බ්‍රිතාන්‍යය ඉගෙන නොගත් ත්‍රස්තවාදයේ පාඩම


බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීමත් ඩේවිඩ් එමෙස් ඝාතනය මුළුමහත් බ්‍රිතාන්‍යයම කම්පනයට පත්කර තිබේ. පාලක කොන්සර්වටිව් පක්ෂයේ කාගේත් ආදරයත් ගෞරවයත් දිනා සිටි එම මන්ත්‍රීවරයා පිහි පහර දී ඝාතනය කළ තරුණයා මුස්ලිම් සම්භවයක් ඇති අන්තවාදී අදහස් දැරූවකු බව සඳහන් වෙයි.

ශ්‍රීමත් ඩේවිඩ් එමෙස් ඝාතනය ත්‍රස්ත ප්‍රහාරයක් බව ප්‍රකාශ කිරීමට බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ මොහොතක් හෝ ප්‍රමාද වූයේ නැත. මේ ප්‍රහාරයට සම්බන්ධ වූ කිසිවකුටත් කිසිදු සමාවක් නොදෙන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නිකුත් කළ ශෝක පණිවුඩයෙන් දැඩිව අවධාරණය කර තිබිණි.

මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව ලොවම කම්පාවට පත් වී ශෝකය ප්‍රකාශ කරද්දී බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු මෙම ඝාතනය ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බවට හඳුන්වා දුන්හ. එහෙත් බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපීය සහ බටහිර රටවල් සෙසු රටවල ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ මේ ප්‍රතිපත්තිය නොවන බව පෙන්වා දිය යුතුය. තමන්ගේ ජාතික සහ ජාත්‍යන්තර අවශ්‍යතා ඉටුකර ගැනීමේදී ඔවුන් වෙනත් රටවල ත්‍රස්ත සංවිධාන දකින්නේ ගැලවුම්කාරයන් වශයෙනි. බ්‍රිතාන්‍යය ද එවැනි රටකි. ඔවුහු කිසිදු ලජ්ජාවකින් තොරවම ලොවේ දරුණුම ත්‍රස්ත සංවිධානය වශයෙන් සැලකුණු එල්.ටී.ටී.ඊ. සංවිධානය විමුක්තිකාමී අරගලයක නිරත තරුණයන් පිරිසක් බව ප්‍රකාශ කළහ. එම මිනීමරු සංවිධානයේ න්‍යායාචාර්ය වූ ඇන්ටන් බාලසිංහම්ට මිය යනතුරුම බ්‍රිතාන්‍යය රැකවරණ දුන්නේය. ද්‍රවිඩ තරුණයන්ගේ කරේ සයනයිඩ් කරල් පලඳවා ඔවුන් අතට තුවක්කුව දුන් ඇඩෙලා බාලසිංහම්ට බ්‍රිතාන්‍යයේ රැකවරණ හිමි විය. එදා තමන්ගේ සුරතලයට ලක්වූ ත්‍රස්තවාදය අද තමන්ගේ නිවෙසේ දොරකඩ මිනී මරණ විට ත්‍රස්තවාදයට කවදාවත් ජයග්‍රහණය කිරීමට ඉඩ නොදෙන බවට ශපථ කරති. මේ දෙබඩි පිළිවෙත පිළිකෙව් කළ යුතු නොවේද?

ශ්‍රීමත් ඩේවිඩ් එමෙස් ඝාතනයෙන් පසුව ත්‍රස්තවාදයට එරෙහිව දැඩි පියවර ගත යුතු බවට බ්‍රිතාන්‍යය තුළ ප්‍රබල හඬක් නැගෙමින් පවතී. එය එලෙසම ක්‍රියාත්මක විය යුතු බවට අපි ද එකඟ වෙමු. එහෙත් මෙහිදී පෙන්වා දිය යුත්තේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදයේදී බ්‍රිතාන්‍ය ක්‍රියා කළේ ඒ ආකාරයට නොවන බවය. 2005 වසරේදී මෙරට විදේශ ඇමැතිවරයා වූ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කළ අවස්ථාවේදී බ්‍රිතාන්‍යය එය ත්‍රස්ත ක්‍රියාවක් වශයෙන් හැඳින්වූයේ නැත.

මෙරට හිටපු ජනාධිපතිවරයකු වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඝාතනයේදීත් ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනයේදීත් ඒවා ත්‍රස්ත ක්‍රියා වශයෙන් හැඳින්වීමට බ්‍රිතාන්‍යය හෝ ලොවේ වෙනත් බලවත් රටවල් හෝ ක්‍රියා කළේ නැත. ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි ඇතුළු මෙරට දකුණේ දේශපාලන නායකයන් ද උතුරේ ද්‍රවිඩ දේශපාලන නායකයන් වූ අමිර්තලිංගම් ඇතුළු මන්ත්‍රීවරු ද ආචාර්ය නීලන් තිරුචෙල්වම් වැනි ද්‍රවිඩ සමාජය තුළ සිටි බුද්ධිමතුන් ද ඝාතනය කරද්දීත් කට නොසෙල්වූ බ්‍රිතාන්‍යය තමන්ගේ දේශපාලන රැකවරණ පතා පැමිණි ත්‍රස්තවාදීන්ට උණුසුම් පිළිගැනීමක් ලබා දුන්නේ හිරිකිතයකින් තොරවය.

එම රටවල පදිංචි ද්‍රවිඩ ජනතාවගේ ඡන්දවලින් බලයට පැමිණීමට පාර කපාගැනීම අවශ්‍ය වීම නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන්ට ත්‍රස්තවාදය අමතක විය. ඔවුන් එසේ කළේ නිකම්ම නොව මේ තරම් මිනීමැරූ එල්.ටී.ටී.ඊය සමඟ සාම සාකච්ඡා පවත්වන ලෙසට ශ්‍රී ලංකාවේ රජයට බලකරමිනි. එපමණක් නොව එම ත්‍රස්තවාදය ජීවිත විශාල සංඛ්‍යාවක් කැපකරමින් අවසන් කළ ශ්‍රී ලංකාවේ හමුදාවලට එරෙහිව අභූත චෝදනා නගමින් ත්‍රස්තවාදය අවසන් කිරීම ජාත්‍යන්තර වැරැද්දක් වශයෙන් හඳුන්වාදීමට දැන් බ්‍රිතාන්‍යය මූලික වී සිටී.

බ්‍රිතාන්‍යය සමඟ කැනඩාව ද ඒ රටවල්වල සිටින ද්‍රවිඩ ජනතාවගේ ඡන්ද ලබාගැනීමේ පරමාර්ථයෙන් ක්‍රියා කරමින් ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයට එරෙහිව කළ සටන අපරාධයක් වශයෙන් හඳුන්වාදීමට බලමුළු තර කරද්දී තම මන්ත්‍රීවරයකු මරා දැමූ විට තමන්ගේ රට තුළ ත්‍රස්තවාදීන්ට කිසිම සමාවක් නොදෙන බවටත් ත්‍රස්තවාදය පරාජය කරන බවටත් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු හඬ නගති. ශ්‍රීමත් ඩේවිඩ් වැනි ජනතා ආකර්ෂණයට ලක්වූ මන්ත්‍රීවරයකු බිලිගන්නා තුරු තමන්ට ත්‍රස්තවාදයේ සැබෑ මුහුණුවර තේරුම් ගැනීමට නොහැකි වීම ගැන බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් ලජ්ජා විය යුතුය. ත්‍රස්තවාදී තර්ජනවලට මුහුණ දුන් සියලු‍ රටවලින් සමාව ඉල්ලිය යුතුය.

එල්.ටී.ටී.ඊ.යෙන් පසුව ලොව ත්‍රස්තවාදී ක්‍රියාවලින් භීතියට පත් කළ අයි.එස්.අයි.එස්. සංවිධානය බිහිවීමට මූලික වී තිබුණේ ද බ්‍රිතාන්‍යය ද එකතුව ඉරාකයට එරෙහිව සිදුකළ ආක්‍රමණය හේතුවෙන් බව රහසක් නොවේ. එසේ ලොවේ ත්‍රස්තවාදය බිහි කිරීමට උඩගෙඩි දීමේ බරපතළ ප්‍රතිවිපාකවලට බ්‍රිතාන්‍යය අද මුහුණ දෙමින් සිටී.

මුදල් සහ යුද අවි ලබාදී පෝෂණය කළ ලොව පුරා විවිධ ත්‍රස්ත සංවිධාන ගැන නිවැරැදි තක්සේරුවක් කිරීමට නොහැකි වීමත් ත්‍රස්තවාදය පිළිබඳව අනුගමනය කරන දෙබඩි කුහක ප්‍රතිපත්තියත් හේතුවෙන් තම මන්ත්‍රීවරයකුට ජීවිතය අහිමි වූ බව බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් පිළිගත යුතුය.

ත්‍රස්තවාදය එක රටකින් නොව මුළු ලොවෙන්ම මුලිනුපුටා දැමිය යුතු පිළිලයකි. වෙනත් රටවල ත්‍රස්තවාදය මානව හිමිකම් වශයෙන්ද තම රටේ ත්‍රස්තවාදය පමණක් ත්‍රස්තවාදයක් වශයෙන්ද දකින තුරු බ්‍රිතාන්‍යය මේ පාඩම කවදාවත් ඉගෙන ගන්නේ නැත.

(***)