවත් තොරතුරු රැසක් පොලීසිය රැස් කළහ.
තංගම්මා යනු කාදර් නමැති මුස්ලිම් ජාතිකයාගේ බිරිඳය.
එහෙත් කාදර්ගේ බිරිඳ වීමට පෙර සිටම සරදියෙල් හා තංගම්මා අතර පේ‍්‍රම සබඳතාවක් තිබිණි. කාදර් සමග සහේට ගිය පසුත් මේ සබඳතාව සරදියෙල් පවත්වාගෙන ගියේය. මේ ගැන කාදර් දැන සිටියත්, සරදියෙල්ට වූ බිය නිසා ඊට එරෙහි නොවීය.
ඇය මාවනැල්ලට ආසන්නව කෝපි කඩයක් පවත්වාගෙන ගියාය. කාදර් නොමැති අවස්ථාවක් බලා සරදියෙල් කඩයට ඇතුල් වූයේ තමාගේ මිතුරා වූ මම්මලේ මුරට තබාය. තංගම්මාගේ හා සරදියෙල්ගේ මෙම හමුවීම ආරංචි වී පොලීසිය කිහිපවරක්ම කඩය වැටලූ නමුත් සරදියෙල් කොටුකරගන්නට පොලිීසියට නොහැකි විය.
1864 මාර්තු 07 දින අලූයම ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අමාන්ට ඔත්තුවක් ලැබුණේය. ඒ සරදියෙල් හා මම්මලේ මරික්කාර් පිචෝහාමිගේ කෝපි කඩයේ සිටින බවටය. ඔත්තුව සපයනු ලැබුවේ පොලිස් ඔත්තුකරුවකුය. එහෙත් ඒ වන විට සරදියෙල් කුරුණෑගලට පලාගොස් තිබිණි.
පෙබරවාරි 19 දා පොලිස් පරීක්ෂක අමාන්ට ඔත්තුවක් ලැබුණේය. ඒ අනුව පොලීසිය උතුවන්කන්ද අසල නිවසක් වැටලූහ. එහෙත් සරදියෙල් එහි නොවීය. නමුත් ඒ අවට සඟවා තිබූ තුවක්කු කීපයක් හා පතරොම් කිහිපයක් සොයාගන්නට පොලීසියට හැකිවිය.
සරදියෙල් අත්අඩංගුවට ගැනීමට අසමත් වීම පිළිබඳව ඉංග‍්‍රීසි ආණ්ඩුවේ ඉහළ නිලධාරීහු කෑගල්ල දිසාපති සෝන්ඩර්ස්ට දෝෂාරෝපනය කළහ. සෝන්ඩර්ස් දිසාපතිවරයා ප‍්‍රදේශයේ සියලූම ගම්මුලාදෑනීන්, ආරච්චිලා සහ කෝරාලවරුන් කැඳවා සරදියෙල් අල්ලා ගැනීමට ඇති අවශ්‍යතාව සහ ඊට අවශ්‍ය උපදෙස් ද ලබා දුන්නේය. ඒ සඳහා උපකාර කරන හෝ ඔත්තුවක් දෙන අයට දහසින් බැඳි පියලි පිරිනමන බවද නිවේදනය කළේය. මේ නිලධාරී පිරිස පොලීසියද සමග ගොස් උතුවන්කන්ද ප‍්‍රදේශයේ දැවැන්ත සෝදිසියක් කළද සරදියෙල් පිළිබඳව හෝඩුවාවක් හෝ දැනගන්නට නොහැකි විය.
පොලීසිය තවත් සෝදිසියක් කළේය. රයිෆල් භට කණ්ඩායමක් සමග අරනායක පොලිස් ප‍්‍රධානී අමාන් හා කොස්තාපල් ජෝර්ජ් මැන්ගාර්ට් ඇතුළු පොලිස් නිලධාරීහු පිරිසක් එවරද වටකළේ පිචෝහාමිගේ කෝපි කඩයයි. ඒ අවස්ථාවේ සරදියෙල් කෝපි කඩයේ සිටියේය. තම පුතුට අත්වන්නට යන ඉරණම පිළිබඳව පිචෝහාමි ඉවෙන් මෙන් දැනගත්තාය. ඇය සරදියෙල්ට මේ බව ඉඟිකළාය. සරදියෙල්ගේ අත ගිනි අවියක් තිබූ අතර, ඔහු එය රැගෙන එළියට එනවිටද පොලීසිය මග රැක සිටියහ.
සරදියෙල්ගේ තුවක්කුව පළමුව පත්තුවිය. උණ්ඩයට බිලිවූයේ ජෝර්ජ් මැන්ගාර්ට් නමැති කොස්තාපල්වරයාය. වෙඩි හුවමාරුව දිගු වේලාවක් පැවැති අතර කිසිදු අනතුරකින් තොරව එතැනින් පලා යන්නට සරදියෙල්ට හැකිවිණි.
දිසාපති සෝන්ඩර්ස් අඛණ්ඩව ප‍්‍රදේශයේ මෙහෙයුම් දියත් කළේය. එහෙත් සරදියෙල් ඒ වනවිටත් මාතලේ ප‍්‍රදේශයට පැනගොස් තිබිණි. සරදියෙල් පිළිබඳ වූ වාර්තා යටත්විජිත භාර මහලේකම්වරයාට ද මේ වන විට වාර්තාවී තිබුණි. ඉංග‍්‍රීසි පාලනයට මහත් අභියෝගයක් වී ඇති මේ මහා කොල්ලකරු අධිකරණයට පමුණුවා දඬුවම් ලබාදෙන ලෙස එවකට ලංකාවේ ආණ්ඩුකාර ධූරය දැරූ මේජර් ජනරාල් ටෙරන්ස් ඩබ්රියන්ට ද මහලේකම්වරයා නියෝග කළේය.
පොලිස් පරීක්ෂක මැකාර්තිට මේ සියලූ බලපෑම් ආවේය. ඔහු කල්පනා කළේ සරදියෙල් අල්ලාගන්නට නම් පාවාදෙන්නෙකු අල්ලා ගත යුතු බවය. මේ නිසා පොලිස් ප‍්‍රධානී මැකාර්ති සරදියෙල්ගේ හොඳම මිතුරන් කෙරෙහි සොයා බලන්නට විය.
ආරච්චි කෙනකු මගින් සරදියෙල්ගේ හොඳම මිතුරකු වූ සිරිමලා අල්ලා ගැනීමට මැකාර්ති සමත් විය.
(ලබන සතියේ - සරදියෙල් මිතුරාගේ උගුලට හසුවෙයි)