බ්‍රිතාන්‍යයන් මිහිදන් කළ ගැරිසන් සොහොන


මහනුවර දළදා මාලිගාව පරිශ්‍රයේ දක්නට ඇති බොහෝමයක් තැන්වල වැදගත්කම කෙබඳු දැයි අවබෝධ කරගත් පිරිස අතළොස්සක් බව නම් නොරහසකි. මහනුවර දළදා මාලිගාව අභියස කෞතුකාගාරය අසළ ”‍ සොහොන් කොත් ”‍ කිහිපයක් අදටත් දැකිය හැකිය. එය නමින් ”‍ ගැරිසන් සොහොන”‍ වේ. අධිරාජ්‍යවාදී පාලන සමයේ ශ්‍රී ලංකාවේ ජීවත් වූ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සොහොන්කොත් ලෙස විරුදාවලි ලබා ඇති ගැරිසන් සුසාන භූමිය පිළිබඳව තබන සටහනකි මේ.

 1815 වර්ෂයේ දී කන්ද උඩරට රාජ්‍යයේ පාලන බලය අධිරාජ්‍යවාදීන්ගේ අණසකට අත්පත්කරගත් පසු 1817 වර්ෂයේ දී බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් මෙම සොහොන ස්ථාපිත කර ඇත. එතැන් පටන් ශ්‍රී ලංකාවේ ජීවත් වූ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ මෘතදේහ මෙම සොහොන් බිමේ මිහිදන් කළේය. 1873 වර්ෂයේ මහනුවර නාගරික සීමාවේ මෘතදේහ ආදාහනය කිරීම නීතිමය වශයෙන් තහනම් කළද මෙම සුසාන භූමියේ මිහිදන් කළ පුද්ගලයන්ගේ ඥාතීන්ගේ මෘතදේහ මෙකී භූමියේ මිහිදන් කිරීමට අවසර ලැබී ඇත්තේ විශේෂ තීන්දු තීරණ මතය. එලෙසින් මේ බිමේ අවසන් වරට බ්‍රිතාන්‍ය ජාතිකයකුගේ මෘතදේහයක් මිහිදන් කර ඇත්තේ 1951 වර්ෂයේදී ය. ඒ ඇනීෆ් රිට්ස් නමැත්තාගේ මෘතදේහයයි. 1817 සිට 1951 දක්වා මියගිය පුද්ගලයන්ගේ මෘතදේහ මෙම ස්ථානයේ මිහිදන් කර ඇත.

 යටත් විජිත සමයේ මෙරට දී යුධ වැදුණු බොහෝමයක් බ්‍රිතාන්‍ය යුධ සෙබලු‍න්ගේ මෘතදේහ මෙහි තැන්පත් කර ඇතිවග බොහෝ දෙනාගේ මතය වේ. ඊට අමතරව ලක්දිව සුපතළ නමක් වන ‘‘ජෝන් ඩොයිලි”‍ ගේ සොහොන් කොතද මෙකී ගැරිසන් සොහොන තුළ මිහිදන් කර ඇති වග ප්‍රකටය.

 1824 වසරේදී මිය ගිය බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ජෝන් ඩොයිලි 1801 වසරේ දී ලිපිකරුවකු ලෙස ලංකාවට පැමිණ ඇත. 1803 වසරේ සිට ගාල්ල හා මාතර ප්‍රදේශ බොහෝමයක බ්‍රිතාන්‍ය ඒජන්තවරයකු ලෙස කටයුතු කර ඇත. ශ්‍රීමත් ජෝන් ඩොයිලි සුදු මහතෙකු වුවද ලාංකීය ජනමනස හඳුනාගත් විශිෂ්ටතම රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. එම නිසාම ලාංකීය සිංහල ජනතාව තුළද ජෝන් ඩොයිලි පිළිබඳව ඇත්තේ පහන් සංවේගයකි.

ශ්‍රීමත් ජෝන් ඩොයිලි ලාංකීය ජන සමාජයේ ජීවත් වූ කාලයේ දී දකුණේ විසූ බෞද්ධ භික්ෂූන් ඇසුරු කරමින් සිංහල භාෂාව හා සාහිත්‍යය, බුදු දහම හා සිංහල සිරිත් විරිත් ආදිය මනාව ඉගෙන ගෙන ඇත. ඔහු වසර ගණනාවක සිට ඉගෙන ගත් දේ පසුව 1815 වසරේ දී ලංකාව යටත් කර ගැනීමේ බ්‍රිතාන්‍ය මෙහෙයුම සඳහා ද භාවිත කර ඇත. උණ රෝගය වැළඳී ජෝන් ඩොයිලි මියගොස් ඇති අතර ඒ වනවිටත් ඔහු උඩරට රාජධානියේ ප්‍රධාන නිලධාරියා ලෙස කටයුතු කර ඇත. සත් කෝරළය ප්‍රදේශයේ සිය රාජකාරි කරන අතරතුර හෙතෙම මෙකී උණ රෝගයට ගොදුරු වී ඇත. 1824 මැයි මස 24 දින උණ රෝගයෙන් මියගිය ජෝන් ඩොයිලි ගේ දේහය මෙකී ගැරිසන් සොහොන් බිමේ මිහිදන් කර ඒ වෙනුවෙන් සොහොන් කොතක්ද ඉදිකර ඇත. අදටත් එකී සොහොන් බිම දැකිය හැකිය. ඊට අමතරව ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි මහතාගේ බිරිය වූ එලිස‌බෙත් ග්‍රෙගරි ආර්යාවගේ දේහයද මෙකී භූමියේ මිහිදන් කර ඇත. ඇය ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා සමඟ අනුරාධපුර ප්‍රදේශයේ සංචාරයක යෙදී සිටීමෙන් අනතුරුව දැඩි ලෙස රෝගාතුර වී 1873 වසරේ ජුනි මස 26 වැනි දින මහනුවර “පැවිලියන් මන්දිරය” හෙවත් වත්මන් මහනුවර ජනාධිපති නිල නිවසේ දී මිය ගොස් ඇත. අනතුරුව ඇයගේ මෘතදේහය මෙකී ගැරිසන් සුසාන භූමියේ මිහිදන් කර ඇත.

 ඊට අමතරව ප්‍රංශයේ ප්‍රකට නැපෝලියන් අධිරාජ්‍යයාගේ අවධානය දිනා වෝටර්ලූ සටනට සහභාගී වූ රණ ශූරයකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ ජේම්ස් එඩ්වින් මැක්ග්ලාෂන් නමැති පුද්ගලයකු ද මෙරට දී මැලේරියා රෝගය වැළඳීමෙන් 1817 වසරේ මිය ගිය පසු ගැරිසන් සුසාන භූමියේ මිහිදන් කොට ඇත.

මහනුවර ශ්‍රී දළදා මාලිගාව පිහිටි උඩවත්ත කැලෑවේ පහළ ප්‍රදේශයේ පිහිටා ඇති මෙකී ගැරිසන් සොහොන් බිම එකී කැලෑවේ පිහිටි සුන්දරත්වය නිසාම බ්‍රිතාන්‍ය පාලනය විසින් ඉදිකරන්නට ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසය වේ. ඊට අමතරව නුවර වැව රවුමේ පිහිටි ‘‘අවන්හල”‍ අසල එකල බ්‍රිතාන්‍ය හමුදා රෝහල පිහිටා ඇති පසුබිමක එම රෝහලෙන් මිය යන බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගේ මෘතදේහ කඩිනමින් මෙකී සොහොන තුළ මිහිදන් කිරීමට ඇති පහසුව නිසාම ගැරිසන් සොහොන දළදා මාලිගාවට යාබදව ස්ථාපිත කරන්නට ඇති බව ජන මතය වේ.

 බ්‍රිතාන්‍ය භාෂාවට අනුව ‘‘සෙබළුන් රඳවා තබන ස්ථානය”‍ ගැරිසන් නමින් හඳුන් වන අතර ඒ හේතුව නිසාම මෙකී සොහොනේ බ්‍රිතාන්‍ය සෙබළුන් බොහෝමයක් මිහිදන් කරන්නට ඇති බවද අනුමාන කළ හැකිය.

මෙහි මිහිදන් කොට ඇති මුල්ම පුද්ගලයාගේ මෘතදේහය වෙනත් ස්ථානයක මිහිදන් කොට පසුව මෙම සොහොන් බිමේ මිහිදන් කොට සොහොන් කොතක් ද ඉදිකොට තිබේ. 1822 වසරේ දී ඇරැඹි ගැරිසන් සොහොන් බිමේ මිහිදන් කිරීමේ කටයුතු 1870 වසර දක්වා අඩසිය වසකට ආසන්න කාලයක් නොකඩවා සිදුවී තිබෙන නමුත් 1865 වසරේ දී මහනුවර නගරයට යාබද මහයියාව පොදු සුසාන භූමිය ආරම්භ කිරීම නිසා මෙහි වැදගත්කම ක්‍රම ක්‍රමයෙන් හීන වී ඇති බවද පෙනේ. මැලේරියාව, කොළරාව ආදී වසංගත රෝග මෙන් ම වන සතුන්ගේ පහර දීම් ද මෙම මරණ සඳහා හේතු වී ඇත. කුඩා දරුවන්ගේ මෘතදේහ කිහිපයක් ද මෙහි මිහිදන් කර ඇති බව බොහෝ දෙනාගේ මතය වේ. එපමණක් නොව මෙකී සොහොන් බිම තුළ මිහිදන් කොට ඇත්තේ ක්‍රිස්තු භක්තික බ්‍රිතාන්‍ය ජාතිකයන් පමණක් වන අතර ඉන් බොහෝ දෙනා තරුණ කාලයේ මිය ගිය අය බවටද හඳුනාගෙන ඇත.

 ඊට අමතරව 1818 වර්ෂයේ ක්‍රියාත්මක කැරැල්ල මෙහෙය වූ ජෙනරාල් ජෝන් ප්‍රේෂර්ගේ මෘතදේහය තැන්පත් කර ඇත්තේද මෙකී සොහොන් පිටියේය. එම කැරැල්ල මෙහෙය වූ වීර කැප්පෙටිපොළ අධිකාරම් අල්ලා ගැනීමට සමත් වූයේද මෙකී ජෝන් ප්‍රේෂර්ය. හෙතෙම කොළඹ නුවර ප්‍රධාන මාර්ගය ඉදි කිරීම සඳහා පුරෝගාමී සේවයක් කළ පුද්ගලයකු ලෙස ද ජනතාව අතර ප්‍රකටය.

මාතලේ දිස්ත්‍රික්කයේ උපදිසාපති ලෙස කටයුතු කළ පරිපාලන නිලධාරියකු වූ එඩ්මන්ඩ් සැම්ප්සන් වෝන්ස් නමැත්තාගේ සොහොන් ගැබ පිහිටා ඇත්තේ ද මහනුවර ගැරිසන් සුසාන භූමියේ ය. ඔහු මාතලේ දිසාපති කාර්යාලයේ උපදිසාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී 1848 වසරේ දී මාතලේ ප්‍රදේශයේ ඇති වූ කැරැල්ල අතරතුර කැරලිකරුවන්ට වෙඩි නොතබා පලා යාම නිසා ජාතිද්‍රෝහියකු ලෙස නම් කොට තිබීමද විශේෂත්වයකි. අවසානයේ ඔහු උපදිසාපති තනතුරින් ද පහකොට ඇති අතර වයස අවුරුදු 60 දී පමණ මිය ගිය ඔහුගේ අවමංගල්‍යයට කිසිදු බ්‍රිතාන්‍ය නිලධාරියකු සහභාගී නොවීමද විශේෂත්වයකි.

 ජේම්ස් හෙන්රි ප්‍රශා නම් වූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව ගැරිසන් සොහොන් බිමේ අවසන් වරට මිහිදන් වූ තැනැත්තිය ලෙස හඳුනා ගත හැකිය. පළමුව ඇගේ මෘතදේහය වෙනත් ස්ථානයක මිහිදන් කොට අනතුරුව ඇගේ ඥාතීන් එම මෘතදේහය මෙම පෞරාණික සොහොන් බිමේ තැන්පත් කිරීම සඳහා අධිකරණ නියෝගයක් ද ලබා ගෙන ඇත. ඇය මහනුවර වැව රවුමේ පදිංචිව සිට ඇත.

 ලංකාවේ බොහෝ පළාත්වල සිවිල් සේවයේ නිරත වෙමින් සැළලිහිණි සංදේශය ප්‍රථමයෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ විලියම් චාල්ස් මැක්රෙඩි මෙන්ම වන අලියකු පහරදීමෙන් ලංකාවේ දී මිය ගිය අවසන් යුරෝපීය ජාතිකයා ලෙස සැලකෙන ජෝන් ස්පෝට්ස්වුඩ් රොබට්සන් නමැත්තා ද, මිය ගිය පසු මිහිදන් කර ඇත්තේද මෙම සුසාන භූමියේය.

 යටත් විජිත සමය ශ්‍රී ලංකාවට කෙතරම් අඳුරු සෙවණැලි මතුකළද එවන් යුගයක කතා වූ පුරෝගාමී චරිත ලක් භූමිය තුළ මිහිදන් කිරීම පිළිබඳව හෝ කතා කරන්නට ලැබීමද එක් පසෙකින් වටිනාකම් දෙන්නකි. එම නිසාම වසර දෙසීයකට වඩා පැරණි ඉතිහාසයක ඇති ප්‍රෞඪත්වය සුරක්ෂිත කිරීම කාගේත් වගකීමකි.

(තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි)

 

(***)
සටහන හා ඡායාරූප
සිසිර ලලිත් කුමාර