බලශක්ති ස්වෛරීත්වය යනු රටක ජාතික ආර්ථික ස්වෛරීත්වයේ පාදමකි. බලශක්ති අතරින් ද විදුලිබලය සුවිශේෂී වන්නේ සමාජ-ආර්ථිකයේ සෑම ක්‍රියාකාරකමකටම පාහේ විදුලිබල යෙදවුම අවශ්‍ය වන බැවිනි. ජල විදුලි බලයෙන් පෝෂණය වූ අපගේ විදුලි පද්ධතිය මීට වසර 50 කට පමණ පෙර අඩු වැඩි වශයෙන් ස්වාධීනව හා ස්වයංපෝෂිතව පැවැති බවත්, එවක ඉදිවෙමින් පැවැති ජල විදුලි බලාගාර ක්‍රියාත්මක වූ පසු විදුලිය අපනයනය කිරීමට ද ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි බලධාරීන් වහසි දොඩමින් සිටි බවත් අපට අමතක නැත. එහෙත්, සමාජ-ආර්ථිකයේ විදුලියකරණය වී ඇති කොටස ශීඝ්‍රයෙන් ඉහළ යාම ඔස්සේ ඊට අනුරූප ව ස්වදේශීය ප්‍රභවයන් තුළින් වැඩි වැඩියෙන් විදුලි ජනනයට අප අසමත් වීම නිසා සහ විදුලි ක්ෂේත්‍රයේ පසු කාලීනව ඇති වූ ප්‍රතිපත්තිමය නොගැළපීම් නිසා ඉතා ඉහළ ප්‍රතිශතයක් ආනයනිත ඉන්ධන මඟින් ජනනය කෙරෙන අධි-වියදම් විදුලිය මත රඳා පැවැතීමට මේ වන විට අප රටට සිදු වී ඇත.
මේ තත්ත්වයෙන් මිදී ස්වදේශික ප්‍රභව විශේෂයෙන් පුනර්ජනනීය ප්‍රභව කරා යොමු වීම ප්‍රතිපත්තියක් ලෙස ඇවැසි බවට විවාදයක් නැත. එහෙත්, ඒ ස්වදේශිකත්වයට නැඹුරු වීම බලශක්ති ඉංජිනේරු විද්‍යානුකූල හා අර්ථශාස්ත්‍රීය පදනම් මත පිහිටුවා උපායශීලීව නොකෙරුණොත් ජෛව පොහොර වෙත දේශපාලනිකව යොමු වී කරගත් සංගදියටත් වඩා වැඩි ව්‍යසනයක් ජාතික ස්වෛරීත්වයට, රටේ ආර්ථිකයට සහ විදුලි පාරිභෝගිකයාට සිදු වීමට ඉඩ තිබේ. පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් විදුලිය සම්පාදනය ප්‍රවර්ධනය කිරීමට යැයි පවසමින් අප රටේ බලපැවැත්වෙන විදුලි පනතට මෑත දී ගෙන එන ලද සංශෝධනය කෙරෙහි ප්‍රබුද්ධ ජනතාව ගේ අවධානය යොමු විය යුත්තේ මේ සන්දර්භය තුළ දීය.
විදුලි පනත සංශෝධනය විය යුතු බවට විවාදයක් නැත. එසේ කළ යුත්තේ 2013 දී සංශෝධිත පරිදි පැවැති 2009 අංක 20 දරන විදුලි පනත අවුල් ජාලාවක් බැවිනි. එහි අවුල් ලිහා ගත යුතු බව සත්‍යයකි. එහෙත්, එසේ සංශෝධනය කිරීම ඔස්සේ එකක් කඩතොලු වසාගැනීමට ගොස් දෙකක් කඩතොලු හදා ගන්නේ නම් එය බරපතළ අනුවණකමකි. පනත් සංශෝධනයේ අරමුණු හා ප්‍රතිවිපාක කවරේ ද යන්න පැහැදිලිව වටහා ගැනීමකින් පසුව පමණක් ඒ සඳහා අවතීර්ණ විය යුත්තේ ඒ අවදානම වළක්වාගැනීමටයි. එහෙත්, ඒ සංශෝධනයට විරුද්ධ වෙමින් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් මාධ්‍ය සාකච්ඡා ඔස්සේ කරන ලද ප්‍රකාශවලට අමතරව සංශෝධනයේ අපේක්ෂා, ප්‍රතිපාදන හා ප්‍රතිවිපාක පිළිබඳව සමාජය තුළ පුළුල් කතිතාවක් ඇති වූ බවක් අපි නොදුටුවෙමු.
එබැවින්, අපි ඒ සංශෝධනයේ ප්‍රතිපාදන ගැන මඳක් ගැඹුරින් විමසා බලමු. 2009 විදුලි පනතට අනුව ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව විදුලි ජනන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් විදුලිබල මණ්ඩලය ඇතුළු සම්ප්‍රේෂණ බලපත්‍රලාභීන් වළක්වනු ලැබ තිබිණි. ඉන් නිරූපණය වූයේ ජාතික දේපොළ රැකීමට ගසා තිබූ වැටයි. ඒ මුල් පනතේ 43(2) වගන්තිය සංශෝධනය කරමින් සහතරගකාරී මිල කැඳවුම් රහිතව ඒ ව්‍යාපෘතිවලට පාර්ශ්වකරුවන් තෝරා ගැනීමට හැකි පරිදි 43(4) වගන්තියක් අලුතින් හඳුන්වා දෙමින් 2013 දී ගෙන එන ලද අවුල්සහගත බව පෙනෙන සංශෝධනය ඔස්සේ මෙම වැට ගැලවීම මූලික වශයෙන් සිදු කර ඇත. දූෂණයට හා නාස්තියටත් රටේ විදේශ ණය බරටත් එරෙහිව මේ වන විට පුළුල්ව නැඟෙන ජනමතය උපයෝගී කර ගනිමින් අපේ මහජන නියෝජිතයන් විසින් කළ යුතු ව තිබුණේ 2013 දී එසේ ගලවන ලද වැට සුදුසු පරිදි සහ සංවර්ධන අරමුණු ඉටු කරගැනීමට බාධා නොවන පරිදි නැවත ඉදි කිරීමයි.
එහෙත්, මේ වතාවේ සිදු කර ඇත්තේ කුමක් ද? 2013 තිබූ යම් සීමා ද ඉවත් කරමින් සහ පුනර්ජනනීය විදුලි ජනන ව්‍යාපෘති පමණක් නොව ඕනෑම බලාගාර ව්‍යාපෘතියක් කිසිදු ධාරිතා උපරිමයකට යටත් නොකරමින් තරගකාරී මිල කැඳවුම් රහිතවම අනුමත කළ හැකි බවට තර්ක ඉදිරිපත් කිරීමට ද ඉඩ ලැබෙන පරිදි ඉබ්බන් දියේ දැමීමකි. ඒ පිළිබඳව සහ ඉන් අපේ විදුලි පද්ධතියේ මූල්‍ය ශක්තියට හා ජාතික බලශක්ති ස්වෛරීත්වයට ඇති විය හැකි බලපෑම පිළිබඳව ඒ සංශෝධන සඳහා අත් එසවූ මැති-ඇමැතින් හෝ දැන සිටියේ ද යන්න ගැටලුවකි.
විදුලි ක්ෂේත්‍රය තුළ ජනන ක්‍රියාවලිය ඉතා වැදගත් අංශයක් වෙයි. එහි අයිතිය යම් පමණකට හෝ ශ්‍රී ලාංකිකයන් සතු නොවුණහොත් ආර්ථිකයේ උපාය මාර්ගික ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් වූ ජාතික ස්වෛරීත්වය එපමණටම අපට අහිමි වනු ඇත. පැවැති විදුලි පනතේ 9(1) වගන්තියට අනුව මෙගාවොට් 25කට වැඩි සියලු විදුලි ජනන ව්‍යාපෘති ඉදි කිරීමේ දී විදුලිබල මණ්ඩලයේ, ලංකා විදුලි සමාගමේ හෝ පළාත් පාලන ආයතන ඇතුළු රජයේ වෙනත් ආයතනයක හෝ ඒවාට අයත් අනුසමාගමක අවම වශයෙන් සියයට50 ක කොටස් හිමිකාරත්වයක් සහිත විය යුතු බවට ප්‍රතිපාදන සකසන ලද්දේ මේ ස්වෛරීත්වය අහිමිවීමේ අවදානම මඟහැරිය යුතු වූ බැවිනි. එහෙත්, වර්තමාන සංශෝධනයෙන් එම වගන්තිය සම්පූර්ණයෙන්ම ඉවත් කර විදේශික සමාගම් ඇතුළු ඕනෑම අයකුට ඕනෑම ප්‍රමාණයක විදුලි ජනන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට බලපත්‍ර ලබාදීමේ ඉඩකඩ සකසා ඇත. මෙය, ශ්‍රී ලංකාවේ විදුලි ජනන ක්ෂේත්‍රයේ දේශීය ස්වෛරීත්වය ඉදිරියේ දී අහෝසි කිරීමට දොරටු විවර කිරීමකි. මේ පිළිබඳව විමසන ලදුව සමහර බලධාරීන් විසින් ප්‍රකාශ කරන ලද්දේ මෙම සංශෝධනය ගෙන එන්නේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට සීමා කෙරෙන පරිදි බවයි. මගේ කියැවීමේ හැටියට නම් එවැනි කිසිදු සීමා කිරීමක් ඒ සංශෝධනයේ ප්‍රකාශිතව නැත. ඒ අනුව ඉදිරියේ දී වෙනත් ශක්ති ප්‍රභව සම්බන්ධ බලාගාර වුව ද මෙසේ සම්පූර්ණයෙන්ම ජාතික අයිතියෙන් බැහැර සමාගම් හෝ ආයතන විසින් ඉදිකර පවත්වාගෙන යාමට මේ සංශෝධනය ඔස්සේ ඉඩ පෑදෙනු ඇත. අප සැම නියෝජනය කිරීමට පාර්ලිමේන්තු යවා සිටින ඇත්තන් මේ සංශෝධනයේ දිග-පළල කියවා තේරුම්ගෙන සිය ඡන්දය අප වෙනුවෙන් නිවැරදිව පාවිච්චි කළේ ද යන්න මේ අනුව බරපතළ සැකයකට තුඩු දෙයි.
කෙසේ වුව ද, පුනර්ජනනීය බලශක්ති ප්‍රභව සම්බන්ධයෙන් පමණක් හෝ මෙසේ විදේශීය සමාගම් ඇතුළු ඕනෑම අයකුට ධාරිතාවේ සීමා රහිතව ජනන බලපත්‍ර ලබා ගැනීමේ ඉඩ කඩ ලබා දීම සුදුසු නැත. එහි අපේක්ෂාව විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම නම්, අපේ විදුලි ජනන පද්ධතියට එසේ යම් පමණකට විදේශීය ජනන සමාගම් එකතු වනු ඇති ද, ඒ පමණටම අප පරිභෝජනය කරන විදුලියට කෙරෙන ගෙවීම් ඩොලර්වලට හැරී රටින් පිටතට ගැලීම වැළැක්විය නොහැකි වෙයි. විශේෂයෙන් පුනර්ජනනීය බලශක්ති පිළිබඳව කතා කිරීමේ දී එවැනි විදේශීය ජනන ආයෝජකයන් ලාභ වශයෙන් පිටරට ගෙන යනු ඇත්තේ අපගේ රටේ මහ පොළොව මතට වැටෙන හිරු එළියේ හා හතරවටින් රටට ස්වභාවිකව ගලන අපේ සුළඟේ වටිනාකමයි. මේවා හා සම්බන්ධ බලාගාර දේශීයව ඉදිකර ගැනීමට කිසිදු බාධාවක් අපට තිබුණේ නැත. දේශීය සම්පත් හිඟකමක් තිබුණේ නම් ණය මත හෝ ඉදි කළයුතු ව තිබිණි. මනා ශක්‍යතාවක් සහිත විදුලි ජනන ව්‍යාපෘතියකට ණයක් ගැනීමෙහි වරදක් නැත්තේ ඉන් ඉතිරිවන්නා වූ ඩොලර්වලින් ඒ ණය පහසුවෙන් ගෙවා දැමීමට හැකි බැවිනි. එවැනි ව්‍යාපෘති වලින් ලාබ උපයා ඩොලර් පිටරටට ඇද ගැනීමට විදේශ සමාගම්වලට ඉඩ දෙමින් වෙනත් අවශ්‍යතා සඳහා විදේශ රටවලින් ඩොලර් හිඟා කෑම, ආදායම් ඉපැද්දිය හැකි අපේ වත්ත නොරටුන්ට බද්දට දී ඇස්සට දත නියැවීමකි. විදුලිය සම්බන්ධයෙන් මෙසේ වෙද්දී, කිසිදු ඩොලර් ඉපැයීමක් හෝ ඉතිරි කිරීමක් නැති අධිවේගී මාර්ගවලට ණය ගනිමින් විශාල විදේශ ණය කන්දකට අප රට යට කිරීමට මෙතෙක් පැවැති සෑම රජයයක්ම පියවර ගෙන තිබීම වරදකටත් වඩා අපරාධයකි - පාපයකි. එවන් පාපයන්ගේම ආර්ථික ප්‍රතිවිපාකවලට රට හා ජනතාව මුහුණ දී සිටින මෙවැනි වකවානුවක විදුලි පනතේ 9(1) වගන්තිය සංශෝධනයෙන් සහ 43(3) වගන්තිය ඉවත් කිරීමෙන් ජාතික බලශක්ති ස්වෛරීත්වය අවදානමේ හෙළීමට රට කරවන්නන් ඉඩ දීමෙන් නුදුරු අනාගතයේ විදුලි සැර ද වැදෙනු ඇත්තේ රටේ ආර්ථිකයට, පුරවැසියන්ට හා ඔවුන් ගේ මතු පරපුරටමය.
ටෙන්ඩර් නොමැති ප්‍රසම්පාදන ඔස්සේ පුනර්ජනනීය මුවාවෙන් අධික මිලට විදුලිය මිල දී ගැනීමට විදුලිබල මණ්ඩලය තල්ලු කළ පසු අනාගතයේ විදුලිබල මණ්ඩලයේ පාඩු පිළිබඳව පාර්ලිමේන්තුවේ කමිටු ඉදිරියේ ප්‍රශ්න කිරීමෙන් පලක් නැත. තරගකාරිත්වය අහෝසි වූ විට දේශපාලන හා නිලධාරී හිතවතුන් සමඟ කමිටු වලින් තීරණය කෙරෙන ගණනට ගිවිසුම් ගත විය හැකි බැවින් විදුලි බල මණ්ඩලයේ විදුලිය මිල දී ගැනීමේ කාර්යක්ෂමතාව තහවුරු කළ නොහැකි වනු ඇත. මණ්ඩලය විසින් මිල දී ගැනෙන විදුලියෙහි පිරිවැය ඉහළ ගිය විට එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ එක්කෝ රාජ්‍ය භාණ්ඩාගාරයට අනවශ්‍ය බරක් දැරීමට සිදුවීමයි. එසේ නොමැති නම් ඒ ඉහළ යන පිරිවැය විදුලි බිල ඔස්සේ පාරිභෝගිකයා මත පැටවීමයි.
මෙගාවොට් 10ට අඩු පුනර්ජනනීය බලාගාර සඳහා, මිල ගණන් නොකැඳවා, කමිටුවකින් තීරණය කළ මිලකට ගිවිසුම් අත්සන් කළ හැකි පරිදි අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණයක් අනුව 1996 පටන් පැවැති ක්‍රමය 2015 සිට තරගකාරී මිල කැඳවීමකට පරිවර්තනය කරන ලද්දේ මේ අවදානමෙන් මිදීමටය. ප්‍රකාශිත දත්ත අනුව, කමිටුවකින් මිල තීරණය කර 2014 දී ගිවිසුම් ගත වුණු මුසල්පට්ටි සුළං විදුලි බලාගාරයට 2020 දී ගෙවා ඇති මිල ඒකකයට රුපියල් 19.83 ක් වෙද්දී ටෙන්ඩර් ක්‍රමය ඔස්සේ තරගකාරී මිල ගණන් කැඳවා 2015 දී ගිවිසුම් ගත වී ඇති චුන්නාකම් සුළං විදුලි බලාගාරයට 2020 දී ගෙවා ඇත්තේ විදුලි ඒකකයට රුපියල් 13.05 ක් පමණක් වන්නේ මේ ආර්ථික වාසිය නිසා ය. මේ තුළින් විදුලි බල මණ්ඩලය ලබා ඇති මූල්‍ය පිරිවැය වාසිය සියයට 33 ක් පමණ වන බවත්, එවන් වූ වාසියක් මණ්ඩලයට හා රටට ලබා දෙමින් පුනර්ජනනීය විදුලිය තරගකාරී මිලට සැපයීමට ටෙන්ඩර්වලට මුහුණ දෙන ආයෝජකයන්ට හැකියාව ඇති බවත් මින් ඉතා පැහැදිලි වෙයි. මෙවර විදුලි පනත නැවත සංශෝධනයෙන් මෙගවොට් 10ක් නොව මෙගාවොට් 1000ක් වුවද මිල දී ගැනීමේ දී ටෙන්ඩර් කැඳවීමේ අවශ්‍යතාව යළි අහෝසි කර ඇති බව පෙනෙන්නේ මේ වාසිය රටට අවශ්‍ය නැතැයි ඒ පනත ඉදිරිපත් කළවුන් පමණක් නොව ඊට අත් උස්සා එය සම්මත කළ අය පවා තීරණය කළ නිසා ද? මේ පනත් සංශෝධනයෙන් පසු විදුලිබල මණ්ඩලයේ ආර්ථිකය ගැන හෝ එහි ප්‍රතිඵලයක් ලෙස භාණ්ඩාගාරයට දැරීමට සිදුවන අමතර මූල්‍ය බර පිළිබඳව හෝ විදුලි පාරිභෝගිකයාගේ බිල විදුලි වේගයෙන් ඉහළ යාම ගැන හෝ හැඬීමට-දෙඩීමට ඒ කිසිවකුටත් සාධාරණ අයිතියක් තිබේ ද? එසේ ඇති වන අමතර වැය බර විදුලි පාරිභෝගික අපනයන කර්මාන්තකරුවන් මත පතිත වී ඒ තුළින් රටට ඩොලර් උපයන අපනයනවල ජාත්‍යන්තර තරගකාරිත්වය අහිමි වුවහොත් ඊට මේ සංශෝධනයේ නිර්මාතෘන් හා අනුමත කළ අය වගකියනු ඇති ද?
ජාතික විදුලි පද්ධතියේ වඩාත්ම ලාභ ඉපැයිය හැකි සහ විදේශ විනිමය ඉතිරි කළ හැකි ක්ෂේත්‍රය වන්නේ ජනන ක්‍රියාවලියයි. එය පිරිවැය කාර්යක්ෂම වීම හා එහි ස්වදේශික අයිතිය තහවුරු කිරීම බලධාරීන්ගේ හා නිලධාරීන්ගේ පමණක් නොව පුරවැසියන්ගේ ද වගකීමකි. බලශක්ති සුරක්ෂිතතාව ළඟා කර ගත යුතු බව සත්‍යයකි. එහෙත් ඒ වෙනුවෙන් බලශක්ති ස්වෛරීත්වය කැප කෙරෙන්නේ නම් එය මුට්ටිය බේරා ගැනීමට එළුවාගේ බෙල්ල කැපීමේ මහදැනමුත්තාගේ උපායට නොදෙවෙනි අඥානකමකි. ජනන ක්‍රියාවලිය තුළ විදේශීය හිමිකාරිත්වය ඉහළ ගිය පසු රටේ බලශක්ති ස්වෛරීත්වය දුර්වලවීම ගැන දෙස් දෙවොල් තබා ඇති පලය කුමක් ද? ඉස්තාල දොර වැසිය යුත්තේ අස්සයා ඉස්තාලයෙන් පිට වී යාමට පෙර විනා පසුව නොවේ. මේ තත්ත්වය රට හමුවේ නිවැරදිව පෙන්වා දුන් විදුලි ඉංජිනේරුවන්ට මාෆියා ලේබලය අලවන්නේ කාගේ වුවමනාවට ද? විදුලි ඉංජිනේරුවන් විසින් මේ තත්ත්වය පෙන්වා දුන් පසු පනත සම්මත කිරීමට පෙර ඒවා නිවැරදි කරන බවට ලබාදුන්නේ යැයි සඳහන් වෙන පොරොන්දු ඉටු නොවුණේ ඒ පොරොන්දු දෙන්නන්ටත් වඩා බලවතුන් පාර්ලිමේන්තුව කරවන නිසා ද? තම ප්‍රකාශ තුට්ටුවට නොසලකා ඊට පරස්පර තීරණ ගන්නා අය සම්බන්ධයෙන් රට කරවන්නන් ගන්නා පියවර මෙන්ම තමන්ට දුන් පොරොන්දු ඉටු නොවිණි නම් ඊට ලැබෙන විදුලි ඉංජිනේරු ප්‍රතිචාරය දෙස ද මහජනතාව විමසිල්ලෙන් බලා සිටිනු ඇත.
(***)