අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමිපාණන් වහන්සේගේ 125 වැනි ජන්ම සංවත්සරය අදට (23) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
1896 අගෝස්තු 23 වැනිදා බළන්ගොඩ, කිරිඳිගල ගම්මානයේ උරස්සවත්ත නිවසේදී මෙලොව ජන්මලාභය ලද විලියම් හෙවත් පුංචි මහත්තයා නම් කුල කුමරු අනාගතයේ ලොව බබලවන පුන් සඳක් වේ යැයි එදා එම ගම්මානයේ කිසිවකුට හෝ සිතුණේ දැයි සැකයකි. එන්.ඒ. මෙතියස් අප්පුහාමි සහ බෙන්තර ආරච්චිගේ හීන්මැණිකේ යන දම්පතීන් යුවළට දාව උපන් ඒ පින්වත් කුල කුමරුන් කුඩා කල සිටම විවිධ හැකියාවත් සහිත දක්ෂ දරුවකු බව සනාථ කළේය. කිරිඳිගල කතෝලික පාසලින් සහ බළන්ගොඩ කුමාර විදුහලින් මූලික අධ්‍යාපන කටයුතු සාක්ෂාත් කරගත් මේ කුඩා විලියම් කා අතරත් මිත්‍රශීලී, ප්‍රියශීලී චරිතයක් වීම කැපී පෙනුණි.
එතුමන්ගේ ජීවිතයේ සන්ධිස්ථානගත හැරවුම් ලක්‍ෂ්‍යය වූයේ ජාතිමාමක වලිසිංහ හරිශ්චන්ද්‍ර මහතාගේ අධිරාජ්‍ය විරෝධී දෑ අභිමන් දනවන දෙසුමකට සවන්දීමය.
යොවුන් සිතට නිදහසේ රන් අරුණළු විඳ ගැනීමේ සිත කුළු ගැන්වූ අතර සම්බුදු දහමේ සිල් සුවඳ ද තදින් කා වැදී තිබුණි. එහි ප්‍රතිඵලය වූයේ වර්ෂ 1911 මාර්තු දෙවන දා බළන්ගොඩ, උඩුමුල්ල ශ්‍රී නන්දාරාමයේදී පුංචි මහත්තයා බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නමින් උතුම් පැවිදි බිමට පා තැබීමයි. දාමහනේ ධම්මානන්ද හිමියන් සහ දෙණිහේනේ සීලානන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් ආනන්ද මෛෙත්‍රය සාමණේර හිමියන් ධර්ම විනය මැනවින් හදාරමින් මහ සඟ පිළිවෙත් නොපිරිහෙලා පුරන ලදහ. එය තව තවත් උත්කෘෂ්ටත්වයට පත් වූයේ උන්වහන්සේ වර්ෂ 1916 ජූලි මස 11 වැනිදා බළන්ගොඩ ඕලු ගඟ උදකුක්ඛේප සීමාවේදී අධිශීල සංඛ්‍යාත පැවිදි උපසම්පදාවට සපැමිණීමෙනි.
සිංහල, පාලි, සංස්කෘත, වංග, ඉංග්‍රීසි, ලතින්, ප්‍රංශ, ජර්මන් වැනි පෙරපර දෙදිග භාෂා රැසක් පිළිබඳව ප්‍රවීණත්වයට පත් ආනන්ද මෛෙත්‍රය හිමියන් තමන් ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනය ලත් කොළඹ ආනන්ද විදුහලේ ආචාර්වරයකු ලෙස 1922 දී පත්වීම් ලැබ පසුව කොළඹ නාලන්දාවට ද එක්වූහ. අභිධර්මය සහ සමථ, විදර්ශනා භාවනා පිළිබඳ පර්යේෂණාත්මක දැනුම් සම්භාරයක් අත්පත් කරගත් උන්වහන්සේ භාෂා රැසකින්ම දෙස් විදෙස් ජනතාවට දහම් දැනුම් බෙදා දුන්හ.
ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් විසින් පළකළ ශාස්ත්‍රීය ග්‍රන්ථ සංඛ්‍යාව අතිමහත්ය. ශාක්‍ය සිංහාවදානය හෙවත් බුද්ධ චරිතය, භාවනාදීපනී, සම්බෝධි ප්‍රාර්ථනා, දම්සභාව, සතර පරමාර්ථය, විදර්ශනා භාවනාව, ආනාපානසති භාවනාව, සමථ භාවනාව වැනි කෘති ‘මෙඩිටේෂන් ඔන් බ්‍රීතින්ග්’, ‘ලිට්ල් ඔෆ් ද බුද්ධා’ ඇතුළු ඉංග්‍රීසි භාෂාව හා ව්‍යාකරණ ග්‍රන්ථ ආදී උසස් කෘති රැසක්ම එලෙස රචනා විය. ජාත්‍යන්තරයේ වැඩි වශයෙන් භාවිත වූ ධම්මපාද නම් පරිවර්තන කෘතිය ද ඒ අතර විය.
දීඝ නිකාය, මජ්ජිම නිකාය, සංයුක්ත නිකාය, බුද්දක නිකාය ආදිය සඳහා ව්‍යාඛ්‍යාන ග්‍රන්ථ රැසක්ද අප මහ නා හිමියන් අතින් විරචිතය. බෞද්ධ පාඨ ග්‍රන්ථ, සංස්කරණ, භාෂා ග්‍රන්ථ, පරිවර්තන ග්‍රන්ථ, ජ්‍යොතිෂ ග්‍රන්ථ, වෛද්‍ය ග්‍රන්ථ පවා උන්වහන්සේ වෙතින් රචනා වූයේ විශිෂ්ට ශාස්ත්‍රීයත්වය ලෝ පතළ කරමිනි.
1954 දී බුරුමයේ පැවැති හයවන ධර්ම සංගායනාවට ගෞරවණීය දායකත්වයක් ලබාදුන් නිසා උන්වහන්සේට 1956 දී බුරුම රජය විසින් අග්ග මහා පණ්ඩිත උපාධිය ගෞරවයෙන් පිරිනමනු ලැබීය.
අමරපුර නිකායේ මහනායක ධුරයත්, විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයත්, ප්‍රවචන විශාරද, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, රාජකීය පණ්ඩිත, සාහිත්‍යසූරී, සාහිත්‍ය චක්‍රවර්තී වැනි ගෞරව උපාධිවලින් පිදුම් ලැබුවද ඒ කිසිවක් කෙරෙහි කිසිදු ඇල්මක් නොදැක්වූහ.
උන්වහන්සේ තනතුරු ගරු නම්බු කෙරෙහි නොනැඹුරු වූ බව වඩාත් තහවුරු වන්නේ වරෙක ඉන්දියාවේ නාලන්දා සහ කල්කටා විශ්වවිද්‍යාලවලින් පිරිනැමීමට ගිය ගෞරව උපාධි පවා නිහතමානීව ප්‍රතික්ෂේප කිරීමෙනි.
ගිහි කල තමන් ලැබූ සියලු දෑ සසුනට පූජා කළ උන්වහන්සේ තම ගුරු වැටුප පවා භික්ෂු ශිෂ්‍යත්ව අරමුදලට බැර කළහ. තම ගුරු හිමියන් සිහි කරමින් බළන්ගොඩ ධම්මානන්ද පිරිවෙණ ආරම්භ කළහ. මහ නා හිමියන් ඉතා නිවුණු, චාම් ගති හා අල්පේච්ඡ භික්ෂු පිළිවෙත් සෑම විටම ගරු කරමින් ධර්මයම මුල්තැන්හි තබාගෙන සාධු චර්යාව ප්‍රගුණ කළහ. උන්වහන්සේ දැකුමෙන්ම කෙනකු පැහැදුණි. බස් ඇසුමෙන්ම අයකු තුටු වුණි. ශාස්ත්‍රීය ධර්ම ඥාන විග්‍රහයෙන්ම දෙස් විදෙස් ප්‍රාඥායින් පවා උන්වහන්සේගේ විඥාන ධාරාව හැඳින ගත්හ. එවන් බුදු පුතුන් යළි මේ දියත වඩීදැයි විශ්වාස කළ නොහැකි අද්‍යතනය අපට ඒ පුන් සඳේ එළිය තවමත් ඉතිරිකොට ඇත්තේ ඒ ධර්ම ශාස්ත්‍රීය පලදාව නිසාමය.
වර්ෂ 1998 ජූලි 18 දා අපවත්වී වදාළ උන්වහන්සේ වසර 102 ක් ආයු වළඳා තිබුණේ පෙර පින් මහිමය නිසාමය. නූතන උගත්, බුද්ධිමත් තරුණ ප්‍රජාවට උන්වහන්සේගේ සමාධි චාරිකාව නව ජීවන දෘෂ්ටියක් මානනය කරන බව මෙවන් ව්‍යසනකාරී වකවානුවක ප්‍රත්‍යක්‍ෂ කරගත යුතුය.
(*** නිශාන්ත චාමින්ද පීරිස්)