බලයම ඉල්ලන සන්ධාන දේශපාලනය


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ඉක්මන් කළ ආර්ථික අර්බුදයත් එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇති වූ දේශපාලන වියවුල්කාරිත්වයත් අතරේ අලුත් දේශපාලන පෙළ ගැසීම් ගණනාවක් ඇති වී තිබේ. ඒ පෙළ ගැසීම් වැඩි වශයෙන්ම ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  ආශ්‍රිතව ඇති වී තිබීම විශේෂ තත්ත්වයකි.

ඇතැම් අලුත් පෙළ ගැසීම් පොදුජන පෙරමුණ තුළ කාලයක් තිස්සේ කැකෑරෙමින් තිබූ මතභේදයි. ප්‍රතිපත්තිමය කරුණු නොවන නිසා ඒවා මතභේද යැයි හැඳින්වීම ද එක් අතකින් නිවැරැදි නොවේ.  ඒවා කාලයක් තිස්සේ එම පක්ෂයටත්, එම පක්ෂයේ පූර්වගාමියා වන එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් බොහෝ සෙයින් දර දිය ඇද්දවුන් නොතකා හැරීමේ ප්‍රතිඵලයයි.

එහෙයින් මෙම අලුත් පෙළ ගැසීම් නිර්මාණය කිරීමේ ගෞරවය හෝ අපකීර්තිය අත්වන්නේ පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට හෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හෝ නොව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාටය.

මෙම නව පෙළගැසීම් නව දේශපාලන සන්ධාන බවට මේ වනවිට පරිවර්තනය වී තිබේ. ඒ පළාත් පාලන මැතිවරණ ළංවීමත් සමඟය. එම මැතිවරණ මාර්තු මස 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

පොදුජන පෙරමුණ වෙතින් කැඩී හෝ වෙනත් ආකාරයකින් මේ වනවිට උතුරේත් දකුණේත් ගොඩ නැඟී ඇති සන්ධාන අතුරින් වඩාත් කැපී පෙනෙන සන්ධානය බවට පත් වී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය හා පොදුජන පෙරමුණ නොඩනගා ඇති සන්ධානයයි.

එහෙත් එය අනෙකුත් සන්ධාන මෙන් විධිමත්ව නිලතල බෙදාගෙන ගොඩනගා ගත් එකක් නොව නොනිල එකඟතාවකි. එම එකඟතාව අනුව එම පක්ෂ දෙක මෙවර මැතිවරණයට ද ඇතැම් පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා භාර දී තිබේ.

2005 සිට 2014 දක්වා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිත්වය දැරූ ආණ්ඩු දෙකේ හා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ මැති ඇමැති ධූර දැරූ පිරිසක්ද සන්ධාන දෙකක් අලුතින් ගොඩ නගා ගෙන සිටිති. ඇත්ත වශයෙන්ම එම සන්ධාන දෙක ගොඩ නඟා ගනු ලැබ ඇත්තේ මෑතක දී  ආණ්ඩුවෙන් කැඩුණු කණ්ඩායම් තුනක් විසිනි. විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම හා අනුර ප්‍රියදර්ශන යාපා එම කණ්ඩායම් තුනේ නිල හෝ සංකේතාත්මක නායකයෝය.

මෙයින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් ‘‘උත්තර ලංකා සභාගය’’ යන නමින් හවුලක්  ගොඩ නගා ගෙන සිටී. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා එම සන්ධානයේ නායකයාය. එසේම ශ්‍රීලනිප මෙම හවුල සමඟ ඉතා ලිහිල් ගනුදෙනුවක් පවත්වාගෙන යනු ද පෙනේ. 

ආණ්ඩුවෙන් කැඩුණු කණ්ඩායම් තුනෙන් ඉතිරි දෙක ‘‘නිදහස ජනතා සභාව’’ යන නමින් ක්‍රියාත්මක වේ. 2005, 2014/2015 හා 2019 මහින්ද රාජපක්ෂ මහතාගේ හා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ විශාල වැඩ කොටසක් කළ ඩලස් අලහප්පෙරුම මහතා එහි ප්‍රධානියාය.

ශ්‍රී ලංකාවේ පැරණිම සංවිධානයක් වන ලංකා කම්කරු කොංග්‍රසය පසුගිය මහ මැතිවරණයේ  දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළද මෙවර පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගතවී තරග කරයි.

 1939 දී මෙරට සංචාරයක යෙදුණු ඉන්දීය  ජාතික සංගමයේ නායකයකු වූ ජවහර්ලාල්  නේරුගේ උපදෙස් මත ලංකා ඉන්දියානු  කොංග්‍රසය යන නමින් බිහිව වාමාංශික නැඹුරුවක් ඇතිව සිටි එම සංවිධානය ලංකා කම්කරු කොංග්‍රසය බවට පත් වූයේ 1956දීය. එතැන් සිට 1994 දක්වා එම පක්ෂය වැඩි වශයෙන් හිතවත්ව සිටියේ එජාපයටය. ඉන්පසු බලයට පත්වන සෑම පක්ෂයකට සහය දෙමින් එම පක්ෂය සුළු කාලයක් හැර නොකඩවාම ආණ්ඩු පක්ෂයේ සිටී.

උඩරට දෙමළ ජනතාව නියෝජනය කරන අනෙක් පක්ෂ 2015 දී දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නමින් එක්ව කටයුතු කරන අතර එය එදා සිට රාජපක්ෂවරුන්ට එරෙහි කඳවුරේ සිටී. ප්‍රධාන මුස්ලිම් පක්ෂ දෙක වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය ද 2015 සිට අනුගමනය කරන්නේ එම පිළිවෙතමය. මෙවර මෙම කණ්ඩායම් සියල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජනබලවේගය යටතේ තරග කරයි.

 උතුරේ මෙවර දශක දෙකකට පසු විශාල වෙනසක් සිදු වී තිබේ. 2001 වසරේ දී කොටි සංවිධානයේ පෙළඹවීමෙන් දෙමළ පක්ෂ ගණනාවක් එක්ව දෙමළ ජාතික සන්ධානය ගොඩනගනු ලැබීය. එහි ප්‍රධාන සාමාජික පක්ෂය වූයේ පනස් ගණන්වල දී ෆෙඩරල් පක්ෂය වශයෙන් හැඳින්වුණු ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයයි. ශක්තිය අතින් ද බලපෑම අතින්ද අනෙක් පක්ෂවලට අත පෙවිය නොහැකි දුරින් සිටින එම පක්ෂය පසුගිය දිනෙක එම සන්ධානයෙන් ඉවත් විය.

සන්ධානයේ ඉතිරි වූ පක්ෂ මීට කලින් ඉවත් වූ කුඩා පක්ෂ සමඟ නව ගමනක් යන්නට උත්සාහ කරන  නමුදු එහිද මතභේද පැන නැඟී ඇතැයි කියවේ.

 කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ දී වැදගත් වැඩ කොටසක් කළ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී. පක්ෂය යුද්ධමය තත්ත්වය යටතේ පක්ෂය කුමක් වුවත් පවතින ආණ්ඩුවට  සහාය දැක්වීය. යුද්ධයෙන් පසු අද දක්වාම එම පක්ෂය රාජපක්ෂවරුන් සමඟ එක්ව කටයුතු කරයි.

මෙම සන්ධාන සියල්ල අතුරින් කැපී පෙනෙන්නේ එජාප හා පොදුජන පෙරමුණ අතර ඇති හවුලයි. එතරම්ම නොවුවද උත්තර ලංකා සභාගය හා නිදහස ජනතා සභාව ද සභාග  අතුරින් කැපී පෙනෙයි. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙම සන්ධාන ගොඩනැඟීමේ දී දීර්ඝ කාලයක් පසමිතුරු පිල්වල සිටි පිරිස් එක් වී සිටීම නිසාය.

කෙසේ වෙතත් මෙම සන්ධාන හෝ වෙනත් කිසිම සන්ධානයක් හෝ කිසිදු ප්‍රතිපත්තිමය පදනමක් මත හෝ රට ගොඩ නැඟීම සඳහා වූ සමාජ ආර්ථික වැඩ පිළිවෙළක් මත හෝ ගොඩනැගුණු ඒවා නොවේ. සියලු සන්ධාන කෙසේ හෝ පළාත් පාලනවල බලය අල්ලා ගැනීමට, එසේත් නැතහොත් අඩු තරමින් එම ආයතනවල ආසන කිහිපයක් හෝ දිනා ගැනීමට තනා ගත් අවස්ථාවා දී ගොනුවීම් විනා අන් යමක් නොවේ.

1951 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි වූ දා සිට අද දක්වා මෙරට ප්‍රධාන බල පොරය ඇත්තේ එම පක්ෂ දෙක අතරය. කලින් කලට මෙම පක්ෂ දෙක විවිධ සන්ධාන ගොඩ නගා ගෙන මැතිවරණවලට තරග කළ ද එම සන්ධානවල සැබෑ හඬ වූයේ මෙම පක්ෂ දෙකේ හඬයි. මේ රටේ ‘‘ද්විපක්ෂ ක්‍රමයේ’’ප්‍රධාන පාර්ශවකරුවන් වූයේ මෙම පක්ෂ දෙකයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සමගි ජන බලවේගය කරළියට පැමිණීමෙන් පසු මේ තත්ත්වයේ යම් අවුල් සහගත තත්ත්වයක් පවතී.

කෙසේ වෙතත් නායකත්වය හා සාමාජිකත්වය දෙස බලන විට පොදුජන පෙරමුණ යනු ශ්‍රීලනිප මිස අන් යමක් නොවේ. ශ්‍රීලනිප 1950 ගණන්වල සිටම එජාප සැලකුවේ අධිරාජ්‍ය ගැති බටහිරට ගැති, ප්‍රතිගාමී පක්ෂයක් ලෙසය. පොදු ජන පෙරමුණ ද, එජාප දුටුවේ ඒ අයුරිනි. විශේෂයෙන්ම ශ්‍රීලනිප මෙන්ම පොදුජන පෙරමුණ ද එජාපයේ නායකයන් අතරින් ජේ.ආර්. ජයවර්ධන මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා සැලකුවේ බටහිර නියෝජිතයන් ලෙසය. ශ්‍රීලනිප සමග සිටි වාමාංශික පක්ෂ ජයවර්ධන මහතා ‘‘යැංකි ඩිකී’’ යනුවෙන් ද හැඳින්වූයේ ඒ අනුවය.

ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසරේ ජුනි මාසය තෙක්ම හැඳින් වූයේ ඉතාමත් දුර්වල, අසාර්ථක, දේශීයත්වයට ගරු නොකරන අයකු ලෙසය. ජනමාධ්‍ය සාකච්ඡාවල දී වික්‍රමසිංහ මහතා මේවාට කොතරම් සාර්ථකව පිළිතුරු දුන්න ද එම පක්ෂ දෙකේ නායකයෝ නොකඩවා මෙම මත ප්‍රචාරය කළහ.

2015 මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එකල ශ්‍රීලනිප නායකයන්ද පසුව පොදුජන පෙරමුණේ නායකයන්ද චෝදනා කළේ වික්‍රමසිංහ මහතාටය. එම වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබූ එවක මහ බැංකු අධිපතිව සිටි අර්ජුන මහේන්ද්‍රන් මහතා ඒ පිළිබඳ නඩු විභාගය මග හැර මෙරටින් පිටව යාම සම්බන්ධයෙන්ද ඔවුන් චෝදනා කළේ වික්‍රමසිංහ මහතාටය.

පාස්කු ඉරිදා දිනයක් වූ 2019 අප්‍රේල් 21 වැනිදා මුස්ලිම් ත්‍රස්තවාදීන් පිරිසක් සංචාරක හෝටල් තුනක හා කිතුනු දේවස්ථාන තුනක  බෝම්බ පිපිරවූ විට රටේ බුද්ධි අංශ දුර්වල කළ බවටත් ජාතික ආරක්ෂාව අනතුරේ හෙලූ බවටත් ඔවුහු වික්‍රමසිංහ මහතා ඇතුළු යහපාලන ආණ්ඩුවේ නායකයන්ට චෝදනා කළහ.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අදුරදර්ශී ක්‍රියාමාර්ග හේතුවෙන් ඉක්මන් වූ ආර්ථික අර්බුදය හේතුවෙන් මහා ජනතා නැඟිටීමක් ඇති වී පොදුජන පෙරමුණේ නායකයන් විශාල තර්ජනයකට මුහුණ දුන් විට රටේත් තමන්ගේත් ආරක්ෂාව සඳහා ඔවුන් තෝරා ගත්තේ ඔවුන්ම ජාතික ආරක්ෂාව අනතුරේ  හෙලූ බවට චෝදනා කළ වික්‍රමසිංහ මහතාය. තමන්ම ඉතා අසාර්ථක නායකයකු ලෙස හැඳින් වූ වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ඔවුන් අද පවසන්නේ වත්මන් අර්බුදය හමුවේ රට ගලවා ගැනීමට ඇති එකම නායකයා ඔහුයි, යනුවෙනි. මෙසේ වන්නේ කෙසේද? එක්කෝ ඔවුන් එදා ජනතාවට බොරු කීහ. නැත්නම් අද බොරු කියති.

 

2015 දී එජාපයේ ජනාධිපතිවරණ හා මහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියේ ප්‍රධාන තේමා පාඨය වූයේ රාජපක්ෂවරුන්ගේ දූෂණයෙන් රට බේරා ගැනීමය. ඝාතන  රාශියක් සම්බන්ධයෙන් එජාප නායකයෝ රාජපක්ෂවරුන්ට චෝදනා කළහ. එසේ තිබිය දී මෙම පක්ෂ දෙක අද එක්වී සිටින්නේ  ප්‍රතිපත්තිමය පදනමකින් කියා හෝ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් මත යැයි කියා හෝ කිව හැකි ද?

රාජපක්ෂවරුන්ගේ දූෂණ, පවුල්වාදය ආදිය ගැන කතා කරන නිදහස ජනතා සභාවේ නායකයන් හා උත්තර ලංකා සභාගයේ නායයන් ද එම දූෂණ හා  පවුල්වාදය ගෝඨාභය රාජපක්ෂ පාලනයේ අවසන් කාලය දක්වා නොදැක සිටීම පුදුම සහගතය. රසායනික පොහොර තහනම, සීනි බදු වංචාව ආදිය ද ඔවුන් දැක තිබුණේ නැත. රාජපක්ෂවරුන් බලය රැක ගැනීම සඳහාත්, යළි බලයට පත්වීම සඳහාත් ඔවුන්ගේ හිතවතුන් රට ගිනි ගන්නා තරමට ජාතිවාදය අවුළුවද්දී මෙම නව සන්ධාන දෙකේ ඇතැම් නායකයෝ එම කටයුත්තේ ඉදිරියෙන්ම සිටියහ.

  බැසිල් රාජපක්ෂ මහතා මෙම කණ්ඩායම් දෙකේ මන්ත්‍රීවරුන් කොන් නොකළේ නම් අද ඔවුන් සිටිනු ඇත්තේ වත්මන් ආණ්ඩුවේ මුල් පෙළේ ආරක්ෂකයන් ලෙසය.

මිනිසුන් වැරැදි කළ හැකිය. ඔවුනට එම වැරැදි  නිවැරැදි කර ගන්නට ද අයිතිය  තිබේ. ඔවුන් එම වැරැදි නිවැරැදි කරගත් බව ඔවුන්ගේ කල් ක්‍රියාවෙන් පෙනී යා යුතුය. එතෙක් ඔවුන් දූෂිතයන් වංචනිකයන් ලෙස සැලකීමට අනෙක් අයට අයිතිය තිබේ. මන්දයත් දේශපාලනය යනු ජනතාවගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයකි.  එසේ ඔවුන් නිවැරැදි වූවන් යැයි පිළිගන්නට කාලයක් ගතවනු ඇත. එසේ නිවැරැදි වූවන් පිළිගැනීමට කිසිවකු  පැකිලිය යුතු ද නැත.

(*** එම්.එස්.එම්. අයුබ්)