බලවාදය පරද්දන්න ජනවාදයක්


නූතනත්වය තුළ ඇරඹි සහ පැවති බොහෝ දෑ පශ්චාත් නූතන අවධිය තුළ අරුම අර්ථ ගනු ලැබීය. එහෙත් ඒවායේ හැඩ නම් නූතන හැඩ ම ය. එහෙත් හැඩ මිස වැඩ සමාන නොවී ය. අද අප ගෙවා දමන කාලය නූතන එකක් නොව පශ්චාත් නූතන එකකි. එනම් නූතන අවධියට පසු අවධියකි. එය හුදු කාල වෙනසකට වඩා අර්ථ සහ ක්‍රියාකාරකම් පිළිබඳ වෙනසකි. දේශපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, නියෝජනය, පමණක් නොව නීතිය, පරිපාලනය, වෙළඳපොළ, අධ්‍යාපනය, සෞඛ්‍යය යන අංශ පවා නූතන හැඩ ඇති එහෙත්, නූතන අර්ථ සහ ක්‍රියාකාරකම් නැති පශ්චාත් නූතන අර්ථ හෝ නිරර්ථ සහ වැඩ ඇති ඒවා බවට පත්ව ඇත.

නූතන අවධියේ කෙළවර ඉපිද වැඩුණු ජනයා ට මේ වෙනස සංවේදී එකකි. එහෙත් පශ්චාත් නූතන සමයේ ඉපිද වැඩුණු අයට මෙය සාමාන්‍ය තත්ත්වයකි. සංක්‍රාන්ති සමයක දිවි ගෙවූ බොහෝ අය වෙනස වළක්වාලීමට උත්සාහ ගත්තේ නැත. ඒ වෙනුවට කළේ වෙනසට ඉඩ දී එය තම අරමුණු ඉටු කර ගැනීමට භාවිතා කිරීම ය. එහි ප්‍රතිඵලය වී ඇත්තේ පීඩාකාරී සහ විකෘතිසහගත සමාජ සංස්කෘතික වටපිටාවක දිවි ගෙවීමට සියල්ලන්ටම සිදුවීමය. එවැනි සමාජයක පීඩිතයන් පමණක් නොව පීඩකයන්ද සිටිනුයේ බරපතළ ආතතියකය. සැකයකය. බියකය. ඔවුනොවුන් කෙරෙහි වන අපුලකය. එකිනෙකාට එරෙහි නපුරකය. ලෝකයටම මේ තත්ත්වය අදාළය. එහෙත් දියුණු සමාජවල තවමත් නූතනත්ව පදනම් මිය ගොස් නැත. එබැවින් එම සමාජ සාපේක්ෂව තවමත් සුරක්ෂිතය. ශක්තිමත්ය.

අප ජීවත් වන භෞමික ජාතික සමාජය වනාහී නූතනත්වය නිසි ලෙස වගාදිගා නොවුණු එකකි. එනිසා ම පශ්චාත් නූතන අපිළිවෙළ සහ නිරර්ථක භාවය විසින් ඇතිකරනු ලබන පීඩා සහ ආතතිවලට මුහුණ දී ගත හැකි නූතනත්ව හරයාත්මක පදනම සමාජගත වී නැත. ආයතනගත වී නැත. යහපත අරමුණු කරගත් සමාජ, දේශපාලන, නෛතික, පරිපාලන සහ ආයතනික ජාලගතවීමක් හෝ නිසි සම්බන්ධීකරණයක් නැත. පවත්නා ජාලගත වීම සහ සම්බන්ධීකරණය රටේ දියුණුවට අදාළ ඇගයුම් සමඟ කිසිදු සම්බන්ධයක් නැත. එක්කෝ ඒ ඇගයුම්වලට ගරුකරන්නේ හෝ ඒවා අගය කරන්නේ නැත. එනිසාම මේ රටේ නූතනත්ව දේශපාලන සමාජ සංස්කෘතික අවකාශයක් ද නිර්මාණය වී නැත. ඒ හේතුවෙන් ඉහත කී හැම අංශයකටම අදාළව අපට ඇත්තේ නොදියුණු නොපැසුණු අපරිණත අවභාවිත, අව-සංස්කෘතියකි. මේ අව-සංස්කෘතිය වෙනස් කළ හැක්කේ හැඟීම්වලින් සහ කේන්තියෙන් නම් නොවේ. ඊට බුද්ධිමය වශයෙන් පරිණත මූලෝපායික වශයෙන් සූක්ෂම සමාජ-දේශපාලන-ආණ්ඩුකරණ වැඩ පිළිවෙළක් අවශ්‍යය ය.

යටත් විජිත පාලනයෙන් ගැලවුණු දා සිට මෙරට දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදී යැයි කීම මිථ්‍යාවකි. ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රට යැයි කීම ද බොරුවකි. මැතිවරණ පැවැත්වීම අතින් නම් මේ රට ආසියාවේ ප්‍රමුඛස්ථානයක් ගන්නා බව සත්‍යයකි. ඒ අනුව මෙරට ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය නොව මැතිවරණතන්ත්‍රවාදය ය. ප්‍රජාතන්ත්‍රවාදය මැතිවරණතන්ත්‍රවාදයකට පටුවී ඇත. යට වී ඇත. එහෙත් එයද අතිශයින්ම දුෂිත එකකි. ඇතැම් විට එය නීතියට සහ ව්‍යවස්ථාවට අනුකූලය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී ඇගයුම් සමඟ සසඳන විට නම් අතිශයින් ම දූෂිත ය. එසේම ඒ මැතිවරණ වලින් තේරී පත්වන්නෝ නියෝජිතයන් නොව පාලකයෝය. ඒ අනුව මෙරට නියෝජිත දේශපාලනයක් ද නැත. එවැනි පසුබිමක රටක් දියුණුව කරා යයි නම් එය විශ්මයකි.

ව්‍යවස්ථානුකූලවාදය සහ නීතියේ පාලනය යනු බොහෝ බුද්ධිමතුන්ගේ සහ උගතුන්ගේ ඇගයුමට ලක්වූ සහ ලක් වන ඒවා වෙයි. එහෙත් එකී සංකල්ප සහ ඒවාට අදාළ ක්‍රියාමාර්ගවල ප්‍රශස්ත බව තීරණය වන්නේ ඒවා ක්‍රියාත්මක වන සමාජ-දේශපාලන- ආණ්ඩුකරණ පසුබිමට සාපේක්ෂව ය. එම කාරණය බොහෝ දෙනා අමතක කරති. හුදු සංකල්ප පමණක් ම අගයති. අප වටහා ගත යුතු වැදගත්ම කරුණ වනුයේ, ව්‍යවස්ථානුකූලවාදය සහ නීතියට අනුව පාලනය වැදගත් වන්නේ ඒවා යහපත් චේතනාවෙන් සහ යහපත් අරමුණකින් ප්‍රජාතන්ත්‍රවාදයේ සහ යහආණ්ඩුකරණයේ මූලධර්ම මත පිහිටා ක්‍රියාත්මක වන්නේ නම් පමණි යන්න ය. එසේ නොවුණහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ  නීතිය ඕනෑම සටකපට සහ සැහැසි ක්‍රියාවකට පහසුකාරක ලෙස යොදා ගැනීම අතිශයින්ම සරල සහ පහසු දෙයකි. එසේ වූ විට සිදුවන්නේ ව්‍යවස්ථාව සහ නීතියත් එය අව-භාවිතා කරන බලවේගත් එක පාර්ශවයක් බවට පත්වී පොදුජන සමාජය අසරණව අපේක්ෂා භංගත්වයකට පත් වීමය. එසේම, ව්‍යවස්ථාව, සහ නීතිය පොදුජන සමාජයෙන් ඈත් වී මහා පරතරයක් නිර්මාණය වීම ය. නීතිය සමඟ  බැඳී තිබිය යුතු සදාචාරය, සමාජ සාධාරණත්වය, සමාජ යුක්තිය අතර සම්බන්ධය බිඳී යාමය. එවැනි සමාජයකට යා හැකි ප්‍රගතිශීලී ගමනක් නැත. එබැවින් දියුණු ප්‍රගතිශීලී සමාජයක් පතන අය උත්සාහ කළ යුත්තේ ව්‍යවස්ථාව, නීතිය, සහ පොදුජනතාව එක පාර්ශවයක් වන සහ එම පාර්ශවයට ගරුකරන නියෝජිතයන්  සහිත ආණ්ඩුකරණ ව්‍යුහයක් සඳහා මාර්ග සිතියම් සකස් කිරීමට ය.

ඉහත කී අදහසට අනුබද්ධව සාකච්ඡාවට ගත යුතු තවත් කරුණක් ඇත. එනම්, නීත්‍යනුකූල භාවය, ව්‍යවස්ථානුකූලභාවය සහ ජනමතයානුකූලභාවය අතර සම්බන්ධය ය. මා මෙහි සඳහන් කොට ඇති ‘ජනමතයානුකූලභාවය’යන්න ඔබට අලු‍ත් පදයක් ලෙස පෙනී යා හැක. පුදුම නොවන්න, එය මට ද අලුත්  වචනයකි. මේ වචනය මා තනා ගත්තේ ජන මතයට අනුව ක්‍රියා කිරීම හෝ භාවිතයේ යෙදීම යන්න සංකල්ප ගත කිරීම සඳහා ය. මෙම සංකල්පය තේරුම් ගැනීම සඳහා ලංකාවේ සමාජ දේශපාලන සිදුවීම් හතරක් උපයෝගී කොට ගනිමි. ඉන් එකක් වන්නේ 1953 අගෝස්තු හර්තාලය ය. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සහ තීරණවලට එරෙහිව මතුවුනු පොදු ජනමතය හමුවේ අගමැති ඩඩ්ලි සේනානායක ඉල්ලා අස්විය. එනම් ජනමතයට අනුකූලව ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ එවැනි බලපෑමක් පවා නොතිබුණු පසු බිමකය. මන්ද, හර්තාල්වරුන්ගේ ඉල්ලීම වූයේ ජීවන වියදම් පහත දමන ලෙස ය. එහෙත් අගමැති ට එය කළ නොහැකි බැවින් ඔහු ඉල්ලා අස්වූයේ අදාළ ජනමතයට ගරු කරමින් හෝ අවනත වෙමිනි. 56 මහජන එක්සත් පෙරමුණු ජයග්‍රහණය තීව්‍ර වූයේ එම පසුබිමේ ය.

දෙවැනි සිදුවීම 1970 බලයට පත් සමගි පෙරමුණු ආණ්ඩුවට අදාළ එකකි. 1975 පැවත්වීමට නියමිත ජාතික රාජ්‍ය සභා මැතිවරණය වසර දෙකකින් එනම් 1977 දක්වා කල් දමගත්තේ ජනමතයට අනනුකූලවය. එනම් ජනමතයට සහ මැතිවරණ අයිතියට එරෙහි වෙමිනි. එහි ප්‍රතිවිපාකය වූයේ 1977 එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය හයෙන් පහක බලයක් ලබා ගැනීමය.

තෙවැනි සිදු වීම 1977 බලයට පත් එජාප ආණ්ඩුව 1982 පැවැත්විය යුතු පාර්ලිමේන්තු මහා මැතිවරණය වසර පහකින් කල් දැමීම ය. ඒ 1982 පැවත් වූ ජනමත විචාරණයක් මගිනි. එය ව්‍යවස්ථාමය කරුණකි. ව්‍යවස්ථාවට අනුව පැවැත්වූවකි. දූෂිතම මැතිවරණය යැයි එවක මැතිවරණ කොමසරිස්වරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද එම ජනමත විචාරණය ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූල වුවත් ජනමතයට අනුකූල එකක් නොවීය. එහෙත් ඒ ජනමතය ජනමතවිචාරණයෙන් නිසිලෙස ප්‍රකාශ වීමට ඉඩ නොදෙන තරමටම එය ප්‍රචණ්ඩ සහ දූෂිත එකක් විය. ඉන් පසු ඇතිවූ දේශපාලන අර්බුදය සහ අස්ථාවරභාවය කෙළවර වූයේ හැට ලක්ෂයකට වැඩි තරුණ ජනකායක් ඝාතනය වෙමින් සහ දැවැන්ත ආර්ථික, සමාජ, දේශපාලන අර්බුදයකට රට තල්ලු‍ කරමිනි. පාලකයන් ජනමතයානුකූල නොවීමේ ආදීනව පාලකයන්ට වඩා දරුණු වූයේ ජනයාට ය.

හතර වැනි සිදුවීම නොහොත් සිදුවීම් මාලාව 2022 වසරට අදාළය. දශක ගණනාවක් තිස්සේ රට තුළ වර්ධනය වූ දේශපාලන අව කළමනාකරණය සහ අවභාවිතයේ ප්‍රතිවිපාකයක් වූ ආර්ථික අර්බුදය හෝ ආර්ථික කඩා වැටීම පාලක ආණ්ඩුවට සහ පාලක කණ්ඩායම්වලට එරෙහි පොදුජන අරගලයක් මතුවීමට සහ ශක්තිමත් වීමට බලපෑවේ ය. ඒ තුළ වර්ධනය වූ ජනමතයට අනුකූලව අගමැති, ජනාධිපති, ඇමති, තනතුරු දැරූ කීප දෙනෙක්ම ඉල්ලා අස්වූහ. නව අගමැතිවරයෙකු, වැඩබලන ජනාධිපති වරයකු, සහ අනුප්‍රාප්තික ජනාධිපති වරයෙක් පත් විය.

දැන් ඉතින් ගැටලුවක් නැතැයි කෙනකුට කිව හැකිය. එහෙත් ගැටලුවක් ඇති බව අපට වඩා පාලකයන් වටහා ගෙන ඇතුවාට සැක නැත. එය ජනමතයානුකූලවාදය සහ පාර්ලිමේන්තු බලවාදය පිළිබඳ ගැටුමකි. අර්බුදයකි. මේ දෙක අතර පරතරය සහ ප්‍රතිවිරෝධය සමනය නොකර රටේ අර්බුද විසඳිය නො හැක. අනුර කුමාර දිසානායක වරක් පාර්ලිමේන්තුවේ දී පැවසුවේ මේ රටේ මේ මොහොතේ අගමැති වීමට ඔහුටවත් රනිල් වික්‍රමසිංහට වත් ජන වරමක් නොමැති බව ය. එනම් මගේ අලු‍ත් වචනය අනුව නම් අනුර දිසානායක කියා ඇත්තේ ඒ දෙන්නාටම ජනමතයානුකූලවාදී පිළිගැනීමක් නොමැති බව ය. සත්‍ය වශයෙන් ම නම් එය ඩලස් අලහප්පෙරුමටත් අදාළ ය. දේශපාලන අර්බුදයක් යනු එයය. එනම්, පාලකයන්ට ජනසමාජය තුළ තිබුණු දෘෂ්ටිවාදී ආධිපත්‍යය අහිමි වී යාම ය. ඒ ආධිපත්‍යය මර්දන උපකරණ භාවිතයෙන් නම් ලබා ගත නොහැකිය. කළ හැකි වන්නේ යම් කෙටි කලකට නිහඬ කිරීම පමණය. එහෙත් එහි ප්‍රතිවිපාක රට තවත් පසුපසට හෝ අගාධයට ඇද දැමීමක් ය.

මා සිතන ආකාරයට නම් මේ අර්බුදයෙන් ගැලවීමේ පළමු පියවර වනුයේ ජනමථ්‍යානුකූලවාදීන් සහ පාර්ලිමේන්තු බලවාදීන් අතර ප්‍රජාතන්ත්‍රවාදී යහආණ්ඩුකරණ ක්‍රියාවලියක් අරබයා සංගායනාවක් ආරම්භ කිරීම ය. එනම් සංගායනීය ප්‍රජතන්ත්‍රවාදයකට මුල පිරීමය. එහිදී කැපවීම් සහ කැපකිරීම් අත්‍යවශ්‍ය ම ය. සෙස්ස පස්සට.

 

(***)


කොළඹ විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ,
ධම්ම දිසානායක