බලයට ගේන්න බලය දුන් බලවේගවල ගොදුරක්වූ බණ්ඩාරනායක



අගමැතිවරයකු ඝාතනය කළ බවට චෝදනා ලැබූ මිනිසකු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීම ජනප්‍රියත්වයට තුඩු දෙන්නක් නොවන අතර එය පහසු කටයුත්තක් ද නොවේ. එකී අග්‍රාමාතවරයා, අලුතෙන් පිහිට වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සභාගයට නායකත්වය දෙමින් 1956 ඓතිහාසික වූත්, තීරණාත්මක වූත් මැතිවරණ ජයග්‍රහණය ලබා ඝාතනයට ලක්වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් වූ විට චූදිතයා වෙනුවෙන් පෙනී සිටීමේ අසීරුතාව වඩාත් පැහැදිලි වේ.

බලයට පැමිණි බොහෝ ආණ්ඩු මෙන්ම ආරම්භයේ දී අග්‍රාමාත්‍යවරයා හට තිබූ මහජන ප්‍රසාදය බලයේ සිටි වසර කිහිපය තුළ කෙමෙන් හීන වී යන්නට ගත්තේය. එහෙත් ඔහු අකාලයේ ඛේදනීය ලෙස මරුමුවට පත්වීම ඔහුගේ සහායකයන්ගේත් විරුද්ධවාදීන්ගේත් සිත් කම්පාකරන සිද්ධියක් බවට පත් විය.

1959 සැප්තැම්බර් 25 වැනිදා රාජකාරි කටයුත්තකට ඔහු හමුවෙන්නට පැමිණි මුවාවෙන් බෞද්ධ භික්‍ෂුවක් අගමැතිවරයාගේ කොළඹ 7 පිහිටි රොස්මිඩ් පෙදෙසේ නිවසට ආයේය. රිවෝල්වරයක් ඉවත ඇදගත් ඔහු බණ්ඩාරනායක මහතාට වෙඩි පිට වෙඩි තැබුවේය. දරුණු තුවාල ලැබූ එතුමා පසුවදා රෝහලේ දී අභාවප්‍රාප්ත වූයේය.

වෙඩි තැබීම සම්බන්ධයෙන් කඩිනමින් පොලිස් විමර්ෂණ ආරම්භ වූ අතර වෙඩි තැබීම සිදුවී පැය කිහිපයක් ඇතුළත අගමැතිවරයාට වෙඩි තැබූ පුද්ගලයා, තල්දූවේ සෝමාරාම හිමි බව හඳුනා ගන්නා ලදී. ඔහුත්, එම කුමන්ත්‍රණයට හවුල් වූ තව කිහිප දෙනකුත් පොලීසිය විසින් හඳුනාගනු ලැබ ඊළඟ සති කිහිපයේ දී ඔවුන් මහේස්ත්‍රාත් පරීක්ෂණයට ඉදිරිපත් කෙරිණි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් එන්.ඒ. ද සිල්වා ඉදිරියේ 1959 දෙසැම්බර් 14 වැනිදා මහේස්ත්‍රාත් පරීක්ෂණ ඇරඹුණේය.

චූදිතයන් ලෙස පුද්ගලයන් සත් දෙනකු නම් කරන ලදී. සෝමාරාමට අමතරව එවකට කැලණි රජමහා විහාරාධිපති පූජ්‍ය මාපිටිගම බුද්ධරක්ඛිත, එච්.පී. ජයවර්ධන, අනුර ද සිල්වා, පොලිස් පරීක්ෂක නිව්ටන් පෙරේරා, බණ්ඩාරනායක රජයේ අමාත්‍යවරියක වූ විමලා විජයවර්ධන සහ කරෝලිස් අමරසිංහ යන අයට එම චෝදනා එල්ල විය. ඒ සියලු දෙනා බුද්ධරක්ඛිතගේ විශ්වාසය දිනාගත් සමීපතමයෝය.

මහේස්ත්‍රාත් පරීක්ෂණයේ අරමුණ වූයේ මිනීමැරුම සහ මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොණුකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීම සඳහා ප්‍රමාණවත් සාක්‍ෂි සහිත චූදිතයන් කවුදැයි සැකහැර නිශ්චය කිරීමය. මහේස්ත්‍රාත් පරීක්‍ෂණය 1960 ජූලි 27 වැනිදා නිමාවට පත්වූ අතර අමරසිංහට කොන්දේසි සහිත සමාවක් පිරිනැමිණි. ඒ අනුව ඔහු රජයේ සාක්‍ෂිකරුවා බවට පත්විය. ඒ අතර විමලා විජයවර්ධන නඩුවෙන් නිදහස් කිරීමේ මහේස්ත්‍රාත් නියෝගය ද නිකුත් විය.

මිනීමැරීම සහ ඊට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත අනෙක් පස් දෙනාට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ලදී. එහිදී බුද්ධරක්ඛිත පළමුවැනි චූදිතයා ලෙස නම් කරන ලද අතර සෝමාරාම හතරවැනි චූදිතයා විය.


වීරමන්ත්‍රී නඩුව භාර ගැනීම
ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව ආරම්භවීමට පෙරාතුව සෝමාරාමගේ අධිනීතිඥවරයා, නීතිඥ ලූෂන් ජී. වීර මන්ත්‍රී වෙත පැමිණ භික්‍ෂුව වෙනුවෙන් නඩුවට පෙනී සිටින ලෙස ඉල්ලා සිටියේය. මුලින් ඊට අදිමදි කළ වීරමන්ත්‍රී නඩුව භාරගැනීමට තීරණය කළේය. තමාගේ සේවාදායකයා මුහුණ දෙන චෝදනා නිසා ඔහු කෙතරම් ජන අප්‍රසාදයට පත්ව සිටිය ද ඕනෑම පුද්ගලයකුට සාධාරණ හා ස්වාධීන නඩු විභාගයකට පෙනී සිටීමේ අයිතිය ඇති බව හෙතෙම සිතේ ධාරණය කර ගත්තේය. වීරමන්ත්‍රී අන්තර්ජාතික නීතිඥවරුන්ගේ කොමිසම ඇතුළු සංවිධාන කිහිපයකම අන්තර්ජාතික නෛතික කටයුතු ඒ වනවිට ඉටු කර තිබිණි.

එකී සංවේදී නඩු විභාගයේදී සෝමාරාම වෙනුවෙන් පෙනී සිටිමින් ලත් අත්දැකීම් පදනම් කරගෙන හෙතෙම 1969 දී පොතක් පළ කළේය. “Assassination of a Prime Minister” හෙවත් ‘අගමැතිවරයකුගේ ඝාතනය’ යනුවෙන් නම් කළ එම පොතේ තුන් මසකට ආසන්න කාලයක් විමසනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ තොරතුරු සම්පිණ්ඩනය කර තිබේ. සාක්‍ෂිකරුවන් 97 දෙනකුගෙන් සාක්‍ෂි විමසනු ලැබූ එම නඩු විභාගය නිමාවට පත් වූයේ චූදිතයන් තුන්දෙනකුට මරණ දඬුවම නියම කරමිනි.


සැප්තැම්බර් 25 දින සිදු වූ අනපේක්‍ෂිත සිද්ධිය
එම පොතේ හැඳින්වීමේ දී කතුවරයා 1959 සැප්තැම්බර් 25 වැනි දින උදයේ සිදුවූ අනුවේදනාත්මක සිද්ධිය අනාවරණය කරමින් සිද්ධිය විස්තර කරයි. එදින කොළඹ නගරයේ කටයුතු සිදුවෙන සාමාන්‍ය දිනයක් මෙන් දවස ආරම්භ විය. බොහෝ උදවිය තම තමන්ගේ දෛනික කටයුතුවලට එදින පිටත්ව ගියහ. තම තමන්ට වැදගත් වූ කාරණා අගමැතිවරයාගේ අවධානයට යොමු කරනු පිණිස ඇතැම්මු රොස්මිඩ් පෙදෙසේ පිහිටි අගමැතිවරයා පදිංචි නිවසට යමින් සිටියහ. බලයට පත්වීමෙන් අනතුරුව නිල නිවාසය වූ අරලියගහ මන්දිරයට යනු වෙනුවට අගමැතිවරයා තම පෞද්ගලික නිවාසයේම රැඳී සිටි නිසා අමුත්තන් ඔහු මුණ ගැසුණේ එහිදී බව වීරමන්ත්‍රී ලියයි.

එම නිවසට පිවිසෙන ගේට්ටු දෙකෙහි සිටි මුරභටයන් පසුකරගෙන යන්නට අමුත්තන්ට කිසිදු අපහසුවක් නොවූ බව ද කතුවරයා කියා සිටී. ‘‘බීමත් පුද්ගලයන්ටත්, මානසික රෝගවලින් පෙළෙන පුද්ගලයන්ටත්, වැඩ වර්ජකයන්ටත් හැර අනෙක් සියලුම අමුත්තන්ට නිවසට එන්නට ඉඩ දෙන ලෙස මුරභටයන්ට උපදෙස් දී තිබිණි. නිවසට පිවිසි අය අගමැතිවරයා පැමිණ ඔවුන් හා කතා කරනතුරු සාමාන්‍යයෙන් විවෘත දීර්ඝ වැරැන්ඩාවේ හිඳගෙන සිටිය යුතු වූයේය. සියලුම ආසන පිරී තිබුණු අවස්ථාවල ඇතැමුන්ට හිටගෙන සිටින්නට සිදුවිය’’ යනුවෙන් කතුවරයා කියයි.

එම දෛවෝපගත දිනයේ පෙ.ව. 9.30 ට පමණ වන විට අගමැතිවරයා මුණ ගැසෙන්නට 40 ක පමණ පිරිසක් පැමිණ සිටියහ. ඔවුන් රැඳී ඉන්නා අතරතුර ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති බර්නාර්ඩ් ගෆ්ලර් පැමිණි අතර ඔහුට සැනෙකින් නිවසේ අසුන් පනවන ලදී. ඔහු අගමැතිවරයා සමග කෙටි සංවාදයක යෙදී හිඳ, එය නිමාවූ පසු දෙදෙනාම වැරැන්ඩාවට පැමිණියහ. ඉන්පසු තානාපතිවරයා පිටත්ව ගියේය. අගමැතිවරයා සැප්තැම්බර් 28 වැනිදා නිල චාරිකාවක් සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටත්ව යාමට නියමිතව තිබිණි. ඇමරිකානු තානාපතිවරයා පිටත්ව ගිය පසු පැමිණි සෙනඟ අතර රාජ නීතිඥ නෝමන් ඊ වීරසූරිය සිටිනු අගමැතිවරයාගේ නෙත ගැටුණේය. ඔහුට නිවසට එන්නට ආරාධනා කළ අගමැතිවරයා ඔහු සමග කෙටි සංවාදයක යෙදී සිටීමෙන් අනතුරුව, දෙදෙනාම වැරැන්ඩාවට පැමිණියෝය. ඉන්පසු වීරසූරිය පිටත්ව ගියේය.

අගමැතිවරයා අනෙක් අමුත්තන් වෙත තම අවධානය යොමු කළේ පෙ.ව. 10.00 ට පමණය. එදින ගොවීන්, ගුරුවරුන්, දේශපාලනඥයන් හා භික්‍ෂූන්ගෙන් සමන්විත නානාවිධ පිරිසක් පැමිණ සිටි ආකාරය වීරමන්ත්‍රී විස්තර කරයි. අගමැතිවරයා ප්‍රථමයෙන් වයස්ගත පුද්ගලයන් සමග කතා කොට ඊළඟට භික්‍ෂුවක හා කතා කළේය. ඉන්පසු ඔහු තවත් භික්ෂුවක වෙත හැරුණේය. ඔහු ද සිටියේ හිඳගෙනයි. එසැනින්ම වාගේ පිට පිට වෙඩි හඬ නිකුත් වෙන්නට ගත්තේය. වාතාවරණය මුළුමනින් අවුල්ව ගොස් සියල්ල භීතිය දනවන දර්ශනයකට පෙරළිනි.

වෙඩි තැබීම නිසා අගමැතිවරයාත් තවත් පුද්ගලයකුත් තුවාල ලැබූ අතර දෙදෙනාම කොළඹ මහ රෝහල වෙත රැගෙන යන ලදී. මේ වනවිට පිස්තෝලයක් අතැතිව සිටි හිමිනමක අල්ලා ගත් පිරිසක් ඔහුට පහර දෙමින් සිටියහ. පසුව එම තැනැත්තා තල්දූවේ සෝමාරාම හිමි බව හඳුනා ගැනිණි. කොළඹ පිහිටි දේශීය ආයුර්වේ ද විද්‍යාලයක කථිකාචාර්යවරයකු ලෙස වසර කිහිපයක් කටයුතු කළ හෙතෙම සුප්‍රසිද්ධ ඇස් වෙදෙකි. ඊට පසුදින පෙ.ව. 8.00 පමණ අගමැතිවරයා ලැබූ තුවාල හේතුකොටගෙන මරණයට පත්විය. මෙම දුක්මුසු පුවතේ අන්ධකාරය රටපුරා පැතිර යද්දී, මෙකී කුරිරු ක්‍රියාව පසුබිමේ සිටිනා අය හඳුනා ගැනීම පිණිස පොලිස් විමර්ෂණ ආරම්භ වූයේය.

ඓතිහාසික බණ්ඩාරනායක ඝාතන නඩු විභාගය 1961 පෙබරවාරි 22 ඇරැඹුණේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අණ පරිදි මහ රැජිණගේ අධිකරණයේ විනිශ්චයකාර ටී.එස්. ප්‍රනාන්දුගේ මෙහෙයවීම යටතේය. දැඩි පරිශ්‍රමයකින් පසු හත්දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක් පත් කරන ලද අතර රජයේ විදුලි ඉංජිනේරුවරයකු වූ ඩී.ඩබ්.එල්. ලීවර්ස් ඔවුන්ගේ ප්‍රධානියා ලෙස පත් කරන ලදී.


රජයේ සාක්‍ෂිකරු කරෝලිස් අමරසිංහ
පැමිණිල්ලේ පළමු විත්තිකරු වූ කරෝලිස් අමරසිංහ රජයේ සාක්‍ෂිකරුවා බවට (රැජිණගේ) පත්කොට පැමිණිල්ල උදෙසා සත්‍යතාවයෙන් පිරි සාක්‍ෂි සපයන කොන්දේසිය මත ඔහුට සමාව පිරිනැමිණි. වෘත්තියෙන් ආයුර්වේද වෛද්‍යවරයකු වූ අමරසිංහ ශ්‍රීලනිප ප්‍රාරම්භක සාමාජිකයකු වූ අතර දිවංගත අග්‍රාමාත්‍යවරයාට හිතෛෂී ඔහුගේ ප්‍රශංසාවට බඳුන් වූ අයකු විය. පක්‍ෂය වෙනුවෙන් ක්‍රියාකාරී ලෙස කටයුතු කළ නිසා ඔහුට කැලණිය විහාරයේ විහාරාධිපති බුද්ධරක්ඛිත සමග ද සම්බන්ධතා ඇතිකරගත හැකි වූයේය. බුද්ධ රක්ඛිත ප්‍රබල ජාතික භික්‍ෂු පෙරමුණේ ප්‍රධානියා ද වූයේය. මහ මැතිවරණයෙන් එ.ජා.ප. ය පරාජය කොට මහජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කිරීම උදෙසා 1956 දී බණ්ඩාරනායක මහතා පසුපස මහා බලවේගයක් ලෙස කටයුතු කළේ මෙම ජාතික භික්ෂු පෙරමුණයි.

එජාපය දිනාගත් ආසන සංඛ්‍යාව 8 දක්වා පහත වැටුණු අතර මහජන එක්සත් පෙරමුණ එම මැතිවරණයේ දී ආසන 51 ක් දිනා ගන්නා ලදී.

සාක්‍ෂිකරු වූ අමරසිංහ දෙමටගොඩ බේස්ලයින් පාරේ විශාල ගෙමිදුලක් සහිත නිවසක වාසය කළ අතර එහි කාමරයක්, රෝගීන්ට වෛද්‍ය උපදෙස් දීම සඳහා භාවිත කෙරිණි. බණ්ඩාරනායක මහතා බලයට ගෙන ඒම සඳහා වෙහෙස නොබලා ක්‍රියා කළ බල වේගම 1959 මැද හරිය වනවිට ඔහුගේ පරම සතුරන් බවට පත්වූ බව ඔහුගේ සාක්‍ෂියෙන් පෙනුණේය.

ඝාතනය සිදුවීමට මාස දෙකහමාරකට පමණ පෙර බුද්ධරක්ඛිත පළමු වරට ඔහුගේ නිවසට, සෝමාරාම, ජයවර්ධන හා පොලිස් පරීක්ෂක නිව්ටන් පෙරේරා සමග පැමිණි වග අමරසිංහ නඩුවේ දී හෙළිදරව් කළේය. ඉන් පසු කිහිප වාරයක්ම ඔවුන් පැමිණ තිබිණි. මෙසේ පැමිණි අවස්ථාවල රිවෝල්වරයකට උණ්ඩ සපයා ගැනීම පිළිබඳව සහ ඔවුන් මුතුරාජවෙල නියැළී සිටි වෙඩි තැබීමේ පුහුණුවීම් පිළිබඳව රහසේ සාකච්ඡා කරන්නට ඔහු හවුල් වී තිබේ. සෝමාරාම තනිවම තම නිවසට පැමිණි දිනයක ඔහු කල් යල් බලා ඔවුන් වෙඩි තැබීම පුහුණු වන්නේ ඇයි ද යන්න විමසා බැලීමට අවස්ථාව උදාකරගත් බව අමරසිංහ කියා සිටියේය. සෝමාරාම හිමි ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ ‘‘ලොක්කෙකුට වෙඩි තියන්න’’ යනුවෙනි. ‘‘ලොක්කා කවුදැයි ඔහු ඇසූ විට සෝමාරාම කියා ඇත්තේ ‘‘අගමැතිතුමා’’ කියාය. එම පිළිතුරෙන් කලබලයට පත්වූ අමරසිංහ සෝමාරාමටත් එවැනි දේ කිරීමට කුමන්ත්‍රණය කළ අන්‍යයන්ටත් තම නිවසට නැවත පැමිණීම තහනම් කර තිබේ. ඊට සතියකට පසුව බුද්ධරක්ඛිත සහ ජයවර්ධන කෙටි වේලාවක ඔහු හමුවට පැමිණියහ. ඔවුන් දැක ඔවුන් සිටි කාර් රථය වෙත ඔහු ගිය විට සෝමාරාම කී දේ බොරු වග බුද්ධරක්ඛිත කියා තිබේ. ‘‘ඒ අදහස් අපි අත්හැරලා දැම්මා. ඒ නිසා එයා කියූ කිසි දෙයක් කාටවත් කියන්න එහෙම එපා’’ එසේ කී බුද්ධරක්ඛිත එසැණින්ම එතැනින් නික්ම ගොස් ඇත.

එදා සිට අගමැති ඝාතනය සිදු වූ දින දක්වා චූදිතයන් තමා හමුවට නොපැමිණි බව කී අමරසිංහ එක් දවසක් පමණක් ජයවර්ධන ඔහුගේ බිරිඳට බෙහෙත් ගැනීම සඳහා පැමිණි බව කියා සිටියේය. එසේ පැමිණි අවස්ථවේ අමරසිංහ, ජයවර්ධනගෙන්, අගමැතිවරයාට වෙඩි තබන්නට සැරසීම ගැන සෝමාරාම කී දේ ගැන විමසුවේය. එය බොරු යයි ජයවර්ධන පිළිතුරු දී තිබේ.

අගමැතිවරයාට වෙඩි තැබූ දින හවස අමරසිංහට, බුද්ධරක්ඛිතගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. කිසි දේකට බිය නොවන ලෙසත් නිහඬව සිටින ලෙසත් එහිදී බුද්ධරක්ඛිත කියා තිබේ. ඔක්තෝබර් මාසය මැද වනවිට බුද්ධරක්ඛිත හා අමරසිංහ අතර සම්බන්ධතාව අනාවරණය කරගත් පොලීසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කොට පසුව ඔවුන් ජයවර්ධනත් සමග රිමාන්ඩ් භාරයට ගන්නා ලදී.

කුමන්ත්‍රණය සනාථ කරගැනීමට අමරසිංහගේ සාක්‍ෂිය ඉවහල් වූ අතර විත්තියේ හරස් ප්‍රශ්නවලට මුහුණ දෙන විට ඔහු පරස්පර ප්‍රකාශ කිහිපයක් සිදු කළේය. අගමැතිවරයාට වෙඩි තැබීමට සැළසුම් කර ඇති බව සෝමාරාම කී විට තමා ඒ පිළිබඳව කිසිවකුට දැනුම් දීම සඳහා පියවර නොගත්තේ මන්දැයි යන ප්‍රශ්නයට ඔහු පිළිතුරු නොදී සිටියේය.


බුද්ධරක්ඛිතගේ ක්‍රියා කලාපය
ඝාතන කුමන්ත්‍රණයේ  දී බුද්ධරක්ඛිත ඉටු කළ කාර්ය කොටස පිළිබඳව තොරතුරු හෙළිදරව් කර ගැනීම සඳහා අධිකරණය, බුද්ධරක්ඛිතව හොඳින් හඳුනාගෙන සිටි කැලණියේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු සාක්‍ෂියට කැඳෙව්වේය. ඔවුන්ගේ සාක්‍ෂිය ඔස්සේ අනාවරණය වූයේ භික්‍ෂුව රාජ්‍ය නායකයා සමග අමනාපයෙන් සිටි බවයි.

ඔහු සහ ඔහුගේ ව්‍යාපාරවලට හවුල් වූ අයට වාසි සහගත වැදගත් තීරණයක් ගැනීම අගමැතිවරයා ප්‍රතික්ෂේප කිරීම ඊට හේතුවයි. අත්අඩංගුවට ගත් දා දක්වා සෝමාරාම පදිංචිව සිටි ඔබේසේකරපුර අමර විහාරය අවට පදිංචිකරුවන් කිහිප දෙනකුට පැමිණිල්ලෙන් සාක්‍ෂියට කැඳවනු ලැබුවේය. ඝාතනයට පෙරාතුව දින කිහිපයක දී බුද්ධරක්ඛිත, ජයවර්ධන සමග එහි පැමිණි වග ඔවුහු තහවුරු කොට කියා සිටියහ. විමලා විජයවර්ධනගේ නිවසේ සේවය කළ මෙහෙකරුවකුගෙන්ද අධිකරණය සාක්ෂි විමසීය. බුද්ධරක්ඛිත නිතර එම නිවසට එන යන අයකු බවත් අනෙක් චූදිතයා ද කලින් කලට එහි පැමිණි බවත් ඔවුන් එහි දීර්ඝ සාකච්ඡාවල නියැළී සිටි බවත් ඔහු කීවේය.


වෙඩි තැබීම දෑසින් දුටු සාක්‍ෂිය
අගමැතිවරයාට වෙඩි තබන සිද්ධිය ඇසින් දුටු ප්‍රධාන සාක්ෂිකරුවා වූයේ පූජ්‍ය ආනන්ද නම් හිමි නමකි. එම දෛවෝපගත දිනයේ පෙ.ව. 10.00 ට පමණ ගොවීන් පිරිසක් සමග ආනන්ද හිමි අගමැතිවරයා මුණ ගැසීම සඳහා පැමිණ සිටියේය. පැමිණි විට වැරැන්ඩාවේ තිබූ සියලු ආසන පිරී තිබුණ ද එක් තරුණයකු නැගිට ආනන්ද හිමිට සිය ආසනය පිරිනමා තිබේ. ආනන්දහිමිගේ වම් පස හිඳගෙන සිටි සෝමාරාම හොඳින් හඳුනාගෙන සිටි අයකු වූයේය. එබැවින් දෙදෙනා වචන දෙක තුනක් හුවමාරු කර ගත්හ.

අගමැතිවරයා පිටතට පැමිණ අමුත්තන් හා දොඩන විට ඔහු මුලින්ම පැමිණියේ ආනන්ද හිමියන් ළඟටය. උන්වහන්සේට වැඳ කතා කර, අගමැතිවරයා සෝමාරාම වෙත හැරී නැමී වැන්ඳේය. තම හිස ඔසවමින් අගමැතිවරයා, පැමිණි කාරණය සෝමාරාමගෙන් විමසීය. මහා පිපුරුම් හඬක් ඇසුණේ ද එම අවස්ථාවේදීය. අනෙක් පස බලා සිටි ආනන්ද හිමි එසැණින්ම ආපසු හැරී බලන විට සෝමාරාම පිස්තෝලය දෑතින්ම අල්ලාගෙන අගමැතිවරයාට එල්ලකරගෙන සිටිනු දුටුවේය. එවර ‘‘අම්මෝ...’’ කියා කෑ ගැසුණ ආනන්ද හිමියන්ගේ දෑස වැසී ඇත්තේ ඉබේමය. තවත් වෙඩි හඬ දෙකක් පුපුරන හඬ ඔහුට ඇසුණේය.


අගමැතිවරයා
තුවාල ලැබූ අගමැතිවරයා ගෙතුළට දිව යද්දී සෝමාරාම පිස්තෝලය අතැතිව ඔහු පිටුපස දිව ගියේය. ආනන්ද හිමියන් එවිට ගේට්ටුව පැත්තට දිවගොස් ඇත්තේ මුර සේවයේ යෙදෙන අයට සිදුවූ දේ දැනුම් දීමටයි. එම කලබලය මැද්දේ එතැන සිටි කිහිප දෙනෙක් සෝමාරාම අල්වාගෙන ඔහුට පහර දුන්නෝය. එතැනට පැමිණි පොලිස් නිලධාරීන් වෙඩි තැබීම නිසා සෝමාරාම තුවාල ලැබුවේය.

ඒ වනවිට තුවාල ලැබූ අගමැතිවරයා සිටියේ ගෙතුළය. ආනන්ද හිමි තවත් කිහිපදෙනකුගේ ද උදව් ඇතිව අගමැතිවරයා ඔසවාගෙන විත් රථයක නැංවූයේය. එම වාහනයෙන් ඔහුව රෝහල වෙත රැගෙන යන ලදී.
රෝහල වෙත රැගෙන ගොස් සුළු මොහොතකින් අගමැතිවරයා ශල්‍යකර්මයකට ලක් විය. එම සැත්කම කරනු ලැබුවේ සම්මානනීය ශල්‍ය වෛද්‍ය පී.ආර්. ඇන්තනීස් විසිනි. අගමැතිවරයා ඒ වනවිටත් සිහි ඇතිව සිටි අතර ඔහු වෛද්‍යවරයා සමග කතා කළේය. පැය පහකට වැඩි කාලයක් තිස්සේ පැවැති ශල්‍යකර්මයෙන් අනතුරුව අගමැතිවරයා නැවත කතා කළේය. තමා ඝාතනය කිරීමට පැමිණි තැනැත්තා ‘‘සිවුරක් පොරවාගත් මෝඩයකු’’ යයි හෙතෙම කීවේය.
නඩු විභාගයේ දී මෙම සිද්ධිය ඇසින් දුටු දෙදෙනකුත් අගමැතිවරයාගේ නිවසේ මිදුලට පිවිසෙන ගේට්ටුවේ මුර කුටියේ රාජකාරි කළ කොස්තාපල් සමරකෝන්ද සාක්‍ෂි දෙමින් එදින උදෑසන රොස්මිඩ් පෙදෙසේ නිවසේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය විස්තර කළේය.


සෝමාරාමගේ ස්ථාවරය
අනෙක් චූදිතයන් පස්දෙනා මිනීමැරුමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට මුහුණ දෙනවිට සෝමාරාම ඊට අමතරව මිනීමැරීමේ චෝදනාවට ද මුහුණ දුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාගය ඇරඹීමට පෙර, 1959 නොවැම්බර් 14 වැනිදා සෝමාරාම කොළඹ මහේස්ත්‍රාත් එන්.ඒ. ද එස්. විජේසේකර ඉදිරියේ ප්‍රකාශයක් දී තිබිණි.

මෙම නඩුවේ දී, ඔහු කලින් නඩුවේ විත්ති කූඩුවේ දී දුන් ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නට තීරණ්‍ ය කළේය. තමා එම ප්‍රකාශ කළේ අපරාධය කළ බව පිළිගන්නා ලෙස රහස් පොලිස් නිලධාරීන් බලපෑම් කළ නිසා යයි හෙතෙම කියා සිටියේය. තමා එසේ පාපොච්චාරණය කළහොත් සති කිහිපයක් තුළ තමා මුදා හරින බව රහස් පොලිස් නිලධාරීන් කී වග ඔහු මෙම නඩුවේ දී ප්‍රකාශ කළේය. ‘‘මම අගමැතිතුමාට වෙඩි තැබුවේ නැහැ. මා එසේ කීවේ නම් එය බොරුවක්. මහේස්ත්‍රාත්වරයාට මා කළ ප්‍රකාශය මම නිදහසේ කැමැත්තෙන් කළ එකක් නෙවෙයි. මම වරදකරුවා නෙවෙයි’’ මෙවර විත්ති කූඩුවේ හිඳ ඔහු කියා සිටියේය.


තීන්දුව
නඩුවේ සාක්‍ෂි විභාගය 1961 මැයි 5 වැනිදා නිමාවට පත්විය. ඉන් අනතුරුව විනිසුරු ටී.එස්. ප්‍රනාන්දු ජූරිය ඇමතුවේය. එම ඇමතීමෙන් පසු ජූරි සභිකයෝ තීන්දුව දීමට අදාළ කරුණු සාකච්ඡා කිරීම පිණිස නික්ම ගියහ. දින පහකට පසුව ජූරිය තම තීන්දුව රැගෙන පැමිණියේය. ජූරියේ ප්‍රධානියා වූ ලිවර්ස්, බුද්ධරක්ඛිත, ජයවර්ධන හා සෝමාරාම මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවටත් ඊට අමතරව සෝමාරාම මිනීමැරීම යන චෝදනාවටත් වරදකරු ලෙස ඒකමතිකව තීන්දු කළ බව නිවේදනය කළේය.

ඒකමතික ලෙස අනුර ද සිල්වා කිසිම චෝදනාවකට වරදකරු නොවන බව ද ජූරිය තීන්දු කළ බව ඔහු කියා සිටියේය. ඒ අතර නිව්ටන් පෙරේරා කිසිම චෝදනාවකට වරදකරු නොවන බව 5 ට 2 වශයෙන් තීන්දු වූ බව හෙතෙම නිවේදනය කළේය.

‘‘1961 මැයි 10 වැනිදා, ඉතිහාසයේ පෙර නොවූ තරම් සෙනඟක් ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ තීන්දුව දෙනු දැක ගැනීමට රැස්ව සිටියහ. එයින් දින දෙකක් ඉක්ම ගිය පසුව චූදිතයන්ගේ අවසන් ප්‍රකාශ ඇසීමට උසාවිය අසුන් ගත්තේය.’’ යනුවෙන් වීරමන්ත්‍රී ලියයි.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අධිකරණය ඇමතූ විනිසුරු ප්‍රනාන්දු, සෝමාරාම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලූෂන් ජී. වීරමන්ත්‍රී පිළිබඳ විශේෂ සඳහන් කිරීමක් කළේය.

‘‘ඔබ (සෝමාරාම) වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ පැවැති මෙම නඩු කටයුතුවල දී පෙනී සිටි නීතිඥවරයා දැඩි කැපවීමකින් යුතුව ඉටු කළ මෙහෙවර මෙම අධිකරණයේ සැමගේ පැසසුමට ලක් වෙනවා. එහෙත් ඔබට එරෙහිව ඇති සාක්‍ෂිවල ප්‍රබලත්වය නිසා ඔබව බේරාගත හැකි කිසිම නීතිඥවරයකු මෙතෙක් ඉප දී නොමැති බව මගේ මතයයි.’’


දඬුවම් නියම කිරීම
වරදකරුවන් ලෙස තීන්දු කරනු ලැබූ පුද්ගලයන් තිදෙනාගෙන් දඬුවම් නියම කිරීමට පෙර අවසාන වශයෙන් කියන්නට ඇත්තේ කුමක්දැයි විමසන ලදුව තිදෙනාම තමන් නිවැරදිකරුවන් බව ඔවුහු කියා සිටියහ. ඉන් අනතුරුව පැමිණියේ තිදෙනාට දඬුවම් නියම කිරීමේ අවස්ථාවයි.

‘‘අළු පැහැති හිස් පැළඳුමට උඩින් කාලවර්ණ හිස් වැස්මක් පැළඳගෙන සිටි විනිසුරු ප්‍රනාන්දු ගාම්භීරපූර්වකව නැගී සිටියේය. ඉන් අනතුරුව ජූරි සභාවත්, නීතිඥවරුත්, මහජනයාත් නැගී සිටියහ. ඉන්පසු සෙනඟින් පිරී ගිය උසාවිය පුරා පැතිර ගියේ දැඩි නිශ්ශබ්දතාවකි. සැවොම හුස්ම අල්ලාගෙන බලා සිටියහ. ඉන්පසු එතුමානෝ පළමු, දෙවැනි සහ සිව්වැනි චූදිතයන්ට මරණ දඬුවම නියම කළෝය.’’

අපරාධ අභියාචනාධිකරණය, අග්‍ර විනිශ්චයකාර හේම බස්නායක සහ තවත් විනිසුරුවරුන් සිව් දෙනකුගෙන් සමන්විත වූයේය. ඔවුහු බුද්ධරක්ඛිත හා ජයවර්ධනගේ මරණ දඬුවම් වෙනස් කරමින් ඔවුනට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළහ. එම චූදිතයන්ගේ නීතිඥවරයා ඉදිරිපත් කළ තර්කය වූ, මරණ දඬුවම පැනවීම නැවත හඳුන්වා දුන් පනතේ මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීමට අදාළ දඬුවම විශේෂිත ආකාරයට නැවත හඳුන්වා දී නැතැයි යන්න පිළිගැනීම නිසා එම චූදිතයන්ගේ මරණ දඬුවම වෙනස් වූයේය.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක රජයෙන් 1958 මැයි මාසයේදී මරණ දඬුවම ඉවත් කරනු ලැබිණි. ඝාතනය සිදුවී සති දෙකක් යන්නට මත්තෙන් ඩබ්ලිව්. දහනායක ප්‍රමුඛ රජයෙන් මරණ දඬුවම නැවත හඳුන්වා දෙන ලදී. එසේ කරන ලද්දේ අගමැතිවරයා ඝාතනය කිරීමට වැරදිකරුවන් වූ අය පෝරකයට දැක්කීම සඳහාමය. කෙසේ වුවද කඩිමුඩියේ ඊට අදාළ නීතිය සම්මත කරනවිට එකල පැවැති රජය නීතියේ ඉඩ තැබූ හිඳැසකින් අපරාධයට හවුල් වූ ප්‍රමුඛයන් දෙදෙනා මරණ දඬුවමෙන් බේරුණෝය.
සෝමාරාම එතරම් වාසනාවන්තයකු නොවූයේය. ඔහු ප්‍රිවි කවුන්සලයට අභියාචනා කළමුත් ලංකා අභියාචනා අධිකරණයෙන් දුන් තීන්දුවම නැවත තහවුරු කරමින් එයින් ද තීන්දුව ආයේය. 1962 ජූලි 6වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ පෝරකයේ ඔහු එල්ලා මරණු ලැබුවේය.

‘‘භික්‍ෂුවගේ නඩුව ඉතා අසීරු එකක් විය. නඩුව අසීරු වූ නිසා නීතිඥවරයකු නඩුව භාර ගැනීම ප්‍රතික්ෂේප නොකළ යුතු බව මගේ හැඟීමයි. එම සිද්ධිය ජන අප්‍රසාදයට ලක්වූවක් නිසා හෝ මරා දැමුණු පුද්ගලයා අගමැතිවරයා වීම නිසා විත්තිකරු වෙනුවෙන් පෙනී සිටීම ප්‍රතික්ෂේප කළ යුතු නොවේ. නීතිඥවරයකුගේ සේවාව ලබා ගැනීමේ අයිතියත් සාධාරණ හා ස්වාධීන නඩු විභාගයක් ලැබීමේ අයිතියත් සෑම පුද්ගලයකුටම ඇත’’ යනුවෙන් වීරමන්ත්‍රී සිය පොතේ ලියා තිබේ. එය බණ්ඩාරනායක ඝාතනය පිළිබඳව ලියූ පොත් අතුරින් වඩාත් පරිපූර්ණ පොතක් බවට සැක නැත.

 

- චාන්දනී කිරින්දේ විසිනි

(***)
2021.9.25 Daily FT පුවත්පතේ පළවූ
“Assassination of Prime Minister -Revisiting the Bandaranayake Murder Case 62 Years later” ලිපියේ
පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ